• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

විජය මරන හැටි ඇහින් දුටු එකම සාක්ෂිකාරිය පළමුවරට කරන හෙළිදරව්ව

March 3, 2021
in Exclusive, Uncategorized
Reading Time: 10 mins read
A A
විජය මරන හැටි ඇහින් දුටු එකම සාක්ෂිකාරිය පළමුවරට කරන හෙළිදරව්ව
Share on WhatsAppShare on Facebook

විජය මහත්තයා එළියට යනවත් එක්කම වගේ මට ඇහෙනවා රතිඤ්ඤා පුපුරන සද්දයක් වගේ හඬක්. අපිට වෙඩි සද්ද හුරු නැහැනේ. මම ඒ වෙලාවේ මගේ හිතින්ම කියා ගත්තා කවුද මේ විජය මහත්තයා එළියට බහින කොටම රතිඤ්ඤා පත්තු කරන්නේ කියලා. මමත් ගෙදරින් එළියට ආවා. ඒ එක්කම මට පේනවා තුවක්කුවක් අතින් ගත්තු මිනිහෙක් ඉස්සරහට දුවගෙන එනවා. එතකොට ඒ මිනිහා විජය මහත්තයා ළඟටම දුවගෙන ඇවිත් ඉවරයි. ඒ එක්කම මම දැක්කා ඒ මිනිහා විජය මහත්තයාගේ දිශාවට තුවක්කුව එල්ල කරනවා. තුවක්කුවෙන් දිගට, හරහට වෙඩි යනවා දැක්කා. මම මහ හයියෙන් කෑගහගෙන ඒ පැත්තට දුවගෙන ගියා. මෙතැන වෙඩි තියන බවක් එතකොට ගේ ඇතුළේ ඉන්න කිසි කෙනෙක් දන්නේ නැහැ. මේ ගැන කියන්න මම ඊට පස්සේ හැරිලා ගේ ඇතුළටම දිව්වා. මැඩම් සාලයේ හිටියා. ‘විජය මහත්තයාට වෙඩි තියනවෝ’ කියලා මම කෑගහලා කිව්වා. එතකොට තමයි ගේ ඇතුළේ සිටි අය දැනගත්තේ.
පස්සේ මැඩම් එළියට දුවගෙන ආවා. මම ආයිත් පාරක් විජය මහත්තයා වැටිලා හිටපු තැනට දිව්වා. එතැන මම කෑගගහ පෙරළි, පෙරළී අඬන්නට ගත්තා. ඒ එක්කම මිනිස්සු විශාල ප්‍රමාණයක් එතැනට ආවා. මිනිස්සු මගෙන් ඇහුවා මේ කවුද කියලා. ඇත්තටම කවුද කියලා අඳුනා ගන්න බැරි වුණා. ඒ වටවෙලා හිටපු මිනිසුන්ට. මිනිස්සු මාව අඳුනන්නෙත් නැහැ. ඒත් එක්කම මම කිව්වා මේ ඉන්නේ විජය කුමාරතුංග මහත්තයා කියලා. ඒක අහපු ගමන් මිනිස්සු හුඟක් දුක්වෙලා අඬන්නට පටන්ගත්තා. මේක සිද්ධ වුණේ පාර අයිනේ. ප්සසේ විජය මහත්තයාව ඇතුළට අරගෙන ආවා. ඉස්පිරිතාලෙට ගෙනියන්න කියලා. පස්සේ ඔක්කොම එකතුවෙලා විජය මහත්තයාව රෝහලට ගෙනිච්චා. ඒත් මහත්තයා උස්සලා ගන්න කොටම මූණෙන් මස් වැදලි බිමට වැටුණා. බෙල්ල පණ ගැහි, ගැහී කැරකෙන්න වගේ ගත්තා. විජය මහත්තයාගෙන් ලේ සාගරයක්ම ගලා ගියා. එයාගේ මූණටමයි වෙඩි තියලා තිබුණේ.

