මට වයස අවුරුදු පහත් දහයත් (10) අතර කාලයේ (පනස් ගණන්වල මුල) කෑම කන්නට ගිය බොහෝ වේලාවලදී මම අම්මා සමග සණ්ඩු ඇල්ලුවෙමි. ඇය අපට(අපේ වචනවලින් කියන විට) “ගිල්ලවන්න” යත්න දැරූ වෑංජං (මාළුපිනි) අපට පෙනෙනවිටත් යකා නැංගේය. වත්තේ සියඹලා, කරඳ, කැබැල්ල ගස්වල දලුලන (දලුදාන) කාලයට නොවැරදීම අපේ බත් පතේ තුන්වේලටම ඒවාය.
ඇයි කොහිල, මඩු දලු, ගිනිතිල්ල, බරංකොකු, තැල්ල, කරකොළ සහ අත්තික්කා, කහට වැනි ගෙඩි ජාති.ඒ නිසා කෑම පිඟාන පමණක් නොව ඔය කී ගස් වැල් දකින කොටත් මට ඒ කාලයේ මාර “ජුවල්”ය.
“පුතේ මේව අවුසද” (ඖෂධ) මා අස්වැසීමට අම්මා මගේ ඔළුව අතගාමින් පරම්පරාවේ වෙද පොත්වල ඇති දේ පමණක් නොව “ධනවන්තරී මුනිවරයා” (ආයුර්වේදය මනුස්ස ලොවට දුන් බව කියන මුනිවරයා) විසින් ලියන ලද ග්‍රන්ථ, නිඝණ්ඩු පවා ඉවරවෙනතුරු ඒ කොළ ගෙඩි වර්ගවල ඖෂධීය ගුණ ගායනා කරන්නීය.
ඔච්චර නම් මදැ, ඇයට ඇහෙන්න මට කිඹුහුමක් එහෙම ගියොත් මළා තමයි. දෙහි දලු, කුඹුරු දලු, අමු ඉඟුරු, සුදුලූනු සමසමව ගෙන කොටා,වණ්ඩුවේ තම්බා මිරිකා සීනි මීපැණි දමා උදේ හවස තුන් වේලක් බොන්නට දීම වෙද පොත්වල සඳහන් උවත් අපේ අම්මා නම් මට අඩුම තරමින් මාසයක් දෙකක්වත් යනතුරු ඔය බේත උදේ සවස එකදිගටම පොවන්නීය. අනිත් අතට ප්‍රමාණය අඬු කෝප්පා භාගයක් යැයි නියමිත වුවත් අම්මා මට පොවන්නී කල්දේරමකි.
මම බෙරිහං තළමි. කුඹුරු දලු කියන්නේ කල්කදුරු තිත්තය. “අනේ මගෙ හොඳ සුදු පුතානෙ. මගෙ දෙයියනෙ. අත් දෙකටම සීනි දෙන්නං” (ඇය අසල සීනි බෝතලය තබාගෙන ඇත) ඇය පැයක් හමාරක් මගේ හිස අතගමින් පිංසෙණ්ඩු වෙයි. මම හොරෙන් සීනි බෝතලය දෙස බලමින් “මම මැරෙන්නෙවත් නෑනෙ” යැයි කියමින් අඬ අඬා අර කල්දේරමම බොමි.
මාසයකට දෙකකට වරක් ඇය අපට “වලඟසහල්” තම්බා පොවයි.ඒ පණු අමාරුවටය.අපට බඩ සුද්දවීමට බෙහෙත් දුන්නේ නැත. ඒ වෙනුවට මිදුලේ කෙළවර මල් පිපෙන ඇහැල ගහෙන් දලු ටිකක් ඇඹුලට උයා දුන්නාය.
වත්ත කෙළවර “තෝර” ගාලය. තෝර ගාල කීවාට, ඒ හරියේ ඇත්තෝර, පෙතිතෝර, පැණි තෝර කියන ඔය තුන්වර්ගයම ඝන සැරේටය. ඇත්තෝර කොළේ ලොකුය. ගහේ රතුපාට Red Wood ගහේ රතු පාටට ටිකක් වැඩිය. අඩි පහ හයක් උසට වැවුණු ගස් ද තිබේ. තෝර දලු මැල්ලුම මසුරංය. ඊට දෙහි ගෙඩියක් මිරිකා ගත්විට බඩ පැළෙනකං “දෙසාබාන්න” (කෑමට) හැකිය.
