ලෝකයේ තිබෙන පැරැණිතම රාජ්‍ය බුද්ධි සහ ඔත්තු සේවා විමර්ශන සංවිධානය ලෙස සැලකෙන්නේ ඇමෙරිකාවේ ‘ෆෙඩරල් විමර්ශන කාර්යාංශය – Federal Bureau of Investigation – FBI’ බව වාර්තාවලින් හෙළිවෙයි. ඇමෙරිකානු රජයේ පූර්ණ අධීක්ෂණය සහ පරිපාලනය යටතේ පවතින එම ආයතනය දැනට වසර 115ක් පැරැණිය. එනම් එය ඇමෙරිකාවේ වොෂින්ටන් නගරයේදී ආරම්භ කර ඇත්තේ 1908 වසරේ ජූලි 06 වැනිදාය. මුලින් 1896 වසරේදී ‘ජාතික අපරාධ හඳුනාගැනීමේ කාර්යාංශය’ National Bureau of Criminal Investigation ලෙසින් ආරම්භ කෙරුණු මෙම රාජ්‍ය ආයතනය, 1908දී ‘ෆෙඩරල් විමර්ශන කාර්යාංශය’ ලෙසින් ස්ථාපිත කෙරිණි. ආරම්භයේදී නිලධාරීන් 500ක පමණ පිරිසකගෙන් ඇරැඹුණු මෙම ඔත්තු සහ බුද්ධි සේවා ආයතනයේ අද වන විට නිලධාරීන් 35,000ක් සේවය කරයි. එයින්ම පෙනී යන්නේ එම සංවිධානයේ ඇති ප්‍රබලත්වයයි. ඇමෙරිකාවේ තිබෙන අනෙක් රාජ්‍ය බුද්ධි ඒජන්සිය වන්නේ සමාජයේ ප්‍රකට කෙටි නාමයකින් හඳුන්වනු ලබන ක්‍ෂ් සංවිධානයයි. එම රාජ්‍ය ආයතනයද ආරම්භ කරන ලද්දේ 1947 වසරේ සැප්තැම්බර් 18 වැනිදාය. CIA නොහොත් Criminal Investigation Agency (මධ්‍යම බුද්ධි ඒජන්සිය) ආයතනය ආරම්භ කර දැනට වසර 75ක් ගතවී ඇත. එහෙයින් මෙහිදී පෙනී යන්නේ ෆෙඩරල් බියුරෝ ඔෆ් ඉන්වෙස්ටිගේෂන් නොහොත් ෆෙඩරල් විමර්ශන කාර්යාංශය ලෝකයේ තිබෙන පැරැණිතම සහ අතිශය බලගතු බුද්ධි සහ ඔත්තු සේවා සංවිධානයක් වන බවයි. ලෝකයේ අනෙකුත් ප්‍රබල රටවල් ලෙස සැලකෙන රුසියාව, චීනය, මහා බි්‍රතාන්‍යය, ජර්මනිය, ඉන්දියාව වැනි රටවල් පවා තම රාජ්‍ය ඔත්තු සේවා ආයතන ආරම්භ කර ඇත්තේ පසුකාලයකදීය.
