අපේ ජීවිතවලට විවිධ අවස්ථාවල අභියෝග එනවා. කොරෝනා වෛරසයත් දරුවන්ගේ ජීවිතවලට අභියෝගයක් වුණා. මේ නිසා බොහෝ දරුවන්ට පාඩම් මඟහැරුණා. මේ මඟහැරීම දරුවන්ගේ ජීවිතවලට දැඩි ලෙස බලපෑවා. ඇතැම් දරුවන්ගේ ඔන්ලයින් පාඩම් සාර්ථක වුණේ නැහැ. දිළිඳු දරුවන්ට ස්මාර්ට් ජංගම දුරකතන තිබුණේ නැහැ. දරුවන් මෙවර සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දුන්නේ ඉච්ඡාභංගත්වයකින්. ඒ නිසාම ඇතැම් දරුවන්ට තමන් බලාපොරොත්තු වුණු ප්‍රතිඵල ලැබුණේ නැහැ. ඒ අතර ජීවිතය පන්නරයක් කරගත් දරුවන්ද සිටියා. හිතේ හයියෙන් ඒ අභියෝගය ජයගත් දක්ෂයන් කිහිප දෙනකු පිළිබඳ පසුගිය සාමාන්‍ය පෙළ ප්‍රතිඵලත් සමග අපට අසන්නට ලැබුණා.
ඔවුන් අතර තමන් අදහන ආගමට අමතරව වෙනත් ආගමකට අයත් විෂයන්ට පවා විශිෂ්ට සාමාර්ථයන් ලැබූ දරුවන්ද මේ අතර වුණා. එම විශිෂ්ටයන් අතර බ්‍රයන් කිංස්ටන් කියන්නේ මේ ලෝකේ අසිරිය විඳින්නට අවස්ථාව නොලැබුණු දරුවක්. මේ දරුවා ඉගෙනගත්තේ රත්මලානේ අන්ධ විද්‍යාලයේ. බ්‍රේල් ක්‍රමයට අධ්‍යාපනය හදාරා මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් විශිෂ්ට සාමාර්ථ 9ක් ලබාගෙන අන්ධ විද්‍යාලයීය ඉතිහාසය වෙනස් කරන්නට මේ දරුවාට හැකියාව ලැබුණා.
බ්‍රයන් සිය දක්ෂතාව පිළිබඳ අදහස් දැක්වූයේ මේ විදියට.
‘මට විෂයන් නවයටම ‘ඒ’ සාමාර්ථ ලැබුණා. කොරෝනා නිසා ඉස්කෝල වහපු එක මට ගොඩක් බලපෑවා. ඔන්ලයින් අධ්‍යාපන ක්‍රමය සාර්ථක වුණේ නැහැ. විද්‍යාවට විතරක් සාමාන්‍ය ළමයි යන හොරණ ප්‍රදේශයේ පෞද්ගලික පන්තියකට ගියා. මගේ කණට ඇහෙන දේ කෙටි සටහන් ගහගෙන ඇවිත් ගෙදරදි පාඩම් කළා. දෘශ්‍යාබාධිත උපාධිධාරි මණ්ඩලය කියලා ආයතනයක් අන්ධ විද්‍යාලයේ තියෙනවා. ඒකේ ගොඩක් පොත් පත් කටින් කියවලා පටිගත කරලා සී.ඩී. වශයෙන් තියෙනවා. මම ඒවා ගෙදර ගෙනත් ඇහුවා. මට ඒක ලොකු උදව්වක් වුණා. මම උදේ පාන්දරම නැගිටලා ඉස්කෝලේ යන්න පුරුදු වෙලා හිටිය නිසා උදෑසන කාලයේ පාඩම් කළේ නැහැ. ඒත් රෑ එක දෙක වෙනකන් පටිගත කරපු පෙළපොත් ඇහුවා. මට හොඳ උනන්දුවක් තිබුණා. අම්මා පුළුවන් තරම් මාව උනන්දු කළා. අනෙත් ළමයින්ගෙන් වෙන්කරලා මාව හැදුවේ නැහැ. මගේ අයියා