මේ කතාව කියවලා ආස්වාදයක් ගන්න…
ලෝකයේ බොහෝ රටවල සිටින අහිංසක ජනතාවගේ ජනතා මුදල් කොල්ලකන කෛරාටික පාහර දේශපාලකයන් ගැන අපට නිරන්තරයෙන් අසන්නට ලැබී ඇත. ශ්‍රී ලංකාවද මෙම රටවල් ගොන්න අතරට ප්‍රධාන වශයෙන් අයත් වෙයි. එසේ වන්නේ මෙරට අමනෝඥ දේශපාලකයන් තරම් ජනතා මුදල් කොල්ලකෑ වෙනත් දේශපාලකයන් ඉහත රටවල සිටින්නේදැයි විටෙක දැනෙන සැකය නිසාවෙනි.(Sri Lanka Latest News)
අපේ රටේ මෙම දේශපාලනික පල් හොරු තවමත් මේ කියන මොහොතේදීත් බොහෝ යහතින් වැජඹී සිටින්නේය. ඔවුන් තවත් දේශපාලකයන් ලවා කොස් ඇට බාවමින් එම අකාර්යක්ෂම සුදු අලි දේශපාලකයන්ගේ තුරුලටම වී සිටින ආකාරයද පැහැදිලිවම දක්නට හැකිය. අපේ රටේ ජනතා මුදල් රුපියල් බිලියන ගණනින් කොල්ලකෑ මෙම දේශපාලකයන් මෙතරම් කිසිදු අතුරු ආන්තරාවක් නැතිව සිටින ආකාරයෙන් ජනතාවට හැඟී යන එකම දෙය නම් මෙරට නීතියක් හෝ අධිකරණයක් හෝ තිබේද යන ප්‍රශ්නය වෙයි. එය මෙරට ජනතාව නිරන්තරයෙන්ම දිවා රාත්‍රී කතා කරන විෂයක්ද වී හමාරය. එසේම පැනයක්ද වී හමාරය.
අද ලෝකයේ බොහෝ රටවලින් මෙවැනි ජනතා මුදල් කාබාසිනියා කරන දේශපාලකයන් ගැන බහුතරයක්ම අසන්නට ලැබෙන්නේ ආසියාවෙන් සහ අප්‍රිකාවෙන්ය. යුරෝපයේ ධනවත් රටවලින් හෝ අරාබිකරයේ රටවලින් හෝ එවැනි පුවත් අසන්නට ලැබෙන්නේ අල්ප වශයෙනි. සත්‍ය තත්ත්වය එය වෙයි.
මෙසේ ජනතා මුදල් උලාකමින් මඩිගසා ගන්නා දේශපාලකයන්ගේ වගතුගකින් මෙම ලිපිය ආරම්භ කළේ ඇයි? එයට සැබැවින්ම හේතු වූයේ පසුගිය කාලයක් පුරා ලෝකයේ රටවල් කිහිපයකම සිටි (ශ්‍රී ලංකාව හැර) මෙවැනි දේශපාලකයන් ගණනාවකටම එරෙහිව නීතිය ක්‍රියාත්මක වූ අපූරු ආකාරය ගැන ඇසුණු විටය. පසුගිය සතියේ සිංගප්පූරුවේදී එම වගතුග අසන්නට ලැබුණේ එරට රජයේ ඇමැතිවරුන් සහ ධන කුවේරයන් පවා දූෂණ වංචා චෝදනාවලට අත්අඩංගුවට ගැනීම සහ සිරගත කිරීම සිදුවූ ආකාරය අසන්නට ලැබුණු නිසාය.
