චීන ණය ප්‍රතිපාදන මත පාකිස්ථානයේ ප්‍රධාන දුම්රිය මාර්ගය ඉදිකිරීමේ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් පසුගිය වර්ෂයේදී දෙරට අතර අවසාන තීරණයටද පැමිණ තිබිණි.
ඒ සඳහා චීනයෙන් සැපයෙන “සංවර්ධන”ණය මුදල ඩොලර් බිලියන නවයක් හෙවත් කෝටි නමසියයකි. එහෙත් පසුව එම ණය මුදල ඩොලර් බිලියන 6.8 දක්වා අඩුකර තිබිණි. ඉන් අනතුරුව ණය මුදල ඩොලර් බිලියන 1.5කින් වැඩිකිරීමටද පාකිස්තානය සිය කැමැත්ත දී තිබේ.
ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළ යුතු බවට පාකිස්තානයේ ආර්ථික උපදේශක කමිටුවද පසුගිය වර්ෂයේ අගෝස්තු මාසයේදී අනුමත කර තිබුණි. වැඩ ආරම්භ කිරීමට ඉතුරුවී තිබුණේ දෙපාර්ශ්වය අතර ගිවිසුමට එළැඹීම පමණි.
එහෙත් මේ අතර ව්‍යාපෘතිය නොකර අත්හැර දැමීමට චීනය හදිසියේම තීරණය කර ඇතැයි පසුගියදා නිල වශයෙන්ම පාකිස්තානයට ප්‍රකාශ කර තිබේ. ඊට හේතුව පාකිස්තායේ දිනෙන් දින ඉහළ යන ජාතික රාජ්‍ය ණය ප්‍රමාණය බවද දන්වා ඇතැයි පාකිස්තාන රජයේ උසස් නිලධාරියෙක් ප්‍රකාශ කෙළේය.
රටේ ණය ප්‍රමාණය සම්බන්ධයෙන් යථාර්ථය පැහැදිලි කරමින් ව්‍යාපෘති ණය අත්හිටුවීමට හේතුවක් නැතැයි මේ සම්බන්ධව පාකිස්තානය දන්වා ඇති බව එරට (පාකිස්තානයේ) සැලසුම් කොමිසමේ නියෝජ්‍ය සභාපති ආචාර්ය ජෙහාන්සෙබ් ඛාන් එක්ස්ප්‍රස් ටි්රබියුන් පුවත්පත විමසූ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් ප්‍රකාශ කර තිබේ.
ව්‍යාපෘතියේ ණය ආපසු ගෙවීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්රතිපත්තිද සැලකිල්ලට ගෙන “චීන මූල්‍යමය උපදේශක කමිටුව” පසුගිය මාර්තු මාසයේ මේ සම්බන්ධව ඉතා දීර්ඝ වශයෙන් කරුණු කාරණා සාකච්ඡා කිරීමෙන් අනුරුව තම අකමැත්ත ප්‍රකාශ කර ඇති බව ද පැවසේ.
ණය සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ රටවල් විස්සක එකතුවෙන් සැදුණු කණ්ඩායමකින් ගැනුණු තීරණද අධ්‍යයනය කිරීමෙන් අනතුරුව චීන මූල්‍යමය උපදේශක කමිටුව පසුගිය මාර්තු 30 වැනි දින පාකිස්ථානයේ ප්‍රධාන දුම්රිය මාර්ගය ඉදිකිරීමේ ව්‍යාපෘතිය පිළිබඳ මේසා තීරණයක් ගත් බව බෙයිජිං ආරංචි කියයි.
පාකිස්තානයේ දළදේශීය නිෂ්පාදනයෙන් 87.2%ක්ම රාජ්‍ය ණය ගෙවීමට යෙදවෙන බව කියන චීනය, මේ වන විට පකිස්ථානය ලබාගෙන ඇති ණයවලින් ඩොලර් බිලියන 3.5%ක් හෙවත් කෝටි 350ක් සම්බන්ධයෙන් පසුගිය 2020 ජූලි මාසයේ සිට ලබන දෙසැම්බර් දක්වා ණය සහන කාලයක් ලබාගෙන ඇතැයි ද කියයි.
චීනය මේ කරුණු ඉදිරිපත් කරන්නේ පාකිස්තානයට ඇති ණය ගෙවීමේ නොහැකියාව ඉස්මතු කිරීමට බව ද පෙන්වා දෙයි.
මොනවා වුවත් චීනය පැනවූ ණය තහනම ඉවත් කරවාගැනීමට තම රට උනන්දු වන බව පාකිස්තානයේ “ආර්ථික උපදේශක කමිටු” සාමාජිකයෙක් එක්ස්ප්‍රස් ටි්රබියුන් පුවත්පතට ප්‍රකාශ කෙළේය.
රටවලට ණය ප්‍රතිපාදන පිරිනැමීමේදී “ජාත්‍යන්තර මූල්‍ය අරමුදල” මාර්ගෝපදේශන දක්වා ඇති බව සැබෑවක් වුවත් තම රටේ ප්‍රධාන දුම්රිය මාර්ගය ඉදිකිරීමේ ව්‍යාපෘතියට ණය පහසුකම් සැලසීම වෙනුවෙන් “තහංචි”පනවා නැතැයිද, රටේ යහපත් ණය පාලනයක ඇති කර ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් පිළිගෙන ඇතැයිද, ණය ගෙවීමේ හැකියාව තම රටට ඇතැයිද පාකිස්තානය පෙන්වා දෙයි.