හුඟක් චිත්‍රපට කතා පටන් ගන්නේ කතාවේ මුල ඉඳලමයි. ඒත් සමහර චිත්‍රපට කතාවේ අග ඉඳලම පටන් ගන්නවා. ඒ කිව්වේ කතාවේ අග මුලින් කියලා පස්සේ කතාව පටන් ගන්නවා. මේ දෙකටම නැති සමහර චිත්‍රපට කතා පටන් ගන්නේ කතාවේ උච්චතම තැන නොහොත් කූටප්‍රාප්තියේ සිටයි. අපේ මේ කතාවත් එහෙම තැනක ඉඳලා පටන්ගන්න එකක්. ඒත් මේක චිත්‍රපට කතාවක් නෙවෙයි. චිත්‍රපට ලෝකයද අභිභවා ගිය මෙම ත්‍රාසජනක, භීතිමත් වගතුග අපේ ඉතිහාසයේ කළු අකුරින් ලියැවුණු එකක්. විජය කුමාරතුංග නමැති අති සුවිශේෂී මිනිසාගේ ජීවිතය යක්‍ෂයන් විසින් කුරිරු ලෙස ඩැහැගෙන යෑම එම නොමැකෙන සටහනයි. මේ බියකරු කතාන්දරය ගැන අප නොයෙකුත් කරුණු අසා තිබුණද, මෙහි පැවසෙන වගතුග හෙළි වන්නේ පළමු වතාවටය. එනම් මෙහිදී මුලින්ම ලියා තැබූ මෙතෙක් සමාජයට හෙළි නොවූ ශෝකීය කතාව එය විය. මෙයට වසර 33කට පෙරදී අතිශය අමානුෂික ලෙස ඝාතනයට ලක්වූ මානව හිතවාදී මහා කලාකරුවා සහ දේශපාලකයා වූ විජය කුමාරතුංගයන් ගැන මෙම දුර්ලභ වගතුග කියා සිටින්නේ එක් සුවිශේෂී කාන්තාවක විසිනුයි.

ඇගේ නම තිලකා පොඩි මැණිකේ මහත්මියයි. ඇය දීර්ඝ කාලයක් පුරා හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ පෞද්ගලික ලේකම්වරිය වශයෙන් සේවය කළ කාන්තාවයි. විජය කුමාරතුංගයන් ඝාතනය වන විට එය සජීවීව ඇසින් දුටු එකම පුද්ගලයා වන්නේ ඇය බැව් ප්‍රකාශ වෙයි. එහෙත් මෙතෙක් කාලයක් ඇය මේ වගතුග නිසිලෙස මාධ්‍යයට ප්‍රකාශ කළේ නැත. තිලකා පොඩිමැණිකේ මහත්මිය පසුගියදා ‘වනැස ටී.වී.’ නමැති රුපවාහිනී ‘යූ-ටියුබ්’ නාලිකාවකට මෙම සුවිශේෂී කතාව ප්‍රකාශ කර තිබිණි. මෙය සැබෑ ලෙසම ඇසින් දුටු සාක්‍ෂියක් වන අතර, ඇය සියලු වගතුග මාධ්‍යවේදියකු වෙත ප්‍රකාශ කර සිටින්නීය.

