හාල් මිල පිළිබඳ එක එක තාලෙ කයි කතන්දර කියැවෙනවා. රජය හාල්වලට පාලන මිලක් දාලා ඒක ආයෙත් මොකක්දෝ හේතුවක් හින්දා අකුළාගත්තා. ඒ අස්සේ ඩඩ්ලි සිරිසේන මහත්තයා එයාගෙ හාල් මිලක් ඉදිරිපත් කරලා තිබුණා. දැන් ඩඩ්ලි සිරිසේන මහත්තයගෙ හාල් මිලට වඩා වෙනස් විදියට පොළොන්නරුවෙම ඉන්න වෙනත් හාල් මෝල් හිමියන් විසින් මිලක් ඉදිරිපත් කළා. ඔය අස්සේ මරඳගහමුල සහල් ව්‍යාපාරිකයොත් තමන්ට හාල් දෙන්න පුළුවන් විදියේ මිල ගණන් ඉදිරිපත් කරලා තිබුණා. දැන් මෙහෙම එක එක්කෙනා එක එක තාලෙට, එක එක්කෙනාට හිතෙන හිතෙන විදියට මිල ගණන් ඉදිරිපත් කරද්දී ඇත්තටම ඉතින් වෙලාවකට අපිට හිතෙනවා මෙහෙම හිතෙන හිතෙන විදියට මිල ගණන් ව්‍යාපාරිකයන්ට ඉදිරිපත් කරන්න පුළුවන් නම්, කෝ මේවට පාලනයක් කියලා.
ඒ නිසාම අපි ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කරන දෛනික මිල වාර්තා ටිකක් හාරා අවුස්සලා බලන්න තීරණය කළා. අවසාන වශයෙන් සැප්තැම්බර් 29 වැනිදා දෛනික මිල වාර්තාව ඉදිරිපත් වෙලා තිබුණා. ඒ වාර්තාවට අනුව සම්බා සහල් කිලෝවක මිල සඳහන් වෙලා තිබුණේ එක එක තැන්වල, එක එක විදියට. විශේෂයෙන්ම පිටකොටුවේ සම්බා වෙනත් කිසිම හාල් වර්ගයක මිල ගණනක් සඳහන් වෙලා තිබුණෙ නෑ. ඒ වගේම නාරාහේන්පිටත් මිල ගණන් වෙලා සඳහන් නොවන තත්ත්වයක් තිබුණා. ඒ කියන්නේ හාල් හොයාගන්න අමාරු තත්ත්වයක් තිබුණා. 29 වැනිදා වෙනකොට පිටකොටුවේ සම්බා සහල් කිලෝවක තොග මිල සඳහන් වෙලා තිබුණේ රුපියල් 128ක් විදියට. සම්බා සහල් කිලෝවක තොග මිල 28 වැනිදා රුපියල් 115ක් විදියටත් සඳහන් වෙලා තිබුණා. ඒ වගේම නාඩු සහල් කිලෝවක තොග මිල 29 වැනිදා රුපියල් 113ක් වෙනකොට, රුපියල් 108ක් විදියට සඳහන් වෙලා තිබුණේ 28 වැනිදා. ඒ කියන්නේ දවසක් ඇතුළත සම්බා සහල් කිලෝවක තොග මිල රුපියල් 13කින් පිටකොටුවේදී ඉහළ ගිහිල්ලා තිබුණා. නාඩු සහල් කිලෝවක තොග මිල රුපියල් 5කින් ඉහළ යද්දී සුදු කැකුළු සහල් කිලෝවක තොග මිල විදියට සඳහන් වෙලා තිබුණේ 29 වැනිදා වෙනකොට රුපියල් 102ක්. 28 වැනිදා රුපියල් 100ක්.
