අපේ ඔළුවට එන්නේ ඔන්ලයින් අධ්‍යාපනය. අපි ගිය සතියෙත් ඔන්ලයින් අධ්‍යාපනය සම්බන්ධව ලිපියක් ලිව්ව ඒ නිසා. මොකද ලංකාවේ ඔන්ලයින් අධ්‍යාපනය සම්බන්ධව තිබිච්ච විශිෂ්ට සැලසුමක් ගැන අපි ඒ කිව්වේ. කළේ කවුද, ඒකට මූලිකත්වය ගත්තේ කවුද කියන එක අපිට වැදගත් නෑ. හැබැයි ඒකට එහෙ වුණේ ඒ වගේම ඒක නතර කරන්න මුල් වුණේ කවුද කියන කෙනා අපිට වැදගත්. ඒක ඇත්ත. වැදගත් වෙන්නේ අපිට නෙමෙයි. සාමාන්‍ය පුරවැසියන්ට. රටේ සාමාන්‍ය පුරවැසියෝ නිසා අපිට ඒ ගැන ඇත්තටම පැහැදිලි කනස්සල්ලක් තියෙනවා.
රටේ කරන හොඳ දේවල් දේශපාලනික කෝණයකින් මැනල ඒවට බැනලා එවන් වැරදියි කියලා චෝදනා කරලා ඒවා හොඳ බව දැනගෙන කට පියාගෙන ජීවත්වෙන පුරුද්දක් අපිට තියෙනවා. එකම එක් උදාහරණයක් විතරක් කියලා මේ කතාව පටන් ගන්නම්. එසේ නම් හොඳම උදාහරණය සුවසැරිය ගිලන් රථ සේවාව. සුවසැරිය ලංකාවට ගේන්න සූදානම් වෙච්ච වෙලාවේ වෛද්‍ය පාදෙණිය ඇතුළු පිරිස මේකට දැඩිව චෝදනා කෙරුවා. ඔවුන් කිව්වේ ඔබ ඒ අවයව ගලවා ගන්නට ඉන්දියාවේ සිටින මාරයෙක් බවට මේ ගැන හිතන්න කියලා. ඒත් ඇත්තටම අද මිනිස්සු බොහෝ ගානකගේ ජීවිත බේරගන්නේ සුවසැරිය. දැන් අපි මේ කතාකරන්න යන්නේ ඒ වගේම අලුත් වැඩක් ගැන. ඇත්තටම රටකට අලුත් වැඩ වෙන්ඩ ඕනේ. අලුත් අලුත් දෑ නොතනන ජාතිය ලොව නොනගී කියල කතාවක් තියෙනව නේ.
කතාව පටන් ගත්තෙ ඔන්ලයින් කියලා. ඒ නිසා වෙන වෙන ලයින් නොදා Online එකේම කතාව කියාගෙන යන්නම්. අපි මෙච්චර කල් කතාකළේ ඔන්ලයින් අධ්‍යාපනය ගැන. ලිපි ලිව්වේ වගේම කවි සිංදු ලිව්වෙත් මේ ගැන. ඒත් මේ රජය හදිසියේම හඳුන්වා දීලා තියෙනවා අලුත්ම ඔන්ලයින් සෙල්ලමක්. මම දන්නවා අන්න එහෙම කියද්දි නම් ඔබට මරු ප්‍රබෝධයක් ඇතිවුණා කියලා. ඔය ඔන්ලයින් අරක්කු සෙල්ලම ගැන තැන් තැන්වල කිය වුණාට වැඩේ වෙන්නෙ කොහොමද කියලා ඉන්තේරුවෙන්ම හොයාගන්න බැරුවයි ඔයා ගෙදරට වෙලා ඉන්නේ. හැබැයි පුතෝ ඔන්ලයින් අරක්කු වෙළෙඳාම සම්බන්ධව පළකෙරෙන වෙළෙඳ දැන්වීමක් නොවෙන නිසා අපි ඒ වැඩේ වෙන විදියකට කියන්න යන්නෙ නෑ. ඒ වගේම මේ වැඩේට බාල්දියක් පෙරළලා අපේ අහිංසක ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මහජනතාවගේ සතුටට බාධා කරන්න යන්නෙත් නෑ. අපි මේ වැඩේ ගැන කතා කරනවා. ඒ කතා කරන්නේ හොඳ නරක නෙමෙයි. මේ ඔන්ලයින් මත්පැන් බෙදාහැරීමේ ක්‍රමවේදය හොඳද නරකද කියන එක ඔබ ඔබේ අඩිකෝදුවෙන් මැන ගන්න. හැබැයි මේ ලිපිය කියවන කොට පාට කණ්ණාඩි අයින් කරන්න.