ඇමෙරිකා එක්සත් ජනපදයේ අධිකරණ දෙපාර්තමේන්තුවේ පූර්ණ අධිකරණ බලය යටතේ මෙම ෆෙඩරල් විමර්ශන කාර්යාංශයේ (FBI) කටයුතු සිදුකෙරෙයි. එහි නිල වාර්තා කිරීම් සිදුවන්නේ ඇමෙරිකාවේ නීතිපතිවරයාට සහ ජාතික බුද්ධි සේවා අධ්‍යක්ෂවරයාට වන අතර එම කාර්යාලයේ අධිකරණ බලය යටතේ විවිධ අපරාධ වර්ග 200ක් පමණ අධීක්ෂණයට ලක්කරයි. ඇමෙරිකාව පුරා මෙම කාර්යාංශයේ තවත් කාර්යාල 56ක් පිහිටුවා ඇති අතර, ඊට සම්බන්ධ තවත් නේවාසික ආයතන 400ක් පමණද පවත්වාගෙන යයි. ඇමෙරිකාවේ රාජ්‍යතාන්ත්‍රික පාලනයට අදාළ වන විවිධ දේශීය සහ ජාත්‍යන්තර ක්‍රියාකාරකම් රැසකට සම්බන්ධව ඔත්තු සහ බුද්ධි සේවා කටයුතු මෙහෙයවීම මෙම බලගතු ආයතනය විසින් සිදුකරනු ලබයි. ත්‍රස්තවාදී මර්දන මෙහෙයුම්, ජාත්‍යන්තර අපරාධ, ප්‍රචණ්ඩ අපරාධ, දූෂණ වංචා අපරාධ, ඔත්තු මෙහෙයුම්, සයිබර් අපරාධ, සිවිල් හා මානව අයිතිවාසිකම්, දේශගුණික අපරාධ වැනි විවිධ අපරාධ ක්ෂේත්‍රයන්ට අදාළව මෙම සුවිශාල සංවිධානය කටයුතු කරනු ලබයි. 2020 වසරේදී පමණක් FBI ආයතනයේ මුළු අයවැය දළ වශයෙන් ඩොලර් බිලියන 10ක් පමණ වෙයි. එයින් පෙනෙන්නේ කෙතරම් සුවිශාල ධනයක් ඔවුන්ගේ කටයුතු සඳහා වියදම් කරන්නේද යන්නය.
අද ඔබට මෙලෙස ලොව තිබෙන පැරැණිතම සහ ප්‍රධානතම බුද්ධි හා ඔත්තු සේවා විමර්ශන කාර්යාංශය ගැන ලියා තැබුවේ ඇයි? එයට හේතු වූයේ මෙයට දින කිහිපයකට පෙරදී ශ්‍රී ලංකාවෙන් සහ විදෙස් රටවලින් ආරංචි වූ සුවිශේෂ පුවතකි. එනම් මෙයට දින කිහිපයකට පෙර මාධ්‍ය වාර්තා මගින් දැනගන්නට ලැබුණේ ඉහත පැවැසූ FBI සංවිධානයට සම්බන්ධ ඉහළ තනතුරු දරනු ලැබූ ප්‍රධානියකු පසුගියදා මෙරටට පැමිණ නැවත ඇමෙරිකාවට යද්දී එරට ගුවන් තොටුපළේදීම අත්අඩංගුවට ගෙන තිබීමය. එනම් ඇමෙරිකාවේ ජෝන් එෆ්. කෙනඩි ගුවන් තොටුපළේදී පසුගියදා මෙම සිද්ධිය සිදුව තිබිණි. එසේ නම් අත්අඩංගුවට පත්වූ මෙම ඔත්තු සහ බුද්ධි ප්‍රධානියා කවුද? ඔහු මෙලෙස පසුගියදා ශ්‍රී ලංකාවට පැමිණියේ ඇයි? එසේම ඔහු අත්අඩංගුවට ගැනීමට හේතු වූයේ කුමන ප්‍රශ්නයක්ද? මේ ගැන විස්තරාත්මකව සොයා බැලීම අත්‍යාවශ්‍ය වූ කරුණක් වී ඇත.