“මාළු හොදි මැල්ලුම-ඇණුවම හොඳයි සෙල්ලම,
අනාලා ගිල්ලම-බඩට නොදමා බැරිය විල්ලම” (පටියක්) ඕං ඔහොමය.
මැල්ලුමට දෙහි ඇඹුල් දාන්නේ ප්‍රතිවාපයක් වශයෙනි. එසේ දෙහි දැමීම “කිරිපණු ගායට”බොහෝම හොඳ බව අම්මා ගමේ කාන්තාවන්ටත් උපදේසයක් හැටියට කියන්නීය.
“අම්මේ ඔය මැල්ලුං ටිකක් ලොකු අයියට වැඩියෙන් බෙදන්න” අම්මා බත් බෙදනවිට ලොකු නංගී කීවාය. ඇය ඒ දවස්වල තුනේ පංතියේය.
“හිටහං වාඩුව අල්ලන්නං” මම ලොක්කී දෙස රවා තොල් මැතිරුවෙමි.
“ආං පාරංබාන හැටි.” අම්මා මා දෙස නොබලාම බත් බෙදමින් කියන්නීය. ඇත්තෝර ගස ලොකු මහත් වුවත්, පැණි තෝරගස අඩි දෙක තුනකට වඩා නූස්ය. තනිකරම මැල්ලුමට කෑ නොහැකිය. එය හාමු (කළවං) පලා මැල්ලුමට හොඳය. කළවං මැල්ලුමට මෑකරල් කොළ, එරබදු, මුගුණුවැන්න, කටරොළු, පෝට ඔය කොයි කොයි දේත් ගනී. ඇය හාමු පලා මැල්ලුමට නොදාන්නේ “නයයි, පොළඟයි” විතරය. ඒ උන් අල්ලා ගන්න බැරි නිසා වියයුතුය. පුළු වං නං උනුත් දායි.
පෙතිතෝර ගස අඩි තුන හමාරක් හතරක් තරම් උසට වැවී අතු පැතිරී ගිය කල ලොකු ගාලකි. අප “හැංගිමුත්තං” සෙල්ලම කරන විට ඔය ගාල මැද කුංකුමිට ගසා (උක්කුටිකයෙන්) ඉඳගත්විට හෙවිල්ල නෝ හෙල්ලුං පොල්මැල්ලුංය.
ගසේ කඳ හරි හයියය. හරියට කැකිල්ල වගේය. ලෙහෙසියෙන් කැඩෙන්නේත් නැත. නමා අල්ලාගෙන සිටියත් අත හැරිය ගමන්ම දිග හැරේ. දිරන්නේ ද නැත.
තෝර ගස්වලින් අන්දරේට වෙච්චි ඇබැද්දියක් ගැන නොදන්නේ මේ දැන් උපන් එකෙකු පමණි.
එදා උදේ සිට අන්දරේගේ බණ්ඩිය (බඩ) “ගොරගොර” ගගා තිබුණේලු. ගමේ බඩ වැටියක් (ගමේ බඩවැටියට අනිත් පැත්ත නිරන්තරයෙන්ම කුඹුරු යායකි.) ආසන්නයෙන් යමින් සිටි අන්දරේට ඔය අතරේ “බඩසැහැල්ලු” කර ගැනීමේ අවශ්‍යතාව තදින්ම දැනී තිබේ.
වැටිය අනිත් පැත්තේ කුඹුරේ ගැහැනු ටිකක් ගොයම් හදමින් (පැළ සිටුවමින්) සිටියේය. වට පිට බැලූ අන්දරේ වැටියේ තෝරගාලට රිංගා උසට වැවී තිබුණු ගස් ටිකක් නමා පයින් පාගා ගෙන ඒ මැද්දෑවට වෙන්න ඉඳගෙන අවශ්‍යතාව සපුරා ගෙන තිබේ.
