පසුගිය දින කිහිපයේම රටම කැලඹූ වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ රාජ්‍ය අංශයේ මැදිහත්වීමෙන් සිදුකරනු ලැබූ නිධන් කැණීමේ කටයුතු අද (23) පස්වරුවේ නවතා දමනු ලැබුවා. (Sri Lanka Latest News)
එහිදී, නිධානය ඇති බවට කැණීම් සිදුකළ ස්ථානයෙන් ගොඩ ගැනුණු විවිධ ප්‍රමාණයේ ගල් කුට්ටි රැසක් විදුම් යන්ත්‍රයක ආධාරයෙන් කුඩා කොටස් බවට පත් කරනු ලැබූවද එතුළ තිබී කිසිවක් හමුනොවූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
අද පස්වරුවේ එම ස්ථානයෙන් පාෂාණ කැබලි පිටතට ගෙන අවසන් වීමෙන් පසු කැණීම් කළ ස්ථානය විශේෂ කාර්‍ය බලකාය විසින් පරිලෝකන පරීක්ෂාවකට ලක්කළ අතර එම ස්ථානයෙන් කිසිඳු දෙයක් සම්බන්ධයෙන් පරිලෝකන යන්ත්‍රයන් සඳහා යලි සංඥා ලැබීමක් සිදුව ඇත්තේ නැහැ.
අවස්ථා 10කදී පමණ විවිධ පිරිස් මෙම ස්ථානයේ නිදන් හැරීම හේතු කොට ගෙන ඉදි කෙරෙමින් පවතින මධ්‍යම අධිවේගී මාර්ගයට සිදුවන හානි වළක්වා ගැනීම සඳහා අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝග මත මහජනතාව ඉදිරියේ මෙරට පළමුවරට රාජ්‍ය අංශයේ මැදිහත්වීම මත මෙලෙස නිධන් කැණීම සිදුකරනු ලැබුවා.
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, භූ විද්‍යා හා පතල් සමීක්ෂණ කාර්යාංශය, රජයේ රස පරීක්ෂක කාර්යාලය, මාර්ග සංවර්ධන අධිකාරිය, ශ්‍රී ලංකා පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බළකාය සහ මීරිගම ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ මෙම කැණීම් කටයුතු සිදුකරනු ලැබුවා.










