ලෝක ළමා දිනය සහ ලෝක වැඩිහිටි දිනය ඔක්තෝම්බර් මාසයේ පළමු වැනිදාට යෙදී තිබේ. අද බිහිවන දරුවා හෙට දවසේ ලෝකයේ විවිධ ක්ෂේත්‍රවල නායකයකු බවට පත්වේ. මේ නිසා දරුවා යනු සමාජයේ සුවිශේෂ වූ චරිතයකි. ළමා කාලය යනු දරුවකුගේ ප්‍රීතිමත්ම කාලයයි. කෙසේ වෙතත් දරුවන් ජීවත්වන පරිසරය ඔවුන්ට ආරක්ෂිත ස්ථානයක් බවට පත්කිරීම වැඩිහිටියන්ගේ යුතුකමයි. දරුවන් යනු ලොව වටිනාම සම්පත වන අතර අනාගතය සඳහා එහි ඇති හොඳම බලාපොරොත්තුවයි. සෑම වැඩිහිටියකුගේම වගකීම වන්නේ දරුවන්ගේ මුහුණේ සිනහවක් රැඳවීමට උත්සාහ දැරීමයි.
විශ්ව සම්භාවනාවට පාත්‍ර වූ ලේඛක පාවුලෝ කොයියෝ සඳහන් කරන්නේ,
‘ළමයකුට වැඩිහිටියකුට කරුණු තුනක් ඉගැන්විය හැකියි. කිසිම හේතුවක් නොමැතිව සතුටින් සිටීමට, සෑම විටම යමක් සමග කාර්යබහුල වීමට, තවද තමා කැමැති දේ ඔහුගේ මුළු ශක්තියෙන්ම ඉල්ලා සිටින්නේ කේසේදැයි දැන ගැනීමට’ යනුවෙනි.
අපිට ජීවිතය ගෙන යාමට නම් දරුවන් අමතක කරන්නට බැහැ. ඔවුන්ද අපේ ජීවිතවල කොටසකි. ඔවුන් නිසා අපේ ජීවිතවල ආතතිය විඩාව මඟහරවා ගැනීමට හැකි වෙනවා. ඒබ්‍රහම් ලින්කන් ජනාධිපතිවරයා වරෙක පවසා සිටියේ දරුවා යනු වැඩිහිටියන්ගේ කුඩා කරන ලද ආකෘතියක් නොවන බවයි. පුංචි කාලයේ දරුවන්ගේ මනස හරි පිරිසිදුයි. හරියට කියනවා නම් සුදුපැහැති කඩදාසියක් වගෙයි. මේ කඩදාසියේ මුල්ම සටහන තබන්නේ තමන්ගේ පවුලයි. පවුලකින් තමයි දරුවකුගේ ජීවිතයක අත්තිවාරම දමන්නේ. ඒ අම්මා තාත්තා සහෝදර සහෝදරියන්ගෙන් සැදුම්ලත් පුංචි පවුල තුළින් පුංචි කාලයේ දරුවන්ට දිය යුත්තේ හොඳම දෙයයි. චීනයේ දාර්ශනික මාවෝ සේතුං වරක් කිව්වේ ‘ලෝකයේ උත්තම චරිතය දරුවා’ වන බවයි.
කුඩා කාලයේ දරුවකුට ලබාදෙන ආදරය කරුණාව සහ රැකවරණය නිසාම තමයි යහපත් පෞරුෂයකින් යුතු දරුවෙක් ලෝකයට බිහිවන්නේ. ළමා දිනයක වැදගත්කම වන්නේ දරුවකුට ලැබිය යුතු ආරක්ෂාව රැකවරණය මොකද්ද කියා යළි යළිත් මතක්කර දීමයි. මේ නිසාම තමයි ගෝලීය වශයෙන් ළමයින්ට ගරුකරන දිනයක් ආරම්භ කරනු ලැබුවේ. මුලින්ම ප්‍රකාශයට පත්වුණේ 1925 වර්ෂයේදී. එය ස්ථිර වශයෙන්ම ලෝක ළමා දිනයක් බවට ප්‍රකාශයට පත් කළේ 1954 වර්ෂයේදී. ඊට රටවල් 13ක් අස්සන් තබන ලදී. මේ සඳහා සුදුසු දිනයක් තෝරාගන්නා ලෙස රටවලට දැනුම් දුන්නා. මේ නිසා තමයි අපේ රටේ ඔක්තෝබර් 01 වැනිදා ලෝක ළමා දිනය සමරනු ලබන්නේ. ළමයින් අතර අන්‍යොන්‍ය සම්බන්ධය වර්ධනය කිරීමත් ළමුන් වෙනුවෙන් සුබසාධන වැඩසටහන් ආරම්භ කිරීමටත් ඉවහල් වීම හේතුකොටගෙන ලෝක ළමා දිනය සමරනු ලබයි.
ලෝක වැඩිහිටි දිනයද අදට යෙදී තිබේ. සෑම පුද්ගලයකුගේම ජීවිතයේ වයසට යන විට ඔවුන්ට ආදරය කරුණාව ගෞරවය ඔවුන් නිතැතින්ම බලාපොරොත්තු වේ. මේ සඳහා 1982 වර්ෂයේ පැවැති ලෝක වැඩිහිටියන් පිළිබඳ මහ සමුළුවේ තීරණය අනුව එක්සත් ජාතීන්ගේ සංවිධානය 1990 දෙසැම්බර් 14 වැනි දින ලෝක වැඩිහිටි දිනය ලෙස ඔක්තෝබර් 01 නම්කරනු ලැබුවා. මේ දිනය මුළු ලෝකයේම උත්කර්ෂවත් ලෙස සමරනු ලබයි. ඒ පවුලක කිසිවකුත් මඟ නොහැර සියල්ලන්ටම ගරුකරන සමාජයක් බිහිකිරීම උදෙසායි.










