අදටත් රට බියවද්දන පාතාලය මෙන් එදා 1974-1975 දශකවලදී කොළඹ අවට ප්‍රදේශ බියවද්දමින් මංකොල්ල අපරාධ ගණනාවක් සිදුකළ මැර කල්ලි නායකයකුව සිටියේ අග්ගොන චන්දරේය. ඒ දිනවල පළවූ පුවත්පත්වල මුල් පිට හැඩගැන්වී තිබුණේද ඔහු විසින් සිදුකළ මැර ක්රියාවන්ය. අග්ගොන චන්දරේ මිල මුදල් යහමින් ඇති ඇතැම් ව්‍යාපාරිකයන්ට ධනවතුන්ට පණීවුඩ යැව්වේ අසවල් දිනයේ එනවා සල්ලි ලෑස්ති කරගන්න කියා තර්ජනයක්ද කරමිනි. පොලිසිවලට දැන්වුවහොත් ‘කටපුංචා’ නොහොත් ‘පිස්තෝලය කටටම බස්සනවා’ යනුවෙන් ඔහු දුරකතනයෙන් ලබාදෙන තර්ජනය අවසන් වුණේද එලෙසය. (Sri Lanka Latest News)
චන්දරේට සහායට ඔහුට ධනවතුන්ගේ තොරතුරු ගෙන ඒමට තවත් මැරයකු ඔහු සමග එක්වී සිටි බවටද පොලිසියට තොරතුරු ලැබී තිබිණි. දෙදෙනාම වැඩට බහින්නේ එකටය. මහජනයාට පීඩාකාරී ලෙස බියවද්දමින් සිටි අග්ගොන චන්දරේ කොටුකර ගැනීමේ මෙහෙයුම භාරදී තිබුණේ කොළඹ අපරාධ විමර්ශන අංශයේ අධ්යක්ෂව සිට පසුව නියෝජ්‍ය පොලිස්පති ධුරය දක්වා උසස්වීම් ලද ආර්. සුන්දරලිංගම්ය. ඔහු මගේ මෙන්ම මාධ්‍යවේදීන්ගේද හොඳ හිතවතෙකි. මාධ්‍යවේදීන්ට ප්රවෘත්ති හිඟ වනවිට ප්රවෘත්ති මවන්නේද ඔහුය. පසු කලෙක මෙරට සියලු පොලිස් ස්ථානවල අපරාධ විමර්ශන අංශ පිහිටුවීමට මූලික වූයේද ඔහුය. ඒ යෝජනාවද ඔහුගේ බව අදටත් දන්නේ පොලිසියේ පැරැන්නන්ය.
එදා සියලු පොලිසිවලින් දිනපතා උදේ රටේ සිදුවන සෑම අපරාධ සිද්ධියක්ම මුලින්ම වාර්තා වන්නේ ඔහුටය. ඒ, ඔහු සියලු පොලිසිවලට ලබාදී තිබූ නියෝගයකි. කිසියම් පළාතක අබිරහස් ඝාතන සිද්ධියකට අදාළව පරීක්ෂණවලට හානි නොවන අන්දමේ පසු විපරම් රාජ්‍ය මාධ්‍යයට ලබාදුන්නේ ඔහුය. මාධ්‍යවේදීන් කොතරම් ඔහුට සමීපව සිටියාද කිවහොත් මාධ්‍යවේදීන් ඔහු ඇමතුවේ ‘සුන්දා’ නමැති ආදර නාමයකිනි. ඔහුගේ දුරකතනය මාධ්‍යවේදීන්ට මැදියම් රාත්‍රිය වනතුරු විවෘතය. ඔහු තුළින් කෝප වීමක් කිසි විටෙක දිස් නොවුණු තරම්ය.
මා මේ සිද්ධිය පැවසීමට පෙර ‘සුන්දා’ ගැන නොලියාම බැරිය. එදා අග්ගොන චන්දරේ ගෙනගිය චණ්ඩිකම් මැඬපැවැත්වීමේ බලය පැවරී තිබුණේද ‘සුන්දාට’ය. අද කොළඹ දෙමටගොඩ පිහිටි කොළඹ අපරාධ කොට්ඨාසය මුලින්ම කොළඹ 07 ග්‍රෙගරි පාරේ ආරම්භ කළේද සුන්දරලිංගම්ය. ඔහුගේ අපරාධ විමර්ශන කොට්ඨාසයට දක්ෂ පොලිස් නිලධාරීන් පිරිසක් තෝරාගත්තේය. සහකාර පොලිස් අධිකාරී ටෙරී අමරසේකර ප්‍රධාන පොලිස් පරීක්ෂක නිමල් මහගමගේ ඇතුළු දක්ෂ පොලිස් කණ්ඩායමක් දිවා රාත්‍රී මෙහෙයුම් ආරම්භ කර තිබුණේ අග්ගොන චන්දරේ කොටුකර ගැනීමටය. අග්ගොන චන්දරේද අපරාධ 80කට ආසන්න සංඛ්‍යාවක් සිදුකරමින් පළාතෙන් පළාතට පැනයමින් සැඟවී සිටියේ පොලිසියෙන් බේරීමටය. ඒ සඳහා ඔහු කොල්ලකෑ මිල මුදල් රැකවරණ ලබාදෙන පුද්ගලයන් අතට පත්කළේය. ඇතැම් අවස්ථාවලදී පොලිසිය ඔහු සිටින තැන් රහසේ සොයාගෙන අලුයම් කාලයේ ඒ ස්ථාන වැටලුවද පොලිසිය පැමිණීමට විනාඩි කිහිපයකට පෙර ඔහු එම ස්ථානවලින් අතුරුදන්ව සිටියේය.