උසස් පෙළ හදාරනවා. එයත් මට උදව් කළා මට ඇස් පේන්නේ නැහැ කියලා වෙනසක් කළේ නැහැ. මම 2019 පාසල් ක්‍රීඩා උළෙලේ සමස්ත ශූරතාව පවා දිනාගත්තා. උස පැනීම, දුර පැනීම තුන් පිම්ම, යගුළිය, මීටර 75 යන තරගවලට සහභාගි වුණා. අම්මා මාව මේ හැම දේකටම යොමු කළා. මම උසස් පෙළට ගණිතය විද්‍යාව විෂයන් හදාරන්න ගොඩක් ආසයි. ඇස් පේන්නේ නැති නිසා ඒ විෂයන් හදාරන්න මට අමාරුයි. ඒ විෂයන්වල ප්‍රායෝගික පැත්ත වැඩියි. ඒ නිසා මම උසස් පෙළට තර්ක ශාස්ත්‍රය, ආර්ථික විද්‍යාව සහ යුරෝපීය ඉතිහාසය හදාරනවා. මම නීතිඥයෙක් වෙන්න ආසයි. මට ඉගැන්වූ රත්මලානේ අන්ධ විද්‍යාලයේ විදුහල්පතිතුමා ඇතුළු සියලු ගුරුවරුන්ට මගේ ස්තුතිය පුද කරනවා’ යනුවෙන් ඔහු සඳහන් කළා.
බ්‍රයන්ගේ අම්මා තම දරුවා පිළිබඳ අදහස් දැක්වූයේ මේ විදියට.
‘බ්‍රයන් කියන්නේ මගේ දෙවැනි පුතා. කොළඹ කාසල් රෝහලේදි හත්මාසෙන් ඔහු ඉපදුනේ. අඩු මාසයෙන් ඉපදුණු නිසා දැඩි සත්කාර ඒකකයට දැම්මා ස්නායු හැදිලා නෑ කියලා. මට ඒ කාලේ ඒ තරම් තේරුමක් තිබුණේ නැහැ. එක් ඇසක ප්‍රශ්නයක් නිසා ලේසර් කරනවා කියලා මගෙන් සියලු ලේඛන ගත්තා. ඊට පස්සේ දරුවා මගේ අතට දීලා අනෙත් ඇහැත් පේන්නේ නැහැ කිව්වා. ඒක ඇහුවාම මට මොනවා වුණාද කියලා මතක නැහැ. අදටත් ඒ ෆයිල් ගැන මම දන්නේ නැහැ. දරුවාව තුරුළු කරන් ගෙදර ආවා. මම හොඳටම ඇඬුවා. මගේ නැදෑ කෙනෙක් දුරකතනයෙන් කතාකරලා ඔයාගේ හිතේ තියෙන නරකකමට තමයි ඔහොම දරුවෙක් ලැබුණේ කිව්වා. ඒ නැදෑයාට මම අද ස්තුති කරනවා. එදා මගේ හිත හොඳටම රිදුණා. මම එදා හිතාගත්තා මගේ දරුවාව හොඳට හදලා උගන්නනවා කියලා. දරුවා ඒ කිව්ව විදියටම ඉගෙනගත්තා. මම මේ දරුවාව සමාජයට යොමු කළා. කවදාවත් හංගගෙන හැදුවේ නැහැ. මගේ දරුවා ගැන මට අද ගොඩාක් සතුටුයි. ඇස් දෙකම අන්ධ වුණාට ඔහු දක්ෂ දරුවෙක් වුණා. මම ඉදිරියටත් මගේ පුතාව දිරිමත් කරනවා’ යනුවෙන් ඇය පැවසුවා.
බ්‍රයන්ට අමතරව උපතින්ම ස්නායු ආබාධ සහිත දරුවෙක් විශිෂ්ට සාමාර්ථ 9ක් ලබාගැනීම පිළිබඳවද අසන්නට ලැබුණා. ඒ, දික්වැල්ල රත්මලේ සද්ධර්මරාජ මහා විද්‍යාලයේ දෙව්මි රන්සරා කුලතුංග රාජපක්ෂ දියණිය. ඇය පාසල් ගියේ දෙමව්පියන්ගේ කර මතින්.
