ව්‍යවස්ථාවෙන් හිමිව ඇති නිල ධූර කාලය ඉක්මවා ගොස් තිබියදීත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නීති විරෝධී ආකාරයට නිලතල දරමින් ඇතැම් පුද්ගලයන් කටයුතු කරන බව දැනුම් දෙමින් කෝල්ට්ස් ක්‍රීඩා සමාජය ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා හට ලිඛිතව දැනුම් දීමක් කර ඇත.
එම ක්‍රීඩා සමාජයේ සභාපති නිශාන්ත රණතුංග මහතාගේ අස්සනින් යුතුව මෙම ලිපිය යොමු කිරීමට පියවර ගෙන තිබේ.
අදාළ ලිපිය මගින් නිශාන්ත රණතුංග මහතා පෙන්වා දී ඇත්තේ ව්‍යවස්ථාවට අනුව මෙම නිලධාරීන් වසර 2ක කාලයක් සදහා පමණක් පත්වන නමුත් මේ වනවිට මෙම පිරිස වසර 2ක කාලය ඉක්මවා රාජකාරී කරමින් සිටින බවත්ය.
2019 පෙබරවාරි 21 දින ක්‍රිකට් නිලවරණය පැවැති බවත්, වසර 2ක් ඉක්ම යාමෙන් අනතුරුව 2021 පෙබරවාරි 21 වන දින ඔවුන්ගේ කාලසීමාව ඉක්ම යන බවත් ක්‍රීඩා අමාත්‍යවරයා වෙත පෙන්වා දී ඇති රණතුංග මහතා එසේ වුවත් තවමත් ඔවුන් එම නිලතලවල රැදී සිටින බවද පෙන්වා දී ඇත.
එම නිසා නීතිවිරෝධීව කටයුතු කරන මෙම පිරිස් ඉවත් කොට නිලවරණයක් පවත්වන තෙක් අතුරු කමිටුවක් පත් කරන ලෙසද රණතුංග මහතා සිය ලිපිය මගින් ක්‍රීඩා අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කර ඇත.