එදා උදේ මම එනකොට විජය කුමාරතුංග මහත්තයා ගෙදර හිටියේ නැහැ. ඊට පෙර දවසේ විජය මහත්තයා හලාවත යනවා කියලා තිබුණා. ඒ බව අපි දැනගෙන හිටියා. ඊට පස්සේ හලාවත ගිහින් එදා දහවල් 11ට විතර ගෙදර ආවා. විජය මහත්තයා විසින් රට යන්නට හදලා දීපු කෙනෙක් හිටියා. වේයන්ගොඩ උපාලි කියලා. ඒ වෙලාවේ එයා ගෙදරට ඇවිත් හිටියා. උපාලි ඒ වෙලාවේ චන්ද්‍රිකා මැඩම් එක්ක සාලයේ කතා කරකර හිටියේ. විජය මහත්තයා ගෙදරට ඇවිත් උඩ තට්ටුවට යන ගමන් අර උපාලිගෙන් ඇහුවා ‘උපාලි අර වැඩේ හරිද?’ කියලා. උපාලි කිව්වා ‘ඒක හරි කියලා’ විජය මහත්තයා ආයිත් ඇහුවා ඔයා යන්නේ කවදද කියලා. උපාලි ඊට පස්සේ ළඟ ආසන්න දිනයක් කිව්වා. දිනය මට දැන් මතක නැහැ. විජය මහත්තයා තමයි කාටහරි කියලා මේ රට යන ගමන හදලා දීලා තියෙන්නේ. මේ අතරේදී විජය මහත්තයා දරුවන් දෙදෙනාගෙන් ඇහුවා මම්මලාගේ ගෙදර යන්නේ කවුද කියලා. ‘මම්මා’ කියලා කියන්නේ එයාගේ අම්මට. ඒ වගේම දරුවන් කියන්නේත් එයාට ‘මම්මා’ කියලා. ඒක ඇහිලා දරුවන් දෙන්නම කිව්වා මාත් එනවා, මාත් එනවා කියලා. ඊට පස්සේ දරුවන් සමඟ විජය මහත්තයා ලෑස්ති වෙලා විනාඩි 10කින් විතර පහළට බැස්සා.
තිලකා පොඩිමැණිකේ මහත්මිය තම කතාව බොහෝ හැඟුම්බරව කියාගෙන යන්නීය. ඇයගේ කතාවට දිගු පැනයක හරස්වීමක් නැත.

ගෙදරට ඇවිල්ලා හිටපු උපාලි සාලේ මැද මැඩම් සමඟ කතා කර කර හිටියේ. මම හිටියේ පඩිපෙළ පල්ලෙහායි. විජය මහත්තයා එළියට යන්නට එන ගමන් ආයිත් උපාලිගෙන් ඇහුවා රට යන ගමන යෙදෙන දිනය ගැන. උපාලි එයා යන දිනය විජය මහත්තයාට කිව්වට පස්සේ විජය මහත්තයා එක පාරටම කිව්වා, ‘අපෝ එහෙනම් වැඩක් නැහැ. ඕගොල්ලන් එනකොට අපි මැරිලා වළලපු තැන්වල ගස්කොළන් තියේවි’ කියලා. එතකොට විජය මහත්තයා දිහා බලලා මම කිව්වා ’ඔය ඕන නැති කතා කියාගෙන යන්න එපා’ කියලා. එහෙම එළියට යනවාත් එක්කම වගේ මට ඇහෙනවා රතිඤ්ඤා පුපුරනවා වගේ සද්දයක්.’

ඇයගේ එම කතාව මඳකට නතර කර තබමු. තිලකා මහත්මියගේ එම කතාවේ උච්චතම සහ ඛේදනීයම වගතුග ඇසෙන්නේ ඉන් පසුවය. එම උද්වේගකර වදන් පෙළ මම ඔබට මුලින්ම ලියා තැබුවෙමි. එහෙත් ඇයගේ මෙම සංවේගාත්මක කතාවේ තවත් බොහෝ තොරතුරු ඇත. රූපවාහිනී මාධ්‍යවේදියා විසින් විමසන පැනයත් සමඟ ඇය සමහර තොරතුරු පවසා සිටින්නීය. මෙම සාකච්ඡාව හරියටම පැවැත්වෙන්නේ විජය කුමාරතුංගයන්ගේ 33 වැනි ගුණානුස්මරණ දිනයේදී වන අතර, එනම් පසුගිය 2021 පෙබරවාරි 16 වැනිදාය.

දැන් මෙම මහා ඛේදාන්තයේ සැබෑ හැරවුම් ලක්‍ෂ්‍යය මත ඔබත්, මමත් සිටගෙන සිටින්නෙමු. විජය කුමාරතුංගයන් නම් මහා සත්‍යවාදියාගේ සුසුම් පොද පාපතර යක්‍ෂයන් විසින් ඩැහැ ගන්නට තත්පර ගණනාවකට පෙර ඔහුගේ මුවින් පිටවූ වදන් දෙස බලන්න.