ඊළඟට නැගිට ඇඳිවත සකසා ගැනීමට පය ඉස්සූ කල මළ කෙළියයි, අර පෑගී තිබූ ගස් නිදහසේ කෙළින් වූයෙන් අන්දරේගේ ඉහින් කනිං අර දහජරාව නෑවුණේය. ඇඟ පුරාම ජරාවය. හප්..පා…ආ..ආ..,පැත්ත පළාතේ ඉන්න බැරි තරං ඟඳය. ගමන යන්න තිබුණේ ගෑනු රොත්ත සිටි තැන නියර දිගේය. බුවාට සිදධවී ඇති දේ දුටු “කෙල්ලියන්ට” හිනාව නවත්වා ගන්නට බැරිවූ තැන දෙතුන් දෙනෙකු වෙලේ ඇදවැටුණු බවද කියත්.
“අන්දරේ තෝරගොල්ලේ අහවල් දේ කෙරුවා වගෙයි”යන ප්‍රස්තා පිරුළ ඇතිවී ඇත්තේ ඉන් පසුවය.
සන්න, ගැටපද ඇතිව ඔය අටුවාව ලියන්නට යෙදුණේ ගමේ ගොඩේ ඉපදුණු අප, වටේ පිටේ හැදුණු වැවුණු දේ කාබී උපන්දා සිට පොළොවේ පය ගසා සිටින බව කීමටය.
අන්දරේගේ සිද්ධිය කීවේ “අරුණේ” තිස්ස මල්ලී (තිස්ස රවීන්ද්‍ර පෙරේරා. අපි දෙදෙනා මාධ්‍ය ආයතන කීපයක එකට කටයුතු කෙළෙමු) පසුගිය දොහේ ව්‍යාපාරික දිනේෂ් ශාෆ්ටර්ගේ ආන්දෝලනාත්මක ඝාතනය ගැන හොඳ, ඇඹරිල්ලක් අඹරා තිබූ හෙයිනි.
මාධ්‍ය ක්‍ෂේත්‍රයේ බොහෝ දෙනා සාමාන්‍ය ලණු පමණක් නොව කඹ සහ තේඩා ද අඹරති.
එහෙත් තිස්ස මලයා මේපාර නම් අඹරා ඇත්තේ එසේ මෙසේ ඇඹරිල්ලක් නම් නෙමේය. අප දෙදෙනා හිටපු ආයතනයක ඉංගිරිස්ි පත්තරේ හිටපු සෙකට්ටි්‍ර නෝනා “ඔංගලකු ඔන්නු එනකු ඔන්නු, ඔංගලකු ඔන්නු එනකු ඔන්නු (උඹට එකා..ආ..යි මට එකා..ආ..යි,උඹට එකා.. ආ..යි මට එකා..ආ..යි) තාලෙට දෙපැත්තට අඹර අඹරා ගිය ඇඹරිල්ලටවත් මලේ ඔයාගෙ මේ ඇඹරිල්ලට නම් කිට්ටු කරන්නටවත් බැරිය.
ශාෆ්ටර් දිවිනසාගන්න පෙර රිහර්සල් එකකට සෙමෙට්ටි්‍ර එකට ගිය බවක් ප්‍රවෘත්තියේ ලියා තිබුණේය. මැරෙන්ඩ යන එකා රිහර්සල් කරන බවක් නම් මගේ අම්මා මුත්තා කාලෙදිවත් අහලා තිබුණේ නැත.
කසාද බැඳල ඉස්සරෝම දවසෙ යමක් හරිහමං විදිහට කරගන්න බැරිවුනොත් ජීවිතේම අප්සට් ගහනව කියන කතාව අහල තියෙන එකෙක් නං විවාහෙට කල් ඇතිව සූදානම් වුන කතාවක් තියෙනවාය. (ගම්මුන් සූදානම් යන වචනෙ කියන්නෙ එසේය)
ඒ හාදයා කසාදෙට මාස හයක් විතර ඉස්සර ඉඳං වාජීකරණ ඖෂධ පාවිච්චි කරල යෝගි අභ්‍යාස කරල හිත පාලනය කරල කාම විදා්‍යා පොත් එහෙමත් පරිශීලනය කරල ලෑස්ති වුණාලු. ඒ විවාහෙ ලව් මැච් එකක් නෙමේ කපුවෙක් හොයල දුන්න මැච් එකක්.
