තමා හැරගොස් සිටින බිරිය හා අනියම් සැමියා ඝාතනය කිරීම සඳහා කිළිනොච්චිය පලෙයි යුද හමුදා කදවුරෙන් ටී-56 වර්ගයේ ගිනි අවියක් හොරෙන් ගෙන ගිය යුද හමුදා සෙබළෙකු මාන්කුලමේදී යුද හමුදා පොලීසිය විසින් ඊයේ (4) අත්අඩංගුවට ගෙන තිබේ. (Sri Lanka Latest News)
කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි මෙම යුද හමුදා සෙබලා නිවාඩු ලබාගෙන සිය නිවස වෙත යන අවස්ථාවේදී ටී-56 වර්ගයේ ගිනි අවියක් හා ජීව පතරොම් 120ක් අඩංගු බහාලුම් හතරක් රැගෙන ගොස් තිබේ.
ගබඩාවේ එම ගිනි අවිය නොමැති බව දුටු හමුදා නිලධාරීන් වහාම නිවාඩු ලබාගෙන ගිය පිරිස සොයා යමින් සිටියදී මෙම යුද හමුදා සෙබලා දුම්රියකට ගොඩවී සිටි අතර ඔහුගේ ගමන් මල්ල පරීක්ෂා කිරීමේදී ගිනි අවිය හා පතරොම් හමු වී ඇත.
යුද හමුදා පොලීසිය ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී ඔහු පවසා ඇත්තේ සිය බිරිද ඔහුව හැරගොස් මුදල් පොළියට දෙන අයෙකු සමග ජීවත් වන බවත්, බිරිය හා ඔහුව ඝාතනය කිරීම සඳහා මෙම අවිය රැගෙන ගිය බවත්ය.
අත්අඩංගුවට ගත් මෙම යුද හමුදා සෙබලා පලෙයි පොලීසියට බාර දි ඇති අතර, පලෙයි පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වාගෙන යයි.
lankasara










