වාහනයක් පදවනවා කියන්නේ ඉතා බරපතළ වගකීමක්. ජීවිත ගණනාවක වගකීම ඒ රියැදුරාගේ අතෙයි රැඳී තිබෙන්නේ. බස් රථයක යන අහිංසක දරුවන් වගේම වැඩිහිටියන්ගෙත් වගකීම ඇත්තේ රියැදුරා අතේ බව වර්තමානයේ බොහෝ රියැදුරන් හිතන්නේ නැහැ. මුදල් පසුපස හඹායෑමේ අපේක්ෂාවෙන් රියැදුරු අසුනේ ඉඳගන්නා ඔවුන්, මගීන්ගේ ජීවිත තුට්ටුවකටවත් මායිම් නොකර රේස් යෑම අද සුලබව දැකගත හැකියි. එලෙස අපරීක්ෂාකාරීව රිය ධාවනය කිරීම නිසා සිදුවූ අනතුරුවලින් වාර්ෂිකව අපේ රටට අහිමිවන ජීවිත ගණන දහස් ගණනක්. මවුපියන්ට දරුවන්, දරුවන්ට මවුපියන්, ඥාතීන්, හිතමිතුරන් මෙවැනි අනතුරුවලින් විශාල ලෙස රටට අහිමි වෙනවා. මාර්ග නීති කොයි තරම් දැඩි කළත්, රියැදුරන් තුළ හික්මීමක් නොමැති නම් ඒ කිසිවක් පලක් නැහැ.
කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ සිසුන් පිරිසක් නුවරඑළිය අධ්‍යාපන චාරිකාවකට ගොස් නැවත පැමිණෙමින් සිටියදී බස් රථයක් රදැල්ල නානුඔය කෙටි මාර්ගයේදී ත්‍රිරෝද රථයක සහ වෑන් රථයක ගැටීමෙන් පසුගියදා විශාල අනතුරක් සිදුවුණා. එම බස් රථයේ රියැදුරාගේ අධික වේගය එම අනතුරට හේතුව බව හෙළිව තිබුණා. පාසල් සිසුන් 45 දෙනකු සහිත බස් රථය ප්‍රපාතයකට ගමන් ගත්තේ විනයක් නැතිව රිය පැදවූ රියැදුරකු නිසයි. බස් රථයේ ගමන්ගත් පිරිසට අනතුරක් නැතත්, බස් රථයේ ගැටුණු වෑන් රථයේ සහ ත්‍රිරෝද රථයේ ගමන්ගත් ජීවිත 7ක් එම අනතුරෙන් අහිමි වුණා. එලෙස මියගිය පුද්ගලයන් අතර අවුරුදු 8ක සහ 12ක ගැහැනු දරුවන් දෙදෙනකුද, අවුරුදු 19ක පිරිමි දරුවකුද, අවුරුදු 26 සහ 27 වයස්වල පුද්ගලයන් දෙදෙනකුද, අවුරුදු 43ක කාන්තාවක්ද වනවා. වෑන් රථයේ ගමන් කළ 6 දෙනකු සහ ත්‍රිරෝද රථයේ රියැදුරු එලෙස මියගොස් තිබුණා. නොසැලකිලිමත් රියැදුරකු නිසා සිදුවූ මේ අනතුරෙන් සිසුන් 41ක්, ගුරුවරුන් දෙදෙනෙක් සහ මවුපියන් තිදෙනකුද තුවාල ලබා තිබුණා. මෙම අනතුරට හේතුව ලෙස බොහෝ දෙනා හඳුන්වා තිබුණේ බස් රථයේ රියැදුරුගේ අධික වේගය සහ නොසැලකිලිමත් රිය ධාවනයයි. එම මාර්ගය අධික වේගයෙන් ගමන් කිරීමට නොමැකි කුඩා මාර්ගයක් බැවින් මෙවැනි අනතුරු සිදුවීමට ඇති ඉඩකඩද ඉහළ බව ප්‍රදේශවාසීන්ද පැවැසුවා. කෙසේ වෙතත් එම රියැදුරා තම වෘත්තිය සහ දරුවන්ගේ ජීවිත කෙරෙහි මීට වඩා සැලකිලිමත් වූවා නම් මියගිය ඒ අහිසංකයන් හත්දෙනාම අදටත් ජීවත්ව සිටිනවා.