ඉතින් මාස හයක් විතර තිස්සෙ ඉඳල පුහුණු වෙච්චි පාඩම් ඒ හැටියටම මංගල රාත්‍රියෙ ප්‍රායෝගිකව කෙරුවට පස්සෙලු මිනිහගෙ හිතට සැනසිල්ලක් ආවෙ. ඊට පස්සෙ ඉතින් සුහදශීලීව කතා කර කර ඉඳල මිනිහ ඇහුවලු “මොකද ඔයා ඔය ක්‍රමවේද ගැන කියන්නෙ” කියල.
ඉතින් ඒ බඩ්ඩත් කීවලු ඔය ඔක්කොම ක්‍රම ගැන මමත් පොත් පත්වලින් කියවල තියෙනවා. යහළුවොත් කියල තියෙනවා, ඒ වුණත් කියල නැවැත්තුවලු. ඊට පස්සෙ අරූට හරි අප්සට්ලු ඒ වුණත් කියල කියපු වචනෙ ගැන. ඒ නිසා ඇහුවලු ඇයි ඔයා ඒ වුනත් කීවෙ කියල. අරය ටිකක් අදිමදි කරල කීවලු ඔය හැම දේම මට නවමු අත්දැකීමක් වුනත් මගෙ “අන්ඩර්වෙයාර්” එක තියෙද්දි කරන බව දැනගත්තෙ අදයි කීවලු.
ඒ වාගෙ දේකට නං රිහර්සල් එකකට ගියා කියල කීවත් පිළිගන්න පුළුවන්. ඒ වුණත් තිස්ස මල්ලි කවුරුහරි මැරෙන්න රිහර්සල් කරයිද? කියන එකයි ප්‍රශ්නෙ. තල්දූව මහත්තය කියන්නෙත් තාම පරීක්‍ෂණ පවත්වනව කියන එකයි.
අපෙත් ඉන්නවනෙ සී.අයි.ඩී.එකේ දන්න කියන අය.උම්..ම්..ම්..හු.ඒ අය කවුරුවත් කීවෙත් නෑ මේක සියදිවි නසා ගැනීමක් කියල. අධිකරණෙට එහෙම වාර්තා කරලත් නැහැල්ලු.
ඔයා අපට හොරෙන් දොස්තර විභාගෙවත් ඇරගත්තද දන්නෙ නෑ, එක බැල්මෙන්ම Cause of the death කියන්න. මොකද? පාදෙණිය මහත්තයල වාගෙ අය ඉන්න රටේ ඉතින් තාක්සනේත් නාරස්සනේ වාගෙ වෙන්න බැරිනෑනේ.
එහෙමත් නැත්තං අර ඉස්සර හිටපු එඩ්ගා කේසිට තිබුණු හැකියාව වාගෙ විඤ්ඤාණය කාගෙ හරි සිරුරට රිංගවල Body Reading කරන්න ඔයාටත් හැකියාව ලැබුණ ද කියල දන්නෙ නෑනෙ. බත්ඇට කැවුං දෙයියො දනී කියන්නෙ ඒකටනෙ.
මට තවත් පොදු ප්‍රශ්නයක් තියෙනවා.
කරෝල බැදුං ද? පපඩං. බැදුංද? කියන්න හරි හැටි දන්නෙ නැතත්,ඔය බැංකු බැදුං කේස් එකක් ගැන හොඳම ස්ක්‍රිප්ට් තොරතුරු දන්නෙ ඔය ශාප්ටර් මහත්තය කියල “හාහූවක්” (ආරංචියක්) තියෙනවා. ඔයා ඒක දන්නෙ නැද්ද?
“චිහ් බෝසත් ගුණෝපේත,සුපේශල ශික්‍ෂාකාමී මේ සත්පුරුෂයන්ගෙන් නේද මම ආපහු ඒ සල්ලි ඉල්ලන්න ගියේ කියල ඇතිවෙච්චි හිත් වේදනාවෙන්වත් ශාප්ටර්ට පණ නහගන්න වාගෙ “අසංකාරික” චිත්තයක් හිතේ පහල වෙලා දිවිනසා ගත්තද දන්නෙ නෑනේද?
අලි මදිවට හරක් කීව වාගෙ ඕව ගැන ඒතරං දුරට කතාකරන එක ඔයාට කෙසේ වෙතත් මගේ ශරීර සෞඛ්‍යයට හොඳ නැති වෙයි.