එම යුගයේ දිනක් මා ලංකාදීප පුවත්පතේ සේවය කරමින් සිටියදී මා හට දුරකතන ඇමතුමක් ලැබුණේ එවක ලංකාවේ සුප්‍රසිද්ධ සිනමා අධ්යක්ෂවරයකුගෙනි. ඔහු මගේ හිතවතෙකි. ඔහු මා සමගද දුරකතනයෙන් කතා කළේ බිය මුසු සසල වූ හඬකිනි. මා ඔහුව සන්සුන් කර කියන්නට හදන දේ ගැන සෙමින් විස්තර ඇසුවෙමි.
‘විජේ, හරි ප්‍රශ්නයක්. අග්ගොන චන්දරේ හෙට රෑ 7ට මගේ ගෙදරටත් එනවා කියලා දුරකතන ඇමතුමක් දීලා තියෙනවා. සල්ලි ලෑස්ති කරලා තියන්න කියලා තර්ජනයකුත් තියෙනවා. පොලිසියට කිව්වොත් අපේ ජීවිත අවදානමකුත් තියෙනවා. ඔයා දන්නවද අර කොළඹ පළාතෙ ඉන්න සුප්‍රසිද්ධ ව්‍යාපාරිකයා (ඔහුගේ නමද හෙළිකරයි) අන්න එයාගේ ගෙදර චන්දරේ එනවා යනවා කියලා ආරංචියි. බැරිද එයාට කියලා මොකක් හරි මා වෙනුවෙන් කරන්න. මේක මගේ ජීවිතේටවත් අමතක නොවන උදව්වක්…’
ඔහු දුරකතනයෙන් තව තවත් මා වෙත ඇවටිලි කරයි.
‘මේ සිද්ධිය අපි ටෙරීට කියමුද? මට කරන්න පුළුවන් රහසිගත උදව්ව ඒකයි.’
‘අපි ඒ ව්‍යාපාරිකයගෙ ගේ ළඟ රාත්‍රී රහසිගතව රැකවල්ලා ඉන්න කියලා ටෙරීටත් කියලා සුන්දෙටත් දැනුම් දෙමු…’
මම ඔහුට යෝජනා කළෙමු. එවිට ඔහු පැවැසුවේ ,
‘අනේ විජේ, මේක ගැස්සිලා ගියොත් මාවත් මගේ දරු පවුලත් විනාශයි. ඔයා දන්නවනෙ අග්ගොන චන්දරේ පහුගිය කාලේ කරලා තියෙන දේවල්. ඒ නිසා ඔයත් බේරිලා මාවත් බේරගන්න ක්‍රමයක් කල්පනා කරන්න…’ ඔහු මට නැවතත් ඇවටිලි කරයි. මම ඔහු සමග කතාකරමින් සිටියදී මගේ හිතට පුංචි අදහසක් ආවේය. ඒ වනවිට බලයට පත්ව සිටින රජය සමගද සමීපව සම්බන්ධතා ඇත්තේද චිත්‍රපට අධ්යක්ෂවරයා පැවසූ ව්‍යාපාරිකයා බව මගේ මතකයට ආවේය. ඒ සැණින් මට මතක් වූයේ දේශපාලනඥයන් සහ ඒ හා සම්බන්ධ ව්‍යාපාරික ප්‍රජාව සමග හිතවත්කම් පාන ජැක් කොතලාවලයි. ජීවිත බියෙන් පසුවන මගේ මිත්‍ර චිත්‍රපට අධ්යක්ෂවරයාට මම යෝජනාවක් ඉදිරිපත් කළෙමි.
