පාස්කු ඉරුදින ප්‍රහාරයට වගකිවයුත්තන්ට එරෙහිව දැනට ගෙන ඇති නෛතික ක්‍රියාමාර්ග පිළිබඳ සෑහීමකට පත් නොවන බව වත්මන් ආණ්ඩුව බලයට එන විට කතෝලික ජනතාව විශ්වාස කරන්නේ පාස්කු ප්‍රහාරයේ සැඟවුණු සත්‍යය රටට හෙළිකරමින් එම ප්‍රහාරයට ගෑවී සිටින සෑම පුද්ගලයෙක්ම තරාතිරම නොමැතිව අත්අඩංගුවට ගනීවි යැයි කියාය. එදා පැවැති යහපාලන ආණ්ඩුව කෙරෙහි ඒ වන විට කතෝලික ජනතාවගේ විශ්වාසය දැඩිව පළුදුවී තිබීමත් එම ආණ්ඩුව දිගින් දිගටම මැල්කම් රංජිත් කාදිනල් හිමියන්ගේ විවේචනයට ලක්වීමත් වත්මන් ආණ්ඩුව බලයට ඒමට මුල්වූ හැරවුම් ලක්ෂය යැයි සඳහන් කළහොත් වරදක් නැති තරම්ය.
දේශපාලනඥයන්ට අමුකැවිලාද?
එහෙත් වත්මන් ආණ්ඩුව බලයට ඒමෙන් පසුව ඒ විශ්වාසය කොතරම් දුරට රැකගැනීමට ආණ්ඩුව සමත් වීදැයි මේ වන විට ඇත්තේ ප්‍රශ්නාර්ථයකි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශනවලින් මෙන්ම පාස්කු කොමිසමේදී පවා පැහැදිලිවම අනාවරණය වූ සාරා ජෙස්මින් නැමැති බෝම්බකාරිය ජීවතුන් අතර ඒ වන විට ඇතැයි කියැවෙන තොරතුර එසේ නොවන බවට පවසමින් වසාදැමීමට ආණ්ඩුවේම ඇතැම් දේශපාලනඥන් උත්සාහ දැරීම කතෝලික ජනතාව සහ පාස්කු විමර්ශනය පිළිබඳ විශ්වාසය පළුදු වීමේ මූලාරම්භයයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විශේෂඥ සාක්ෂි පදනම් කරගෙන සාරා ජෙස්මින් මියගොස් නැතැයි සඳහන් කරන විට පාස්කු කොමිසම ඊට එහා යමින් සාරා ජෙස්මින් නැමැත්තිය පාස්කු ප්‍රහාරයෙන් මාස ගණනාවකට පසු ඇසින් දුටු සාක්ෂි සොයාගත්තේය. සාරා ජෙස්මින් මරාදැමීමට මේ දූෂ්ඨ දේශපාලනඥයන් උත්සාහ ගන්නේ එවන් පසුබිමක් තුළදීය. අඩුම කරමින් සාරා ජෙස්මින් ඉන්දියාවට පළාවිත් සිටින්නේදැයි පාස්කු ප්‍රහාරය එල්ලවීමට පෙර ඒ ගැන අපට තොරතුරු සැපයූ ඉන්දියාවේ රෝ බුද්ධි අංශයෙන්වත් විමසා බලන්නැයි කියා විමර්ශකයන්ට කීවේද නැත. ඔවුන් තනිකරම සිටින්නේ සාරා මියගොස් ඇතැයි විශ්වාස කරමිනි. එහෙත් විමර්ශකයන් නම් පවසන්නේ ඒ කියන දේශපාලනඥයන්ට අමුකැවී ඇති බවය. අද වන විට කතෝලික ජනතාව පාස්කු ප්‍රහාරය ගැන කෙරෙන විමර්ශන ගැන සැකයෙන් සිටින්නේද එවන් දේශපාලනඥයන්ගේ බොළඳ ක්‍රියා නිසා බවද ඒ නිලධාරීන් කියති.
අබ්දුල් රාසික්ට ප්‍රශ්නයක් නැත්තේ කොහොමද?
මෙහිදී කතෝලික ජනතාවට තවත් ගැටලුවක් පැනනැඟී ඇත්තේ පුලස්තිනී නමැති දෙමළ ජාතික කාන්තාව සාරා ජෙස්මින් ලෙස මුස්ලිම් ආගමට හරයා ඇයව අන්තවාදියකුට විවාහ කර දුන් එසේම පාස්කු බෝම්බ ප්‍රහාරයේ මහ මොළකරුවෙක් බව කියන සහරාන් අන්තවාදයේ කිරි බී හැදීවැඩුණු ශ්‍රී ලංකා තවුහිද් ජමාත් නමැති අන්තවාදී සංවිධානයේ නායකයෙක් වන අබ්දුල් රාසික් සම්බන්ධයෙන් කිසිදු නීතිමය පියවරක් නොගැනීමය. පාස්කු කොමිසමෙන් පවා ඔහු සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන්නැයි නිර්දේශ පවා ඉදිරිපත් කර තිබියදී ඔහු නිදහසේ සිටීම කතෝලික ජනතාවට පමණක් නොව, රටේ බොහෝ පිරිසකට අදටත් ගැටලුවකි. ඒ, ඔහු සම්බන්ධයෙන් අනුගමනය කරන ලිහිල් ප්‍රතිපත්තිය නිසාය.