රතු කැකුළු රුපියල් 95ක් විදියට සඳහන් වෙලා තිබුණේ. මේ දවස් දෙකේම මිල ගණන් විශාල වශයෙන් එහෙ මෙහෙ වෙලා තිබුණෙ නෑ. හැබැයි විශේෂත්වය කියන්නේ මේ දවස් දෙකේම පිටකොටුවෙ සහල් වෙළෙඳපොළේ සිල්ලර සහල් වෙළෙඳාමක් සිද්ධ වුණේ නෑ කියලයි මහ බැංකු වාර්තාවෙ සඳහන් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ මිල ගණන් පිළිබඳ සඳහනක් නෑ. හාල්වලට විශේෂයෙන්ම සම්බන්ධ වෙච්ච මරඳගහමුල සහල් වෙළෙඳපොළේ මිල ගණන් ඊට වඩා වෙනස් විදියට සඳහන් වෙලා තිබුණා. රුපියල් 115ක් විදියට පිටකොටුවේ සහල් මිල සඳහන් වෙනකොට තොග වශයෙන් සම්බා රුපියල් 120ක් වෙලා තිබුණා 28 වැනිදා. මේ රුපියල් 120ක් වෙච්ච සහල් මිල 29 වැනිදා වෙනකොට රුපියල් 123ක් දක්වා ඉහළ යද්දී රුපියල් 3කින් විතරයි මරඳගහමුල සහල් වෙළෙඳපොළේ සම්බා සහල් කිලෝවක මිල වැඩිවෙලා තිබුණේ. රුපියල් 108ක් වෙච්ච හාල් කිලෝව රුපියල් 113කට ඉහළ යද්දී නාඩු සහල්, රුපියල් 108 සිට රුපියල් 111 දක්වා රුපියල් 3කින් විතරයි මරඳගහමුල සහල් වෙළෙඳපොළේ මිල වැඩිවෙලා තිබුණේ.
ඒ විදියට ගනිද්දී මරඳගහමුල සහල් වෙළෙඳපොළේ තොග මිල විදියට සම්බා සහල් කිලෝවක මිල රුපියල් 5කිනුත්, නාඩු සහල් කිලෝවක මිල රුපියල් 2කිනුත් අඩු බවයි අපට හඳුනාගන්න පුළුවන් වුණේ මහ බැංකු වාර්තාවලට අනුව. හැබැයි සුදු කැකුළු සහල් කිලෝවක මිල රුපියල් 102ක් ලෙස පිටකොටුවේ තොග මිල සඳහන් වෙද්දි මරඳගහමුල මේක රුපියල් 103ක් දක්වා ඉහළ ගිහිල්ලා තිබුණා, රුපියලකිනුත් මිල වැඩිවෙලා. ඒ වගේම රතු කැකුළු සහල් කිලෝවක් 28 වැනිදා රුපියල් 94ට තිබුණු මරඳගහමුල සහල් වෙළෙඳපොළේ 29 වැනිදා වෙනකොට මේක රුපියල් 100 දක්වා ඉහළ ගිහිල්ලා තිබුණා. මේ තත්ත්වය යටතේ විශේෂයෙන්ම අපට තේරුම් යන කාරණය තමයි හාල් මිල හිතාගන්න බැරි විදියට එහෙට මෙහෙට වෙනස් වෙන බව.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය ආශ්‍රිතව සහල් මිල ඒ තරම් විශාල වශයෙන් වෙනස් වන බවක් දකින්න නොලැබුණත් සම්බා සහල් කිලෝවක මිල සඳහන් නොවීමට තරම් සම්බා හිඟයක් තියෙනවාද කියලා අපට හිතෙන තත්ත්වයකට පත්වෙලා තියෙනවා. සැප්තැම්බර් 29 වැනිදා මිල ගණන් මේ විදියට වෙනකොට ඊට දවස් 7කට කලින් 21 වැනිදා මිල කොහොමද කියලා අපි ආයෙත් හොයලා බැලුවා. 21 වැනිදා වෙනකොට සම්බා සහල් කිලෝවක තොග මිල සඳහන් වෙලා තිබුණේ පිටකොටුවේදි රුපියල් 115ක්. දවස් 7ක් ඇතුළත මේ සහල් මිල රුපියල් 13කින් විතර බරපතළ විදියට ඉහළ යාමක් තියෙනව වගේම, ඔබට විශ්වාස කරන්න පුළුවන්ද දන්නෙ නෑ ඊට කලින් දවසෙ, ඒ කියන්නේ 20 වැනිදා සම්බා සහල් කිලෝවක තොග මිල පිටකොටුවෙදි සඳහන් වෙලා තියෙන්නේ රුපියල් 102ක් විදියට. ඒ අනුව ගත්තම 20 වැනිදා සිට 29 වැනිදා දක්වා මේ සහල් මිල රුපියල් 26කින් ඉහළ ගිහිල්ලා තියෙනවා. සම්බා තොග කිලෝවක මිල විදියට. ඒ වගේම මරඳගහමුල සහල් වෙළෙඳපොළේත් රුපියල් 103ක් විදියට 20 වැනිදා සඳහන් වුණු සම්බා තොග මිල රුපියල් 110ක් දක්වා ඉහළ යනවා එක දවසක් ඇතුළත. එතැනම රුපියල් 7ක වැඩිවීමක් දකින්න ලැබෙනවා. මේ වෙනකොට රුපියල් 123ක් වෙනවා නම් සම්බා සහල් කිලෝවක තොග මිල, රුපියල් 20කින් ඉහළ ගිහිල්ලා තිබෙනවා මේ දවස් කිහිපය ඇතුළත.
