ශාරුක් ඛාන් යනු එදා මෙදා තුර ලෝකයේ බිහිවූ ජනප්‍රියතම පුද්ගලයන් අතරින් එක් අයෙකි. බොලිවුඩ් සිනමා නළුවෙකු වුවද, ශාරුක් ඛාන් ලෝකය පුරා බොහෝ දෙනෙකුගේ ආදරය දිනා ගැනීමට සමත් වී ඇත. විශේෂත්වය වන්නේ දශක ගණනාවක් පුරා තමන්ට හිමි ජනප්‍රියත්වය ඒ ආකාරයෙන්ම රැක ගැනීමට ශාරුක්ට හැකි වීමය.
ශාරුක් ඛාන් සම්බන්ධ ඕනෑම පුවතක් ලෝකය පුරා පැතිර යන්නේ නිමේෂයකිනි. ඒ ඔහු සතු ජනප්‍රියත්වය හේතුවෙනි. මේ ආකාරයේ ශාරුක් ඛාන් සම්බන්ධ පුවතක් හේතුවෙන් පසුගිය සතියේදීද ජාත්‍යන්තර මාධ්‍ය උණුසුම් වී තිබිණි.
ඒ පුවතින් කියැවුණේ මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් ශාරුක් ඛාන්ගේ පුතුවන ආර්යන් ඛාන් ඉන්දියාවේ මත්ද්‍රව්‍ය කාර්යාංශයේ අත්අඩංගුවට පත්ව ඇති බවය. සුඛෝපබෝගී සංචාරක නෞකාවක් මඟින් ගෝවා බලා ගමන් කරමින් සිටියදී මේ ආකාරයෙන් ආර්යන් ඛාන් අත්අඩංගුවට පත් වූ බව වාර්තා වූ අතර ඔහු සමඟ තවත් 07 දෙනකු අත්අඩංගුවට පත්ව ඇති බවද වාර්තා විය. වහාම ඒ සියලු දෙනා බන්ධනාගාර ගත කිරීමට ඉන්දීය බලධාරීන් පියවර ගෙන තිබිණි.
පළමුව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබුණේ ශාරුක් ඛාන්ගේ පුත්‍රයා කංසා මත්ද්‍රව්‍ය ළඟ තබා ගෙන ඇති බවය. ඉන්දීය සිනමා තාරකාවන් කිහිප දෙනකු පිළිබඳවද තහනම් මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීම සම්බන්ධ සිදුවීම් ගණනාවක්ම පසුගිය කාලයේදී වාර්තා වී තිබිණි. ඒ හේතුවෙන් ශාරුක්ගේ පුත්‍රයා පිළිබඳ සිදුවීම කෙරෙහිද බොහෝ දෙනාගේ අවධානය යොමු විය.
විශේෂ අවසරයක් යටතේ තම පුත්‍රයා බැලීමට ශාරුක් ඛාන් ගමන් කර ආකාරයද මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වූ අතර එහිදී ඔහු ඉතා සංවේදී ආකාරයෙන් හැසිරෙන ආකාරයද දැක ගත හැකි විය.
කෙසේ නමුත් දැන් අනාවරණය වී ඇත්තේ ශාරුක් ඛාන්ගේ පුත්‍රයා සතුව කිසිදු ආකාරයක මත්ද්‍රව්‍යක් තිබී නොමැති බවය. නමුත් ඔහුගේ මිතුරෙකු සතුව තිබී මත්ද්‍රව්‍ය සුළු ප්‍රමාණයක් සොයා ගැනීමට මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් සමත් වී ඇත.