‘අපෝ එහෙනම් වැඩක් නැහැ. ඕගොල්ලන් එනකොට අපි මැරිලා වළලපු තැන්වල ගස් කොළන් තියේවි’
හරියටම තත්පර 10ක් හෝ 12ක් ගතවෙන්නට ඇතිය. ‘ටී-56’ හෝ ‘ඒ.කේ.-47’ හෝ ගිනිඅවියේ හඬ සමහරවිට එක සමාන වන්නට ඇතිය. යක්‍ෂාවේෂ වූ සිංහල ත්‍රස්තයෝ මේ උතුම් මිනිසාගේ ජීවය සැණෙන් ගිලගත්තෝය. තත්පර ගණනාවකින් නාරාහේන්පිට, පොල්හේන්ගොඩට අහසින් මහා කඳුළු වැස්සක් කඩාගෙන වැටුණේය. එය ගංගාවක් වී දසත ගලායන්නට විය. කුමාරතුංගයන්ගේ මේ ඛේදාන්තය ගැන අප පසුගිය කාලයක් පුරා විවිධ වගතුග රාශියක්ම අසා ඇතත්, පසුගියදා සිදු කෙරුණු මෙම සාකච්ඡාවේදී තිලකා පොඩිමැණිකේ මහත්මිය ප්‍රකාශ කළ සමහර කරුණු අසන්නට වී ඇත්තේ ප්‍රථම වතාවටය. එනම් ඇය පවසා ඇති, මරණය ගැන විජය පැවසූ අවසාන වදන් අතිශය පුදුමාකාර සංසිද්ධියකි. එසේම මෙම වැඩ සටහනේ එක් තැනක චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය පෙර සහභාගි වූ රූපවාහිනී වැඩසටහනක කොටසක් විකාශය වන අතර, එහිදී ඇය තිලකා පොඩිමැණිකේ මහත්මිය ගැන යම් සඳහනක් කරන්නීය. එහිදී ඇය පවසන්නේ පොඩිමැණිකේ මහත්මිය තමන්ගේ පුද්ගලික ලේකම්වරිය ලෙස කටයුතු කරන බවත්, එදා විජය ඝාතනය කරන විටදී පොඩිමැණිකේ මහත්මිය එම සිදුවීම වන ආකාරය දුටුබවත්ය. චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ මෙම ප්‍රකාශය නිසා එම ඇසින් දුටු සාක්‍ෂිය අතිශය වටිනා වගතුගකි. එම රූපවාහිනී සාකච්ඡාවේදී තිලකා පොඩිමැණිකේ මහත්මිය ප්‍රකාශ කළ තවත් කරුණු එම අතීතය අවදි කරයි.

විජය කුමාරතුංග මහත්මා, කලාකරුවා, මානවහිතවාදියා සහ දේශපාලකයා ඔබ කෙසේද හැඳින ගන්නේ?

මම මුලින් විජය කුමාරතුංග මහත්තයා හඳුනාගන්නේ නැහැ. එහෙත් මම එකල චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය හඳුනනවා 1973 වසරේදී ඉඳන්ම. මම ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ රැකියාවට එනකොට එතුමිය එතැන රැකියාව කරනවා අධ්‍යක්‍ෂිකාවක් හැටියට. 1977 මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය පරාජයට පත්වුණා. ඊට පස්සේ චන්ද්‍රිකා මැතිනිය රැකියාවෙන් අයින් වුණා. යූ.එන්.පී, රජය විසින් ප්‍රබල ශ්‍රී ලංකා නිදහස් පාක්‍ෂිකයන් රැකියාවලින් අයින් කළා. ඒ පිරිසට මමත් අයත් වුණා. ඊට පස්සේ මම මාසයක් විතර ගෙදර ඉන්න කොට මැඩම් මට කතා කරලා කිව්වා, මම ‘දිනකර’ කියලා දේශපාලන පත්තරයක් කරනවා. ඒකේ වැඩ කරන්න එන්න කියලා. එතැන වැඩ කරන අතරවාරයේදී තමයි චන්ද්‍රිකා මැතිනිය විජය මහත්තයා සමඟ විවාහ වුණේ. ඊට පස්සේ මැඩම් මට කිව්වා ගෙදරට ලේකම්වරියක් නැහැ, ඒ නිසා එහි ඇවිල්ලා වැඩ කරන්න කියලා. ඒ අනුව තමයි මම එතුමියගේ පුද්ගලික ලේකම්වරිය බවට පත්වුණේ. විජය මහත්තයා හරියට දැන හඳුනා ගත්තේත් ඉන් පසුවයි.’

