ඇත්තමයි. ආදරය නම් හරිම සොඳුරු විෂයකි. එයට නොයෙක් විචාරයන්ද වේ. ආදරය අන්ධ යැයි කෙනකු කියන කල තවත් කෙනකු කියා සිටින්නේ ආදරය සුන්දර වරදක් යැයි කියාය.
කොහොම කීවද කෙසේ අදහස් දැක්වුවද ඈත අතීතයේ පටන්ම ආදරය මූලික කොටගෙන ලොව පුදුම අතර එකක් වූ ටජ්මහල තැනූ සාජහන්ලා සේම සිහසුන අතහැර දැමූ එඩ්වඩ්ලා වැනි කුමාරවරුද සිටියහ.
ඒ තරමට ඈත අතීතයට යන්නටද වුවමනා නැත. තමාට වඩා අවුරුදු ගණනාවකින් වැඩිමහලු වූ කැමිලා පාකර් බෝල්ස් නිසා ඔටුන්න එපා කී චාල්ස් කුමාරයා ගැන අප ඇසුවේ මෑතකදීය.
ඩයනා ස්පෙන්සර්ගේ පෙනුමට අලගු තියන්නටවත් බැරි කැමිලාව චාල්ස්ට සුර දූතියක ලෙස පෙනුණේ ඔවුන් අතර වූ අසීමිත ආදරය මුල්කොට ගෙනය.
ආදරය හා බැඳුණු එවැනි විස්මිත සිදුවීම් හා කතන්දර තව ඕනෑ තරම්ය. ඒවා ගැන දොඩන්නට නම් පත්තර කිහිපයක පිටු එකට අමුණා තැබිය යුතුය. ඒ නිසා අප අදට අදාළ කතන්දරයට ආරම්භය තබමු. ඒ ආරම්භයට මුල් වන්නේ අලංකාර අහඹුවකි. කට වචනයට නම් එය සර්ප්‍රයිස් එකකි. ඒ සර්ප්‍රයිස් එකද එසේ මෙසේ සර්ප්‍රයිස් එකක් නම් නොවේ. සරලවම කියනවා නම් එය සුපිරි පන්නයේ පට්ට සර්ප්‍රයිස් එකකි.
එවැනි සර්ප්‍රයිස් එකක් තම පෙම්වතිය වෙනුවෙන් තිළිණ කරන්නට හැම පෙම්වතකුටම බැරිය. තවත් විදියකට කියනවා නම් නුවරඑළිය පැත්තේ ලස්සන ලොකේෂන් එකකදී හෙලිකොප්ටරයකින් ඇවිත් තම හිත් ගත් කෙල්ලට දියමන්ති ගලක් දැමූ මුදුවක් වෙදැඟිල්ලට දමා, ‘ඔයා මාව බඳින්න කැමැතිද?’ කියා ඈ ළඟ දණ නමා අසන්නට එසේ මෙසේ කොල්ලෙකුට නම් කොහොමවත් බැරි බව සක් සුදක් සේ පැහැදිලිය.
දැනටත් සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ සොඳුරු වදන් වැල් සමග ඇදී යන මේ ප්‍රේමණීය කතන්දරයේ කෙල්ලගේ චරිතයට ජීවය දෙන්නේ අසේකා විජේවර්ධනය.
අත පය දිගහැර එකසිය ගානට තම ප්‍රේමවන්තිය වෙනුවෙන් මිල කළ නොහැකි සර්ප්‍රයිස් එක දුන් සුපිරි කොල්ලා කෝටිපති ව්‍යාපාරික ජනික් ජයසූරියය.
අසේකා විජේවර්ධන කියන්නේ ලංකාවේ කලාකාමී පවුලක එකම දූය. තවත් විදියකට කියනවා නම් ඈ ප්‍රවීණ නර්තන ශිල්පී චන්න විජේවර්ධනගේ සහ නර්තන ශිල්පිනී උපුලී පණීභාරතගේ දූ සිඟිත්තය.