ඉන් පෙර ජපානය, පාකිස්තානය, මැලේසියාව සහ බංග්ලාදේශයෙන්ද එවැනි සිදුවීම් අසන්නට ලැබිණි. දැන් එසේ නම් මෙවැනි වගතුගක් අලුතින්ම ඇසෙන්නේ කුමන රාජ්‍යයකින්ද? මෙම සුවිශේෂ කතාන්දරය මෙයට දින කිහිපයකට පෙරදී අපට අසන්නට ලැබෙන්නේ වියට්නාමයෙනි. මෙය දේශපාලකයන් විසින් ජනතා මුදල් කොල්ලකෑමේ සිදුවීම්වලින් අතිශය උච්ච ස්ථානයක තැබිය හැකි වගතුගක් ලෙස සැලකිය හැකිය. තවද එය මේ වන විට ලෝක වාර්තාවක්ද එක් කරන ලද සිදුවීමක් ලෙස විවිධ පාර්ශ්ව විසින් පැහැදිලිව අර්ථකථනය කර ඇත.
කුමක්ද මෙම ලෝක වාර්තාගත කතාන්දරය? මෙයට දින කිහිපයකට පෙර ආසියාතික රටක් වූ වියට්නාමයෙන් වාර්තා වූයේ එරට ජනතා ධනය කොල්ලකෑ එරට පුද්ගලයන් 54 දෙනකුට එක්වරම එකම මොහොතේදී එරට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඉතා දරුණු විවිධ දඬුවම් නියම කිරීමය. මේ වගතුග කුමක්ද?
පසුගිය කොවිඩ් වසංගත සමය ආශ්‍රිත කරගෙන මෙම සුවිශාල දූෂණ වංචාව වියට්නාමය තුළ සිදුව ඇත. එනම් එම සමයේදී වියට්නාමයෙන් පිටත වෙනත් විදේශ රටවල වාසය කරන වියට්නාම ජාතිකයන් නැවත මවු රටට ගෙන්වා ගැනීම සඳහා විශාල සැලසුමක් ක්‍රියාත්මක වී තිබිණි. එහිදී බොහෝ විට කොවිඩ් වසංගතය අතිශය උග්‍ර වූ යුරෝපයේ බටහිර රටවල සිටි වියට්නාම වැසියන් දහස් ගණනක් වසංගතයෙන් ආරක්ෂා වීම සඳහා නැවත තම මවු රටට පැමිණීමට දැඩි උනන්දුවකින් කටයුතු කළහ. එහෙත් තත්ත්වය උච්ච වූ එම සමයේදී රට රටවල් අතර සාමාන්‍ය ගුවන් සේවා කිසිවක් ක්‍රියාත්මක නොවීය.
එහිදී ක්‍රියාත්මක වූයේ සැලසුම් කරන ලද එමෙන්ම වෙන් කරවා ගන්නා ලද ‘චාටර්’ ගුවන් සේවාවන් පමණක් විය. ඒ අනුව වෙනත් රටවල සිටි වියට්නාම වැසියන් විශාල පිරිසක් වියට්නාම රජයේ මෙහෙයවීමෙන් ‘චාටර්’ ගුවන් යානා මගින් වියට්නාමයට ගෙන්වා ගන්නා ලදී. මෙහිදී රජය මෙම ගුවන් ගමන් සඳහා අවසර ලබාදී ඒවා සංවිධාන කළද ඉහත වියට්නාම වැසියන්ට එම ගුවන්ගමන් සඳහා අවශ්‍ය නිසි ගුවන් ගමන් ගාස්තු ගෙවීමට සිදුවිය.
ඒ අනුව එම කාර්යය සඳහා එකල ඩොලර් මිලියන ගණනක සුවිශාල වියදමක් එම වැසියන්ට දරන්නට සිදුවිය. ජනතාව තම කැමැත්තෙන් එම ගුවන් ගමන් සඳහා මුදල් වැය කළ අතර, විවිධ ගුවන් සේවා සමාගම් රැසක් එහිදී වියට්නාම රජය සමග සම්බන්ධ වී එම මෙහෙයුම සාර්ථක ලෙස ක්‍රියාත්මක කළේය. මෙම මෙහෙයුම සඳහා එකල ප්‍රධාන වී කටයුතු කළේ වියට්නාම් රජයේ අමාත්‍යවරුන් කිහිප දෙනකු, රාජ්‍ය නිලධාරීන් රැසක් සහ විවිධ ධනවත් ව්‍යාපාරිකයන් පිරිසකි. එකල කිසිදු බාධාවක් හෝ වෙනත් ප්‍රශ්යක් නොමැතිව මෙම විශාල මෙහෙයුම සිදුකරනු ලැබුවේය. ඒ අනුව එවැනි ගුවන්වාර 800ක් පමණ ක්‍රියාත්මකව තිබිණි.