පල්ලියෙන් ජනපතිට යවපු ලියුම
සාධාරන විමර්ශනයක් සහ සාධාරණත්වයක් ඉල්ලා පල්ලිය කේන්ද්‍ර කරගනිමින් කතෝලික ජනතාව දිගින් දිගටම හඬ නඟන්නට වූයේ මෙවන් කාරණාත් සමග ඇතිවන්නට වූ’සැකයන්ගේ වර්ධනයත් සමගිනි. මේ සැකයේ ගින්න කතෝලික ජනතාව තුළ ඇවිළෙන විට ඊට පිදුරු දමා අවුළමින් වෙනත් වාසි ගැනීමට සූදානම් පිරිස්ද ඒ අතර නැත්තේම නැත. කෙසේ වෙතත් ඉකුත් ජූලියේදී කාදිනල් හිමියන් ප්‍රමුඛ කතෝලික සභාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට පිටු 19ක ලිපියක් යොමුකරන්නේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ඔවුන්ට මේ වන විට පැනනැගී ඇති ගැටලු නිරාකරණය කරගැනීමටය. ඒ සඳහා පිළිතුරු දීමට මාසයක කාලයක් පවා ජනාධිපතිවරයාට කතෝලික සභාව ලබාදුන්නේය. එම ලිපියේ විශේෂ අවධානයට යොමු කළ කරුණු අතර එදා පාස්කු ප්‍රහාරය සිදුවන අවස්ථාවේදී ඒ ගැන කල්තියා බුද්ධි තොරතුරක් ලැබී තිබියදීත් එම බුද්ධි තොරතුරට නිසි අවධානය යොමු නොකිරීම සම්බන්ධයෙන් පාස්කු කොමිසම චෝදනා එල්ලකර ඇති පොලීසියේ නිලධාරීන් සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු පියවරක් නොගැනීමද විය. එම නිලධාරීන්ගේ නම් පවා පැහැදිලිවම ජනාධිපතිවරයාට යොමුකළ ලිපියෙහි සඳහන් කිරීමට පවා කතෝලික සභාව අමතක නොකළේය. කතෝලික සභාවට ගැටලුවක් වූයේ එවන් චෝදනාවක් එල්ලවී ඇති එම නිලධාරීන් අදටත් උසස්වීම් පවා ලබමින් අඩුම තරමින් චෝදනා පත්‍රයකටවත් යටත් නොවී නිදහසේ සේවයේ නිරතවීමය.
පාස්කු ප්‍රහාරයෙන් පැය 48ක් යන්නට මත්තෙන් එදා පොලීසිය සම්බන්ධයෙන් ක්‍රියාත්මක වූ’ජාතික පොලිස් කොමිසම මේ සෑම නිලධාරියකුටම පාහේ ස්ථාන මාරුවීම් ලබාදුන්නේය. අනතුරුව පොලිස්පතිවරයාට දැනුම්දෙමින් පොලිස් විශේෂ විමර්ශන ඒකකය මගින් විනය පරීක්ෂණයක්ද ක්‍රියාත්මක කළේය.
එහෙත් එම ස්ථාන මාරුවීම් එවකට පැවැති යහපාලන ආණ්ඩුවේ ඉහළ අතක මැදිහත්වීමෙන් නතර වන්නේ එකී පොලිස් නිලධාරීන් අතර දේශපාලන බලවත්කම් ඇති නිලධාරීන්ද සිටි බැවිණි.
පොලිස් කොමිසමට ගිය කලක්
එදා ජාතික පොලිස් කොමිසම පවා ඒ දේශපාලන අතපෙවීම් මත අසරණ වූ’අතර තමන් ලබාදුන් ස්ථාන මාරුවීම් තමන්ම ආපස්සට ගත්තේය. එය එතැනින් හමාර වූයේ නැත. විනය පරීක්ෂණවලටද අතපෙවීම් සිදුවිය. කෙසේ වෙතත් ඒ විනය පරීක්ෂණ වත්මන් පොලිස්පතිවරයා වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත්වීමතත් සමග සාධනීය ලෙස කරගෙන ගියේය. අවසානයේදී එවකට පොලීසියේ විනය බලධාරියා වූ ජාතික පොලිස් කොමිසමට යොමුකරන්නේ චෝදනා පත්‍ර ලබාදීමටය. එහෙත් ඒ වන විට පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීමට ජනාධිපති කොමිසමක් පත්කිරීම හේතුවෙන් එම චෝදනා පත්‍ර කොමිසම අවසන්වන තුරු ලබානොදීමට පොලිස් කොමිසමේ බලධාරීන් තීරණය කළේය. ඒ පාස්කු කොමිසමට ඒ තුළින් අගතියක් වනු ඇතැයි විශ්වාස කරමිනි. පාස්කු කොමිසමේ කටයුතු අවසන් වන විට පොලීසියේ විනය බලධාරියා වූ පොලිස් කොමිසමේ බලය රාජ්‍ය සේවා කොමිසමට විතැන්වී තිබුණේය. ඒ අනුව පොලිස් කොමිසමට කළ යුතුව තිබුණේ මෙම නිලධාරීන් සම්බන්ධයෙන් වූ’චෝදනා පත්‍ර රාජ්‍ය සේවා කොමිසමට යොමුකිරීම පමණි. පාස්කු කොමිසමේ වාර්තවෙන්ද පැහැදිලිවම එම නිලධාරීන් සම්බන්ධයෙන් චෝදනා එල්ලවන්නට වූ’බැවින් චෝදනා පත්‍ර ලබාදීම ගැන කිසිදු ගැටලුවක් නොවීය. එහෙත් යම් අදෘශ්‍යමාන බලවේගයක් විසින් ඒ කටයුත්ත සිදුකරන්නට නොදෙන බව පොලීසිය තුළ දැඩිව කතාබහට ලක්වෙමින් ඇති කරුණකි. ඒ, මෙම නිලධාරීන් දේශපාලන වන්දනාවේ යමින් සිය රැකවරණය තහවුරුකර ගනිමින් සිටින බැවිණි.