විජය මහත්තයාගේ ඝාතනය හරිම බිහිසුණු එකක්. ඔහු රටම ආදරය කරපු ජනතාහිතකාමී කලාකරුවෙක්. මෙවැනි කෙනකුගේ මුහුණටම වෙඩි තබන්න තරම් ඝාතකයන් සාහසික වුණා. ඔබතුමිය තමයි මෙම කුරිරු ඝාතනය ඇස දුටු එකම සාක්‍ෂිය, මෙය හරිම විශේෂ අත්දැකීමක් නේද?

ඔව්… මට ඔය සිදුවීම් කිසිම විටක අමතක වන්නේ නැහැ. විජය මහත්තයාගේ මූණටමයි වෙඩි තිබ්බේ. ඒ වෙලාවේ ලේ සාගරයක්ම ගලාගෙන ගියා. ඒත් එක්කම මම දැක්කේ විජය මහත්තයාගේ ඇඟත් බැහැලා ගියා වගේ. මරන්න ආපු අය සැරෙන් සැරේ මෙතැනට ඇවිත් තොරතුරු බලන්න ඇති. මෙතැන අවි ආයුධ නැති තැනක් කියලාත් දැනගන්න ඇති. ඒක නිසා පහසුවෙන් ඇවිල්ලා වෙඩි තිබ්බා. කොහොම හරි විජය මහත්තයා ඉන්න දවස්වල එක වෙලාවක කවුරු හරි කිහිප දෙනෙක් ඇවිල්ලා ගේට්ටුවට ගහනවා, ගහනවා. එදා එතැන ‘සිකියුරිටි’ ළමයත් හිටියේ නැහැ. විජය මහත්තයා හම්බ වෙන්න ඇවිල්ලා ගේ ඇතුළේත් දෙතුන් දෙනෙක් හිටියා. පස්සේ විජය මහත්තයා මට කිව්ව. ‘තිලකා පොඩ්ඩක් ගේට්ටුව ළඟට ගිහින් බලන්න’ කියලා. ඒ නිසා මම එතැනට ගියා. ඒත් එක්කම කවුදෝ මහත්තයෙක් ඇවිත් මට කිව්වා, මුන් ඇතුළට ගන්න එපා මුන් හොරු’ කියලා. විජය මහත්තයාට කියන්නත් එපා. මුන් ඇවිල්ලා ඉන්නවා කියලත් මට කිව්වා. තවත් මොනවා හරි ඒ මහත්තයා කිව්වා. මට ඒක එතරම් තේරුණේ නැහැ. පස්සේ මම විජය මහත්තයට ගිහින් මේ තොරතුරු කිව්වා. ඒත් ඔහු කිව්වා ‘නෑ… නෑ… කමක් නෑ… ඒ අය ඇතුළට ගන්න කියලා. පස්සේ විජය මහත්තයා ළඟට එක්කරගෙන ආවා. විජය මහත්තයා මේ ළමයින්ගෙන් ඇහුවා මොකටද ආවේ කියලා. එතකොට මේ අය කිව්වා අපිට රස්සාවක් හොයාගන්න උදව් ගන්න ආවේ කියලා. විජය මහත්තයා හිනහ වෙලා කිව්වා, ‘මල්ලිලා දන්නවනේ මට මේ ආණ්ඩුව රජයේ රස්සාවල් දෙන්නේ නැති බව, අපේ ආණ්ඩුවක් ආපු දවසට මම මල්ලිලාට රස්සාවල් දෙන්නම්’ කියලා හිතහදලා ඇරියා.’