අපි අපේ කතාව ඔබට කියන්නම්. ලංකාවේ ඔන්ලයින් මත්පැන් අලෙවිය සම්බන්ධව අලුත් පියවරක් අරගෙන තියෙනවා. ඒ ඔබට ගෙදර සිටම ඇණවුම් කරලා මත්පැන් ගෙන්වා ගන්න පුළුවන් විදිහට. මේ වෙනකොට රට පුරාම බාර් වහල තියෙන නිසා, මත්පැන්වල අවශ්‍යතාව තියෙන අයට මත්පැන් නිවෙසේ සිට සපයා ගන්න පුළුවන් විදිහටයි මේ ක්‍රමවේදය හදලා තියෙන්නේ. ඒක සරල අර්ථයෙන් බැලුවාම පාරිභෝගිකයාගේ අවශ්‍යතාව වෙනුවෙන් සපයන සේවාවක්. හැබැයි මෙතැන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඒ ප්‍රශ්නය එක එක කෝණවලින් බලන්න පුළුවන්.
එකක්, එක පැත්තකින් බැලුවට පස්සේ මේ ඔන්ලයින් කියන එක ලංකාවේ තාම අසාර්ථක දෙයක්. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ක්‍රියාත්මක වෙන කිසිම දුරකතන සමාගමකට මුළු ශ්‍රී ලංකාවම ආවරණය වන පරිදි වර්ග කිලෝමීටර් 65,610ටම නොඅඩුව තමන්ගෙ ජාල පහසුකම් ලබාදෙන්න බැරි බව දැන් අපට ඉතා පැහැදිලියි. කිසිම දුරකතන සමාගමක් සාර්ථකව අන්තර්ජාල පහසුකම ලංකාවටම දෙන්න සමත්වෙලා නෑ. එහෙම දෙනවයි කියලා කොච්චර මුදල් වියදම් කරලා දැන්වීම් දැම්මත් ඒකත් කරන්න බැරි බවත් ප්‍රායෝගිකව අපි දන්නවා. ඒකට හේතු වෙනවා ඇත්තේ ලංකාවෙ තියෙන භූවිෂමතාව කියලා අපි හිතනවා. ඒ විදියට අරගත්තට පස්සේ මේ ඔන්ලයින් අලෙවි කිරීමේ ක්‍රමවේදය කොළඹ ඇතුළු ප්‍රධාන නගර කිහිපයට පමණක් සීමාවෙන දෙයක්. කොළඹ, ගම්පහ, කළුතර, රත්නපුර, මහනුවර, කුරුණෑගල, ගාල්ල, මාතර, හම්බන්තොට වගේ ප්‍රධාන දිස්ත්‍රික්ක කීපය තුළ අදටත් ඔන්ලයින් අලෙවිය ඉතාම සාර්ථකව සිද්ධ වෙනවා. හැබැයි කොළඹ දිස්ත්‍රික්කයේ සමහර තැන්, ගම්පහ දිස්ත්‍රික්කයේ සමහර තැන් තවමත් ආවරණය කරගන්න බැරි විදියෙ ඔන්ලයින් ක්‍රමවේදයක් තමයි ලංකාවේ ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා පුදනකොටම කාපි යකා කියලා ඇණවුම් කිරීමේ ක්‍රමවේදයේම අවුලක් තියෙනවා. ඒ විදියට අරගත්තම බයිසිකලේක හෝ ත්‍රීවීල් එකක නෙවෙයි හෙලිකොප්ටර් එකක්වත් දීලා තමයි මේ බෙදාහැරීම නම් කරන්න වෙන්නේ. මොකද බඩු පටවගන්න තැන ඉඳලා පාරිභෝගිකයා දක්වා අරගෙන යන්න ගියාම කිලෝමීටර් ගානක් යන්න සිදුවෙනවා.