කතෝලික සභාවට මේ නිලධාරීන්ගේ නම්වලින්ම ජනාධිපතිවරයාව ආමන්ත්‍රණය කරන්නට සිදුවන්නේ ඒ නිසා වන්නට ඇත. කතෝලික සභාවෙන් ජනාධිපතිවරයානේ ඉල්ලා සිටියේ කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කරමින් මෙම නිලධාරීන් සම්බන්ධයෙන්ද යම් පියරක් ගන්නා ලෙසය. එම ලිපිය ජනාධිපතිවරයාට යොමුකර හරියටම මාසයක් ගෙවීගිය තැන කාදිනල් හිමියන් කතෝලික ජනතාව ඇතුළු සමස්ත රට වැසියන්ගෙන් ඉල්ලා සිටින්නේ ජූලි 21 වැනිදා කළු කොඩි ඔසවා විරෝධය දක්වන ලෙසටය. ඒ පාස්කු ප්‍රහාරය මුල්කර ගනිමිනි.
පොලිසියේ මහනුවර වන්දනාවෙන් ප්‍රශ්නගොඩක්
එම කළු කොඩි දිනය ප්‍රකාශයට පත් කරනවාත් සමග චෝදනා එල්ලවී ඇති පොලිස් නිලධාරීන් ඉකුත් 19 වැනිදා මහනුවරට රැස්වන්නේ ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ පෙර නොවූ’විරූ පොලිස් මෙහෙයුමක් සඳහාය. ඒ වන විට රටේ ජනතාවට පළාත් අතර සංචරණ සීමා පනවා තිබුණද මේ නිලධාරීන්ට එම සංචරණ සීමා තුට්ටුවකටවත් අදාළ නොවීය. එසේම නිල රාජකාරියක් නොවූ මේ කටයුත්තට ඔවුන් එන්නේ නිල ඇදුමිනි. ඒ, පොලීසියේ වාහන භාවිත කරමිනි. ඊට පොලිස්පතිවරයාගේ අවසරය ලැබුණේදැයි පැහැදිලි නැත. එම නිලධාරීන්ට එසේ සංචරණ සීමා සහ රාජ්‍ය දේපොල භාවිත කරමින් රාජකාරි වේලාවන් තුළදී පුද්ගලික කටයුත්තක් සඳහා මහනුවරට එක්රැස්වීමට ඉඩ ලැබුණේ කාගේ හයියෙන්දැයි යන්න පිළිබඳ තවමත් ඇත්තේ ප්‍රශ්නාර්ථයකි.
පූජිතට අවුලක් නෑ?
පොලීසියේ අභ්‍යන්තර තොරතුරු සඳහන් කරන ආකාරයට පාස්කු කොමිසමෙන් චෝදනා එල්ලවූ’නිලධාරීන් 30කට ආසන්න පිරිසක් මහනුවරට රැස්කිරීම පිටුපස සිටින්නේ ඉහළ පොලිස් නිලධාරියෙකි. සෙසු නිලධාරීන්ව ඔහු මේ කටයුත්තට රැස්කරන්නේ රටේ ඉහළ දේශපාලනඥයකුගේ අනුදැනුම මෙන්ම ආශීර්වාදයද ඒ සදහා ඇතැයි සඳහන් කරමිනි. එහි ඇත්ත නැත්ත කෙසේ වෙතත් යම් බලවේගයක් ඒ පිටුපස සිටින බව මේ නිලධාරීන්ට එරෙහිව මෙතෙක් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැනීමනේම පැහැදිලිය.