විජය කුමාරතුංග මහත්මයා ඝාතනය කරපු ස්ථානයේ බිම චිත්‍ර පොතක් වැටිලා තිබුණා. එම රූපරාමු අදටත් එම දර්ශනවලින් දැකිය හැකියි. එතැන කුමක්ද සිදුවුණේ?

ඒක වුණේ මෙහෙමයි. ඒ දවස්වල විජය මහත්තයා මාතර මළගෙදරක ගිහිපු වෙලාවකදී හමුවෙලා තිබිලා තියෙනවා ඉතාමත් දක්‍ෂ ලෙස චිත්‍ර අඳින්න පුළුවන් කෙනෙක්. විජය මහත්තයා මෙයාව කොළඹට ගෙනැවිත් තිබෙනවා. ඒ අතරේදී ඔහු ගෙදරට ගෙනැවිත් දරුවන් දෙදෙනාට චිත්‍ර අඳින්න පුරුදු කළා. එදා විජය මහත්තයා එළියට යනවිට මෙහෙම ඇඳපු චිත්‍ර පොතක් දරුවන් අතේ තියන්න ඇති. දරුවන් දෙදෙනාත් විජය මහත්තයා එක්ක එළියට යන්න ගියා. ඒත් ඒ වෙලාවේ ළමයින්ගේ ප්‍රතිචාරය මොකක්ද කියලා මතක නැහැ. ඒ වගේම ළමයින්ටත් මේ සිදුවීම ගැන හරි මතකයක් දැනටත් නැහැ. මම්මලාගේ ගෙදර යනවා කියපු නිසා දරුවන් ඒ අයගේ සෙල්ලම් බඩු, චිත්‍ර අඳින පොත් එහෙම අරගෙන ගියා. එතැන එදා වැටිලා තිබුණේ ඒ පොත තමයි.’

විජය කුමාරතුංග මහතාව ඝාතනය කරන්න කිහිප වතාවක්ම උත්සාහ කළා. ඇයි මේ ආරක්‍ෂාව ගැන නිසි සැලකිල්ලක් දැක්වූයේ නැත්තේ?

එහෙම තමන් මරයි කියලා ඔහු එතරම් හිතන්නේ නැතුව ඇති. එක සැරයක් නම් මාත් එක්ක කියලා තියෙනවා, ‘මැරුණට කමක් නම් නැහැ, ඒකට මගේ දුකක් නැහැ. ඒත් මගේ දුවට අවුරුදු 17ක් වෙනකම්වත් ඉඳලා මැරුණ නම් හොඳයි කියලා. මම එතකොට ඇහුවා ඇයි දුව විතරක්, පුතා ගැන මොකද කියලා. එතකොට විජය මහත්තයා කිව්වා, ‘ඌ කොහොම හරි මම වගේ ජීවත් වේවි’ කියලා.

ඔබතුමියට දැන් වයස කීයක්ද කියලා ඇහුවාට කමක් නැතිද?

‘ඔව්… කමක් නැහැ. මට දැන් අවුරුදු 78ක්.

ඔබ තවමත් අවංකවම හිටපු ජනාධිපතිනිය සමඟ කටයුතු කරනවා නේද? ඒ විශ්වාසය ඔබ දිනාගෙන තිබෙනවා නේද?

‘ඔව්… මම තවම එතුමිය සමඟ කටයුතු කරමින් සිටිනවා.’

විජය කුමාරතුංග ඝාතනය සැලසුම් කළ එකක්ද? කාගේ උවමනාවටද මේක සිදුකළේ? අනාගතයට ඔහු මේ රටේ ජනාධිපති වෙයි කියලා බොහෝ දෙනකු එකල කිව්වා. ඒ නිසාද මේ වගේ විනාශයක් සිදුකළේ?

