ඕනෑම මනුෂ්‍යයකුට ජීවිතයේ එක වරක් හෝ කිහිප වරක් ජීවත් වීම පිළිබඳ යම්කිසි වූ කලකිරීමක් ඇති විය හැකිය. එකී කලකිරීම කෙරෙහි බලපාන ප්‍රධානම සාධකය මානසික වශයෙන් ඔහු හෝ ඇය ආතතියකට පත්වීමයි. මෙහිදී බාහිර පාර්ශ්වයක බලපෑමක් හෝ ස්වකීය ආත්ම කලකිරීමක් නිසා මානසික ආතතියකට පත්වීම සිදුවිය හැකිය. සාපේක්ෂ වශයෙන් පුද්ගලයකු බොහෝ විට කලකිරීමට පත්වනුයේ බාහිර පාර්ශ්වයක හෝ බාහිර සමාජයක ගැටලු නිසා සිය ජීවිතය තුළ සිදුවන දරුණු කඩාවැටීම් හේතුවෙනි. මානසික ආතතියේ ප්‍රබලත්වය පුද්ගලයකුට සිය ජීවිතය පිළිබඳ ඇති කරනු ලබන කලකිරීම වැඩිකරන අතරම එහි උච්චතම අවස්ථාවේදී ජීවිතයෙන් සමුගැනීමට පොලඹවනු ලබයි.
පසුගිය කාලවකවානුව නිරීක්ෂණය කිරීමේදී විවිධ වූ හේතූන් මත අවස්ථා කිහිපයකදීම ලාංකීය සමාජය තුළ විවිධ වූ හේතූන් උදෙසා සිය ජීවිතය හැරගිය පුද්ගලයන් පිළිබඳ වාර්තා වීම් දක්නට ලැබිණි. සියදිවි නසාගැනීමක් යනු පුද්ගලයකු සිය ජීවිතය හිතාමතාම නැතිකර ගැනීම ලෙස සරලව නිර්වචනය කළ හැකිය. පුද්ගලයකුට සිය ජීවිතය තුළ මුහුණ දීමට සිදුවන අපේක්ෂා භංගත්වය සියදිවි නසාගැනීම කෙරෙහි යොමුවීමට හේතුවක් ලෙස සැලකිය හැකිය.
ස්වකිය ජිවිතය පිළිබඳ ඇතිවන කලකිරීම, තමන්ට තමන් පිළිබඳ වටිනාකම හා ආත්මගරුත්වය නැති වීම, සමාජය තුළින් එල්ලවන බලපෑම් ආදිය නිසා ඇති වන මානසික ආතතිය සියදිවි නසාගැනීම සඳහා පොලඹවනු ලබයි. මානසික ආතතිය ඕනෑම මනුෂ්‍යයකුට අඩුවැඩි වශයෙන් පවතින තත්ත්වයක් වුවද, දිගුකාලීනව පවතින මානසික ආතතිය නිහඬ මාරයකු ලෙස ක්‍රියාකරනු ලබයි. මිනිස් ශරීරයේ පවතින අධිවෘක්ක ග්‍රන්ථිවලින් නිපදවෙන කොටිසොල් හෝමෝනය ආතතිය ඇති කරන හොමොනයක් ලෙස ශ්‍රාවය වීම නිසා රුධිරයේ කොටිසොල් මට්ටම වැඩි කර, මානසික ආතතිය උග්‍ර මට්ටමකට පත් කරනු ලබයි. දිගුකාලීනව කෝටිසෝල් හෝමෝනය වැඩිවීමෙන් බුද්ධිය සම්බන්ධ මොළයේ ක්‍රියාකාරීත්වය අකර්මණ්‍ය වීම සහ විෂාදය ඇත ිවිය හැක.
සියදිවි නසාගැනීම සඳහා එක් හේතුවක් ලෙස දිගුකාලීන මානසික ආතතිය හැඳින්විය හැක. පුද්ගලයකුට ඔහුගේ හෝ ඇයගේ ජීවිතය නැති කරගැනීම සඳහා බලපානු ලබන හේතු සාධක කිහිපයක් පවතී. එනම්, ප්‍රේම සම්බන්ධතා බිඳවැටීම, විරැකියාව, දුගීභාවය, ණය ගැතිභාවය, විභාග අසමත් වීම, විෂ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම, රැකියාවෙන් ඉවත් කිරීම, යම් යම් ඇබ්බැහිවීම්වලින් මිදීමට නොහැකිව ඇතිවන කලකිරීම, අපේක්ෂාවන් කඩවීම යනාදිය ඒ අතරින් ප්‍රධාන වේ. ලාංකීය සමාජය තුළ බොහෝ විට සියදිවි නසාගැනීම සඳහා බලපාන ප්‍රධාන සාධක අතර ප්‍රේම සබඳතා බිදවැටීම, ආර්ථික අපහසුතා, විභාග අසමත් වීම් සහ අපේක්ෂා භංගත්වය පෙන්වා දිය හැකිය. එසේම ශිෂ්‍ය ප්‍රජාව වර්තමානය වන විට ඇබ්බැහි වී තිබෙන වීඩියෝ ගේම් සම්ප්‍රදාය ද සියදිවි නසාගැනීම සඳහා තවත් එක් සධකයක් ලෙස සැලකිය හැකිය. ලාංකීය සමාජය තුළ පුද්ගලයකු තම ජීවිතය නැති කරගැනීම සඳහා යොදාගනු ලබන විවිධ උපක්‍රම දැකිය හැකි අතර, එහිදී ප්‍රධාන වශයෙන් වස පානය කිරීම, ගෙල වැලලා ගැනීම, දුම්රියට පැනීම, ගඟේ මුහුදේ පැනීම, වෙඩි තබාගැනීම, කැපීම් කරගැනීම, සිරුරට ගිනි තබාගැනීම, උස් ස්ථානයකින් පහළට පැනීම හෝ අධික මාත්‍රාවකින් ඖෂධ පානය කිරීම වැනි උපක්‍රම භාවිත කරනු ලබයි.