ඔවුන් මුලින්ම යන්නේ දළදා මාලිගාවටය. ඒ පාස්කු කොමිසන් වාර්තාවෙන් කර ඇති නිර්දේශයන්ට අනුව තමන්ගේ රැකියාව අහිමිවන බැවින් රැකියාව රැක දෙන්නයැයි දළදා හාමුදුරුවෝ ඉදිරිපිට කන්නලව් කරන්නටය. සැබෑ ලෙසම මේ කිසිදු නිලධාරියකුගේ රැකියාවට චෝදනා පත්‍ර ලබාදීමෙන් හානියක් වන්නේ නැත. සිදුවන්නේ අනාගත උසස්වීම් සහ වැටුප් වර්ධක ඇතුළු වරප්‍රසාද අහිමි වීමකි. එසේම යම් නිලධාරියෙක් හෝ දෙන්නෙක් අනාගතයේ පොලීසියේ ඉහළම තනතුරට යාමට අපේක්ෂාවෙන් සිටින්නේ නම් මෙවන් බරපතල සිදුවීමක් සම්බන්ධයෙන් චෝදනා එල්ලවීම හෝ චෝදනා ලැබීම එම තනතුරට පත්වීම සම්බන්ධයෙන් යම් ගැටලුකාරීත්වයක් මතුවනු ඇත. සැබෑවටම ඇත්තේ මේ කාරණා මිස රැකියාව අහිමි වීමක් සිදුවන්නේ නැත. ගැටලුවක් ඇතිවන්නේ නම් ඒ මෑතකදී විශ්‍රාම යන නිලධාරීන් කිහිප දෙනාට එම චෝදනා යම් විභාගයකින් පසු තහවුරුවන තුරු විශ්‍රාම වැටුප් අහිමි වීමය. එහෙත් මෙම ප්‍රහාරයේ ප්‍රධාන චූදිතයෙක් බවට පත්ව ඇති හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට නම් මෙවන් ගැටලුවලට මුහුණ දීමට සිදුව තිබේදැයි විමසා බැලිය යුතුය. තහවුරු නොවූ තොරතුරුවලින් කියැවෙන්නේ ඔහුගේ විශ්‍රාම වැටුප් පවා සකස් වී ඇති බවකි. ඒ ගැන විමසා බැලීමට පූජිත් ජයසුන්දර සම්බන්ධකර ගැනීමට ලියුම්කරු උත්සාහ ගත්තද එය සාර්ථක වූයේ නැත.
එසේ නම් මේ නිලධාරීන් දළදා හාමුදුරුවන්ටත් කර ඇත්තේ වංචාවකි. ලෝක බොරුවකි. එය එතැනින් හමාර වන්නේ නැත. ඔවුහු අස්ගිරි සහ මල්වතු මහා නායක හිමිවරු බැහැදැකීමටත් උන්වහන්සේලාට දුක කියන්නටත් තීරණය කළහ. එහෙත් ඔවුන්ට ඒ අවස්ථාව හිමිවන්නේ අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරත්න හිමියන්ගෙන් පමණි. අස්ගිරි විහාරයේදී උන්වහන්සේව බැහැදකින මේ නිලධාරීන් සංදේශයක් භාරදෙමින් කියා සිටින්නේ තමන්ට එරෙහිව සිදුවන විමර්ශන හේතුවෙන් පොලීසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ගැටලු රැසකට මුහුණදී සිටින බවය. මහානායක හිමියන්ට මේ අය පෙන්වා දෙන්නට උත්සහ දරන්නේ තමන් එම ප්‍රහාරයන් සිදුවූ අවස්ථාවේදී ප්‍රහාරය එල්ලවුණු ප්‍රදේශවල සේවය කිරීම හේතුවෙන් මෙසේ චෝදනා එල්ලකර ඇති බවය.
පොලිසියේ චිත්ත ධෛර්යයට බලපෑමක්
අස්ගිරි මහා නායක හිමියන් හමුවේ එම අවස්ථාවට සම්බන්ධ වූ බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා නිලධාරීන් වෙනුවෙන් සියල්ල පැහැදිලි කරන්නේ මෙසේය.
“බුද්ධි තොරතුරු සම්බන්ධයෙන් ගතයුතු නිශ්චිත ක්‍රියාමාර්ගයක් පිළිබඳ රජය විසින්වත්, එවකට පැවති රජය විසින්වත් ආරක්ෂක අමාත්‍යාංශය විසින්වත් පැහැදිලි උපදෙසක් පොලිස් නිලධාරීන්ට දීලා තිබුණේ නෑ. ඒ වෙනුවට තිබ්බේ යුද්දෙන් පස්සේ ඉතා සාමකාමී වාතාවරණයක් තුළ සංහිඳියාව කියන තේමාවෙන් තමයි ඒ දවස්වල රජය යටතේ ක්‍රියාත්මක වුණේ. විශේෂයෙන්ම මුස්ලිම් ප්‍රජාව සමගත් ඉතාම සමීප සම්බන්ධතාවයක් තිබ්බ නිසා මේ අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදීන් පිළිබඳවත් ඒ සම්බන්ධව ගැඹුරින් කිසිදු කටයුත්තක් කෙරුණෙ නෑ. ඒ වකවානුව තුළ. ඒ වාතාවරණය තුළ ඒ අවාසනාවන්ත සිද්ධිය සිද්ධ වෙනවා. පුද්ගලයන් 300ක් විතර අහිංසක මිනිස්සුන්ගේ ජීවිත අහිමි වෙලා තියෙනවා. පොලිස් නිලධාරීන් මේ ප්‍රහාරවලට දායකත්වය දීලා නෑ. ඒ ප්‍රදේශවල රාජකාරි කළ නිසා වගකීම් ඒ කාලේ දරපු නිසා ඒ නිලධාරීන්ට විරුද්ධව හෝ පරීක්ෂණ පවත්වන්න කියලා ජනාධිපති කොමිෂන් සභාවෙන් නියෝග අරන් තියෙනවා. එතකොට ඒ නිලධාරීන්ට ගැටලුවක් මතුවෙලා තියෙනවා අපේ හාමුදුරුවනේ ජනාධිපති කොමිසමේ තීරණය අනුව. මේ නිලධාරීන්ට විරුද්ධවත් පරීක්ෂණ පැවැත්වුවාම ඒ අයගේ විශ්‍රාම දිවිය පවා විශ්‍රාම වැටුපට පවා ගැටලුවක් වන තත්ත්වයට ඇවිල්ලා තියෙනවා. ඒ නිසා අපි ඔබ වහන්සේලාගෙන් ඉල්ලීමක් කරන්නේ ත්‍රස්තවාදී ප්‍රහාරවලට ඍජු හෝ වක්‍රව සම්බන්ධතාවක් තියෙන නිලධාරියකු විනා ඒ ප්‍රදේශවල රාජකාරී කළ පමණින් නිලධාරීන්ව මේ වගේ පීඩනයට ලක්කරනවා නම් ඉදිරියේදිත් ඇවිල්ලා පොලිස් නිලධාරීන්ගේ මානසිකත්වය ඉතා පහළ මට්ටමට ඇද වැටෙනවා. අපි ඔබ වහන්සේලාගෙන් නමස්කාර පූර්වකව ඉල්ලීමක් කරනවා. මේ සම්බන්ධව අදාළ තැන්වලට දැනුවත් කිරීම් කරන්න කියලා ඉවරවෙලා. මේ මගින් සමස්ත පොලිස් නිලධාරීන්ගේ චිත්ත ධෛර්යට විශාල බලපැමක් වෙනවා…”
අස්ගිරි නාහිමියන් හමුවේ මේ කරුණු දක්වන ලද දේශබන්දු තෙන්නකෝන් මහතා එදා ඒ ප්‍රහාරය එල්ලවන විට නියෝජ්‍ය පොලිස්පතිවරයෙකි. බස්නාහිර පළාත් උතුරු දිසාව භාරව ඔහු සේවය කළේය. ගම්පහ දිස්ත්‍රික්ය අයත් වන්නේ එම දිසාවටය. කටුවපිටිය දේවස්ථානයට එල්ලවුණු ප්‍රහාරය මුල්කරගෙන ඔහුට චෝදනා ගොඩනැගී ඇති බව සඳහන්ය. එහෙත් ඔහුගේ පාර්ශ්වයෙන් කියැවෙන්නේ එදා ප්‍රහාරය එල්ලවන විට ඔහු සිටියේ නිවාඩු ලබා බවය.
සිසිල කුමාර කියපු කතාව
අස්ගිරි මහනාහිමි බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්, එම කණ්ඩායම නියෝජනය කළ මොනරාගල කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සිසිල කුමාර හේරත් මහතා කියා සිටියේ මෙවන් කතාවකි.
“අද මෙතැනට ආවේ 2019 අප්‍රේල් 21 වැනිදා පාස්කු ප්‍රහාරය දවසේ රාජකාරි කරලා. ඒ රාජකාරි කරපු එක වරදක් වෙලා වෙන කියාගන්න කෙනෙක් නැතුව අපිට එල්ලුම්ගහ හරි මහ උළුගෙදර හරි නැත්තං රැකියාව නැතිවෙලා ගෙදර යන්න වෙන එක හරි වළක්වා ගන්න මල්වතු අස්ගිරි නායක හාමුදුරුවෝ හම්බ වෙලා මේ දළදා වහන්සේට කියලා කන්නලව් කරලා මේ රස්සාවයි, ජීවිතයේ අපි වෙනුවෙන් අපෙන් යැපෙන අයයි බේරගන්න කියලා ඉල්ලන්න තමයි අද මෙතෙන්ට ආවේ. එවකට පැවැති යහපාලන රජය මේ තොරතුර දැනගෙන ඒ තොරතුර සම්බන්ධයෙන් ගතයුතු ක්‍රියා මාර්ගය පිළිබඳ කිසිදු පැහැදිලි නියෝගයක් ලබා නොදී මේ පිළිබඳ තොරතුරු සොයන්න විතරක් අපිට දැනුම් දීල තියෙන අවස්ථාවකදීයි මේ ප්‍රහාරය සිද්ධ වුණේ. අද වන විට ඒ යහපාලන රජය පත්කරපු කොමිසන් සභාව දුන්න අසාධාරන තීන්දුව හින්දා හෙට දවසේ අපිට එල්ලුම් ගහ හිමිවෙනවා. හිර ගෙදර තපින්න සිදුවෙනවා. නැත්තම් රැකියාව අහිමි වෙලා වෙනත් රැකියා වකට යන්න බැරිව ගෙදර යන්න සිද්ධ වෙනවා. ඒ යහපාලන රජය ගත්ත අසාධාරණ තීන්දුවේ ප්‍රතිඵලය සමස්ත පොලීසියම කඩා වැටිල. කාදිනල් උන්නාන්සේ කතාකරන එක සාධාරණයි. අපි වෙනුවෙන් කතාකරන්න කිසිම කෙනෙක් මේ වෙනකොට ඉදිරිපත් වෙලා නැහැ. මේ ප්‍රහාරය එල්ල කළේ මුස්ලිම් අන්තවාදී කණ්ඩායම්. ප්‍රහාරයට ලක්වුණේ කතෝලික ජනතාව. හැබැයි අද දඬුවම් විඳින්නේ මේ සියලු දෙනා වෙනුවෙන් සිංහල බෞද්ධ පොලිස් නිලධාරීන්.”