ජනික් ජයසූරිය ගැනද එහෙම හැඳින්වීමක් කරන්නට අවැසි සුවිශේෂ වර්ණනා අතින් දමන්නට වුවමනා නැත. සරලව කෙළින්ම කියනවා නම් ජනික් සිනමා සක්විති ගාමිණී ෆොන්සේකාගේ ‘ස්මාර්ට් මුණුබුරා’ය. ඒ කියන්නේ මේ සුපිරි පවුල් දෙකක එකතුවක මුලපිරීමකි. කතා දෙකක් නැත ඒක එහෙමමය. සුපිරි සර්ප්‍රයිස් එකක් සමග පැමිණි මේ ආකර්ෂණීය විවාහ මංගල යෝජනාවෙහි පසුබිම තුළ වන්නේ සුපිරි පවුල් දෙකක අද්විතීය එකතුවකි.
මේ සුන්දර සංසිද්ධිය තුළ තව කතාවක් ඔළුවට ආවේ ක්ෂණිකවය. ඒ, වසර ගණනාවකට උඩදී සිදුවන්නට ගිය තවත් පවුල් දෙකක සුපිරි එකතුවක් ගැනය. ඒ, රාජපක්ෂ පවුල සහ අබේනායක පවුල අතරය. එහෙමත් නැත්නම් රාජපක්ෂ සහ ෆොන්සේකා පවුල අතරය. කතන්දරය කෙටියෙන් කියනවා නම් මතකයේ හැටියට මීට අවුරුදු දහයකට හෝ දොළහකට පමණ උඩදී ප්‍රවීණ ටෙලිනාට්‍ය තිර රචක සහ අධ්‍යක්ෂවරයකු වූ ආනන්ද අබේනායකගේ සුන්දර දියණිය වූ යසාරා අබේනායක මහින්ද රාජපක්ෂගේ දෙවැනි පුත්‍රයා වූ යෝෂිත රාජපක්ෂ සමග පෙමින් බැඳිණි. යසාරාගේ අම්මා වූයේ සිනමා සක්විති ගාමිණී ෆොන්සේකාගේ දියණිය වූ චමිලාය. එහෙම බලන කොට යසාරා ගාමිණී ෆොන්සේකාගේ මිණිබිරියය.
ඒ ආදර කතා පවුල් දෙකෙහිම අවසරය මත ගලාගිය සමීපතම අන්දරයක් විය. ශිරන්ති රාජපක්ෂගේ සෙනෙහස මැද යසාරා නිතර රාජපක්ෂ මැඳුරට ආ ගිය බවද ආරංචිය. සමහර කාන්තා සඟරා සහ ටැබ්ලොයිඩ්වලින්ද යෝෂිතට සහ යසාරාට කවර් පේජ් සරසන්නට ආරාධනා ලැබුණද යෝෂිත එයට අකැමැති විය.
ඉතා අලංකෘතව ඇදී ගිය ඒ අපූරු පෙම අතරමඟකදී කැඩී බිඳී ගියේ කුමන හේතුවක් නිසාදැයි තවමත් ආරංචියක් නැත. ඉතින් එදා ඒ සුපිරි පවුල් දෙකක එකතුවක් වන්නට ගිය පෙම් කතන්දරය එලෙස නිමාවට පත්විය.
හදිසියේම ඔළුවට ආ ඒ යෝෂිත – යසාරා පෙමට දැනට තිත තබමු.
ගාමිණී ෆොන්සේකා සහ චන්න විජේවර්ධන කියන්නේද ලොකු කෙරුම්කාරයන් දෙපළකි. ගාමිණී මියගියද ඔහුගේ සිනමා සක්විති පට්ටම සහ ඔහු ඉතිරි කර ගිය ජේත්තුවද තවම සිරිලක පුරා රැව්දෙයි. ඉහත සුපිරි සර්ප්‍රයිස් එකත් සමග අසේකා විජේවර්ධනගේ කෝටිපති පෙම්වතා ගැන හඳුන්වන විට ඔහු ගාමිණී ෆොන්සේකාගේ මුණුබුරෙකිය යන වග මාධ්‍යවල පුන පුනා කියැවුණේ ඒ නිසාමය.