”ඔයාට මතක ඇතිනෙ අපි දිවයිනේ ඉන්නකොට“උපාලි” (තෙන්නකෝන්) එහෙමත් හිටිය එක. අපි ලේක්හවුස් එකේ පෝද්දලලත් එක්ක ටි්‍රප් ගිය හැටි එහෙම. දැන් ඒ අය මෙහෙ නෑනෙ, ඒ දවස්වල මාත් එක්ක ඒ තරං “පයුරුපාසානෙ” යෙදුණෙ නැතිවුනත් හම්බවුණාම සුහදශීලීව කතා කරපු ලසන්ත මහත්තය (වික්‍රමතුංග). එයා දැන් දකින්නවත් නෑනෙ. මට ඒ අයත් මේ අතරෙ මතක් වෙනව.
පොඩ්ඩෙන් අමතක වෙන්න ගියා. ඇයි තාජුදීන් සහෝදරයා.
පරපීඩක කාමුකත්වය, ස්වයංපීඩක කාමුකත්වය කියල දෙකක් තියෙනවලු. එහෙම නං ස්වයංපීඩක දිවිනසා ගැනීම යන සංකල්පය දිනේෂ් මහත්තයාට ඇතිවුණා වෙන්න බැරිකමකුත් නෑනේද?
කොහොම වුණත් සියදිවිනසා ගැනීම ශරීර සෞඛ්‍යයට බාධාවක් කියන එක නම් දිනේෂ් ශාෆ්ටර් මහත්තයා දන්නේ නැතිව ඇති නේ ද? නැත්නම් ඔහොම කරගනීයැ.
මට කනගාටුවක් දැනෙන්නෙ දෙපාර්තමේන්තුව ගැන. ඔයා “ටක්එකටම” කීවනෙ මේ කේස් එක සියදිවිනහ ගැනීමක් කියල. ඔයා දීර්ඝ කාලයක් තිස්සේම මාධ්‍ය ක්‍ෂේත්‍රයෙ කවර් කෙළේ “පොලිස් ග්‍රවුන්ඩ්” එකමනේ. ඉතින් ඔයා “වැඩ බැරි ටාසන්” කෙනෙකුත් නෙමෙයි නේ. (අර අපිත් එක්ක හිටිය “ස්පෝට්ස් එඩිටර්” කෙනෙක් “ඔලිම්පික් ගේම්” මෙහෙ ඉඳලම කවර් කරල, ඒ රටට ගිය හැටියට ක්ලේම් කළා වාගෙ සිද්ධිත් තියෙනවානෙ.)
මේක දිවිනසා ගැනීමක් කියල ඔයා verdict (තීන්දුව) නොදුන්න නං අපේ මහත්තුරුන්ඩ හොඳ කේස් එකක් “සෝල්ව්” කරන්නත් තිබුණා.
අහවලාගේ උපදෙස්මත, අහවලාගේ මගපෙන්වීමෙන්,අහවලාගේ අධීක්‍ෂණයෙන්, අහවලාගේ මූලිකත්වයෙන් කියල වැලගිය මුලගිය තැන්වල ඉන්න අයගෙ නාමාවලියත් එක්ක පරීක්‍ෂණ පැවැත්විණි කියලා ඔයාට හොඳ ආටිකල් එකක් ඇට්ටි හැලෙන්න ලියන්නත් තිබුණා. දැන් ඉතින් තිස්ස මල්ලිට ලියන්න වෙන්නෙ “අග” කෑල්ල නැතුවයි.
මේ ලිපිය පටන්ගන්න කොටම මම කියල තියෙන්නෙ අපි ඉතිං ගමේ කැලෑකොළ කාල හැදිච්ච “ඇච්චො” (පොඩිඑවුං) කියන එකනෙ.
මේක හරි වෙඩිං එකක්නෙ (මගුලක්නෙ) කියන්නෙ, දිනේෂ් ශාෆ්ටර් දිවිනසා ගන්න පළමුවෙන්ම තමන්ගෙ අත පය බැඳගෙන ඊට පස්සෙ බෙල්ල බැඳගත්ත ද? කියන එකත් ප්‍රවෘත්තියට ඇතුළත් කළානං නාකද? (අපේ ගමේ අය මේ වචනය කින්නෙ හොඳයිනේ ද? කියල අහන එකට)
මම “ඔඩිට්” එකේ රාජකාරියට ගිහින් “ෆොරස්ට්” ඩිපාට්මන්ට් එකේ වැඩකට ගිය දවසෙ ඒකෙ ලොක්කෙක් මාත් එක්ක සුහදව කතාකර කර ඉන්නකොට (ඒකාලෙ) කියපු කතාවක් මට තාම මතකයි.