කාලය කෙමෙන් ගෙවී ගියේය. 2022 වසරේ අගෝස්තු මාසයේදී ඉහත සිදුවීම්වලට අදාළව වියට්නාමය තුළ මහත් අර්බුදයක් ඇතිවන්නට පටන් ගත්තේය. එනම් එරට තියෙන රාජ්‍ය දූෂණ විරෝධී අංශ විසින් මෙම සිදුවීම්වලට අදාළ විමර්ශනයන් සිදුකරන්නට ගත්තේය. එකල කොවිඩ් වසංගත සමයේ නැවත මවුරටට පැමිණි වියට්නාම වැසියන් විශාල ප්‍රමාණයක් එරට දූෂණ විරෝධී අංශ වෙත පැමිණිලි කර තිබුණේ තමන්ගෙන් අතිශය විශාල මුදලක් එම ගුවන් ගමන් සඳහා රාජ්‍ය නිලධාරීන් විසින් ලබාගෙන තිබුණු බවය. මේ අනුව මෙම සිදුවීම්වලට අදාළව වියට්නාමයේ දූෂණ විරෝධී දෙපාර්තමේන්තුව ඉතා ගැඹුරින් විමර්ශනයක් සිදුකරන්නට ගත්තේය. එහිදී හෙළි වන්නට ගත්තේ මෙම මහා වංචාව සඳහා රාජ්‍ය බලධාරීන් මෙන්ම එරට සිටින සුපිරි ධනවතුන් කිහිප දෙනකුද සම්බන්ධ බවය.
2022 මැද භාගයේදී ආරම්භ කරන ලද එම විමර්ශනය හරහා පෙනී ගියේ එවක වියට්නාමයේ සිටි ජනාධිපතිවරයා සහ නියෝජ්‍ය අගමැතිවරුන් දෙදෙනකුගේ අනුදැනුම මත තවත් රාජ්‍ය බලධාරීන් විශාල ප්‍රමාණයක් මෙම මහා වංචාවට සම්බන්ධ බවය. මේ අනුව එරට විපක්ෂය සහ තවත් පාර්ශ්ව කිහිපයක්ම තදබල ලෙස ප්‍රකාශ කර සිටියේ එවක ජනාධිපතිව සිටි ගුයෙන් සුවාන් පුක් (Nguyen Xuan Phuc) සහ නියෝජ්‍ය අගමැතිවරුන් දෙදෙනකු මෙන්ම එවක සිටි සෞඛ්‍ය ඇමැතිවරයාටද වහාම ඉල්ලා අස්වන ලෙසටය.
එමෙන්ම විපක්ෂය ගෙන ආ යෝජනාවක්ද පාර්ලිමේන්තුවේදී සම්මත කරගත්තේය. අවසානයේදී දින ගණනාවක් ඇතුළත මෙම රාජ්‍ය නායකයන්ට ඉල්ලා අස්වන්නට සිදුවිය. එතැනින් සිද්ධිය අවසාන වූයේ නැත. රාජ්‍ය දූෂණ විමර්ශන අංශ එතැන් සිට විවිධ පුද්ගලයන් 150කට අදාළව ඉතා ගැඹුරු විමර්ශනයක් සිදුකරන්නට ගත්තේය. මෙම පුළුල් විමර්ශනය වසරකට ආසන්න කාලයක් බොහෝ සංකීර්ණව සිදුකෙරුණේය. අද එසේ නම් එළඹ ඇත්තේ එම විමර්ශනයේ හැරවුම් ලක්ෂ්‍යය සහ සංක්‍රාන්තියයි.