නූතනයේ සමකාලින සමාජය තුළ බහුලව සාකච්ඡාවට බඳුන් වන සිය දිවි නසාගැනීම් සම්බන්ධ තොරතුරු ජනමාධ්‍ය ඔස්සේ වරින් වර වාර්තා වීම් දැකිය හැකිය. යම්කිසි අවස්ථාවක පුද්ගලයකුට දිගින් දිගටම මුහුණ දීමට සිදුවන විවධ වූ ගැටලුකාරී තත්ත්වයන්ට හේතුව සිය ජිවිතයෙන් සමුගැනීම නොව එකී ගැටලුවලට කෙසේ හෝ මුහුණ දී ජීවිතය සමග සටන් කිරීම බව කතිකාවට බදුන් කළ යුතු කාලය එළැඹ ඇත. පසුගිය කාලපරිච්චේදය තුළ වාර්තා වුණු සියලු සියදිවි නසාගැනීම් සම්බන්ධ තොරතුරු දෙස අවධානය යොමුකිරීමේදී පෙනීයන කරුණක් වනුයේ රටේ පවතින ආර්ථික අස්ථාවරත්වය මේ සාධ්‍ය මුඛ්‍ය සාධකය වී ඇති බවයි. පුද්ගලයකුට සිය ජීවිකාව ගෙන යාහැකි අයුරින් රටේ ආර්ථිකය දියුණු නොවීම මත මුහුණ දීමට සිදුවන විරැකියාව, ණයගැතිභාවය, දුගීභාවය දරාගත නොහැකිවීම එකී සියදිවි නසාගැනීම් සඳහා බලාපා ඇති බව වැටහී යයි. මෙහි දරුණුතම ඛේදවාචකය වනුයේ මානසික ආතතියට පත්වන පුද්ගලයා සිය ජීවිතය පමණක් නොව තම දරුවන්ගේ හා පවුලේ උදවියගේ ද ජීවිත අහිමි කරමින් සිය දිවිනසා ගැනීම සඳහා පෙළඹීම වේ. මෙවැනි අවස්ථා වාර්තා වූ විට ජනමාධ්‍ය ඔස්සේ එය ප්‍රමුඛ පුවත් ලෙස වාර්තා කිරීමද සියදිවි නසාගත් අකාරය පිළිබඳ සියලු තොරතුරු ඉදිරිපත් කිරීමද මෙවැනිම මානසික ආතතියෙන් පෙළෙන පුද්ගලයන් හට රුකුලක් විය හැකි බව සැඟව ඇති කරුණකි.
ජනමාධ්‍ය හරහා එම පුවත් වාර්තා කිරීමේදී යොදාගනු ලබන ක්‍රම සියදිවි නසාගැනීම කෙරෙහි උත්ප්‍රේරකයක් වනු ලබයි. මෙවැනි සිදුවීම් වාර්තාකරණයේදී ජනමාධ්‍ය සිය මාධ්‍ය ආචාරධර්ම අනුගමනය කරමින් එම සිදුවීම් වාර්තා කිරීමට යොමුවේ නම් එය සියදිවි නසාගැනීමේ රැල්ලක් ඇති නොවීමට සිදුකරන සමාජ මෙහෙරවක් ලෙස සැලකිය හැකිය.
මානසික ආතතිය නිසා ඇති වන සියදිවි නසා ගැනීමේ සිතුවිලි පාලනයට හෝ මෙම ගැටලුකාරී තත්ත්වය විසදීමට සමාජයක් ලෙස රටක වගකීම්සහගත පුද්ගලයෙක් ලෙස ක්‍රියා කළයුතු කාලය එළැඹ ඇත. මෙහිදී සියදිවි නසාගැනීම වැළක්වීමට නිශ්චිත ක්‍රමවේදයක් නැතත් වගකීම්සහගත පුරවැසියකු ලෙස සමාජය දෙස අවධානයෙන් සිටීම තුළින් මානසික ආතතියෙන් පෙළෙන පුද්ගලයකුගේ ජීවිතය මරණයෙන කෙළවර නොකොට ගලවා ගැනීම සඳහා දායක විය හැකිය.