“ෆොරස්ට් එකේ ඉන්න (ඇතැම්) අයට ඌරු කටකුයි බූරු පිටකුයි තියෙන්න ඕනැ කියල එයා කීවා.” මම ඇයි අහපුවාම “ජරාව කන්නයි, කොච්චර ගැහුවත් ඔහේ නොදැනෙන්න ඉන්නයි” කියල.
“ඇත්තට ම තිස්ස මල්ලි, ඔයාට ඔයාගෙ ආයතනෙ බොස්ල මෙහෙම ලියන්න කියලවත් කීව ද?.” අපටත් ඒ වාගෙ දේ වුණානෙ. මතකද මගෙ “වැටත් නියරත්” සීරිස් එක.
තවත් එකක් බෞද්ධ සාහිත්‍යෙ චරිතයක් කියවෙනව මට මතක හැටියට “පායාසරංජය ද?කොහෙද? කියල. මිනිහ ජීවත් වුණා කියන්නෙ ලොකු ඌරුගාලක් දාගෙන. ඒ කාලෙ මහ නියඟයක් ඇතිවෙලා මිනිස්සුන්ටත් කන්න නැතිවුණාලු. ඉතින් මිනිස්සුන්ට නැතිකොට සත්තුන්ඩ කොහෙන්ද?
ඔය අතරෙ පායාසරංජයට වෙන පලාතකට ගිහින් ආපහු එන්න වෙච්චි වෙලාවක, ගිහින් පාර වැටිල තිබුණෙ මහ විශාල පර්වතයක් පාමුලින්ලු. ඒ නගරෙ මිනිස්සු වැසිකිළිය හැටියට පාවිච්චි කරල තියෙන්නෙ ඒ පර්වතේ.
මිනිස්සු කාලයක් තිස්සේ ඒ පර්වතේ උඩ ඉඳල ඒකාරනේ කරපුවාම පර්වතේ පාමුල ඒවා කඳු වාගෙ ගොඩ ගැහිල තිබුණලු. අනිත් අතට ඉඩෝරෙ (නියඟය) නිසා මේව “කරකුට්ටං”වෙලත් තිබුණලු.
ඉතින් මේ මනුස්සය අදවත් මගේ ඌරන්ඩ හොඳ ඩයට් එකක් දෙන්න පුළුවනි කියල හිතල මිනිහගෙ සළුවට අරවැං පොදියක් බැඳගෙන “ෆුල් ලෝඩ්”එක ඔළුව උඩතියාන එනකොට වහින්න පටන් ගත්තලු.
ඉතින් වැස්සට අරව දියවෙවී මිනිහගෙ සර්වාංගෙ පුරා වැක්කෙරෙන්න පටන් ගත්තලු. මිනිස්සු කෑගහල ඇහුවලු “මොකද යකෝ ඔය” කියල. ඒත් මිනිහ වගේ වගක් නැතිව ඉතුරු ලෝඩ් එකත් ඔළුව උඩ තියාන යනකොට මිනිස්සු හූ තියන්න ගත්තලු.
ඉතින් තිස්ස මල්ලි ඕක තමයි මටත් කියන්න තියෙන්නෙ. ඒ මොකද දන්නවද? අර මොකක්ද රටකට අපේ රටෙන් කාන්තාවො යවල මොකක්ද ජාවාරමක යෙදෙව්ව කියල මහා ජංජාලයක් පහුගිය කාලෙ තිබ්බ.
මාධ්‍යයත් අන්න ඒ වෘත්තියෙ යොදවන්න ගියාම නිකා.. ආං.. ආං සවුත්තු වෙනවාය. හරිද?
මාධ්‍යයට වගේම මාධ්‍යවේදියකුට vision එකක් වෙනුවෙන් mission එකක් තිබිය යුතුය. ඒ සමාජය prison එකකට යැවීමට නොවේ.

චන්ද්‍රසේන මාරසිංහ