එකල ඔහු සහකාර පොලිස් අධිකාරිවරයෙකි. කටුවපිටිය දේවස්ථානය පිහිටි ප්‍රදේශයේ පොලිස් ප්‍රධානියා ලෙස සේවය කළා යැයි කියන්නේ ඔහුය.
පතිනායකට චෝදනා නෑ
මේ කියන කාරණා සම්බන්ධයෙන් ඇත්තේ විවාදාත්මක තත්ත්වයකි. ඒ වෙන කිසිවක් නිසා නොව, එදා බෝම්බ පුපුරණ විට එම ප්‍රදේශවල සේවය කළ පමණින් චෝදනා එල්ලවී ඇති බව කියන කාරණාව, පාස්කු කොමිසම යහපාලන ආණ්ඩුව විසින් දැමූ එකක් බව පමණක් කීම ආදී බොහෝ තොරතුරු ඒ අතරය.
මෙහිදී සැබැවින්ම ගැටලුසහගත වන්නේ කොළඹ බෝම්බ පිපිරීම් මාලාවක් සිදුවුවත් එදා කොළඹ නියෝජ්‍ය පොලිස්පති ලෙස සේවය කළ වත්මන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් එස්. පතිනායක මහතාට කිසිදු චෝදනාවක් කොමිසම හෝ වෙනත් විමර්ශන කණ්ඩායමකින් එල්ලවී නොතිබීමය. පාස්කු කොමිසම සෙසු නිලධාරීන්ගෙන් මෙන්ම ඔහුගෙන් සාක්ෂි විමසීමක්ද කළේය. එහෙත් ඔහුට මේ චෝදනා එල්ලවන්නේ නැත්තේ ඔහු බෝම්බ පිපිරුම් සිදුවුණු ප්‍රදේශයේ සේවය නොකළ නිසාද? එපමණක් නොව, අද පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නියෝජ්‍ය පොලිස්පති ලෙස සේවය කරන උපාලි ජයසිංහ පොලිස් මූලස්ථානයේ අපරාධ විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිශාන්ත සොයිසා වැනි නිලධාරීන් රැසක්ම එදා බෝම්බ පුපුරණ විට සේවය කළේ කොළඹ, ඒ පිපිරුම් සිදුවූ’ප්‍රදේශවලය. එහෙත් ඒ අයට මේ කියන චෝදනා නැත. ඒ අයත් කොමිසම හමුවේ සාක්ෂි දුන්නේය. ඒ තමන් එම ප්‍රහාරයන් වළක්වාගන්නට ගත් ක්‍රියාමාර්ග පැහැදිලිවම සාක්ෂි ඇතිව පෙන්වා දෙමිනි. එසේම මඩකලපුවේ දේවස්ථානයකද බෝම්බයක් පුපුරා ගියේය. ඒ පළාතේ කිසිදු නිලධාරියකුට චෝදනා නැත. ඒ අයත් කොමිසම හමුවේ සාක්ෂි දුන්නේය. එකල නැගෙනහිර පළාතේ පොලිස් ප්‍රධානියා ලෙස සේවයේ නිරතව සිටි කපිල ජයසේකර අද සිටින්නේ විශ්‍රාම ගොසිනි. ඔහුට විශ්‍රාම වැටුප පවා නිසි කලට ලැබෙමින් ඇත.
කොමිසම දික් කළේ කව්ද?