චාල්ස් මැක්ගොනිගල් (Charles McGonigal) මෙම සුවිශේෂ මිනිසාගේ නාමය වෙයි. ඇමෙරිකානු ජාතිකයකු වන ඔහු 54 වැනි වියෙහි පසුවෙයි. චාල්ස් මැක්ගොනිගල් යනු වසර 25ක් පුරා අඛණ්ඩව ඇමෙරිකානු ෆෙඩරල් විමර්ශන කාර්යාංශයට සම්බන්ධ රැකියාව කළ නිලධාරියෙකි. ඔහු මුලින්ම මෙම බුද්ධි සහ ඔත්තු සේවා කාර්යාංශයේ රැකියාවට බැඳී ඇත්තේ ඔහුට වයස අවුරුදු 25ක් පමණ වන තරුණ සමයේදීය. එහිදී ඔහුගේ රැකියාව වන්නේ විශේෂ බුද්ධි සහ ඔත්තු සේවා නිලධාරියකු ලෙස කටයුතු කිරීමය. ඒ අනුව ඔහු FBI ආයතනයේ සේවයට බැඳෙන්නේ 1996 වසරේදීය. ඔහු ඇමෙරිකාවේ කීර්තිමත් විශ්වවිද්‍යාලයක් වන ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිධරයකුද වෙයි. ඔහු මුලින් බැංකු නිලධාරියකු ලෙස කටයුතු කළ අයකු වෙයි. එහෙත් පසුව ඔහු තමන්ට වයස අවුරුදු 25 වන විට FBI ආයතනයට බැඳී දශක දෙකහමාරක්ම සේවයේ නිරතව සිට මෙයට වසර දෙකකට පෙර විශ්‍රාම ලබා ඇත. චාල්ස් මැක්ගොනිගල් FBI ආයතනය තුළ තම තරුණ වයසේ සිටම ප්‍රබල සිදුවීම් රාශියක් අලළා සාර්ථක විමර්ශන කටයුතු සිදුකළ නිලධාරියකු විය. TWA 800 ගුවන් යානයට බෝම්බ තැබීම, ටැන්සානියාවේ සහ කෙන්යාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලවල බෝම්බ පිපිරවීම, 2001 වසරේ ඇමෙරිකාවට එරෙහිව එල්ලවූ ත්‍රස්ත ප්‍රහාර, ඇමෙරිකාවේ න්‍යෂ්ටික යුද අවි රහසින් චීනයට ලබාදුන් මෙහෙයුමක් විමර්ශනය කිරීම, විකිලීක්ස් මූල්‍ය විශුද්ධිකරණ විමර්ශන සහ තවත් ප්‍රධාන විමර්ශන කටයුතු රැසක්ම භාරව කටයුතු කරනු ලැබුවේ චාල්ස් මැක්ගොනිගල්ය.
මෙම දක්ෂ ඇමෙරිකානු ඔත්තු සහ බුද්ධි අංශ නිලධාරියාගේ අනෙක් සුවිශේෂ කාර්යයක් වූයේ ඇමෙරිකාවට එරෙහිව සිදුවන රුසියානු ඔත්තු සේවාවන් අධීක්ෂණය කිරීමය. මෙවැනි වටපිටාවක් යටතේ ඔහුට කාලයක් යත්ම බොහෝ රුසියානු විශේෂ පුද්ගලයන් සමග සබඳකම් පවත්වන්නට හැකි විය. ඇමෙරිකාවට එරෙහිව රුසියානු රාජ්‍ය අංශ මගින් සිදුකෙරෙන ඔත්තු සහ බුද්ධි මෙහෙයුම් කටයුතු ගැන අධීක්ෂණය කරන අතරම චාල්ස් මැක්ගොනිගල්ට රුසියාවේ මහා ධන කුවේරයන් ආශ්‍රය කිරීමටද අවස්ථාව ලැබිණි. ඔහුගේ රාජකාරි කාලයේ මෙම සමය වන විටදී ඔහු FBI ආයතනයේ ඉහළ තනතුරකට හිමිකම් කීවේය. එනම් ඔහු වයස අවුරුදු 48 වන විට FBI ආයතනයේ ප්‍රති-බුද්ධි දෙපාර්තමේන්තුවේ (Head of FBI Counterintelligence Department) ප්‍රධානියා ලෙස පත්වීම් ලැබීය. මෙම අංශයේ සුවිශේෂ කාර්යභාරය වන්නේ විදේශ ඔත්තු බැලීම් සහ බුද්ධි මෙහෙයුම් මගින් ඇමෙරිකා එක්සත් ජනපදය ආරක්ෂා කිරීමයි. ප්‍රති ඔත්තු බැලීම, ප්‍රති බුද්ධි උපායමාර්ග, ආර්ථික ඔත්තු බැලීම, සයිබර් ප්‍රති බුද්ධි මෙහෙයුම්, ප්‍රති බුද්ධි පුහුණුව, රහසිගත මෙහෙයුම් ආදී විවිධ අංශ මෙම දෙපාර්තමේන්තුවට අයත් වෙයි. මෙහිදී ලෝකයේ රටවල් රාශියකට අදාළව මෙම කටයුතු සිදුකළත් ප්‍රධාන වශයෙන් එම මෙහෙයුම් සිදුකරනු ලබන්නේ රුසියාවට සහ චීනයට එරෙහිවය.