ඇගේ දෙපා ඇතුළුව ශරිරයේ බොහෝ කොටස් පවතින්නේ අප්‍රාණික තත්ත්වයේ. ඉඟටියෙන් පහළ කොටසද සම්පූර්ණයෙන් අප්‍රාණිකයි. ඇය 2014 වර්ෂයේ පහ වසර ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 177ක් හිමිකර ගත්තා.
දෙව්මි සුෂුම්නාව ආශ්‍රිත ස්නායු ආබාධයකින් පෙළෙන නිසා ජීවිතයේ වැඩි කාලයක් ගතකර ඇත්තේ රෝහල්වල. පෑන පවා ඇය අතට ගත්තේ තව කෙනකුගේ උපකාරයෙන්.
රත්මලේ ධර්මරාජ මහා විද්‍යාලයට වසර 100කට වඩා පැරණි ඉතිහාසයක් තියෙනවා. මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගේ හොඳම ප්‍රතිඵලය දෙව්මි විසින් වාර්තා කිරීම සුවිශේෂ සිදුවීමක්. ඇය කිසිදු පෞද්ගලික පන්තියකට සහභාගි වී නොතිබීමද විශේෂත්වයක්. ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාද ඇගේ නිවෙසට ගොස් ඈට සුබ පැතුම් එක්කරන්නට කටයුතු කර තිබුණා. ගණිත අංශයෙන් උසස් පෙළ හැදෑරීම ඇගේ ආශාව වුවත් මනස වැඩි වශයෙන් වෙහෙසීමට බැරි නිසා දෙමව්පියන්ගේ ඉල්ලීම මත තොරතුරු තාක්ෂණය සමග වාණිජ අංශයෙන් ඉදිරියට යාමට ඇය බලාපොරොත්තු වෙනවා. ඇගේ එකම අපේක්ෂාව නම් අපොස උසස් පෙළ විභාගයෙන් ලංකාවේ විශිෂ්ට ප්‍රතිඵලයක් ලබාගැනීමයි.
දෙව්මි තම පියාගේ ෆේස්බුක් ගිණුමේ මෙලෙස සටහනක් තබා තිබුණා.
‘ගතින් දුබල වූ මා සිතින් කිසිදා නොවැටී දිවි මගේ කිසිදා නෙතග කඳුළක් නොසලා අතරමග නොසැලී ආ අභියෝගාත්මක ගමන් මගේ ජය ටැඹක් වූ අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් විශිෂ්ට සාමාර්ථ නවයක් ලබාගත්තෙමි. වෙර නැති මා ගතට සෙවණැල්ල සේ වෙර දුන් මගේ සෙනෙහෙබර මෑණියන්ටත් පියාණන්ටත් මල්ලිලා දෙන්නාටත් නෑ හිත මිතුරන්ටත් පළමු ශ්‍රේණියේ සිට සිප් සතර දුන් ගුරුවරුන්ටත් විදුහල්පතිතුමාටත් සහෝදර මිතුරු කැලටත් ප්‍රදේශවාසීන්ටත් රටවාසීන්ටත් මේ ප්‍රීතිජනක අවස්ථාවේ කෘතවේදිත්වය පුද කරමි.’
මේ දරුවන් දෙදෙනාට වඩා වෙනස් තවත් දරුවන් දෙදෙනෙක් මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයට ‘ඒ’ සාමාර්ථ 9ක් ලබාගත්තා. ඔවුන් පිළිබඳවද බොහෝ සෙයින් සමාජයේ කතාබහට ලක් වුණේ ඔවුන් මුස්ලිම් දරුවන් වීම හේතුවෙනුයි. ඒ දරුවන් දෙදෙනාම සිංහල භාෂාවට සහ බුද්ධ ධර්මය යන විෂයන්වලට විශිෂ්ට සාමාර්ථ ලබාගැනීමට සමත්ව තිබුණා. එම විශිෂ්ට දස්කම දක්වන්නට සමත් වුණේ මොහොමඩ් ෆාරිස් අයිෂා අමිනා සහ මොහොමඩ් රිෆ්කාන් මොහොමඩ් අර්මාෂ් යන දුවා දරුවන්.