ඒ අනුව මෙයට දින කිහිපයකට ඉහතදී මෙම මහා දූෂණ විරෝධී මෙහෙයුමේ ප්‍රතිඵල එළිදක්වන්නට ගත්තේය. පසුගිය වසරේ කාලයක් තුළදී මෙම සිදුවීම්වලට අදාළව විමර්ශනයන් සිදුකෙරුණු අතර, ඉන් පසුව වියට්නාමයේ දූෂණ විරෝධී අංශ සහ නීතිමය අංශ විසින් මෙම චූදිතයන්ට එරෙහිව නඩු පවරා තිබිණි. පුද්ගලයන් 100කට ආසන්න ප්‍රමාණයකට මෙසේ නඩු පවරනු ලැබීය.
පසුගියදා වියට්නාමයේ ශ්‍රේෂ්ඨාධිකරණය මෙම ඓතිහාසික නඩු තීන්දුව ලබාදුන්නේය. මුළු මහත් ලෝකය පුරාම මහත් ආන්දෝලනයක් ඇතිකළ මෙම නඩු තීන්දුවෙන් පුද්ගලයන් 54 දෙනාටම අදාළ දඬුවම් එකම නඩු තීන්දුවකින් ප්‍රකාශයට පත්කර තිබීමය. තවද මෙම නඩුවේ ප්‍රධාතම චූදිතයන්ට අතිශය දරුණු සිර දඬුවම්ද නියම කර තිබීම සුවිශේෂ වගතුගක් විය. මෙම ප්‍රධානතම චූදිතයන් ගැන වෙන වෙනම සොයා බලමු. දඬුවම් නියම වූ පුද්ගලයන් 54 දෙනාගෙන් 25 දෙනකුම රාජ්‍ය බලධාරීන්ය. ඉතිරි පිරිසට ව්‍යාපාරිකයන් සහ තවත් අතරමැදියන් පිරිසක්ද අයත් වූහ. දඬුවම් නියම කෙරුණු ප්‍රධාන චූදිතයන් මෙසේය.
Anb Dung (ආන් ඩුන්ග්) – වියට්නාමයේ හිටපු නියෝජ්‍ය විදේශ ඇමැතිවරයාය. මොහුට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය වසර 16ක දීර්ඝ සිර දඬුවමක් නියම කරනු ලැබීය. මොහු වාර ගණනාවකදී අල්ලස් වශයෙන් ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 09ක පමණ මුදලක් ලබාගෙන තිබිණි. මෙලෙස එවැනි මුදලක් තමා ලබාගත් බවට ඔහු අධිකරණයේදී පිළිගෙන තිබිණි.
Vu Hong Nam (වූ හොන්ග් නාම්) – මොහුද වියට්නාමයේ හිටපු නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයකු වන අතර, ජපානයේ හිටපු වියට්නාම තානාපතිවරයාය. මොහුද ඩොලර් ලක්ෂ කිහිපයක අල්ලස් වරින් වර ලබාගෙන තිබුණු බවට ඔප්පු වූ අතර, ඔහුට මාස 30ක සිර දඬුවමක් නියම කෙරිණි.
Tran Viet Thai (ට්‍රාන් වීට් තායි) – මොහු මැලේසියාවේ හිටපු වියට්නාම තානාපතිවරයා වෙයි. අධිකරණය මොහුට වසර 04ක සිර දඬුවමක් නියම කළේය. කොවිඩ් සමයේදී ගුවන් ගමන් සංවිධානය සඳහා මෙසේ අල්ලස් ලබාගත් බවට ඔහු අධිකරණයේදී පිළිගෙන තිබිණි.
Huang Deaw Mo (හුවැන්ග් ඩියාව් මෝ) – වියට්නාමයේ සිටින ධනවත් ව්‍යාපාරික කාන්තාවකි. ඇය කොවිඩ් සමයේ ගුවන් ගමන් සංවිධානය සිදුකිරීම සඳහා අවස්ථාව ලබාගැනීමට ඉහත ප්‍රධාන පෙළේ චූදිතයන්ට අල්ලස් ලබාදුන් කාන්තාවක් වෙයි. ඇයට එරෙහිව අධිකරණය වසර 07ක දීර්ඝ සිර දඬුවමක් පැනවූයේය. ඇය ඉහත රාජ්‍ය බලවතුන්ට ඇමෙරිකානු ඩොලර් මිලියන 10කට අධික මුදලක් අල්ලස් වශයෙන් ලබා දී ඇත. මෙහිදී පෙනී යන සුවිශේෂ කරුණ වන්නේ අල්ලස් ලබාගත් පුද්ගලයන් පමණක් නොව අල්ලස් ලබාදුන් පුද්ගලයන්ටද අධිකරණය දැඩි දඬුවම් පැමිණවීමය.