ඒ වගේම තවත් ලොකු ප්‍රශ්නයක් තමයි බඩු මදිවෙලා ඕඩර් කළාට පස්සේ වෙන්නේ. සූර්වෙලා ඉන්න අතරතුරේ දාන ඕඩර් එක එන්න පරක්කු වුණොත්, ගේන කෙනාගේ බෙල්ල මිරිකන මට්ටමටවත් අර ගෙදර ඉන්න හාදයා සූර්වෙලා තිබුණොත් කෝවිඩ් පැත්තක තියලා වෙන වෙන නාටක නතර කරන්නයි ලංකාවේ පොලිසියට වගේම සුවසැරිය ගිලන් රථ සේවයටත් වෙන්නෙ. ලිපිය දැක්කට පස්සෙ කෙනෙක් කියනවා වෙන්න පුළුවන් අපි කොරහෙ කිඹුල්ලු දකිනවා කියලා. ඒත් අහල තියෙනවා නේද කතාවක් තියෙනවා දැන ගියොත් කතරගම නොදැන ගියොත් අතරමඟ කියලා. නැත්නම් වෙන්නේ අර නැව ගිනිගත්තා වගේ දෙයක්.
ඒ නිසයි මේ කියන්නේ බලධාරීන්ට ඉන්න තැනක ඉඳලා බලාගන්න. සැලසුම් හදනවා වගේ නෙමෙයි, ඒවා ක්‍රියාත්මක කරන එක ලේසි නෑ.
ලංකාවෙ දැනට ක්‍රියාත්මක නීතිය අනුව අරක්කු බෝතල් දෙකකට වඩා ප්‍රවාහනය කරන්න බෑ. එහෙම තත්ත්වයක් යටතෙ එක්කෙනෙක්ට බෝතල් කීයක් ගානෙ ගෙනියන්න දෙනවා ද? එතකොට ඒ කොහෙට ද? දවසකට කීපාරක් එක්කෙනෙක්ට බෝතල් කීය ගානෙ ගෙන්නගන්න අවසර තියෙනව ද? මේවා එකම තැනකට යන එක නතර කරන ක්‍රමවේදයක් තියෙනවද? කොහොම නමුත් මේ ලිපිය ලියන අතරෙ දැනගන්න ලැබෙනවා රජය මේ ඔන්ලයින් අරක්කු සෙල්ලම නතර කරන්න තීරණය කළාය කියලා. ඒ කී දවසකට ද? නැත්නම් මොන පදනමකින් ද කියලා අපි දන්නෙ නෑ. නමුත් කොහොම හරි මෙහෙම දෙයක් කරන්න තීරණය කිරීමමත් කතාකරන්න ඕනෑ දෙයක්. ලංකාවෙ ඔන්ලයින් විදියට කරමින් යන බොහෝ ව්‍යාපාර අසාර්ථකයි. ඔබේ ගමට ඔන්ලයින් එළවළු පලතුරු ගෙන්නගන්න පුළුවන්ද? ඔන්ලයින් බේත් ගෙන්නගන්න පුළුවන් ද?
ඔන්ලයින් ඉගෙන ගන්න සිග්නල් තියෙනව ද?
ඉතින් එහෙමනම් මොන ඔන්ලයින් අරක්කු ද?
ජීවන පහන් තිළිණ