අපට මේ මිල ගණන්වල ඉහළ යෑම පහළ යෑම ගැන දකිනකොට හිතෙන කාරණාව තමයි මේ සියල්ලම කාගේ හෝ න්‍යායපත්‍රයකට අනුව සිදුවෙනවා දැයි ප්‍රශ්නයක් නැගෙන එක. මේ විදියට සහල් මිල වැඩිකිරීම හෝ අඩුකිරීම සිද්ධ වෙන්නේ ගොවියාගේ වුවමනාවට නොවන බව අපට ඉතා පැහැදිලියි. හදිසියේම පසුගිය වතාවේ හාල් මිල ඉතාම දරුණු ලෙස පහළ වැටුණා. රුපියල් 100ට වඩා චුට්ටක් එහෙ මෙහෙ වෙන විදියට මිල ගණන් සඳහන් වෙද්දී හාල් සම්බන්ධව ඉතා විශ්වාසවන්ත තොරතුරු දන්න කෙනෙක් අපට කිව්වේ මේ හාල් මිල අඩු කරන්නේ වී මිල අඩුකිරීමේ වුවමනාවෙන්ය කියලා. ඒ අවස්ථාවෙදි වී මිල අඩු කරලා ඉතා අඩු මිලට වී මිලදී ගන්න ප්‍රධාන පෙළේ මෝල් හිමියෝ වී ඉතා අඩුවට ගත්ත වී ටික වැඩි මිලට විකුණනවාය කියලයි ඒ අය කියන්නේ. දැන් ඒ අනුව ගත්තම මේ හාල් කියලා කියන්නේ තනිකරම මාෆියාවක් බව පේන්න තියෙනවා.
මේ වෙනකොට ඩඩ්ලි සිරිසේන මහත්තයා හාල්වලට මිල ගණන් නියම කරලා තියෙන බව අපට දැනගන්න ලැබුණා. ඒ මිල ගණන් සඳහන් කරලා තිබුණේ නාඩු සහල් කිලෝවක මිල රුපියල් 115ක්, සම්බා සහල් කිලෝවක මිල රුපියල් 140ක් සහ කීරි සම්බා සහල් කිලෝවක මිල රුපියල් 165ක් විදියට. මේ විදියට ඔහු විසින් සඳහන් කරපු මිල ගණන් කවුරු පිළිගන්නවද, නොපිළිගන්නවද කියන එක ගැන අපිට විශාල ප්‍රශ්නයක් නෑ. ඒ සම්බන්ධව විවිධ තර්ක විතර්ක යෝජනා චෝදනා එල්ල වෙනවා අපට පේනවා. ඒ වුණාට ප්‍රශ්නෙ තියෙන්නේ අපට කන්න හාල් නැති වුණොත් හඳෙන් හාල් ගෙනල්ලා දෙනකම් අපට ආයෙත් බලාගෙන ඉන්න වෙයිද? හාල් පොලු, අර පොලු, මේ පොලු අස්සෙ මඤ්ඤොක්කා ටිකක් හිටෝ ගත්තොත්, කොස් ගහක් දෙකක් හිටෝගත්තොත්, ගෙදර පුළුවන් විදියට බතල වැලක් දෙකක් හිටෝගත්තොත් හොඳයි වගේ කියලා අපට නම් හිතෙන්නේ.
ජීවන පහන් තිළිණ