හෙළි වී ඇති තොරතුරු අනුව අනාවරණය වී ඇත්තේ විදෙස්ගතව සිටින ශාරුක් ඛාන්ගේ පුත්‍රයා ඉන්දියාවට පැමිණ ඇත්තේ මීට දින කිහිපයකට පෙර බවය. එසේ පැමිණි ඔහු අදාළ නෞකාවේ සාදය සඳහා සහභාගි වී ඇත්තේ විශේෂ ආරාධිතයෙකු ලෙසටය. නෞකාවට ඇතුළු වීමේදී සියලුම මගීන් පරීක්ෂා කරන ආකාරයෙන් ආර්යන්වද පරීක්ෂා කොට ඇති අතර එහිදී කිසිදු මත්ද්‍රව්‍යයක් පිළිබඳ සාක්ෂි හමු වී නොතිබීමය.
මේ හේතුවෙන් අදාළ සිදුවීම ශාරුක් ඛාන්ගේ කීර්තිනාමය පලුදු කිරීම සඳහා හිතා මතා සිදු කළ ක්‍රියාවක්ද යන්නද දැන් ජාත්‍යන්තර මාධ්‍යයේ අවධානය යොමු වී ඇත.
ආර්යන් ඛාන් මත්ද්‍රව්‍ය භාවිතා කර ඇති බවක් හෝ ඔහු සතුව තිබී කිසිදු ආකාරයේ මත්ද්‍රව්‍යයක් හමු නොවූ බව ඉන්දීය මත්ද්‍රව්‍ය කාර්යාංශ නිලධාරීන් සිද්ධිය සම්බන්ධයෙන් පැවැති නඩු විභාගයේදීද ප්‍රකාශ කර තිබිණි. එසේ වුවද තවදුරටත් විමර්ශන පැවැත්වෙන බැවින් ආර්යන් ඛාන් නිදහස් කිරීමට නොහැකි බවද එහිදී එම නිලධාරීන් ප්‍රකාශ කර තිබිණි.
මේ අතර ආර්යන් ඛාන්ගේ නම බිට් කොයින් සහ ඩාර්ක් වෙබ් වැනි අන්තර්ජාල අඩවිවල සටහන්ව තිබෙන බවද මත්ද්‍රව්‍ය නාශක නිලධාරීන් ප්‍රකාශ කර තිබිණි. ඩාර්ක් වෙබ් යනු ලෝකය පුරා මත්ද්‍රව්‍ය සහ ත්‍රස්තවාදී ක්‍රියාවන්ට සම්බන්ධ පුද්ගලයන්ගේ නම් ඇතුළත් වෙබ් අඩවි කිහිපයකි. එසේ වුවද, බිට් කොයින් වැනි නීත්‍යානුකූල වෙබ් අඩවි සමඟ ගනුදෙනු කිරීම සම්බන්ධයෙන් ආර්යන් ඛාන් සම්බන්ධයෙන් ප්‍රශ්න කරන්නේ ඇයිද යන්නද බොහෝ දෙනකුගේ විමතියට හේතු වී ඇත. මේ අතර ආර්යන් ඛාන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමට සම්බන්ධ වූ නිලධාරීන් පිළිබඳවද විවිධාකාරයේ පුවත් ජාත්‍යන්තර මාධ්‍ය ඔස්සේ වාර්තා වෙමින් ඇත. එමෙන්ම මෙම මෙහෙයුම සඳහා ඉන්දීය නාකොටික් නිලධාරීන් ඉන්දීය රුපියල් ලක්ෂ 20කට අධික මුදලක් වැය කිරීම පිළිබඳවද දැන් දෝෂාරෝපණ එල්ල වෙමින් ඇත. ඉන්දීය මාධ්‍ය විමසා සිටින්නේ බදු ගෙවන ජනතාවගේ මුදල් මේ ආකාරයෙන් විනාශ කිරීමට මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන්ට ඇති අයිතිය කුමක්ද යන්නය. ආර්යන් ඛාන් අත්අඩංගුවට ගැනීම ඉදිරියේ කොයි අතට පෙරළේද? ඉදිරි දිනවලදී ඒ පිළිබඳ තොරතුරු දැන ගැනීමට හැකිවනු ඇත.
චන්දන පොන්නම්පෙරුම










