අම්මා කෙනෙක්ටම තාත්තා කෙනෙක්ටම හැම දරුවෙක්ම ‘මගේ දරුවන් වගේමයි’ කියලා ඇයි හිතන්න බැරි? ඇතැම් මිනිස්සු හදවතක් නැති අය ලෙස කටයුතු කරන්නේ ඇයි කියලා මේ දිනවල සමාජ මාධ්‍යයේ සංසරණය වන වීඩියෝවක් දකිද්දී අපට හැඟුණා. බාලවයස්කාර දැරියකට අත මිටි මොළවා පහර දෙන අයුරු එම වීඩියෝවේ සටහන් වෙලා තිබුණා. වැරෙන් එල්ල කළ පහරවල් කිහිපයක් නිසා දැරිය කිහිප වතාවක්ම විසිවී ගොස් බිම ඇදවැටෙණු දක්නට ලැබීමෙන් බොහෝ දෙනකුගේ හදවත් කම්පාවට පත්වුණා. දැරියගේ මව ඉදිරිපිටදීම සැකකරු මෙම පහරදීම සිදුකර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් මව මුනිවත රකින්නට ඇත්තේ සිය සැමියාට තිබෙන බිය නිසා වන්නට ඇත. තමන්ගේ ලෙයින් ජනිත වුණු දරුවෙකුටවත් මේ තරම් අමානුෂික ලෙස පහරදීමට අයිතියක් අම්මා තාත්තාට නැහැ. මේ දරුවා කොයිතරම් පහර කෑවත් ඒ ක්ෂණයෙන්ම බඩගින්නට පිඟාන පුටුව මත තබාගෙන බත් ඇට කිහිපයක් කටේ දමමින් සිටිනු දක්නට ලැබුණා. (Sri Lanka Latest News)
මේ දර්ශන සමාජ මාධ්‍යයේ සංසරණය වී තිබුණේ පසුගිය 04 වැනිදායි. ඒත් එක්කම එම වීඩියෝව ලක්ෂ ගණනක් දෙනා අතර හුවමාරු කරගන්නත් සමාජ මාධ්‍ය පරිශීලකයන් කටයුතු කළා. විද්‍යුත් මාධ්‍යවලින්ද එම පුවතට හිමිව තිබුණේ ඉහළ වටිනාකමක්. මේ පහරදීම වීඩියෝගත කර සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබුණේ පහර දුන් පුද්ගලයාගේම පුත්‍රයකු විසිනි. ඒ අනුව පහරදීම සිදුකළ පුද්ගලයා සොයා වැලිඔය පොලිසිය වැලිඔය හංසවිල ගම්මානයේ කල්‍යාණිපුර දෙවැනි පියවරේ පිහිටි අදාළ නිවෙසට ගියා. නිවෙස පරීක්ෂා කළත් එහි වාසය කරන්නන් ඒ වන විටත් නිවෙස වසාදමා පලාගොස් තිබුණා. ප්‍රධාන සැකකරු කුකුල් චමින්ද නමැති 45 හැවිරිදි අයකු බවට හඳුනාගෙන තිබූ අතර, ඔහු දැඩි ලෙස මත්පැන්වලට ඇබ්බැහි වී සිටි අයකු බවද හෙළිකරගෙන තිබුණා. ඔහු රැකියාව වශයෙන් මාළු ඇල්ලීම සහ කුලී වැඩ කරමින් කාලය ගතකර ඇත. ඒ අනුව වැලිඔය පොලිස් ස්ථානයේ නිලධාරීන් පුල්මුඩේ විශේෂ කාර්ය බළකා නිලධාරීන් සහ මුලතිව් කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් එක්ව පුල්මුඩේ, අරිසිමලේ ප්‍රදේශයේදී ජුනි 05 වැනි දින අලුයම සැකකරු අත්අඩංගුවට ගැනුණා. ඔහුගේ අනියම් බිරියන් දෙදෙනකුද අත්අඩංගුවට ගැනීමටයි පොලිසිය කටයුතු කර තිබුණේ.
පහර කෑමට ලක්වූ දැරියගේ වයස අවුරුදු 4යි මාස 6ක් වන බවටයි අනාවරණය කර තිබුණේ. පොලිස් භාරයට ගත් දැරිය මේ වන විට අනුරාධපුර පරිවාස මධ්‍යස්ථානය වෙත යොමුකර ඇත. ප්‍රධාන සැකකරු කුකුල් චමින්දගේ අනියම් බිරින්දෑවරුන් දෙදෙනාට නවාතැන් ලබාදුන් පුද්ගලයකු සහ පහරදීමට අනුබල දීමේ චෝදනාව යටතේ තවත් කාන්තාවක්ද ලබන 19 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහෙස්ත්‍රාත් කසුන් කාංචන දසනායක මහතා නියෝග කරනු ලැබුවා.
අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් ළඟ විතරයි දරුවකුට උපරිම ආරක්ෂාව තියෙන්නෙ. ඒත් මේ අසරණ දරු පැටියට ඒ තාත්තා පහරදෙන ආකාරය ඉතාමත් ශෝචනීයයි.
දරුවට කොච්චර පහර දුන්නත් කොහෙ කියලා යන්නද? මවුපියන් ගැහැනු දරුවෙක් හදන්නේ මලක් හදනවා වගේ ආදරය ආරක්ෂාව දීලා. තමන්ගේ දරුවාට දෙන කෲර වධහිංසා අනුමත කරමින් සිටි ඒ අම්මාට දරුවාට වැඩිය කාමාශාව ඉහවහා ගිහින්. අම්මා කියන වචනයටත් ඇය ගෙන දුන්නේ නිගාවක්.
කෙසේ වෙතත් මෙම වීඩියෝව සමාජගත කරපු සැකකරුගේ පුතාට අපි ස්තුතිවන්ත විය යුතුයි. ඔහු නිසයි මේ සිදුවීම රටම දැනගත්තේ. ඒ වෙනුවෙන් එම දරුවාට පොලිස්පතිවරයාගේ නියෝග මත විශේෂ ත්‍යාගයක් පිරිනැමීමට නියමිත බවද වාර්තා වෙනවා.
මේ සමාජයේ සිදුවූ එකම ළමා හිංසනය මෙය නොවේ. සමාජයට හොරෙන් ඕනෑ තරම් තවත් මෙවැනි පහරදීම්, හිංසා කිරීම් සිදුවෙනවා ඇති. ඔබත් ළමා හිංසනයන් දුටුවොත් 1929 දුරකතන අංකයෙන් ළමා හිංසන කාර්යාංශය අමතන්න. නැතහොත් 109 / 108 /119/ 0112444444 යන හදිසි ඇමතුම් අංකයට තොරතුරු ලබාදීමට ඔබට හැකියි.
නීතිඥ ලක්ෂිත දිල්රුක්ෂණ මහතා මේ පහරදීම පිළිබඳ සමාජ මාධ්‍යයේ පළකර තිබුණේ මෙවැනි අදහසක්.
‘බැලූ බැල්මටම එම කුඩා දරුවාගේ පියා හෝ භාරකරු ලෙස එම තැනැත්තා පෙනෙන්නට ඇති අතර එලෙස මවුපියන්ට හෝ භාරකරුවන්ට තම දරුවන්ට පහර දිය හැකිද යන්න ප්‍රශ්නයක්. ඊට දිය හැකි පිළිතුර නම් කිසිසේත්ම එය නීතියට අනුකූල ක්‍රියාවක් නොවන බවයි.
මෙරට දරුවන්ගේ ස්වභාවික භාරකරුවන් මවුපියන් වුවද, ශ්‍රී ලංකාවේ දරුවන්ගේ ඉහළම භාරකරු වන්නේ දිසා අධිකරණයයි. ඒ අනුව මෙරට දරුවන් සම්බන්ධයෙන් ඕනෑම තීරණයක් ගැනීමේ පැහැදිලි නෛතික බලයක් දිසා අධිකරණයට ඇති අතර, ප්‍රායෝගික වශයෙන් භාරකාර නඩු වැනි අවස්ථා ඊට උදාහරණ වෙනවා. ඒ අනුව දරුවන් බිහිකළ පමණින් ඒ අය සම්බන්ධයෙන් තමන්ට රිසි පරිදි කටයුතු කිරීමට සීමා පනවා ඇති අතර, එය බුද්ධිමත් තීරණයක් ලෙස හුවාදැක්විය හැකි වන්නේ මෙවැනි දරුවන්ට සිදුවන හිරිහැරවලදීයි.
බොහෝ දෙනා මතුකරන අනෙක් ප්‍රශ්නය වන්නේ මෙම දරුවාට පියා හෝ මෙහි සඳහන් පුද්ගලයා විසින් පහර දෙන වීඩියෝව සාක්ෂියක් ලෙස යොදාගත හැකිද යන්නයි.
1995 අංක 14 දරන සාක්ෂි විශේෂ විධි විධාන පනත අනුව මෙම වීඩියෝව සාක්ෂියක් ලෙස පැහැදිලිවම යොදාගැනීමට හැකියාවක් ඇති අතර, 4(1) වගන්තිය සහ ඒ යටතේ සෙසු උප වගන්ති අනුව මෙය සංස්කරණය නොකරන ලද්දක් බව ඔප්පු කළ යුතු වෙනවා.’
මනෝ උපදේශක ෂෙනාලි පෙරේරාද මෙම සිදුවීමට අදාළ මනෝවිද්‍යාත්මක පැතිකඩ සමාජ මාධ්‍යයේ පළකර තිබුණේ මේ ආකාරයටයි.
