සහල් ප්රශ්නය බරපතළ අර්බුදයක් බවට පත්වෙමින් පවතී. මේ ලියන්නේ ඒ කරුණ මුල් කොට ජාතික ජන බලවේග ආණ්ඩුවට කෝචොක් කරන්න හෙම නොවේ. මීට පෙරත් ලිපියක ලියූ පරිදි ආණ්ඩුවට කෝචොක් කිරීමෙන් ජනතාවට සත පහක ප්‍රයෝජනයක් නැත. ආණ්ඩුවත් සමග ඇරියස් ඇති අයට නම් එයින් පොඩි ත්රිලක් ලැබිය හැකිය. හැබැයි ත්රිල අරගන්න කියා ආණ්ඩුවට කෙළවෙන තුරු බලමින් කාලකණ්ණි සතුටක් ලැබීම නම් අන්තිම භයානක වැඩකි. ඒක හරියට ඇඟපතේ හීතල නිවාගන්න ගෙදර වහලෙට ගිනි තිබ්බා වාගේ ගොන්කමකි. ඒ නිසා මේ ලියන්නේ වෙන්න තියෙන අලකලංචිය බේරාගෙන අපිටත් හාල් පෝලිමේ නොලැග ඉන්න පුළුවන් වේදැයි බලන්නට බව සියලු සුධීමත්හු කරුණාවෙන් පිළිගනිත්වා. (Sri Lanka Latest News)
සහල් සීමා කිරීමෙන් ඇඟවෙන්නේ…
මේ වනවිට නාඩු සහල් වෙළෙඳපොළේ නැත. කීරිසම්බාවල නම් එහෙම හිඟයක් දක්නට නැත. සුපිරි වෙළෙඳසල් ජාලයක මේ වනවිට කැකුළු හා සම්බා සහල් නිකුත් කරන්නේ එක් අයකුට කිලෝ තුනක සීමාවකට යටත්වය. මේ තවම දෙසැම්බරයේ එළිපත්තට පැමිණියා පමණි. ඊළඟට වෙන්නේ මිලදීගත හැකි සහල් ප්‍රමාණය කිලෝ තුන දෙකක් වී තව සතියකින් එකක් වීමය. මේ වන විටත් ඉදිරියේ හාල් හිඟයක් එතැයි හාල් රැස්කරන්නට අතේ සල්ලි තියෙන ඇත්තන් පටන්ගෙන ඇතිදැයි හිතෙන්නේ සුපිරි වෙළෙඳසල්වල ඇති කීරිසම්බා ද කිලෝ දහයේ පහේ බෑග් කඳු වේගයෙන් මිටියාවත් වනු දකින විටය.
සහල් සීමා කිරීමෙන් ඇඟවෙන්නේ ඉල්ලුමේ තරමට සැපයුම අපහසු බවය. මෙබඳු අවස්ථාවල පාරිභෝගිකයා කරන්නේ අවශ්‍යතාව ඉක්මවා ඉල්ලුම් කිරීමට හා රැස්කර ගැනීමය. ඒ තත්ත්වය කිසියම් භාණ්ඩයක් අධි ඉල්ලුමක් බවට පත්වීමකි. එම අධි ඉල්ලුම සැපිරීම සඳහා ‘කළු කඩය’ නිර්මාණය වෙයි. ඒ සමගම මිල ඉහළ යාමද පාලනය කළ නොහැකි වෙයි. පසුගිය ආර්ථික අර්බුදය උත්සන්නව පැවැති සමයේ ඉන්ධනවලට සිදුවූයේ ද මේ අලකලංචියමය. ඉන්ධන සැපයුම මුළුමනින්ම රජය අත තිබියදීවත් ඒ අවස්ථාවේ පැවැති අධි ඉන්ධන ඉල්ලුම සැපයීමට, රජයට හැකිවුණේ නැත. සහල් පිළිබඳ දැන් ඇත්තේ ඉන්ධන ප්රශ්නය අරම්භ වූ දිනවල පැවැති තත්ත්වයයි.