රටක පුද්ගලයකු සියදිවි නසාගැනීම, ඔහුට හෝ ඇයට ජිවත් වීමට සුදුසු පසුබිමක් නිර්මාණය නොවීම සමාජ ගැටලුවකි. මෙම ගැටලුව නිරාකරණය කිරීම සඳහා ගතහැකි ක්‍රියාමාර්ග කිහිපයක් පෙන්වා දිය හැකිය.
රටක යහපත් සමාජයක් බිහිකිරීමේ මූලික අඩිතාලම දියත් කරන ප්‍රධානතම සමාජ ආයතනය පාසල වේ. පාසල තුළ යහපත් ආකල්පවලින් පෝෂිත දරුවකු නිර්මාණය කිරීම සමාජය තුළ යහපත් සර්ධරමවලින් පරිපූර්ණ පුරවැසියකු බිහිකරනු ලබයි. අභියෝගවලට මුහුණ දියහැකි ආත්ම ශක්තියකින් පරිපූර්ණ, සමාජය පිළිබඳ නිවැරැදි දැක්මක් සහිත නිවැරැදි අධ්‍යාපනික රටාවක් තුළින් බිහිවන දරුවකු නිර්මාණය කිරීම කාලින සමාජයේ පවතින බොහෝ අර්බුදවලට පිළිතුරක් විය හැකිය. රටේ ශිෂ්‍ය ප්‍රජාවට නිවැරැදි අධ්‍යාපනික ක්‍රමයක් ලබාදිය යුත්තේ එබැවිනි.
තමන් යම්කිසි මානසික ආතතියකින් පෙළෙන බව හෝ නොදත් සමාජ රටාවක් ලාංකීය සමාජය තුළ දැකිය හැකිය. මානසික ආතතිය පිළිබඳ නිවැරැදි අකාරයෙන් සමාජය දැනුවත් කිරීමට ප්‍රාදේශීය ලේකම් කාර්යාල, ප්‍රජා පොලිසිය, ආගමික මධ්‍යස්ථාන තුළ ග්‍රාමීය මට්ටමින් හෝ ආයතනික මට්ටමින් සිදුකරන මනෝ උපදේශන සේවාවක් දියත් කිරීම තුළින්ද සියදිවි නසාගැනීම යම්තාක් දුරකට අවම කරගැනීම සඳහා කටයුතු සලසා දිය හැකිය. එමෙන්ම යම්කිසි පුද්ගලයෙක් මානසික ආතතියෙන් පෙළෙයි නම්, ඔහුට හෝ ඇයට සිය ගැටලුව සාකච්ඡා කිරීමට නිශ්චිත ක්‍රමවේදයක් සකසා තිබීම පිළිබඳ ග්‍රාමීය මට්ටමින් දැනුවත් කිරීම තුළින්ද, සියදිවි නසගැනීම අවම කරගත හැකිය.
ජනමාධ්‍ය සහ සමාජ මාධ්‍ය තුළින්ද මානසික ආතතිය සහ සියදිවි නසාගැනීම් අවම කරගැනීමට දායකත්වයක් සැපයිය හැකිය. ජනමාධ්‍ය තුළ විවිධ වූ වැඩසටහන් උපයෝගී කරගනිමින් මානසික ආතතියේ ස්වභාවය පිළිබඳ දැනුවත් කිරීම් සහ විශාදය පාලනය කරගැනීම සඳහා ගතහැකි ක්‍රියාමාර්ග පිළිබඳ දැනුවත් කළ හැකිය. එමෙන්ම පුවත් වාර්තාකරණයේදී සියදිවි නසගැනීම පිළිබඳ පුවත් අතිශයෝක්තියෙන් වාර්තා කිරීම අවම කිරීම හරහා සියදිවි නසාගැනීමේ රැල්ලක් නිර්මාණය වීමද වළක්වාගත හැකිය. මක්නිසාදයත් ප්‍රේක්ෂකයාගේ මනස තුළ ධානත්මක සහ ඍණාත්මක චින්තනයක් ඇති කිරීමේ හැකියාව ජනමාධ්‍යයට සහ සමාජ මාධ්‍යයට පවතී. සාමාජ මාධ්‍ය තුළද සියදිවි නසාගැනීම් පිළිබඳ සිදුවීම් රුපරාමු සහිතව නිකුත් කිරීම් දැකිය හැකි අතර ඇතැම් පුද්ගලයන් එම සියදිවි නසාගැනීම අනුමත කරන අන්දමේ ලිපි පළ කිරීම තුළින්ද විෂාදයෙන් පෙළෙන පුද්ගලයකු ඒ සඳහා යොමු වීමේ සම්භාවිතාව වැඩිවිය හැකිය.
මානසික ආතතියේ ප්‍රබලත්වය විශාදය ලෙස මරණයකින් කෙළවර වීම වළක්වාලීම සමාජ වගකීමකි. එය සමාජ මෙහෙවරක් ලෙස සලකා ඔබ මම සේම සමාජ වගකීම් ඉටුකරන සියලු ආයතනවල කැපවීම තුළින් ආකාලයේ මිලින වන ජීවිත රැකගත හැකි වන බව නොවනුමානය.
හංසලා කුමාරිහාමි