අලුත්ගම දර්ගා නගරයේ පදිංචි මොහොමඩ් රිෆ්කාන් පළමු ශ්‍රේණියේ සිට පස්වැනි ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය හැදෑරුවේ අලුත්ගම මහා විද්‍යාලයෙන්. පහ වසර ශිෂ්‍යත්ව විභාගය සමත්වන ඔහු කොළඹ ලුම්බිණි විද්‍යාලයට ඇතුළත් වුණා. රිෆ්කාන් තම ජයග්‍රහණය පිළිබඳ දැක්වූයේ මෙවන් අදහසක්.
‘මේ ජයග්‍රාහණයේදී මා සමග සෙවණැල්ලක් සේ සිටි මගේ අම්මා සහ තාත්තාවත්, මගේ පන්ති භාර ගුරු ස්වාමින්වහන්සේ වන පූජ්‍ය ගැටමානේ තිස්ස හිමියන්වත්, විදුහල්පති ප්‍රියන්ත කරුණාරත්න ගුරුපියාණන් ඇතුළු සියලු ගුරු භවතුන්වත් මම මේ මොහොතේ ගෞරවයෙන් සිහිපත් කරනවා. මට සිංහල විෂය හදාරන්න ආසා හිතුණේ මගේ තාත්තා දර්ගා නගරයේ නාකන්දලගොඩ ශ්‍රී ඥානිස්සර මහා විද්‍යාලයෙන් සිංහල මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබලා තිබුණු නිසා. එහිදී තාත්තා උසස් පෙළ සමත්වුණා. ඒක තාත්තා නිතරම අපිට කිව්වා. ඒ නිසා මටත් ලොකු ආසාවක් ඇතිවුණා එවැනි ජයක් ලබන්න. මගේ අනාගත බලාපොරොත්තුව ඉංග්‍රීසි මාධ්‍යයෙන් ගණිත අංශයෙන් ඉදිරියට යෑම වගේම මොරටුව විශ්වවිද්‍යාලයට ඇතුළත්ව ඉන්ජිනේරුවරයකු වී රටට වැඩදායි පුරවැසියකු වීමයි…’ යනුවෙන් ඔහු කියා සිටියා.
රිෆ්කාන් වගේම මොහොමඩ් ෆාරිස් අයිෂා අමිනා දියණියද වැල්ලවාය මල්වත්තාවල ජාතික පාසලෙන් මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයට මුහුණදී විශිෂ්ට සාමාර්ථ 9ක් ලබාගත්තා. ඇගේ පියා වැල්ලවාය ප්‍රදේශයේ පාපැදි අලුත්වැඩියා කරන්නෙක්. අයිෂා දියණිය තම විභාග ප්‍රතිඵල ගැන මේ විදියට අදහස් දැක්වූවාය.
