පේදුරුතුඩුව උතුරු කෙළවරේ පිහිටා ඇති අතර දෙවුන්දර තුඩුව ශ්‍රී ලංකාවේ දකුණු කෙළවරේ වීම නිසා සංචාරය කරන්නන් නැරඹීමට වඩාත් ආකර්ෂණීය ස්ථාන බවට පත්වී ඇත. උතුරු කොනේ හිස් ලූ ලූ අත සංචාරය කරන නන්නාඳුනන යාල් ආගන්තුකයාගේ මෙවර ගමනාන්තය නම් ‘පොයින්ට් පෙඩ්‍රෝ’ නොහොත් පේදුරුතුඩුවටයි. යාපනය නගර සීමාවේ සිට පේදුරුතුඩුව පාර ඔස්සේ රතු ලූනු වගාව ඉතා හොඳින් සිදුවන සිරප්පිඩ්ඩි, අච්චුවේලි, නෙල්ලිඅඩි පසුකර දුම්කොල වගාවන් අතරින් මෙන්ම නිල්ල ගැසුණු කෙත්වතු පසුකර ගමනාන්තය පේදුරුතුඩුවයි. පේදුරුතුඩුව දක්වා දිවෙන මාර්ගයට නුදුරු කිලෝමීටර් දහයකට පමණ එහා නිලාවරෙයි නම් තවත් සුන්දර ප්‍රදේශයකි. එය නම් යාපනයේ ඉතා ප්‍රසිද්ධ පතුල නැති ළිඳ (bottomless well) පිහිටා ඇති ප්‍රදේශයයි. නමුත් කුතුහලය සංසිඳුවන කාරණය නම් මේ වන විට එය පතුලක් සහිත ලිඳක් බවට ඔප්පුවී අවසන්‍වීමය.
අදටත් ලක්දිව නොවිසඳුණු අබිරහස් ගණනාවක්ම ශේෂ වී ඇත. කළුදිය පොකුණ, ත්‍රිකුණාමලේ ෆෙඩි්‍රක් කොටුවේ පාතාලමලේ හා රාවණාගේ දඬුමොනරේ ඒ අතරය. නමුත් මෙම ළ`ිද හා බැඳුණු අපූරු කතාව නම් හුදෙක් අබිරහස් විසඳීමක් ලෙස හුවාදැක්වීම යෝග්‍ය යැයි සිතේ. මන්ද මෙම පතුල නැති ළිඳට දැන් නම් පතුලක් තිබෙන බවට තහවුරු වී හමාරය.
ලක්දිව ආර්ය ජනාවාස පිහිටුවීමට පෙර විසූ නාග ගෝත්‍රිකයන් මිහිපිට සිට නාග ලොවට යෑමට යොදාගත් පියගැට පෙළක් සහිත ළිඳ හෙවත් ‘නාවට්කන්නී ළිඳ’ නිලවරායි ලිඳයි. රාම රජු සමග යුද වැදී ඉන්දියාවට යන රාමා කුමරු හා සීතා අතරමඟදී දිය පිපාසය සංසිඳුවා ගැනීමට ත්‍රිශූලයෙන් පොළොවට ඇන ජලය ලබාගත් ස්ථානය නිලවරායි නම් විය. තවද නාගදීපයට වැඩි බුදුරජාණන් වහන්සේට පැන් පානයට ශක්‍ර දේවේන්ද්‍රයා මැවූ ළිඳ නිලවරායි ළිඳ නම් විය.
කෙසේ නමුත් විද්‍යාත්මක පසුබිමක් ඔස්සේ අපේ පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවේ ගවේෂණයේ ප්‍රතිඵලයක් ලෙස සොයාගත් සත්‍ය කරුණු ගොනුකර ගනිමින් අපූරූ ලෙස මෙම අබිරහස විසඳන ලදී.
කොන්ක්‍රීට් බිත්තිවලින් වටවුණු ප්‍රමාණයෙන් විශාල අපි සාමාන්‍ය ජීවිතයේදී දකිනවාට වඩා වෙනස් ලිඳකි. විශේෂත්වය නම් මෙහි විෂ්කම්භය මීටර් විසිපහක් පමණ වීමය. ජනප්‍රවාදයට අනුව නම් නිලවරායි ළිඳ මුහුදට ආසන්න පේදුරුතුඩුවේ පිහිටි කීරමලේ තටාකයත් අතර සම්බන්ධ වේ. තවද අභ්‍යන්තර දෝනාවක් මාතලේ ප්‍රදේශයටත් සම්බන්ධ වේ. කෙසේ හෝ ඉහත කතාවලින් කීරමලේට සම්බන්ධයක් තියන වග පිළිගැනීමටද සාධක ලෙස ජලයේ ලවණ රසය යොදාගත හැකිය.
මෙම ළිඳ ආසන්නයේ ඇති පුරාවිද්‍යා ස්මාරකය නිසාම මෙම ස්ථානය පුරාවිද්‍යා රක්ෂිතයක් ලෙස අර්ථ දැක්විය හැකිය. පසුගිය දවසක අපේ සාගර පුරාවිද්‍යා ගවේෂණ කණ්ඩායමක් සිදුකළ පරීක්ෂණයක ප්‍රතිඵලයක් ලෙස රුසියානු ජාතික ගුහා තුළ කිමිදුම් (Cave Diving) සම්බන්ධ විශේෂ පුහුණුවක් ලද අයකුගේ සහාය ඇතිව මෙම අබිරහස මෙසේ විසඳන ලදී.
