ඉවරයි කිව්වට ඉවරම නෑ : තව තියෙනවා…
‘වාහනයක් ගමුද?
ෆිනෑන්ස් එකක් දාමුද?
අඩු රේට් දාලා දෙන්නම්….’(Sri Lanka Latest News)
කියන්න කට්ටිය ඕනෙ තරම්.
ඒත්…
මොකක්ද ඒත්…?
කියවලම බලන්නකො.
ෆිනෑන්ස් කරගත්තු වාහනවල යම් මුදල් ගෙවීමක් අතපසු වෙලා තියෙනවා නම් ඒ සම්බන්ධව ක්‍රියා කරන නීතිමය ක්‍රමවේදය සහ නීතිමය ක්‍රමවේදයේ අනීතික ස්වභාවය අතර යම් සබඳතාවක් තියෙනවා. දැන් මේක ලේසියෙන් තේරුම් අරගත්තොත් වාහනයක් අරගන්නේ පුද්ගලයෙක් ෆිනෑන්ස් වාරික ප්‍රමාණය සම්බන්ධව පොරොන්දුවක් මත. ඒ ෆිනෑන්ස් වාරික ප්‍රමාණය මාසයේ නිශ්චිත කාලයක් ඇතුළත ගෙවා දැමිය යුතුයි. ඒ කියන්නේ ඒ සඳහා තියෙන මුදල. එහෙම ඒ මුදල නිශ්චිත කාලයක් තුළ ගෙවාගන්න බැරි වෙනවා නම් ඔවුන්ට යම් සහන කාලයක් සහ සහන පිළිවෙළක් තියෙනවා. ඒ පිළිවෙළ ඔහු උල්ලංඝනය කරනවා නම් අදාළ වාහනය නැවත ෆිනෑන්ස් සමාගම වෙත පවරාගැනීමේ ක්‍රමවේදයක් තියෙනවා.
ඒකට හේතුව වෙන්නේ හුඟක් වෙලාවට වාහනයක පරම අයිතිකරු විදියට වාහනේ පොතේ නම සඳහන් වෙන්නේ ෆිනෑන්ස් ලබාදෙන ආයතනයට නිසා. මේක පහුගිය කාලේ ක්‍රියාත්මක වුණා පැහැදිලිවම. එතැනදී වාහනය වාහනයේ හිමිකරුගෙන් බලහත්කාරයෙන් රැගෙන යෑමට සීසර්ලා යොදවනවා. මේ සීසර්ලා සඳහා බලපත්‍ර තියෙනවා. ඒ වගේම සීසින් ඕඩර් එකක් ලබාදීම සිද්ධ කළ යුතුයි. ඒ සීසින් ඕඩර් එක ලබාගත්තට පස්සේ පොලිසියේ පැමිණිල්ලකුත් දාලා ඇන්ටි්ර කොපියයි, සීසින් ඕඩර් එකයි දෙකම අරගෙන ගිහිල් වාහනය බොහොම සුහදව අරගෙන එන්න පුළුවන්. සමහර වෙලාවට මේක සුහදව ගන්න ගියාට සුහදව වාහනය ලබා නොදෙන නිසා ඒක සුහද බව නැතිවෙලා ගිහිල්ලා ගහලා බැණලා තර්ජනය කරලා ගන්නා අවස්ථාත් තියෙනවා.
මේ සීසර්ලා කියන අය කොහොමත් චණ්ඩි කියන එක සමාජයේ තියෙන මතයක්. සීසර්ලා ලෙස තෝරාගන්නෙත් සමාජය තුළ චණ්ඩි බලයක් තියෙන අය. මේක සාමාන්‍යයෙන් ලංකාව ඇතුළේ සිද්ධ වුණා මෑතක් වන තුරු. හැබැයි කොවිඩ් වසංගත කාලෙත් එක්ක මිනිස්සුන්ට ෆිනෑන්ස් ගෙවාගන්න බැරුව ගියා. ව්‍යාපාර නැතිවෙලා ගියා. හම්බ කරගන්න බැරුව ගියා. ඒ නිසා ඊට යම් සහනයක් නිර්මාණය වුණා. මේ ගැන සාකච්ඡා වෙද්දී රට ඇතුළේ අධිකරණමය කාරණාව දක්වා ගිහිල්ලා අවසානයේ රජය මගින් නිවේදනය කළා මේ වාහන රැගෙන යෑම තාවකාලිකව නවත්තන්න ඕනේ, ෆිනෑන්ස් එක ගෙවීම අපහසු නම්, ඒ සඳහා යම් සහනයක් ලබාදිය යුතුයි වගේ දේවල් ටිකක්.
හැබැයි මේවා මේ විදියට තියෙනකොට සීසර්ලා වැඩ පටන් අරගත්තා කාටවත් නොකියාම රහසෙන්ම. මේක මේ කාලය තුළ අපි දකින දෙයක්. පහුගිය දවසක එක්තරා ස්ථානයකදී ත්‍රිරෝද රථ රියැදුරෙක් තමන්ගේ ත්‍රිරෝද රථය එක අතකින් අල්ලගෙන, ඒ ත්‍රිරෝද රථය පැහැරගෙන යන්න ආපු සීසර්ලා කියන අයත් එක්ක ගහබැණ ගන්නා ආකාරයත්, අහල පහළ මිනිස්සු ඇවිල්ලා සීසර්ලාව ගහලා එළවන ආකාරයත්, බලාගමු, උඹ පරිස්සමට ඉඳපන් කියලා තර්ජනය කරන ආකාරයත් අපි දැක්කා.
එතකොට මේ ත්‍රිරෝද රථයේ හිමිකරු කියනවා මම රුපියල් ලක්ෂයක් ඇරියස් තියෙනවා, මම ඒක ඉක්නින්ම නැවත දාන්න බලාපොරොත්තුවෙන් හිටියා, මම එහෙම කිව්වාම මට ගැහුවා කියලා. සීසර්ලට පුළුවන්ද ගහන්න? ඒකත් දැන් ප්‍රශ්නයක්. අපි දැක්කා පහුගිය කාලේ නුගේගොඩදී සීසර්ලගේ පහරදීමෙන් පුද්ගලයෙක් මියයෑමේ සිද්ධියක්. මේවා දිගින් දිගටම සිද්ධ වෙමින් තියෙනවා.
සීසර්ලා විසින් වාහන පැහැරගත් අවස්ථා එකක් දෙකක් තුනක් නෙවෙයි හය හතක්ම අපට අහන්න දකින්න ලැබෙනවා. මේ සම්බන්ධව තියෙන සමහර නිවේදන ඉරලා දාලා මේක ගැන ප්‍රශ්න කරන තත්ත්වයක් නිර්මාණය වෙලා තියෙන තත්ත්වයකුත් අපි දැක්කා. අපට අහන්න තියෙන්නේ යම් රජයක් විසින් ලබාගන්නා තීරණයක් බලාත්මක වෙන්නේ මොන පදනම යටතේද? එහෙම තීරණයක් බලාත්මක නොවන බව රජය දැනුම් දිය යුතු නැතිද? යම් තීරණයක් බලාත්මක වෙලා කලින් තිබුණු තීරණය වෙනස් වෙනවා නම් ඒ වෙනස් වුණේ කොහොමද, ඒ වෙනස් වුණේ ඇයි? ඒක වෙන්නේ කවදා ඉඳන්ද කියන එක ගැන ජනතාව දැනුවත් විය යුතුයි. එහෙම නැතුව හිතුවක්කාර විදියට දේවල් කරන්න ගියාම තමයි රටක විශාල ප්‍රශ්න ඇතිවෙන්නේ. අපි දකිනවා මේ කාලෙත් එහෙම වෙනවා. මේ ෆිනෑන්ස් සිද්ධිය එහෙම එකක්. මේ වගේ සිද්ධි නොවන තැනට රට පත් කරන්නට වගකිව යුත්තන් බලාගත යුතුයි.
ඇත්තටම මේ සීසර්ලා සම්බන්ධව මොන තරම් නීති පනවලා තිබුණත් මහව ත්‍රිරෝද රථ රියැදුරකුට පහරදුන්න සිද්ධිය, ඇල්පිටියේදී පොලිස් නිලධාරියකුට පහරදීපු සිද්ධිය මේ සිද්ධි දෙකම මේ වෙද්දී සිදුවෙලා ඉවරයි. මේ විදියට වාහන පැහැරගෙන යන්න උත්සාහ කරපු අවස්ථා කිහිපයක්ම විවිධ අවස්ථාවලදී වාර්තා වෙලා තියෙනවා. මේ සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානයටද පැමිණිල්ලක් කරන්න මේ අය යම් පිරිසක් කටයුතු කරලා තිබුණත්, තාමත් මේ තත්ත්වය සමථයකට පත්වෙලා නැති බව තමයි බැලූ බැල්මට පේන්න තියෙන්නේ.
මේ සම්බන්ධව පොලිසියටත් දරුණු චෝදනාවක් එල්ල වෙලා තියෙනවා. පොලිසිය අත්අඩංගුවට ගන්නේ නෑ, පොලිසියට මේකෙන් කීයක් හරි යනවා, පොලිසිය මේකට සහාය දක්වනවා, ඒ වගේම සාමය කඩවීම සම්බන්ධව නිරීක්ෂණය කරන්න යන පොලිස් නිලධාරීන් පහර දෙද්දිත් කට පියාගෙන බලාගෙන ඉන්නවා වගේ ප්‍රශ්න ගොඩක් තියෙනවා. අපි දන්නෙ නෑ මේවායෙ ඇත්ත නැත්ත. කොහොම නමුත් මේ සිද්ධ වෙන දේවල් සම්බන්ධව අපි පොලිසියෙන් අහන්නේ ඇත්තටම මේකෙ ගැටලුවක් නැද්ද? තියෙනවා නම් ඒ ගැටලුව ගැන ඔබ නොහිතන්නේ ඇයි? මේක හොයන්නේ නැත්තේ ඇයි? ප්‍රශ්න සාකච්ඡා නොකරන්නේ ඇයි? ඒක හිතන්න ඕනෙ කාරණයක්.
ජීවන පහන් තිළිණ










