ඇයි මේ දරුවන්ට මෙහෙම වුණේ?
දරුවන්ට සුරක්ෂිතව හැදී වැඩෙන්න පරිසරයක් ඇතිකිරීම ළමා දිනයේ අරමුණ නම් මොවුන් ගැන අමතක කර ඉදිරියට යන්න අපට පුළුවන්ද? අතීත සිදුවීම් තුළින් උගත හැකි පාඩම් මොනවාද? යළි යළිත් සිතා බැලිය යුතුයි.
කොටදෙණියාවේ සේයා සදෙව්මි දැරිය, යාපනයේ විද්‍යා, අටලුගම ෆාතිමා අයිෂා මෙන්ම දඹුල්ලේ බුද්ධිමා නම් ඇසූ පමණින්ම හද කම්පා නොවන ශ්‍රී ලංකිකයකු නොමැති තරම්ය. මෑත ඉතිහාසයේ සිදුවූ මේ ළමා අපචාර සහ ඝාතන සිද්ධීන් සියලු ශ්‍රී ලංකිකයන්ගේ සිත් කම්පනය කළා පමණක් නොව එයට එරෙහිව ඉදිරියට පැමිණ නීතිය ක්‍රියාත්මක වන ආයතනවලට බලකරන උද්ඝෝෂණ පවා සිදුවන තැනට ලංකේය සමාජය තල්ලු වුණා. මෙම සිද්ධීන්වලින් පසු කුමක් සිදුවේද? මේවා වළක්වා ගැනීමට අප කුමක් කළ යුතුද? ඔක්තෝබර් පළමු වැනිදාට ලෝක ළමා දිනය යෙදී ඇති පසුබිමක මේ සම්බන්ධයෙන් විමසා බැලීම සුදුසු යැයි සිතේ.
වැඩියෙන්ම අපයෝජනයට ලක්වෙන්නේ වයස අවුරුදු 10ට වැඩි 20ට අඩු වයසේ දරුවන් බව පෙනී යන කරුණකි. මේ මල් කැකුළුවලට මෙසේ වන්නට හේතුව ප්‍රධාන වශයෙන්ම දරුවන් කෙරෙහි අවධානය නොමැති වීම වගේම ආර්ථික දුෂ්කරතා සහ මිනිසුන්ගේ අසහනකාරී මානසික විකෘති ස්වභාවයයි.
අටලුගම ෆාතිමා අයිෂා – 2022.05.28
‘බිය වූ මම ඇයගේ කට වසා මඩේ එබුවා. මාම… මාමා… මාව අතහරින්නැයි ආයිෂා හඬමින් කෑ ගැසුවා…’
අටලුගම ෆාතිමා දැරියගේ ඝාතකයා පාපොච්චාරණය කළේ එහෙමයි. ෆාතිමා අයිෂා දැරියගේ ඝාතනය අපට අසන්නට ලැබුණේ බණ්ඩාරගම අටලුගමින්. ඇය අවුරුදු 9ක පුංචි මල් කැකුළක්. ඇය හිටියේ හරිහමන් තේරුම් වයසක නෙවෙයි. ෆාතිමා අධ්‍යාපනය ලැබුවේ අටලුගම අල් ගස්සාලි විද්‍යාලයේ 4 වැනි ශ්‍රේණියේ. 2022 මාර්තු මාසේ 27 වැනිදා උදෑසන 10ට පමණ ඇගේ දෛවය වෙනස් වුණේ සාහසිකයකු අතින්. පුංචි ෆාතිමා අම්මාගේ අනුදැනුමෙන් රුපියල් 250ක් අරන් කඩයට ගියේ කුකුළු මස් මිලදී ගන්නටයි. කුකුළු මස් මිලදීගෙන කඩයෙන් පිට වුණත් ඇය ගෙදර ආවේ නැත. කඩය පිහිටා තිබුණේ ඇගේ නිවෙසේ සිට මිටර 500ක් දුරින්. වෙළෙඳසල පසුපස ඇති සී.සී.ටී.වී. කැමරාවක සටහන් වූයේ ඇය පැමිණ මස් මිලදී ගෙන නැවත පිටව ගිය බවකි. නමුත් ඉන් අනතුරුව සිදුවුණේ කුමක්ද? පොලිසිය සහ ගම්වාසීන් නිවෙස ආසන්නයේ තිබුණු වගුරුබිමේ දැරිය සොයා පීරන්නට වුණා.
නමුත් පසුවදා එනම් 28 වැනිදා සවස් යාමය දක්වාම දැරිය සොයාගන්නට නොහැකිව තිබුණා. නමුත් දැරියගේ මළ සිරුර හම්බවුණේ අතුරුදන් වූ ස්ථානයේ සිට මීටර 300ක් දුරකින් පිහිටි මඩ වගුරෙනි.