නාඩු සහල් අර්බුදයක් පවතින හේතුව
රජය මේ සහල් ප්‍රශ්නයට විසඳුම ලෙස සහල් ටොන් 70,000ක් ආනයනය කිරීමට තීරණය කර ඇත. මේ ආනයනික සහල් වෙළෙඳපොළට ලැබෙන්නේ අඩුම තරමින් දෙසැම්බර් තුන්වැනි සතියේය. එතෙක්, සති තුනක් දිනකට ටොන් 6,575 බැගින් සහල් වෙළෙඳපළ වෙත එවීමේ වගකීම ආණ්ඩුව සතු වෙයි. රටේ දිනක සහල් පරිභෝජනය ටොන් 6,575ක් ලෙස ගණන් බලා ඇත. එසේ වුවත් ඒ වගකීම ඉටුකිරීම කළ යුතු වන්නේ පෞද්ගලික අංශයේ වී මෝල් හරහාය. කීරි සම්බා සහල් අවශ්‍ය ප්‍රමාණය වෙළෙඳපොළට සැපයුණත් මෙතෙක් ගැටලුව තිබුණේ නාඩු සහල් සැපයුමේය. නමුත් රජයේ ගණනය කිරීම් අනුව නාඩු වී ප්‍රමාණවත් තොග ගොවීන් ළඟ හෝ වී මෝල්වල තිබිය යුතු වේ. ගැටලුව ඇත්තේ එසේ තිබෙතැයි අපේක්ෂා කරන වී සහල් බවට පරිවර්තනය වී වෙළෙඳපොළට නොපැමිණීමය. මේ හිරවීමට ප්‍රධාන හේතුව ලෙස අපට නිරීක්ෂණය වන්නේ රජය විසින් සහල්වලට පනවා ඇති උපරිම සිල්ලර මිලය. 2022 වසරේ පැවැති රජය නාඩු සහල් විකිණිය හැකි උපරිම සිල්ලර මිල නියම කර ඇත්තේ කිලෝ එක රුපියල් 220කටය. පසුගිය යල කන්නයේ නාඩු වීවල පැවැති මිල මට්ටම අනුව වෙළෙඳපොළේ සිල්ලර මිල ලෙස රුපියල් 220ට නාඩු සහල් විකිණීම අපහසුය. අඩුම වශයෙන් සහල් සඳහා පාරිභෝගිකයා ගෙවන මිලෙන් 75%වත් වී වටිනාකම ලෙස ගොවියාට හිමි වියයුතුය. සහල් කිලෝ එකක් නිපදවීමට වී කිලෝග්‍රෑම් 1.54 අවශ්‍ය වේ. ඒ අනුව සහල් මිල 220 පවත්වා ගැනීමට නම් පිරිසිදු වී මිලදීගත යුත්තේ කිලෝ එක රු. 107.14ට අඩුවෙනි. නමුත් පසුගිය යල කන්නයේ පිරිසිදු වී කිලෝ එකක් රුපියල් 125 තරම් වන ඉහළ මිලකට ගොවීන්ගෙන් මිලදීගෙන තිබිණි. ගොවීන් වී අලෙවි කරන්නේ පිරිසිදු කර නොවේ. ගොවීන් වෙතින් මිලදී ගන්නා වීවල 6%ක් පමණ කෘෂිකාර්මික අපද්‍රව්‍ය තිබේ. රජය නාඩු වී සඳහා පවත්වාගෙන යන සහතික මිල රුපියල් 110කි. එම මිලටම පිරිසිදු වී මිලදී ගත්තත් නාඩු සහල් රජයේ සහතික මිලට වෙළෙඳපොළට ලාභයක් ඇතිව සැපයීම අපහසු වේ. මේ වනවිට ගොවීන් ළඟ කලාතුරකින් ඉතිරි වී ඇති නාඩු වී මිලදී ගන්නේ කිලෝ එකක් රුපියල් 150කට සමාන මිලකටය. නාඩු සහල් පිළිබඳ අර්බුදයක් පවතින්නේ මේ හේතුව නිසාය.
විසඳුම විය යුතුව ඇත්තේ…
මීට විසඳුම විය යුතුව ඇත්තේ රජය 2022, වර්ෂයේ නියම කළ උපරිම සිල්ලර මිල සංශෝධනය කිරීමයි. එය රුපියල් 240 කළා නම් ගැටලුවකින් තොරව නාඩු සහල් වෙළෙඳපොළට සැපයුම සිදුවනු ඇත. එසේම සෑම අවස්ථාවකදීම රජය සැලකිලිමත් විය යුතු වන්නේ සහල් සිල්ලර මිලෙන් 75%ක් ගොවියාට වී වෙනුවෙන් ද ඉතිරි 25% සහල් කර්මාන්තයේ නියුතු වී රැස් කරන්නන් ප්‍රවාහනකරුවන් මෝල් හිමියන් තොග වෙළෙඳුන් හා සිල්ලර වෙළෙඳුන් වෙත යැවීමට රජය සැලකිලිමත් වියයුතුය. මේ අනුපාතයන් වෙනස් වන ලෙස වෙළෙඳපොළේ මිල පැවැතීම වළක්වා ගැනීමට රජය උපරිම සිල්ලර මිල නියම කිරීම කළ යුතුය. මෙම අනුපාතයන් නොසලකා සහල් මිල නියම කිරීමෙන් රජය බලවත් වරදක් සිදුකර ඇත. එය නිවැරදි කිරීම රජයේ යුතුකමයි. නමුත් ඒ සඳහා තිබුණු අවස්ථාව දැන් ගිලිහෙමින් පවතින බවද නිරීක්ෂණය වීම කනගාටුදායකය. බරපතළ සහල් හිඟයක් ඇතිවී අධි ඉල්ලුමක් නිර්මාණය වූ පසු මේ මිල සංශෝධනයෙන් සැපයුම යථාවත් කළ නොහැකිය. ඒ එම අවස්ථාව වන විට වැඩේ කුරුවල් වී සහල් මිලට ගන්නේ පාරිභෝජනය කිරීමට වඩා රැස්කිරීමට නිසා අධි ඉල්ලුම වෙනස් නොවන බැවිනි. ඊට පස්සේ ‘ඌට මූට’ ඇඟිලි දික්කොට වැඩක් නැත. සහල් වෙළෙඳපළ සම්බන්ධ මෙම යථාර්ථය රජය නිවැරදිව තේරුම් ගෙන තිබේද යන්න සැක සහිතය.
එම නිසා රජයේ බලධාරීන් ආනයනික සහල්වලින් සහල් අර්බුදය විසඳිය හැකියැයි සිතා සිටීම නතර කර ඉදිරි සති තුන තුළ දිනකට සහල් ටොන් 6575 බැගින් වෙළෙඳපොළට සැපයෙන අන්දමට කටයුතු සම්පාදනය කළ යුතු වේ. නැත්නම් ආණ්ඩුව බලවත් අපහසුතාවටත් ජනතාව ඊටත් වඩා අපහසුතාවටත් පත්ව නාඩු සහල් මුල් කොට ජනතාව ගෝරනාඩු නැඟීම වළක්වා ගැනීමට රජයට නොහැකි වනු ඇත.
සුනිල් කන්නන්ගර
(කොළඹ, රත්නපුර, අම්පාර හිටපු මහ දිසාපති)