‘අපි යමු බාන්ස් පෙදෙසේ ඉන්න ජැක් හමුවෙන්න. අපි එයාට මේ ගැන කියලා බලමු…’
එදිනම රාත්‍රී 7ට පමණ අපි දෙදෙනා ජැක්ගේ නිවසට ගියෙමු. ඒ යන විටත් ජැක් ඔහුගේ නිවසේ පුංචි පුස්තකාල කාමරයට වී දේශපාලන පොත්පත් කියවමින් සිටියේය. අපගේ හදිසි පැමිණීම ගැන කිසිදු විරෝධයක් නොදක්වා ඔහු අප දෙදෙනාම ඔහුගේ කත්තෝරු කාමරයට කැඳවාගෙන ගියේය. ජැක් සමග ඕනෑම දෙයක් පැවසීමටත් ඔහු සමග තර්ක විතර්ක කිරීමටත් හැකි මිත්‍රකමක් ඒ වනවිට මම ගොඩනගාගෙන සිටියෙමි. මගේ මිත්‍රයාට සිදුව ඇති අනතුරුදායක තත්ත්වය ගැන මම ජැක්ට පැවැසුවෙමි. ජැක් හිඳගෙන සිටි පුටුවෙන් නැගිට,
‘අපි දැන් යමු ඔයා කියන ව්‍යාපාරිකයාගෙ ගෙදරට. ඒ අයගෙ පවුලෙ හැම දෙනාම මම හඳුනනවා. මට එයා ගැන ප්‍රශ්නයක් නැහැ. එයා මගෙ හොඳම මිත්‍රයා….’ ජැක් වෙහෙස නොබලා සූදානම් වී චිත්‍රපට අධ්යක්ෂවරයාගේ මෝටර් රිය ජැක්ගේ නිවසේ තබා ජැක්ගේ මෝටර් රථයෙන්ම අදාළ ව්‍යාපාරිකයාගේ සුවිසල් නිවසට ගියෙමු. අපව සාලයේ වාඩිගන්වා ඇතුළු කාමරයකට ගිය ජැක්ගේ හදිසි පැමිණීමද ව්‍යාපාරිකයාට පුදුමයට කරුණක් වූ බව අපට වැටහී ගියේ ඔහු සුහදව පිළිගෙන මහ හඬින් කරගෙන ගිය පිළිසඳර කතාබහ අසන්නට ලැබීම නිසාය. මඳ වේලාවකින් ව්‍යාපාරිකයා සමගම කාමරයෙන් එළියට පැමිණි ජැක් කීවේ,
‘කිසි දේකට බිය වෙන්න එපා. ඒ සියල්ල සිතූ හැටියට සිදුවේවි’ යනුවෙනි. මේ සිද්ධිය නිසා හරිහැටි කෑමක් බීමක් නින්දක් නොමැතිව සිටි මගේ මිත්‍ර චිත්‍රපට අධ්යක්ෂවරයාද ඒ නිවස තුළදීම මට ස්තුතිපූර්වකව කතා කරමින් ජැක්ටද දණ නොනමා ආචාර කළේ අවදානම් කලාපයක සිට බේරාගත් අයකු ලෙස තුති පුදකරමින්ය.
ජැක්ගේ නිවසට යළි ආපසු ගිය අප ඔහුගේ නිවසේ නතර කර තිබූ චිත්‍රපට අධ්යක්ෂවරයාගේ මෝටර් රියෙන් මා, මගේ නිවසට ඇරලවා ගත්තෙමි.අග්ගොන චන්දරේ සොයා පැය 24 තුළම මෙහෙයුමේ යෙදෙන ටෙරී අමරසේකරට දින දෙකකින් පමණ හදිසි පණිවුඩයක් ලැබිණි. අග්ගොන චන්දරේ නවීන පන්නයේ මෝටර් රියකින් කිරිබත්ගොඩ දෙසට ගමන් ගන්නා බවට වූ පුවතය. ටෙරී, නිමල් මහගමගේද තම මෝටර් රියේ නංවාගෙන කිරිබත්ගොඩ බලා විදුලි වේගයෙන් රිය පැදවූයේ චන්දරේ යන මෝටර් රිය සොයමින්ය. ඒ යනවිට අග්ගොන චන්දරේ ගමන් ගත් මෝටර් රියට ඉන්ධන ලබාගැනීමට කිරිබත්ගොඩ ඉන්ධන පිරවුම්හලක නවතා තිබිණි. පොලිසියට කොටුවේ යැයි බියෙන් නිතර පලායන අග්ගොන චන්දරේ පත්තරයක් බලන අයුරින් මුහුණ වසාගෙන පසුපස අසුනේ වාඩිගෙන සිටින අයුරු ටෙරීගේ ඇසට හසුවිය. ටෙරී මඳක් ඈතින් වාහනය නවතා වේගයෙන් දිවගොස් පිහිනුම් තටාකයකට පනින අයකු මෙන්ම වාහනය පිටුපස කවුළුවෙන් වාහනය තුළට පැන චන්දරේ අල්ලාගන්නා විට පොලිස් පරීක්ෂක මහගමගේ අනෙක් දොරෙන් කාරයට ඇතුළු වී චන්දරේගේ ඉණේ තිබූ පිස්තෝලය ඔහු බාරයට ගත්තේය.

ප්‍රේමලාල් විජේරත්න