ඝාතකයා ෆාතිමා දැරියගේ නිවෙස ආසන්නයේම ජීවත් වූ පුද්ගලයෙක් වුණා. ඝාතනය සිදුකර තිබුණේ අටලුගම මුස්ලිම් කොලනියේ පදිංචි මොහොමඩ් ෆාරුක් මොහොමඩ් නොහොත් කොත්තු බාස් නැමැති 29 හැවිරිදි පුද්ගලයෙකි. මොහු රැකියාව වශයෙන් කළේ කීර කොටුවක වැඩකිරීම සහ කම්කරු වැඩයි. මොහු දියණියන් තිදෙනකුගේ පියෙකි. බිරිය ගැබිනියකද වූවාය. මොහු පොලිසිය ඉදිරියේ සිද්ධිය සම්බන්ධයෙන් පාපොච්චාරණයක් සිදුකර තිබුණේ මෙලෙසින්.
‘පසුගිය මාර්තු 27 වැනිදා දැරිය කුකුළු මස් මිලදී ගන්න ගිහින් සිටියදී මමද එතැනට ආවා. මම ඒ වෙලාවේ අයිස් මත්ද්‍රව්‍ය පාවිච්චි කරලයි හිටියේ. මම දැරිය මස් අරගෙන එනකන් කැලෑව ළඟ රැකගෙන හිටියා. දැරිය එනකොට මම දැරිය ඇදගෙන කිරල ගස් අතරින් කැලෑවට ගෙන ගියා. ඇගේ ශරීරය මම ස්පර්ශ කළා. දැරිය මගෙන් බේරීමට ‘අනේ මාමේ අතඅරින්න අනේ මාමේ අතඅරින්න’ කියලා විලාප දෙමින් උත්සාහ දැරුවා. මම රෙදි කැබැල්ලක් ඇගේ කටට ඔබලා තවත් මීටර් කිහිපයක් නැවත ඇදගෙන ගියා. මගේ සරම ඉරලා අතයි කකුලයි ගැටගැසුවා. එතකොට සිහිය නැතිවුණා. ඒ ළඟ තිබෙන මඩ වගුරකට තල්ලු කළේ ඊට පස්සේයි. ඊට පස්සෙත් ඇය මඩේ ගිල්ලලා පණ යනකල් මගේ කකුලේ දණහිස ඇගේ පිටට තියලා ඔබාගෙන සිටියා….’
මේ පුද්ගලයා වැඩිදුරටත් පවසා තිබුණේ සමහර දිනවලදී ෆාතිමා දැරිය තම දරුවන් සමග සෙල්ලම් කිරීමට පැමිණෙන බවත් ඇය තම දියණියන්ගේද ළඟම යෙහෙළියක් බවයි. ඒ අවස්ථාවේ ෆාතිමා දැරිය කෙරෙහි ආශාවක් ඇතිවී තිබූ බවයි.
ඇයි ෆාතිමා දැරියට මෙහෙම වුණේ…?
අවුරුදු 09ක හයක් හතරක් නොදන්න දරුවෙක් වුණු ෆාතිමාව ගෙනිහිල්ලා මඩ වගුරක ඔබලා නහයෙන් කටින් මඩ හිරවෙනකල් හිංසා කරලා මරන්න තරම් මනුෂ්‍යයෙක්ට පුළුවන්ද? මත්ද්‍රව්‍ය පාවිච්චි කළ නිසා මෙවැනි දෙයක් සිදුවූවා යැයි සාධාරණීකරණය නොකළ යුතුයි. මන්ද මෙවැනි පුද්ගලයන්ට නිසි දඬුවම් පැමිණුවේ නැත්නම් යළි යළිත් මෙවැනිම වැරැදි ඉදිරියේදීත් සිදුවන්නට පුළුවන්.
කොටදෙණියාවේ සේයා 2015.09.12
2012 සැප්තැම්බර් 12 වැනි සෙනසුරාදා උදේ රටේ බොහෝ දෙනෙක් කම්පනයට පත්කරන්නට වුණේ කොටදෙණියාවේ අක්කරගහ ගමේ පස් හැවිරිදි සේයා සදෙව්මි දැරිය අතුරුදන් වුණේ තමන්ගේ ගෙදර නිදාගෙන සිටියදීයි. ඇයව ගෙනිහින් තිබුණේ කාමරයේ ජනේලයෙන්. මේ පුංචි දැරිය ඇඳගෙන හිටිය ඇඳුම් පවා ඉවත් කරමින් තමයි මේ දැරියව රැගෙන ගිහින් තිබුණේ. පසුවදා දැරියගේ සිරුර හමුවුණේ මීටර් 200ක් පමණ දුරින් පිහිටි පාළු වෙල් යායකින්. අතුරුදන් වූ දින රාත්‍රියේ රූපවාහිනිය නරඹමින් සිටියදී සේයා දැරියට නින්ද ගිය නිසා ඇයව ඇඳ මතින් තිබ්බේ ඇගේ තම මව විසින්. සේයා දැරියගේ සිරුර වෙල් යායකින් හමුවුණේ ඝාතකයා ඇයව පෙර දින රාත්‍රියේ දූෂණය කර ඇළ අයිනේ සඟවා තිබියදීයි.