චාල්ස් මැක්ගොනිගල් FBI අංශ ප්‍රධානියකු ලෙස කටයුතු කරමින් සිටියදී රුසියාවේ මහා ධනකුවේරයකු වන ඔලෙග් ඩෙරිපස්කා (Oleg Deripaska) සමග සබඳතාවක් ගොඩනගා ගනියි. මුලින් ඇමෙරිකාවට පාක්ෂිකව මෙම සබඳතා හරහා ඔත්තු මෙහෙයුම් සිදුකළත් පසුකාලීනව චාල්ස් මැක්ගොනිගල්ට එරෙහිව මේ සම්බන්ධයෙන් විවිධ චෝදනා ගොඩනැගෙන්නට විය. එනම් ඉහත පැවසූ ඔලෙග් ඩෙරිපස්කා නමැති රුසියානු බිලියනපතියා සමග බොහෝ සුහද සබඳකම් ගොඩනගාගත් බවට චාල්ස් මැක්ගොනිගල්ට චෝදනා එල්ල විය. ඔලෙග් ඩෙරිස්කා යනු බලවත් පුද්ගලයෙක් වූ අතර, ඔහු රුසියාවේ ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ සමීප හිතවතකු ලෙසද හැඳින්වෙයි. ඔහුට වසර කිහිපයක් හොඳම ව්‍යාපාරිකයා ලෙස රාජ්‍ය සම්මානද පිරිනමා ඇත. 55 හැවිරිදි ඔලෙග් ඩෙරිපෙස්කා යනු රුසියාවේ කර්මාන්තශාලා කිහිපයක හිමිකරුවකු වෙයි. කල් ගතවත්ම චාල්ස් මැක්ගොනිගල් සහ ඔලෙග් ඩෙරිපෙස්කා සමීප මිතුරන් බවට පත්වූ බව විවිධ මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. FBI ප්‍රධානියකු ලෙස චාල්ස් මැක්ගොනිගල් රුසියානු ධනකුවේර ඔලෙග් ඩෙරිපෙස්කාගෙන් විවිධ මූල්‍ය වාසි ලබාගත් බවට ද විටින් විට චෝදනා නැගෙන්නට විය. ඇතැම් අවස්ථාවලදී ඩොලර් ලක්ෂ ගණනින් මුදල් ලබාදීමට රුසියානු බිලියනපතියා කටයුතු කර ඇති අතර, එම මුදල් රහසිගතව චාල්ස් මැක්ගොනිගල් විසින් ලබාගත් බවටත් සාක්ෂි ප්‍රකාශ විය. මොවුන් දෙදෙනා අවස්ථා කිහිපයකදී මුදල් විශුද්ධිකරණයද ඉතා රහසිගතව සිදුකළ බවට චෝදනා නැඟිණි. මෙම රුසියානු ධනකුවේරයා පසුගිය සමයේදී යුක්රේනයට එරෙහිව රුසියාව යුද කටයුතු මෙහෙයවීම ගැනද චෝදනා ලබා ඇත. තත්ත්වය එසේ තිබියදී චාල්ස් මැක්ගොනිගල්ට එරෙහිව ඇමෙරිකාව තුළදී නීතිමය කටයුතු ගොනුකරන්නට විය. රුසියානු බිලියනපතියාට පමණක් නොව තවත් ධනකුවේරයන් කිහිපදෙනකුටද චාල්ස් මැක්ගොනිගල් තම සේවය ලබාදුන් බවට චෝදනා නැගෙන්නට විය.