මෙලෙස රියැදුරන් අතින් සිදුවන අනතුරු, වැරැදි සම්බන්ධයෙන් දිනෙන් දිනම වාර්තා වුණත්, රියැදුරන් සිදුකරන යහපත් ක්‍රියාවන් වාර්තා වන්නේ ඉතා අඩුවෙන්. එමෙන්ම එලෙස වාර්තා වන යහපත් ක්‍රියාවන් අගැයීමටද බොහෝ මාධ්‍ය පසුබට වන බවක් පෙනෙන්නට තිබෙනවා. එවන් පසුබිමක වටිනා ජීවිත 60ක් බේරාගත් උතුම් මිනිසකු ගැන පුවතක් පසුගිය 30 වැනිදා පෙරවරුවේ අපට අසන්නට ලැබුණා. ඔහු ලංගම බස් රථයක රියැදුරෙක්. බදුල්ලේ සිට කොළඹ බලා ඔහු ධාවනය කළ බස් රථයේ තිරිංග හපුතලේ බෙරගල ප්‍රදේශයේදී අක්‍රිය වීම නිසා දරුණු අනතුරක් සිදුවීමට යෑමේදී මේ රියැදුරාගේ දක්ෂකම සහ තැනට සුදුසු නුවණ හේතුවෙන් ඒ අනතුර වළක්වා ගැනීමටයි හැකිව තිබුණේ. තිරිංග අක්‍රිය වූ එම බස් රථය මාර්ගයේ දකුණු පස පිහිටි පස් කන්දකට හේත්තු වන ලෙස නවතා ගැනීමට මෙම රියැදුරු දක්ෂ වී තිබුණේ, එහි ගමන්ගත් සියලු දෙනාගේ ජීවිත බේරාගනිමින්. ඔහු එලෙස බස් රථය නවතා ගැනීමට කටයුතු නොකළේ නම්, මාර්ගයේ වම්පසින් තිබූ අඩි සිය ගණනක ප්‍රපාතයකට බස් රථය නියත වශයෙන්ම පෙරළී යනු ඇත. මෙම වීර ක්‍රියාව සිදුකරමින් මගීන්ගේ ජීවිත බේරාගත් රියැදුරා වූයේ බදුල්ල ඩිපෝවට අනුයුක්තව සේවය කළ ඩී.එම්. ප්‍රියන්ත මහතායි.
මෙම අනතුර සිදුවන්නට ගිය ස්ථානයේ පිහිටි බෙරගල විහාරගල ප්‍රදේශයේ 2017 වර්ෂයේදීද සිදුවන්නට ගිය මෙවැනිම අනතුරක් වළක්වා ගන්නට බණ්ඩාරවෙල ඩිපෝවට අනුයුක්තව සේවය කළ කිර්ති බණ්ඩාර පද්මසිරි මහතා කටයුතු කර තිබුණා. එහිදී කීර්ති බණ්ඩාර පද්මසිරි මහතා ජීවිතක්ෂයට පත්වුවත්, මගීන් කිසිවකුටත් එම අනතුරෙන් හානියක් සිදු නොවුණේ රියැදුරාගේ පරාර්ථකාමී බව නිසාමය.
බෑවුම් සහිත මාර්ගයේ ගමන් කළ එම බස් රථයේද තිරිංග ක්‍රියා විරහිත වීම නිසා මෙවැනිම අනතුරක් සිදුවීමට ගොස් තිබූ අතර, රියැදුරු කීර්ති බණ්ඩාර මහතා බස් රථය මාර්ගයේ දකුණුපස පිහිටි පස් කන්දක වැදීමට සලසා නවතාගෙන තිබුණා. එම අවස්ථාවේ බස් රථය තුළ පුද්ගලයන් 23 දෙනකු ගමන්කරමින් සිට තිබුණා. ඒ සියලු දෙනාගේ ජීවිත බේරාගත් රියැදුරු මහතා තම ජීවිතය ඔවුන් වෙනුවෙන් පුද කළේ පරිත්‍යාගශීලී දක්ෂ රියැදුරකුගේ කාර්යභාරය ලොවටම සපථ කරමින්. ඇත්තෙන්ම ඔහුද මිහිපිට දෙවියෙක් ලෙස අප සැලකිය යුතුයි. තමන්ගේ ජීවිතය ගැනවත් නොසිතා අන් මගීන්ගේ ජීවිත බේරාගත් මෙවැනි රියැදුරන් අපි අගය කළ යුතුමයි.
කෙසේ වෙතත් පසුගිය 30 වැනිදා සිදුවන්නට ගිය බස් රථ අනතුරෙන් මගීන් බේරාගත් එහි රියැදුරු ඩී.එම්. ප්‍රියන්ත මහතා එම සිදුවීම විස්තර කළේ මේ ආකාරයටයි.