අසේකාගේත්, ජනික්ගේත් සම්බන්ධයට ආරම්භය තැනුණේ මීට අවුරුදු දෙක තුනකට පළමුවය. එතකොට ආදරයක සේයාවක් නොවූ එය, මිතුදමකට එහා ගිය බැඳීමකින් සමන්විතව තිබිණි. කවියන් ලේඛකයන් අකුරු කරන විදියට පේ්්‍රමයක් නොවන මිතුදමට එහා ගිය අමුතු සුන්දර බැඳීම් ලොව පවතින්නේය. අසේකා සහ ජනික් අතරට එදා වූයේ එවැනි බැඳීමක් වන්නට ඇත.
2021 අවුරුද්දේ ජනික්, අසේකා වෙනුවෙන් කදිම සර්ප්‍රයිස් බර්ත්ඩේ පාටියක්ද ඕගනයිස් කරලා තිබුණා. එදා අසේකා දැඩි සතුටට පත්ව සිටියා. ‘මෙවැන්නක් මා වෙනුවෙන් කළ මගේ පවුලේ නොවන පළමු පිට පිරිමි මිතුරා ජනික්…’ යැයි සමාජ ජාල වෙබ් අඩවියකට ඈ පවසා තිබුණාය.
පෙම් පලහිලව්වකදී පිරිමියා යෝජනාව ගෙන ඒම සම්ප්‍රදායක්ව තිබූ නිසා දෝ මන්දා අසේකා ජනික් වෙනුවෙන් පීදෙමින් තිබූ ප්‍රේමණීය හැඟීම් පපුව තුළ තෙරපාගන්නට ඇත. එතැනදී නියම පිරිමියකු ලෙස ජනික් ඉදිරි පියවර තබන්නට ඇත.
සුපිරි ව්‍යාපාරිකයන් සංවේදී නැතැයි යන සමස්තයක් වූ මතය බොරු කරමින් ජනික් සිය ප්‍රේමය සහ විවාහ යෝජනාව ඈ හමුවේ තබන ආකාරය කෙසේ විය යුතුද යන්න ගැන දස අතේ සිතුවේය. එයට දිය යුතු රොමැන්ටික් ස්වරූපයට අවැසි සොඳුරු කළමනා මොනවා දැයි ජනික් සිතන්නට ඇත. හෙලිකොප්ටරයක තම ආදරවන්තිය ඉන්දවා දියමන්ති මුද්දක් තිළිණ කරන්නට පුළුවන් සුපිරි කෝටිපතියකුට හිතට එන මොනවා නම් කරන්නට බැරිකමක් නැත.
සුන්දර නුවරඑළියේ ලස්සන ලෝකේෂන් එකක් මැද අසේකාව හිඳුවා සුන්දර ගීතයක්ද ගයා උiාන බිමෙහි ඇසට හසුවන පැහැයට ආදරණීය සටහනක් තබා ඈ අබියස දණ නමා මාව බඳිනවා දැයි අසන ප්‍රේමණීය හින්දි චිත්‍රපටයක සීන් එකක් අවසානයේ ජනික්ගේ හිත සෑහීමට පත් කළේය.
එය එලෙසම සිදුවිය. ලෝකයේ කොයි කෙළවරකින් ඉල්ලන මුදලකට අනුව සුපිරි ගායකයකු ගෙන්වා ගයන්නට දිය හැකිව තිබූ ඔහුගේ මිහිරි ආදර ගීතය අසේකා වෙනුවෙන්ම ඔහුම ගැයුවේ ඈ වෙනුවෙන් ඔහුගේ හිතේ තිබූ ප්‍රේමය සීමාවක් නොවූ බව අඟවන්නට මෙන්ය.
සියල්ල එසේ සිදුවන විට අසේකා ලස්සන මන්දස්මිතයක් සමග සතුටුදායක තිගැස්මකට ලක්ව සිටියාය.
‘මට අදහා ගන්න බැහැ. මේ හැම දේම මං වෙනුවෙන් නේද…’ අසේකා ඉතා මෘදුව ජනික්ගෙන් අසන විට ඇගේ දිගු දෙනෙතින් සතුටු කඳුළු ගලා ආවේ ඈටත් නොදැනීමය. ඒ කඳුළු වැල් පිසදැමුණේද ජනික්ගේ ඇඟිලි තුඩුවලිනි.