රුසියාවේ සිටින තවත් මහා ධනකුවේරයකු වන ව්ලැඩිස්ලැව් ඩොරොනින් (Vladislav Doronin) වේදිකාවට එන්නේ මෙවැනි පසුබිමකදීය. මෙම සමය වන විට චාල්ස් මැක්ගොනිගල් FBI ආයතනයේ සේවයෙන් විශ්‍රාම ගෙන ඇත. එනම් 2020 වසරේදී චාල්ස් මැක්ගොනිගල් ඉහත සඳහන් කළ වැලිඩිස්ලැව් ඩොරොනින් සතුව තිබෙන සුවිශාල ජාත්‍යන්තර හෝටල් ව්‍යාපාරයක් වන අමාන් රිසෝර්ට්ස් (Aman Resorts) සමාගමට බැඳී එහි ප්‍රධාන තනතුරක් දරන්නට ගනියි. අමාන් හෝටල් ව්‍යාපාරය යනු 1988 වසරේදී ආරම්භ කරනු ලැබූ, දැනට වසර 35ක් පැරැණි ව්‍යාපාරයකි. ලෝකයේ රටවල් 34ක හෝටල් පිහිටුවා ඇති මෙම රුසියානු ආයතනයේ තනි අයිතිකරුවා වන්නේ වැලිඩිස්ලැව් ඩොරොනින්ය. මෙහිදී හෙළිවන අනෙක් සුවිශේෂ කරුණ නම් ඔහුගේ අමාන් හෝටල් ව්‍යාපාරය සතු හෝටල් දෙකක් ශ්‍රී ලංකාවේද පිහිටා තිබීමය. 2005 වසරේ ආරම්භ කරන ලද එම හෝටල් ව්‍යාපෘති දෙකෙන් එකක් ගාල්ලේ සහ අනෙක තංගල්ලේ පිහිටුවා ඇත. තරු පහේ අවන්හල් වන එම ව්‍යාපෘති ‘අමන්ගල්ල’ සහ ‘අමන්වැල්ල’ ලෙසින් නම්කර ඇත. කොරෝනා වසංගත සමයෙන් පසුව මෙම හෝටල් මේ වන විට සාර්ථක අයුරින් වත්වාගෙන යන බවද පැවසෙයි.
මෙම වගතුගේ හැරවුම් ලක්ෂ්‍යය වෙත දැන් අප පැමිණ සිටිමු. එනම් චාල්ස් මැක්ගොනිගල් අමාන් හෝටල් ව්‍යාපාරයේ ජාත්‍යන්තර අධ්‍යක්ෂවරයා ලෙස දැනට වසරක සිට සේවය කරනු ලබන අතර පසුගියදා ඔහු ශ්‍රී ලංකාවට පැමිණියේ තමන් සේවය කරන හෝටල් සමාගමට අයත්, ශ්‍රී ලංකාවේ තිබෙන හෝටල් දෙක අධීක්ෂණය කිරීම සඳහාය. ඔහු ශ්‍රී ලංකාවට මෙම නිල සංචාරය පැමිණෙන්නේ අමාන් හෝටල් ව්‍යාපාරයේ සභාපති, රුසියානු බිලියනපති වැලිඩිස්ලැව් ඩොරොනින්ගේ උපදෙස් මතය. මේ අනුව ඔහු පසුගියදා ශ්‍රී ලංකාවට පැමිණ ඉහත හෝටල් දෙකෙහි කටයුතු අධීක්ෂණය කරමින් දින ගණනාවක් ගතකර ඇත. සමහර විට චාල්ස් මැක්ගොනිගල් යනු කවුදැයි ශ්‍රී ලංකාවේ බලධාරීන් නොහඳුනනවා වන්නටද හැකිය. එසේම ඔහු කවුදැහි හඳුනන පිරිසක්ද මෙරට සිටින්නට ඉඩ ඇත. ඒ කෙසේ වෙතත් එම වටපිටාව ගැන එතරම් පැහැදිලි විස්තරයක් නැති අතර, ඔහු මෙරටට පැමිණෙන්නේ FBI සංවිධානයේ ප්‍රධානියකුව සිටින විටදී නොවේ. එහෙත් අපූරුම වගතුග නම් ඔහුගේ සියලු පැටිකිරිය හෙළිවන්නට ගන්නේ ඔහු ඇමෙරිකාවේ ජෝන් එෆ්. කෙනඩි ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගැනීමත් සමගය. ඔහු ශ්‍රී ලංකා සංචාරය නිමකර ඇමෙරිකාවට පැමිණෙන විටදී එසේ සිදුව ඇත. ශ්‍රී ලංකාව ඇතුළු බොහෝ රටවල් මෙම පුවත දැනගන්නේ ඉන් අනතුරුවය.