‘හපුතලේ පල්ලම බහිද්දිත් බ්‍රේක් තිබ්බා. විහාරගල හරියේ ලොකු වංගුවක් තියෙනවා. ඒ වංගුවේදී බ්‍රේක් එකට කකුල තිබ්බට බ්‍රේක් වැදුණෙ නෑ. පැඩ්ල් එක අඩියටම බැස්සා. මට දැන් කල්පනාවට ආවේ මොනවාද කරන්නේ කියලා. ජීවිත බේරගන්න ඕනේ කියලා හිතලා, මම ගැනවත් හිතන්නේ නැතුව ඉස්සරහින් ආව වාහන සේරම බේරගෙන මම බස් එක වේල්ලට ඇල්ලුවා. කොහොම හරි ටයර් දෙක කානුවට වැටිලා තමයි බස් එක නතර වුණේ. කාටවත් කිසිම හානියක් වෙලා තිබුණේ නැහැ. කාටවත් සීරීමක්වත් වුණේ නැහැ. මගේ කකුල වැදුණා සුක්කානමේ. ඒක පොඩ්ඩක් තැළිලා තියෙනවා එච්චරයි. බස් එකටවත් ඩැමේජ් එකක් නැහැ. ඇත්තටම මේක මගේ අවුරුදු 12ක CTB ජීවිතේ ලබපු හොඳම අත්දැකීම. මට ඇත්තටම සතුටුයි මේ මිනිස්සුන්ගේ ජීවිත බේරගන්න ලැබීම ගැන. ඒකට මම පින් කරලා තියෙනවා. පොඩි අයත් මගේ එහා පැත්තේ හිටියා. අතදරුවොත් හිටියා. ඒ කිසිම කෙනකුට හානියක් නෑ. බස් එක පහළට ගියා නම් අඩි 5000ක විතර ප්‍රපාතයට යනවා…’
‘පොඩි අයත් එක්ක 60කට ආසන්න පිරිසක් බස් රථයේ හිටියා. පල්ලෙහාට යනකොට බ්‍රේක් තිබුණා. උඩ වංගුවේ බ්‍රේක් එකේ හැඬල් එකට කකුල තියනකොට ඒක අඩියටම බැස්සා. කොන්දොස්තර මහත්තයා ඒ වෙලාවේ මගේ ළඟ හිටියේ. එයාට මම හෙමින් කිව්වා මේ ගැන. මොකද මගීන් කලබල වෙන නිසා හයියෙන් කිව්වෙ නැහැ. දකුණු පැත්තට අල්ලන්න කියලා කොන්දොස්තර මහත්තයාත් කිව්වා. ඉස්සරහින් වාහන හත අටක් ආවා. ඒ වාහනත් බේරලා මං ගැනවත් හිතන්නේ නැතුව වේල්ලට ඇල්ලුවා. ඉස්සරහා රෝදය ඇදගෙන ගිහින් කානුවට ගිහින් නැවතුණා. පස්සේ බලනකොට කාටවත් සීරීමක් නැහැ. මගේ කකුල වැදිලා මාව වෙව්ලුවා….’
‘හයියෙන් අල්ලගන්න. මම කොහොම හරි බස් එක නවත්වන්නම්…’ යනුවෙන් පවසමින් මේ රියැදුරු එහි සිටි හැටදෙනකුගේ ජීවිත බේරාගත්තේ තම රියැදුරු වෘත්තියේ දස්කම් පෙන්වමින්.
ඒ මිනිසත්කම ගැන, ඔහුගේ දක්ෂකම ගැන ආඩම්බරයි. මෙවැනි හදවත් තියෙන රියැදුරු මහතුන් මේ සමාජයේ දුර්ලභයි. මෙවැනි අවස්ථාවල මිනිසුන් කටයුතු කරන්නේ ආත්මාර්ථකාමීත්වයෙන්. එවැනි මිනිසුන් අතර පරාර්ථකාමී රියැදුරන් රටට සම්පතක්.
බහුතරයක් රියැදුරන් රුපියල් ශත පසුපස හඹායනවා. බස්රථ නිසිලෙස නඩත්තු කරන්නේ නැහැ. ඒ නිසාම මෙවැනි අනතුරුවලට ඔවුන් මුහුණ දෙනවා. විනයක් නැති රියැදුරන් බොහොමයක් අතර, මෙවැනි රියැදුරු මහත්වරු අගය කරන්නට ‘මව්රට’ අපි පැකිලෙන්නේ නැහැ. මනුෂ්‍යත්වයෙන් පොහොසත් හදවත් ඇති මෙවැනි මිනිසුන් අපි පිදිය යුතුයි. සුරැකිය යුතුයි. අගය කළ යුතුයි. මෙවැනි උතුම් මිනිසුන්ටත්, ඒ මිනිසත්කමටත් අප හිස නමා ආචාර කළ යුතුයි.

නිලන්ති රේණුකා