‘මම පුංචි කාලේ ඉඳන් නිදහසේ ඉගෙනගත් කෙනෙක්. ඒ නිදහස දුන්නේ මගේ මව්පියන්. මම හැමෝගෙන්ම ඉල්ලනවා විභාගයට කලින් පරණ ප්‍රශ්න පත්තරවලට පිළිතුරු සපයන්න කියලා. එතකොට විභාගයට මුහුණ දෙන්න අමාරු වෙන්නේ නැහැ. බුද්ධ ධර්මය කියන්නේ මට සංස්කෘතිකව ආධුනික විෂයක්. මේ විෂය ඉගැන්නුවේ පූජ්‍ය ජිනරතන ස්වාමින් වහන්සේ. උන්වහන්සේ ඉගැන්නූ විදිය හරිම ආකර්ෂණියයි. මම පළමු පන්තියේ ඉඳලාම බුද්ධාගම ඉගෙන ගත්තා. මට මේ විෂයන් ලොකු අමුත්තක් දැනුණේ නැහැ. බුද්ධාගම ඉගෙනගන්න කොට ගාථා, කවි වගේ දේවල් මට හරි ඉක්මනින් පාඩම් හිටිනවා. ගාථාවල තියෙන තේරුම්වලට මම හරි කැමතියි. මට ඒවා හරි ඉක්මනින් මතක හිටිනවා. ජාතක කතා වුණත් එහෙමයි. මම සිංහල විෂයත් හරි කැමැත්තෙන් ඉගෙනගත්තා. අත් අකුරු කියන්නේ කෙනකුගේ අනන්‍යතාව. මම අත් අකුරු තරගවලටත් සහභාගි වෙලා තියෙනවා. එයින් ජයග්‍රහණත් මම ලබාගෙන තියෙනවා. සිංහල කියන්නේ තවත් එක් භාෂාවක්. ව්‍යාකරණ සහ රසාස්වාදයට මම හරි ආසයි. මම උසස් පෙළ හදාරන්න ඉන්නේ ගණිත අංශයෙන්. එකම බලාපොරොත්තුව ඉන්ජිනේරුවරියක් වීමයි….’ ඇය කියා සිටියා.
ඇයට ඉගැන්වූ සියලු ගුරුවරුන්ට ස්තුති කරන්නත් අයිෂා අමතක කළේ නැහැ.
මේ දරුවන්ගේ ජීවිතද අපේ රටේ ජාති ආගම්වලට බෙදී කුලල් කාගෙන ගහමරාගන්නා සියලු දෙනාටම ආදර්ශයක්. කුඩා කාලයේ සිටම දරුවන්ට හැම ආගමකටම ජාතියකටම ගරු කරන්න ඉගැන්විය යුතුයි. ඒ බව අමිෂාගේ සහ මොහොමඩ් රිෆ්කාන්ගේ මේ විශිෂ්ට ප්‍රතිඵලවලින් අපට නැවත නැවත කියා දෙනවා. සියලු දරු දැරියන් ආගම් ජාති භේදයකින් තොරව ආගම් පිළිබඳ, භාෂාවන් පිළිබඳ හැදෑරිය යුතු වෙනවා. සියලු ජනතාවට සමගියෙන් සහජීවනයෙන් කටයුතු කරන්න එය මනා පිටිවහලක් වනවා. එවිට රටක ජාතීන් අතර කිසිම අර්බුදයක් ඇතිවෙන්නේ නැහැ.
බ්‍රයන් සහ දෙව්මි සිතේ ශක්තියෙන් හා නොපසුබට උත්සාහයෙන් විභාගය ජයගත් දරුවන් දෙදෙනෙක්. අපේ රටේ සමහර දරුවන්ට සියලු පහසුකම් තිබිලත් විභාගයට මුහුණ දෙන්නේ උනන්දුවකින් තොරවයි. එවැනි දරුවන්ට මෙය කදිම ආදර්ශයක්. බ්‍රයන් කියන්නේ ඇස්දෙකම පෙන්නේ නැති දරුවෙක්. ඒත් ඒ දරුවා සියලු විෂයන්ට ‘ඒ’ සමාර්ථ ලබාගත්තේ ඔහුගේ තිබෙන උත්සාහවන්තකම නිසා. ඊට නොදෙවැනි දෙව්මිත් ගත වාරු නැතත් ඉතා අසීරුවෙන් විභාගයට මුහුණ දී දස්කම් පෑ දරුවෙක්.
උත්සාහවන්ත වුණොත් අපට කරන්න බැරි දෙයක් මේ ලෝකේ නොමැති බව මේ දරුවන් සිවු දෙනාම සපථ කර හමාරයි. මේ, රටේ හෙට දවස භාරගන්නා අනාගත පරපුරයි. මේ සියලු දරුවන්ට ලෝකය එළිය කරන්නට, තව තවත් දස්කම් දක්වමින් රටම බබළවන්නට ශක්තිය ලැබෙන්න කියලා අපි හදවතින්ම ආශීර්වාද කරනවා.
නිලන්ති රේණුකා