මේ ආකාරයට මෙහි එම සියලු පුද්ගලයන්ගේ දඬුවම් ලියා තබන්නට ඉඩක් නැත. ප්‍රධානතම චූදිතයන් පමණක් එසේ ලියා තැබුවෙමි. කෙසේ වෙතත් මෙම ඓතිහාසික නඩු තීන්දුවේ විශේෂත්වය වන්නේ ඉහත චූදිතයන් 54 දෙනාටම යම් කාලයන්ට අදාළව පූර්ණ සිර දඬුවම් නියම වී තිබීමය. එය ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චය මඬුල්ල ගෙන ඇති ඉතා දරදඬු ප්‍රතිපත්තියකි. සැබැවින්ම එය නීතිය අකුරටම ක්‍රියාත්මක කිරීමකි.
මෙම චූදිතයන් 54 දෙනාගෙන් රාජ්‍ය බලධාරීන් වන 25 දෙනකු පමණක් ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 75කට ආසන්න ප්‍රමාණයක අල්ලස් ලබාගෙන තිබිණි. මෙම මුදල ශ්‍රී ලංකා රුපියල්වලින් නම් මිලියන 25,000ක් පමණ වෙයි. මෙම මුදල වියට්නාමයේ මුදල් ඒකකය වන ඩොන්ග් (Dong) වලට අනුව ඩොන්ග් බිලියන 175ක් වෙයි. අධිකරණයේදී එක්තරා වියට්නාම ජාතික මවක් ප්‍රකාශ කර තිබුණේ යුරෝපයේ අධ්‍යාපනය ලබමින් සිටි තම දියණිය කොවිඩ් සමයේදී ගෙන්වා ගැනීමට රාජ්‍ය බලධාරියකු තමන්ගෙන් ඇමෙරිකානු ඩොලර් 12,000ක් වැනි විශාල මුදලක් ලබාගත් බවයි.
මෙම ඓතිහාසික, වාර්තාගත කතාන්දරයේදී හෙළිවන තවත් සුවිශේෂ කරුණක් නම්, මෙම වංචා දූෂණ චූදිතයන් නීතියේ රැහැනට ගෙන ඒමට කටයුතු කර ඇත්තේ වියට්නාමයේ ප්‍රධාන විරුද්ධ පක්ෂය වන වියට්නාම කොමියුනිස්ට් පක්ෂයයි. එම පක්ෂයේ නායක ගුයෙන්ග් පූ ට්‍රොන්ග් (Nguyen Phu Trong) මෙම මෙහෙයුමේ ප්‍රධානියා වශයෙන් කටයුතු කර ඇත.
මෙම සිදුවීම ඇසෙන විට අපට ශ්‍රී ලංකාවේ වෛද්‍ය ක්ෂේත්‍රයන් තුළදී අසන්නට ලැබෙන මහා දූෂිත වංචාවන්ද කෙළවරක් නැත. ඒවා සොයා බලන්නට මොකෙක්වත් නැත. ඇමැතිවරයා හිනා වෙවී විනෝද වෙමින් සාද දමද්දී අපේ රටේ අහිංසක ලෙඩ්ඩු බෙහෙත් නැතිව මියයති. පසුගිය කාලවකවානුවේදී පමණක් රුපියල් මිලියන දහස් ගණන්වලින් අපගේ වෛද්‍ය ක්ෂේත්‍රයේ කොතරම් වංචාවන් සිදුවුණාද? තවමත් සිදුවෙමින් පවතින්නේද?
ප්‍රියන්ත හෙට්ටිගේ