‘මේ ෆොටෝ එක දකින හැම වතාවකම මම කල්පනා කරනවා මේ මනුස්සයව අත්අඩංගුවට අරගෙන, යම් දඬුවමක් දීලා එළියට එව්වම ඒකෙන් මේ දරුවගෙ ආරක්ෂාව තහවුරු වෙයිද කියලා. නමුත් එහෙම නොවෙන බව අපි හැමෝම දන්නවා. මේ දරුවා පරිවාස බාරයට අරන් කොහෙට හරි දැම්මොත්, ඒකත් උත්තරයක් නොවන බව අපි දන්නවා.
මේ පහරදෙන මනුස්සයට යම් දඬුවමක් දීමෙන් විතරක් එයාව නිවැරදි කරන්න බැහැ කියන එකයි ඇත්ත. මේ මනුස්සයා එක්ක ඉඳගෙන, මේ තත්ත්වයට පත්වෙන්න බලපාපු හේතුව සහ වෙනස් වෙන්න වුවමනා කරන පාර හොයාගන්න එයාට වෘත්තීමය චිකිත්සක සහාය අවශ්‍යයයි. තමන් ඉදිරියේ ඉන්න වඩාත් දුර්වලම කෙනාට මේ තරම් පහර දෙන්න කිසි කෙනෙක් නිකරුණේ පෙලඹෙන්නෙ නැහැ. අපි හුඟක් අය මේ මොහොතේ විශ්වාස කරනවා අපිට කවදාවත් දරුවෙක්ට මෙහෙම ගහන්න තියා හිතන්නවත් බැරි බව. ඒ විශ්වාසය එන්නෙ කොහෙන්ද? ඒ විශ්වාසය ගොඩනැගෙන්න බලපාන හේතු රාශියක් තියෙනවා. මොනවා හෝ හේතුවකට මේ නරුමයෙක් වගේ හැසිරෙන මනුස්සයට අපිට ලැබුණු ආදරය, රැකවරණය, තමන්ව නිවැරදි කරගන්න අවස්ථාවන්, දැනුම, ධර්මය, යහගුණ ගැන අදහස, හිංසනයේ බරපතළකම ගැන දැනුම ලැබිලා නැහැ. එහෙම නැත්තම් ඒක එයාගෙන් උදුරගෙන. එයාව මාස හයක් හිරේ තියලා, දඩේකුත් ගහලා එළියට දැම්මම, එයා නිවැරදි වෙන්නෙ නැහැ. සමහර විට දරුවා ගැන දැනෙන අසීමාන්තික කේන්තියකින් ජීවිතේ ඉතුරු කොටස පටන්ගන්නත් ඉඩ තියෙනවා.
දරුවව මේ අයගෙන් අයින් කරලා වෙන ආරක්ෂිතයි කියලා හිතෙන තැනකට දැම්මා කියලා අනුමාන කරන්න. මේ දරුවා එයාගෙ කුඩා ජීවිතේ මෙච්චර කාලයක් මුහුණ දීපු අනේක විධ දුක් ගැහැට, ශාරිරීක හිංසනය, අත් හැර දැමීම, අනාරක්ෂිතභාවය, ප්‍රචණ්ඩත්වය වගේ සියල්ල අතුරුදන් වෙලා එයා අලුත් දරුවෙක් වේවිද? එයා මේ මුහුණදීපු අසීමාන්තික දුක එයාගෙ හැසිරීම ඇතුළෙ මතු නොවී තියේවිද?
නොකඩවා ගුටිකාපු නිසා සන්නිවේදනය කරන්න හිංසනය තෝරගන්න පොඩි දරුවෙක් ඉතුරු නොවෙයිද? හීනෙන් බයවෙන, නින්දෙන් මුත්‍රා පිටවෙන, කා දිහාවත් කෙළින් නොබලන, බයෙන් ඉන්න, සැකෙන් ඉන්න, පාඩම් ඔළුවට නොයන… මේ වගේ ලැයිස්තුවක් මට ලියන්න පුළුවන්. ගහපු මිනිහව හිරේ දැම්මම මේ ටිකට උත්තර ලැබෙයිද? ඒ නිසයි පොලීසියේ වගේම ළමා මනෝ වෛද්‍යවරුන්ගෙත්, අවබෝධයක් සහිත වැඩිහිටියන්ගෙත් මැදිහත්වීම අපිට වුවමනා….’
මේ අමානුෂික පහරදීම හෙට ඔයාගේ පුතාට දුවට නංගීට මල්ලීට වෙන්න පුළුවන්. දරුවන්ට හොඳින් සලකන්න බැරි නම් ළමයි හදන්න එපා කියලයි අපි ඉල්ලන්නේ.

නිලන්ති රේණුකා