එසේ තිබියදී මෙම නිලධාරීන් මහනායක හිමියන් හමුවේ සදහන් කරන්නේ යහපාලන ආණ්ඩුව මේ කොමිසම පත්කළ බවකි. එදා මෛත්‍රීපාල ජනාධිපතිවරයා මෙම කොමිසම පත්කළද මෛත්‍රීපාල ජනාධිපතිවරයාගේ කාලය අවසන් වීමෙන් පසු අහෝසි වන කොමිසම නැවත සක්‍රීය කරමින් පවත්වාගෙන යන්නේ වත්මන් ජනාධිපතිවරයා බව අමතක නොකළ යුතුය. මේ නිලධාරීන් ඇත්තෙන්ම මහානායක හිමිවරුන් හමුවීමට ගියේ නායක හිමිවරුන් මගින් යම් ප්‍රකාශයක් කරවා ගෙන ඒ තුළින් මේ නිලධාරීන්ට දඬුවම් ලබානොදෙන ලෙසට ආණ්ඩුවට පණිවුඩයක් දීගැනීමේ අරමුණ ඇතිව විය හැකිය. එසේම මේ නිලධාරීන්ව මේ තැනට තල්ලු කළ යම් අදෘශ්‍යමාන හස්තයක් වේ නම් ඔහුගේ අරමුණ වූයේ මෙම නිලධාරීන් මේ තැනට තල්ලුකර යම් ආගමික විරසකයක් ඇති කරන්නටදැයි ගැඹුරින් කල්පනා කළ යුතුය. එහෙත් ඒ උගුලට මහානායක හිමියන් හසුවූයේ නැත. උන්වහන්සේ සියල්ලම අසා සිටියා මිස මතයක් ප්‍රකාශ කරන්නට ගියේ නැත. ඒ මෙම ගමන සංවිධාන කළ නිලධාරීන් ඉහළ මාධ්‍ය ප්‍රචාරයක් ගැනීමට පවා මාධ්‍යකරුවන් පවා කැඳවා තිබුණු බැවිණි. ඒ තුළින්ම පෙනී යන්නේ මෙම මහනුවර ගමන සංවිධානාත්මකව සිදුවූවක් බවකි. කිසිදු බියක් නොමැතිව මාධ්‍ය කැඳවා මාධ්‍ය ඉදිරියේ ප්‍රකාශයන් පවා නිකුත්කරන්නට නිලධාරීන් කිසිදු බියක් නොදක්වන්නේ ඉහළ ආශීර්වාදයක් ඔවුන්ට මේ සඳහා තිබූ’නිසා බව මේ වන විට පොලීසියේ අභ්‍යන්තරයෙන් ඇසෙන කතාය.
මාධ්‍ය කැදවූයේ කව්ද
මෙම ගමනට සම්බන්ධ වූ ඇතැම් උසස් නිලධාරීන් නම් කියන්නේ මාධ්‍ය කැඳවා ඇති බවක් තමන් ඒ තැනට යන තුරුම දැන නොසිටි බවකි. මේ කටයුත්ත මාධ්‍ය ඉදිරියේ සංදර්ශනයක් නොකර කළේ නම් ඇත්තෙන්ම එය සාධනීය වනු ඇති බව එම නිලධාරීන්ගේ මතයයි. මාධ්‍ය සංදර්ශනය හේතුවෙන් සමාජයේ මේ සම්බන්ධයෙන් යම් කතාබහක් ඇතිවූවත් එය යහපත් කතාබහක් නොවන බවද එම නිලධාරීන් පෙන්වා දෙන්නේ මේ කළ වැඩෙන් සිදුවූයේ නැති ප්‍රශ්න පවා ඇතිවූ බවකි. එසේම ආගම්වාදයක් ගාවාගැනීමද ඒ නිලධාරීන් අනුමත කරන්නේ නැත. හුදෙක් මේ සියල්ලක්ම සිදුව ඇතැයි ඒ නිලධාරීන්ම පවසන්නේ එක් අයකුගේ හෝ දෙන්නක්ගේ වුවමනාවන් මතය.
ඒ අය නම් පෙන්වා දෙන්නේ මහනායක හිමියන් මෙන්ම මාධ්‍ය ඉදිරියේ පෙන්වා දෙන්නට ඕනෑ තරම් සාධනීය කරුණු තිබුණු බවය. චෝදනා එල්ලවූවන් අතර පොලිස් පරිපාලන අංශයේ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ මහතාද සිටී. ලබන වසරේ වයස අවුරුදු 60 සම්පූර්ණව ඔහු සිටින්නේ විශ්‍රාම යාමේ සූදානමිනි. එදා බෝම්බ පත්තු වන විට ඔහු සිටියේ බස්නාහිර පළාත් භාර පොලිස් ප්‍රධානියා ලෙසය. කොළඹ එවකට සේවයේ නිරතව සිටි ලලිත් පතිනායක සේවයේ නිරතව සිටියේ ඔහු යටතේය. ත්‍රස්ත ප්‍රහාරය ගැන එවකට සිටි පොලිස්පති පූජිත් ජයසුන්දර දැනුම් දුන් එක් නිලධාරියෙක් වන්නේ නන්දන මුණසිංහය. ඔහු තමාට ලද එම තොරතුර ගැන ඔහු යටතේ සිටි නියෝජ්‍ය පොලිස්පතිවරු සිව් දෙනෙක්වම දැනුවත් කළේය. ඒ අදාළ බුද්ධි තොරතුර ඒ නිලධාරීන්ට යවා ගතයුතු ක්‍රියාමාර්ගද සමගිනි. කොළඹ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායකත් බස්නාහිර පළාත් දකුණු දිසාව භාරව එකල සේවය කළ වසන්න වික්‍රමසිංහත් කළුතර