’ඔව්… ඒක ඇත්ත. සමහරවිට ඒක මූලික වෙන්නත් ඇති. අනාගත ජනාධිපති වෙන එක නතර කරන්න කරා වෙන්නත් පුළුවන්.’

රටේ ඉදිරි ජනාධිපති ‘විජය’ කෙනෙක් වෙනවා කියලා එකල ආන්දෝලනයක් තිබුණනේ?

ඔව්… ප්‍රධාන හේතුවත් ඒක වෙන්න ඇති. ඒත් ඔහු සිටියා නම් ජනාධිපති වෙන එක වළක්වන්නත් බැහැ.

මිනිසුන් මහා පුදුමාකාර විදියට විජය කුමාරතුංගයන්ට ආදරය කළා. විජය කුමාරතුංග කියන සන්නාමය මුළු රටක්ම දන්නවා. ඔහු ජනමතයට කතා කරන්න පුළුවන් සැබෑ දේශපාලනඥයෙක්. ජනවාර්ගික අර්බුදය විසඳන්න ඔහු මහත් කැපකිරීමක් කළා. ඔහු සැබෑ නිර්ව්‍යාජ මිනිසෙකු නේද?

ඔව්… සහතික ඇත්ත. විජය මහත්තයා යාපනයටම ගිහිල්ලා ජනවාර්ගික අර්බුදයට විසඳුම් සොයන්න උත්සාහ කළා. ඒ වගේම ඔහු හැම කෙනකුගේම ආදරය දිනාගෙන හිටිය කෙනෙක්. විජය මහත්තයා චිත්‍රපට රඟපාලා ලබාගන්නා මුදල් පවා සාමාන්‍ය මිනිසුන්ගේ ඕනෑ එපාකම්වලට අනන්තවත් දුන්නා. ඒත් මේ උදව් ඔක්කොම කරන්නේ තවත් කෙනකුට පෙනෙන්න නෙවෙයි. හැම තිස්සෙම අනෙක් අයට උදව් කළේ තමන්ගේ අත යටින් හංගලා.

ලෝකෙට පේන්න ඔහු ඒවා කළේ නැහැ. ඔහු එහෙම කළේ අනෙක් කෙනාට මදිකමක් නොවෙන්නයි.’

ඒ කාලේ බොහෝ දෙනෙක් මේ ඝාතනය ගැන කිව්වේ ‘සමනලයකුට වෙඩි තිබ්බා’ කියලා. ඒ තරම්ම ඔහු අහිංසකයි?
‘ඔව්… විජය මහත්තයා පුදුම අහිංසක මනුස්සයෙක්. ඊටත් වඩා ඔහු අනෙක් මිනිසුන්ට පුදුමාකාර විදියට ආදරය කරපු කෙනෙක්. ඔව්… හරිම ආදරෙයි.’

මහා කලාකරු සහ මානවහිතවාදී දේශපාලකයකු වූ විජය කුමාරතුංගයන්ගේ මරණය නොහොත් ඝාතනය ගැන අප පසුගිය වසර 33ක් පුරාවටම විටින් විට නොයෙකුත් කතාන්දර අසා ඇත්තෙමු. එහෙත් මෙවර පසුගියදා අපට අසන්නට ලැබුණු මෙම කතාව ඉන් වෙනස් ආරක් ගත්තේය. එසේ වීමට එකම හේතුව වූයේ, ඇසින් දුටු එකම සාක්‍ෂිය මෙම කතාන්දරය වීමය.