‘මොනවද අසේකා මේ වෙන්නේ…’
සමාජ මාධ්‍යවල සියල්ල අටුවා ටීකා සටහන් වන විට සොඳුරු ඕපාදූප සොයන මාධ්‍ය පැපරාසීන්ගෙන් අසේකාට විසුමක් නොවීය.
‘හිතාගන්න බැහැ… මම තවමත් එක්සයිට්. මෙහෙම දෙයක් හීනෙකින්වත් හිතුවෙ නැහැ…’ අසේකා කීවේ කෝළයෙන් මුහුණ රතු කරමින්ය.
‘ජනික් කියන්නේ ඔබේ නිවැරැදි තෝරාගැනීමද?’
ඒ ප්‍රශ්නය තුළ හිතන්න යමක් අසේකාට නොතිබෙන්නට ඇත.
‘ඔව්. මම හැමදාමත් හෙව්වේ මට අසීමිතව ආදරය කරන මගේ සංවේදී බව තේරුම් ගත් කෙනෙක්. ඇත්තටම දෙවියන් මට හරියටම තෝරා දීලා තියෙනවා…’
අසේකා කියා තිබුණේ එහෙමය.
ඒ කතාව බොරුවකැයි සිතන්නට බැරිය. ව්‍යාපාරිකයකු වූ ජනික් පොළොව සමග තාල අල්ලන සොඳුරු නාටිකාංගනාවක සොයා ආවේ ඔහුට ව්‍යාපාරික මානසිකත්වයක් නැති මෘදු කෙල්ලකගේ සංවේදී ප්‍රේමය ඕනෑ නිසාවෙනි.
සත්තකින්ම දොඩන්නට ආස හිතෙන සුපිරි සර්ප්‍රයිස් එකක් හරහා පැමිණි මේ අපූරු මංගල යෝජනාව නුදුරු දිනෙක පෝරු මස්තක වනු ඇත.
සුපිරි පවුල් දෙකක සුවිශේෂ එක්වීම මත ඔවුන් දවස් හතක්වත් මඟුල් කනු නොඅනුමානය.
ඉක්බිති සියල්ලන් සතුටින් විසිර යනු ඇත.
ඒ අතර අසන්නට යමක් වේ.
ශූර ව්‍යාපාරික තරුණයකුට සරස්වතී දේවියගේ වරමින් රඟන නාටිකාංගනාවක මුණගැසීම යම් අසාමාන්‍ය සිදුවීමක් නොවේද?
උත්තරය මෙහෙම ගළපන්නේ නම් උචිත යැයි සිතමි.
එක අත්තක වහන්නේ බොහෝ විට එකම ජාතියේ කුරුල්ලන්ය. එලෙසම අසේකා විජේවර්ධනද සුපිරි සමාජය නියෝජනය කරන ධනවත් නෘත්‍යාංගනාවකි. ජනික්ද කෝටිපති ව්‍යාපාරික සමාජය හා ගැටෙන කදිම තරුණයෙකි. ඉන්ස්ටර්ග්‍රෑම්හි මුදාහැර තිබෙන ඔහුගේ සේයාරූවල යෝෂිත රාජපක්ෂ සමග රෝහිත රාජපක්ෂද නිතර පෙළගැසී සිටීම ඔහුගේ සුපිරි පවුල් නියෝජනය සඳහා ගත හැකි හොඳම සාක්ෂියකි. ඒ සියල්ලටත් වැඩිය ඔහු සිනමා සක්විති ගාමිණී ෆොන්සේකාගේ මුණුබුරාය.
ඉතින්, ඒ හමුවීම තුළ අසාමාන්‍යතාවක් කෙසේ දකින්නද?
අවසානයට ලියමි. කාලානුරූපීව කෝටිපති දෙපාර්ශ්වයක් සුන්දර ගනුදෙනුවකට මුලපිරූහ.
දමයන්ති රේණුකා ප්‍රනාන්දු