නියෝජ්‍ය පොලිස්පතිවරයාත් බේරෙන්නේ එම නියෝගයට අනුව ක්‍රියාත්මක වීම නිසාය. එදා ගම්පහ පැත්ත භාරව සිටි දේශබන්දු තෙන්නකෝන්ද ඒ උපදෙස් ඔහු යටතේ සිටි ගම්පහ, මීගමුව සහ කැලණිය යන පොලිස් කොට්ඨාස භාර නිලධාරීන්ට යොමු කළද ඒ නිලධාරීන් කාර්යක්ෂම නොවීම හෝ එදා නිවාඩු ලැබ සිටීම හෝ වෙනයම් කාරණාවක් මත බස්නාහිර පළාතේ නියෝජ්‍ය පොලිස්පතිවරු සිව් දෙනා අතරින් චෝදනා එල්ලවී ඇත්තේ දේශබන්දු තෙන්කෝන් මහතාට පමණි. ඒ ඔහු තමන් කළ කී දෑ ගැන පාස්කු කොමිසම හමුවේ පැහැදිලිවම සාක්ෂි පවා ලබාදී තිබියදීය. එසේම නන්දන මුණසිංහ මහතා විසින් ලබාදුන් තොරතුරුවලට අනුව සෙසු නියෝජ්‍ය පොලිස්පතිවරු ක්‍රියාත්මක වීම හේතුවෙන් ඒ නිලධාරීන්ට කිසිදු චෝදනාවක් එල්ල නොවන තත්ත්වයක් හමුවේ නන්දන මුණසිංහට කොමිසම නිර්දේශ කරන්නේ අපරාධ චෝදනා ගොනුකරන්නට යැයි කියාය. එය ඇත්තෙන්ම හතරබීරි කතාවකි. මහනායක හිමිවරුන්ට පෙන්වාදිය යුතු වූයේ මේ කාරණා මිස තමන් ඒ පළාතේ සේවය කිරීම හෝ සිංහල බෞද්ධ අප වෙනුවෙන් කතාකරන්නට අයෙක් නැති බව කීම නොවේ. මෙම නිලධාරීන් හරියට මේ දේවල් සමාජය හමුවට රැගෙන යන්නේ නම් මුළු රටක්ම ඒ අය වෙනුවෙන් පෙළගැසෙනු ඇත. ඒ අතර කාදිනල් හිමියන් ඇතුළු කතෝලික ජනතාවද සිටිනු ඇත.
ආගමික් ප්‍රජාව ඇවිස්සුණු සිංහල බෞද්ධ කතාව
එහෙත් ඒ නිලධාරීන් නිලය ඇල්ලුවේ වැරදි තැනකිනි. සර්වාගමික නායකයන් කිහිප දෙනෙක් ඒකාබද්ධ ප්‍රකාශයක් පවා ඉකුත් 24 වැනිදා නිකුත් කරන්නේ ඒ නිසාය. එම ආගමින නායකයන් දැඩිව අවධාරණය කරන්නේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන සහ නීතිමය කටයුතු ජාතිවාදී සහ ආගම්වාදී තලයකට තල්ලු කිරීමේ පහත් අරමුණක් එම පොලිස් නිලධාරීන්ගේ ප්‍රකාශයේ ගැබ්වී ඇති බවය.
කොළඹ – කළුතර දිසාවේ ප්‍රධාන සංඝනායක හා කොළඹ නව කෝරළේ නව තොටමුණේ ප්‍රධාන අධිකරණ සංඝනායක පූජ්‍ය පරකඩුවේ සරණංකර හිමි, බියගම ත්‍රෛනිකායික භික්‍ෂු බලමණ්ඩලයේ ලේඛකාධිකාරී පූජ්‍ය බෙලිගල අමරසිරි හිමි, කතෝලික සභාවේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා, අගදරගුරු පදවි ජන සන්නිවේදන කේන්ද්‍රයේ අධ්‍යක්‍ෂ ජූඩ් ක්‍රිසාන්ත ප්‍රනාන්දු පියතුමා, මීගමුව පෙරියමුල්ලේ ෂෙයින් අබ්දුල්ලා අබ්දුල් රාමන් මවුලවිතුමා, මීගමුව අධිකරණ ප්‍රදේශය භාර මොහොමඩ් මුහජරීන් මවුලවිතුමා, ශ්‍රී ලංකා හින්දු පූජක සංගමයේ ලේකම් ආර්. දර්ශක ෂර්මා කුරුක්කල්තුමා සහ ශ්‍රී ලංකා හින්දු කුරුක්කල් පූජක සංගමයේ සභාපති වෛතීෂ්වර කුරුක්කල්තුමා යන ආගමික නායකයන්ගේ අස්සනින් ඒ නිවේදනය නිකුත් වී තිබිණි.
එම නිලධාරීන්ගේ ප්‍රකාශයෙන් හැඟීයන්නේ ඔවුන් සිංහල බෞද්ධයන් වීම නිසා ඔවුන්ව පාස්කු ප්‍රහාරයේ වරදකරුවන් කිරීමට සැරසෙන බවක් යැයිද එම සාර්වාගමික පූජකවරුන්ගේ ඒකාබද්ධ ප්‍රකාශයේ සඳහන්ය. පොලිස් නිලධාරීන් පිරිසකට එලෙස එල්ලවන චෝදනාවද සුළුපටු නැත. මේ දේවල් මාධ්‍ය සංදර්ශනයෙන් ඔබ්බට ගොස් සැබෑව සමග සිදුවූයේ නම් මේ වන විට තත්ත්වය මෙයට වඩා හාත්පසින්ම වෙනස් වනු ඇත. පෙනීයන ආකාරයට දැන් සිදුව ඇත්තේ එකී නිලධාරීන් සියතින්ම ගෙල සිඳගැනීමකි.
පුබුදු උදයංග