මවුපියන් මීට වඩා අවධානයෙන් දරුවන්‌ගේ ආරක්ෂාව ගැන සිතන්නට ඉතිරි කරමින් සේයා දැරියව ලිංගික අපරාධයකට ලක්කර ඝාතනය කර තිබුණේ 22 හැවිරිදි දිනේෂ් යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන ‘කොණ්ඩයා’ නැමති පුද්ගලයෙක් විසින්. ඔහු වාසය කර තිබුණේ සේයාගේ අසල්වැසි නිවෙසකයි.
යාපනයේ විද්‍යා – 2015.05.13
යාපනයේ ශිවයෝගනාදන් විද්‍යා 18 වැනි වියේ පසුවූ දැරියකි. ඇය උසස් පෙළ හදාරමින් සිටියේ යාපනය පුංකුඩුතිව් මහා විද්‍යාලයෙන්. මේ දැරිය 2015 මැයි මාසේ 13 වැනිදා උදෑසන 7.30ට පමණ සාහසික ලෙස දූෂණය කර මරණයට පත්කර තිබුණා. මෙය සාමාන්‍ය මිනීමැරුමක් වුණේ නැහැ. එය දින ගණනක් සැලසුම්සහගතව කළ සමූහ දූෂණයක්. මේ මිනීමැරුම ජාත්‍යන්තරව සැලසුම් කළ මිනිමැරුමක් ලෙසද නීතිඥයන් පවා පවසා තිබුණා. දැරියගේ ඝාතනය යාපනය පමණක් නොව මුළු රටම කම්පාවට පත්වන්නට වුණා.
මේ දැරිය පාසල් ගියේ තම පාපැදියෙන් ඒ යාපනයේ දරුවන් බොහෝ දෙනෙක් පාසල් යන්නේ පාපැදියෙන් නිසා. සමහර දවසට ඇයව පාසලට ඇරලා තිබුණේ ඇගේ සහෝදරයා විසින්. ඔහු නොමැතිව පාසල් ගිය දිනයක තමයි විද්‍යා මේ පාපතරයන්ගේ ගොදුරක් බවට පත්වුණේ. ඇය පාසල් යන පාර දෙපස ලඳු කැලෑවකින් යුත්ත වුණා. සමහර දවසට ඇය පාසල් ගිහින් තිබුණේ මිතුරියන් සමගයි. නමුත් එදා ඇය පාසල් ගියේ තනිවමය. පාසල නිමවී ඇය ගෙදර එන්නට ප්‍රමාද වීම නිසා විද්‍යා සොයා ඇගේ සහෝදරයා පාසලට යන්නට වුණා. විද්‍යාව සොයා තම මව සහ සහෝදරයා ගියත් විද්‍යා පාසල් පැමිණ නැති බවයි මිතුරියන් පවසා සිටියේ. එදින විද්‍යාව සෙව්වත් සොයාගන්නට ලැබුණේ නැහැ. පසුදා උදෑසනද විද්‍යාව සොයා මවුපියන් අසල් වැසියන් ගමම පීරන්නට වුණා. නමුත් අවසානයේ ගමේ කැලෑවකදී ඇගේ මළ සිරුර හමුවුණා. ඒ පාපතරයන් ඇගේ නිරුවත් සිරුර මත ඇය පාසල් ඇදගිය නිල ඇඳුමද දමා ගොස් තිබුණා. ඇගේ කටට ඇය ඇඳසිටි යට ඇඳුම්ද ඔබා තිබුණා. මේ කුරිරු ක්‍රියාව කර තිබුණේ විද්‍යාගේ මවුපියන් ඉඩම් කොල්ලකෑමේ නඩුවකට නඩු කියන පුද්ගලයෙක් සහ ඔහුගේ පවුලේ අය විසින්. විද්‍යාගේ මව සමග තිබූ තරහකට පලිගැනීමක් ලෙස මේ දැරියට ජීවිතයෙන් වන්දි ගෙවන්නට සිදුවුණා. දැරියව දූෂණය කර මරා තිබුණේ ඉතා කුරිරු ලෙසයි. විද්‍යා පැහැරගෙන ගොස් ඝාතනය කිරීමට පුද්ගලයෙක් භාරගෙන තිබූ අතර ඔහු සමග තවත් හතරදෙනකු එක්වී මෙම අහස පොළොව නුහුළන තිරිසන් ක්‍රියාව සිදුකර තිබුණා.