“මේ ප්‍රධාන දුම්රිය මාර්ගය ඉදිකිරීමෙන් ව්‍යාපෘතිය ක්‍රියාත්මක ආයතනයට මූල්‍යමය ප්‍රගතියක් අත්වනවා පමණක් නොව සමස්තයක් වශයෙන් පාකිස්ථානි ප්‍රජාවට විවිධ ප්රතිලාභ රැසක් භුක්ති විඳින්නට වරප්‍රසාද ලැබෙනවා යැයි”ද ආර්ථික උපදේශක කමිටු” සාමාජිකයා පෙන්වා දුන්නේය.
පෙෂාවර් සිට කරච්චිය දක්වා ඉදිකිරීමට යෝජිත දුම්රිය මාර්ගයේ දිග කිලෝමීටර් එක්දහස් අටසිය හැත්තෑ දෙකකි. එරටට ඓතිහාසික සිද්ධියක් වන ඉදිකිරීමේ කර්මාන්තය දස වසරකින් නිමකර ගැනීමටද අපේක්ෂිතය.
එහෙත් පාකිස්තානය ආර්ථික වශයෙන් ජරාජීර්ණ තත්ත්වයකට පත්ව ඇති බව කියන චීනය ව්‍යාපෘතිය සඳහා දෙන ණය මුදල තම රටට තවත් බරක් වියහැකි බවද පෙන්වා දෙයි.
මාර්ගය ඉදිකිරීම සඳහා වන දෙරට අතර “කඹ ඇදිල්ලට” වසරකට වැඩි කාලයක් ගතවී ඇතත් තවමත් අවසාන නිගමනයකට එන බවක් නම් පෙනෙනන්නට නැත. චීනයෙන් සැපයෙන ණය මුදල (බිලියන නවය) ව්‍යාපෘතිය සඳහා වන සමස්ත පිරිවැයෙන් 85%ක් පමණි. ඒ බව කියන පාකිස්තානු රජය ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන සමාගම චීනෙන් ඉල්ලා සිටින ණය මුදල සඳහා ඇප විය හැකි බවද කියයි.
පාකිස්තානයේ භාවිත මුදල් සහ ණය පහසුකම් සැපයෙන ඩොලර් අතර පවත්නා වෙනස සම්බන්ධයෙන් කටයුතු කෙරෙන අන්දම ගැනද ගිවිසුමේ කොන්දේසි කවරේද යන්න ගැනද දෙරටම මෙතෙක් එකඟත්වයකටද එළඹ නැත.
එසේම මේ “සංවර්ධන ණයක්ද? වාණිජ ණයක් ද?” යන්න ගැන මෙන්ම ණය ආපසු ගෙවන කාල පරාසය ගැනද තීන්දුවක්ද නැත.
”පස් අවුරුදු සහන කාලයක් සහිතව වසර පහළොවක් විස්සක් අතර කාලයක් උචිත බව චීන කොන්දේසියයි. එහෙත් පාකිස්තානයේ යෝජනාව දස අවුරුදු සහන කාලයක් සමග විසිපස් අවුරුදු කාල පරිච්ඡේදයකි. චීනයේ පාකිස්තානු තානාපති නොං රොං පසුගිය සිකුරාදා පාකිස්ථානයේ සැලසුම් අමාත්‍ය “අසාඩ් උමාර්”හමුවී දෙරට අතර පවත්නා සම්බන්ධතා ගැන සාකච්ඡාවක්ද පවත්වා තිබේ. එහිදී දුම්රිය මාර්ගය ඉදිකිරීමේ ව්‍යාපෘතිය ගැනද සාකච්ඡා කෙරුණු බවක් සාකච්ඡාව සම්බන්ධයෙන් පාකිස්තානු සැලසුම් අමාත්‍යාංශයෙන් නිකුත් කර ඇති නිවේදනයේ ද සඳහනකර තිබේ.
එහෙත් දුම්රිය මාර්ග ව්‍යාපෘතියේ ඉදිරි කටයුතු කවරේදැයි යන්න ගැන සඳහනක් එම නිවේදනයේ දක්වා නැති අතරම ඉදියේදී මේ අන්දමේ සාකච්ඡාවක් පැවැත්වෙන දිනයක්ද නියම කෙරී නැත.
පාකිස්තානය පසුගිය වර්ෂයේ ඔක්තා්බරයේ සිටම දුම්රිය මාර්ගය ඉදිකිරීමේ ව්‍යාපෘතිය ගැන දෙරට අතර ද්විපාක්ෂික සාකච්ඡාවක් කිරීමට ඇඟිලි ගනිමින් සිටියේය.
චීන තානාපති නොං රොං පසුගියදා හමුවුවත් දුම්රිය ව්‍යාපෘතිය ගැන යහපත් ප්‍රතිචාරයක් එහිදී ලැබුණේ නැත. එපමණක් නොව ඉදිරි සාකච්ඡාවක් ගැන දින නියමයක් ද නොවිණි. ඇමැති අසාඩ් උමාර් තානාපති නොං රොං හමුවූ අවස්ථාවේදී දුම්රිය මාර්ගය ඉදිකිරීමේ ව්‍යාපෘතිය සම්බන්ධව යහපත් තීරණයක් ලැබේතැයි යන දැඩි අපේක්ෂාවෙන් සිටියත් ඔහු අපේක්ෂා භංගත්වයට පත්වූවේය. චීන ආරංචි මාර්ග පවසන්නේ චීනය පාකිස්තානයට ණය දීමට කැමැත්තක් නැති බවයි.
දුම්රිය මාර්ගය ඉදිකිරීමේ කර්මාන්තය සංවර්ධන ණය යටතේ ඉදිකිරීමේ තීන්දුව පැත්තකට දමා ප්‍රසිද්ධ මිල ගණන් කැඳවීම යටතේ වාණිජ මට්ටමේ ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කිරීමට දෙපැත්තම සූදානම් බවද දැනගන්නට ඇත.
චන්ද්‍රසේන මාරසිංහ