විජය කුමාරතුංගයන් ඝාතනය කළේ ජනතා විමුක්ති පෙරමුණ විසින් බව සමාජය දන්නා සුලභ කරුණකි. ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වය වන රෝහණ විජේවීර විසින් විජය ඝාතනය සඳහා උපදෙස් සහ නියෝගයන් ලබාදුන් බවට කරුණු ප්‍රකට විය. එම නායකත්වය උපදෙස් ලබාදී තිබුණේ කුමාරතුංගයන්ගේ මුහුණ සහ හිස විනාශ වන පරිදි වෙඩි තබා ඝාතනය කිරීමටය. ඒ නිසාම ඝාතකයන් විජයගේ ශරීරයට වෙඩි තබා බිම වැටුණු පසු ඒ අසලට ගොස් හිසට සහ මුහුණට දිගට, හරහට වෙඩි ප්‍රහාර එල්ල කළේය. එම නිසා විරූපී වී ගිය ශරීරයේ හිස සහ මුහුණු කොටස් වසා දේහය ප්‍රදර්ශනයට තැබුවේය. ශ්‍රී ලංකාවේ මෙතෙක් කිසිදු අවමංගල උත්සවයකට සහභාගි නොවූ අති දැවැන්ත ජනතාවක් විජය කුමාරතුංගයන්ගේ අවමංගල උත්සවයට සහභාගි වූයේය. විජය ඝාතනය සඳහා පැමිණි ලයනල් රණසිංහ (වෙඩික්කරු) සහ මෝටර් බයිසිකලය පැදවූ ටාසන් වීරසිංහ යන දෙදෙනාම ජනතා විමුක්ති පෙරමුණේ සන්නද්ධ අංශයේ ප්‍රබල ක්‍රියාකාරීන් ලෙස හඳුනාගත්තේය. මෙම ලයනල් සහ ටාසන් දෙදෙනා භීෂණ කාලයේදී විවිධ පුද්ගලයන් 50කට වැඩි පිරිසක් ඝාතනය කළ බවට පසුව ඔවුන් විසින් පිළිගෙන තිබිණි. මෙම කුරිරු ඝාතකයන් පසුව පොලිස් අත්අඩංගුවට පත්වූ අතර, ලයනල් රණසිංහ 1989 ඔක්තෝබර් 04 වැනි දින අලුයම පාදුක්ක කැලෑබද ප්‍රදේශයකදී ඝාතනය වී තිබිණ. කුරිරු මුරුගයකු එසේ අවසන් ගමන් ගියේය.

ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

අප්‍රේල් 21: කාදිනල් හිමි ආණ්ඩුවට දින දෙයි

Next Post

පාස්කු වාර්තාවේ රහස් නීතිපතිගෙන් හංගයි

MORE NEWS

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

ආපු ගමන් ජයසූරිය ජූලි මාසයේ රෙකෝඩ් එකක් තියයි!
Exclusive

ක්‍රිකට් අතුරු කමිටුව ගැන ස්ථාවරය දැනුම් දෙමින් ICCය ලංකාවට ලියුම එවයි! වහාම නිලවරණය තියන්න කියලා? I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මහබැංකුවයි භාණ්ඩාගාරයයි මතගැටුමක! භාණ්ඩාගාරය කියන දේ මහබැංකුව ප්‍රතික්ෂේප කරලා! මෙහෙම කොහොමද මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

Load More
බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඕස්ට්‍රේලියාව තුළ දුම්පානය ආශ්‍රිත රෝගාබාධ හේතුවෙන් මියයන පුද්ගලයන්ගේ සංඛ්‍යාව මින් පෙර ඇස්තමේන්තු කර තිබූ ප්‍රමාණයට වඩා බෙහෙවින් වැඩි බව ලෝක...

Read more
බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

ආපු ගමන් ජයසූරිය ජූලි මාසයේ රෙකෝඩ් එකක් තියයි!

ක්‍රිකට් අතුරු කමිටුව ගැන ස්ථාවරය දැනුම් දෙමින් ICCය ලංකාවට ලියුම එවයි! වහාම නිලවරණය තියන්න කියලා? I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මහබැංකුවයි භාණ්ඩාගාරයයි මතගැටුමක! භාණ්ඩාගාරය කියන දේ මහබැංකුව ප්‍රතික්ෂේප කරලා! මෙහෙම කොහොමද මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.