චාල්ස් මැක්ගොනිගල් නමැති හිටපු FBI ප්‍රධානියාට එරෙහිව මේ වන විට ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පවරා ඇත. ඔහුට එරෙහිව නැගෙන ප්‍රබලම චෝදනාවක් වන්නේ පසුගිය කාලයක් පුරා රුසියානු ධනකුවේරයන් උදෙසා සේවය කිරීම සහ එම පිරිස් සමග අතිශය රහසිගත සම්බන්ධතා පැවැත්වීමය. එම රුසියානු බිලියනපතියන්ගෙන් මුදල් විශාල ලෙස ලබාගැනීම සහ මුදල් විශුද්ධිකරණය සිදුකිරීම සම්බන්ධයෙන් චෝදනා ඔහුට එල්ලවී ඇත. මෙහිදී ඔහු හිටපු FBI ප්‍රධානියකු ලෙස ඇමෙරිකාවේ විවිධ රාජ්‍ය සහ ආරක්ෂක රහස් රැසක්ද රුසියාවට හෙළිකර ඇති බවටද චෝදනා එල්ල වෙයි. අනෙක් සුවිශේෂ කරුණ නම් චාල්ස් මැක්ගොනිගල් මෙලෙස ගනුදෙනු කරන රුසියානු ධනකුවේරයන් දෙදෙනා වන ඔලෙග් ඩෙරිපස්කා සහ වැලිඩිස්ලැව් ඩොරොනින් යන අය රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ සමීපතම මිතුරන් වීමය. එසේම ඔවුන් වතාවන් කිහිපයකදී රුසියානු ජනාධිපතිවරයා විසින් පුදකරනු ලබන ‘හොඳම රුසියානු ව්‍යාපාරිකයා’ යන රාජ්‍ය සම්මානයෙන්ද හිමිකරගෙන තිබීමය. මේ ආකාරයට බලන විට ඇමෙරිකාවේ ප්‍රධාන පෙළේ බුද්ධි සහ ඔත්තු සේවා ප්‍රධානියකු රුසියාවේ ජනාධිපතිවරයාගේ ධනවත් මිතුරන් ඇසුරු කිරීම කෙතරම් අර්බුදකාරී ගැඹුරු කතාවක්ද? මේ වන විට චාල්ස් මැක්ගොනිගල් ඩොලර් ලක්ෂ 05ක (රුපියල් කෝටි 15ක) ඇප මත නිදහස් කර ඇති අතර, නඩුව ඉදිරි දිනෙකදී විභාග කිරීමට නියමිතව ඇත. ඔහු වරදකරු වුවහොත් වසර 20ක සිර දඬුවමකට යටත් වීමට ඔහුට සිදුවනු ඇත.

ප්‍රියන්ත හෙට්ටිගේ