දඹුල්ලේ බුද්ධිමා – 2021.10.09
දඹුල්ලේ බුද්ධිමා පියුමාලි දැරිය දඹුල්ල හල්මිල්ලෑව හබරත්තාවල ප්‍රදේශයේ තමයි ජීවත් වුණේ. ඇය 14 වැනි වියේ පසුවූවා. ඇයට ලිංගික අතවරයක් කොට මරාදැමීමේ සිද්ධියෙන් මුළු ගමම කම්පාවට පත්වුණා. බුද්ධිමා පියුමාලි කණ්ඩලම ඩී.එස්. සේනානායක විද්‍යාලයේ 9 වැනි ශ්‍රේණියේ ඉගෙනගන්නා පාසල් දැරියක්. ඇය දරුවන් පස්දෙනකුගෙන් යුත් පවුලේ බාලයායි.
ඇගේ පවුලේ ගැහැනු දරුවන් හතරදෙනක් සහ එක් පිරිමි දරුවෙක්ද වෙයි. දැරියගේ පියා සහ මව දරුවන් ජීවත් කරවූයේ කුලී වැඩ කරමින්.
බුද්ධිමාගේ වැඩිමහල් සහෝදරියගේ මිතුරියකගේ දරුවකුට උගන්වන්නට බුද්ධිමා හබරත්තාවල ප්‍රදේශයට ගිහින් තිබුණා. ඒ මිතුරියගේ ස්වාමියා දිනක් බුද්ධිමා දැරියගේ නිවෙසට පැමිණියේ බුද්ධිමාව රැගෙන යන්නටයි. මීට පෙරද ඇය ඒ දරුවන්ට ඉගැන්වීමට ගොස් තිබුණා. එහෙත් බුද්ධිමා දැරිය එදින ගෙදර ආවේ නැහැ. පසුදා ගෙදර ඇවිත් තිබුණේද නැත. ඉන් පසු ගමේ පිරිස සහ දඹුල්ල පොලිසිය එක්ව ගම්මානයම පීරමින් බුද්ධිමාව සොයන්නට වුණා. අවසානයේ බුද්ධිමාව හමුවුණේ ඇගේ සහෝදරියගේ මිතුරියගේ නිවෙසේ ඝාතනය කර සිටියදීයි. ඒ ප්‍රාණය නිරුද්ධ වූ නිරුවත් සිරුරක් ලෙසයි. පරික්ෂණවලින් තහවුරු වුණේ ඇයව ලිංගික අතවරයකට ලක්කර ඝාතනය කර ඇති බවයි. ඒ වන විටත් සහෝදරියගේ මිතුරිය සහ මිතුරියගේ ස්වාමියා ගමෙන් පැනගොස් තිබුණා.
කුරිරු සහසිකයන්ගේ ගොදුරු බවට පත්වෙමින් මේ දරුවන්ට සිදුවූවා සේ හෙට මෙවන් ඛේදවාචකයකට මුහුණ පාන්නේ ඔබේ ආදරණීය දරුවා වන්නට පුළුවන්. ඈත අතීතයේ අපේ රටේ එහා කෙළවරේ සිට මෙහා කෙළවරට කාන්තාවකට ආරක්ෂිතව ගමන් කිරීමේ හැකියාවක් තිබුණා. නමුත් අද වන විට එය වෙනස් වී ඇත. මේ අපරාධවලට නිසි දඬුවම් ලැබුණේ නැත්නම් මේ මාරයා ඔබේ දරුවාද සොයාගෙන එන දවස වැඩි ඈතක නොවන්නට පුළුවන්. සෑම වැඩිහිටියකුම තමන්ගේ දරුවන් ඇස් වගේ ආරක්ෂා කළ යුතුයි. එක තත්පරයක් ඇති දරුවකුගේ ජීවිතයක දෛවය වෙනස් කිරීමට. සෑම මවක්ම, පියෙක්ම වගකීමෙන් යුතුව කටයුතු කළ යුතුයි. දරුවන් කෙරෙහි අවධානය වගේම ආදරය කරුණාව දරුවන්ගේ පෞරුෂයට බෙහෙවින්ම බලපානු ලබයි. මේ දරුවන්ගේ මතකයන් ඉවහල්කොට ගනිමින් සුන්දර මල් කැකුළු වන් අපේ දරුවන් රැකගනිමු.

නිලන්ති රේණුකා