කවුරුත් දන්නා පරිද්දෙන් නම් යාපන අර්ධද්වීපය හුනුගල් නැත්නම් හිරිගල් (කැල්සියම් කාබනේට්) ස්ථරයක් මත පිහිටි භූමිභාගයකි. පානීය ජලය කිවුල් රසයක් ගන්නේද මේ නිසාවෙනි. පතුල නැති ළිඳේ අබිරහස විසඳුනෙත් මෙන්න මේ සාධකය මුල්කර ගනිමින්ය. ගවේෂණයේ විදියට නම් පොළොව තුළට හෑරුණු මේ කුහරය හුනුගල් ස්ථර ඛාදනය වී නිර්මාණය වූවකි. වෙන් වූ ජල ස්ථර දෙකේ උඩින්ම පිරිසිදු මිරිදිය ජල ස්ථරයේ ඝනත්වය අඩුය. ඒ නිසාම ප්‍රදේශයේ බොහෝ දෙනා මෙය පානීය ජලය සඳහාත් යොදාගෙන ඇත. පහළින් ඇත්තේ ඝනත්වය වැඩි කරදිය ජල ස්ථරයකි. හිරු එළිය හොඳින් ගමන් කරන්නේ ඉහළ ජල ස්ථරයේ නිසා ජලය හරිම පැහැදිලිය. ලවණ රසය ඇතිවීමට හේතුව නම් හුනුගල් පාෂාණ හරහා මුහුදු ජලය කාන්දු වීමයි. නිලවරායි ලිද මුහුදට සම්බන්ධ වූවා නම් අනිවාර්යයෙන්ම කරදිය සහිත ජලයේ කරදිය මසුන්ගේ ව්‍යාප්තියක් දැකිය යුතුය. නමුත් සොයාගත නොහැක. නමුත් ඉහළ ජල ස්ථරයේ නම් මත්ස්‍ය ව්‍යාප්තිකයක් දැක ඇත. එසේ නම් මුහුදට සම්බන්ධ වූ දෝනා ඇති බවද පිළිගත නොහැක. මේ අන්දමින් විසඳී නොගිය නාගයන්ගේ පියගැටපෙළ සහිත නිලවරායි ළිඳේ අබිරහස හෙළිවිය. මේ අපූරු කතාවට නැවතීමේ තිත තබා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වන හිරු මුදුන් වන අප්‍රේල් මාසය පසුකරනවාත් සමගම මේ උතුරු කොනේ ගිනි ගහන කාෂ්ටක අව්ව පොළොව ගිනිබත් කරත් මුහුදු බැලීමට ප්‍රිය කරන යාල් ආගන්තුකයා සිලෝන් නම් මුතු ඇටයේ ශීර්ෂ ස්පර්ශට සූදානම්ය.
කවදත් ගමන් සගයා වුණේ මෝටර් සයිකලයයි. හුදෙක්ම මේ සංචාරයන් සියල්ලම ‘මෝටර් බයිසිකල් ස්ටෝරි’ (The motor bicycle story) වේ. පේදුරුතුඩුවේ ස්ථාන නාමය පෘතුගීසි බසින් ‘පොන්ටා දාස් පේද්‍රාස්’ (Ponta das Pedras) යන්නෙහි විකෘතියකි. එහි අර්ථය ‘පාෂාණමය කේප්’ නොහොත් (The rocky cape) යන්නයි. දෙමළ භාෂාවෙන් නගරයේ නම පරුතිතුරෙයි වේ. උතුරු අර්ධද්වීපයේ කල් මරන්නෙක් නම් වෙළෙඳපොළකින් මිලදී ගත් මුංඇට, සහල් පිටි, මිරිස්, ලූනු යොදා යහමින් හැපෙන ක්‍රිස්පි හා ක්‍රන්චි බවින් යුතු පරුතිතුරෙයි වඩයක (මුරුක්කුවක) රසවිඳ ඇති බව නම් විවාදයෙන් තොරව පිළිගත යුතුය. පරුතිතුරෙයි යන්නෙහි වචනාර්ථය නම් ‘කපු වරාය’ යන්නයි. මේ වරාය සියවස් ගණනාවක් පුරා දකුණු ඉන්දියාවට කපු අපනයනය කර ඇති බව නම් සැලවිය. මෙය ප්‍රසිද්ධ වරාය බවට අදටත් ගම්‍ය වන සාධක ශේෂ වී ඇත. එනම් සංචාරය කරන්නකුට පේදුරුතුඩුව මුහුද අසල වූ එදා ආලෝක කදම්භයකින් නාවිකයන් රැසකට මං පෙන්වූ අද නිසොල්මන්ව දියඹ දෙස බලා සිටින පේදුරුතුඩුව ප්‍රදීපාගාරය දැකබලා ගත හැකිය.
මෝටර් සයිකලය ගමන් කළේ පේදුරුතුඩුව, සංකෝට්ටෙයි තුඩුව හෙවත් (The Nothernmost notch of point pedro) දක්වායි. ඒ මාර්ගය වැටී ඇත්තේ ශ්‍රී ලංකාවේ හිස් මුදුන හරහා වීම අපූරු අත්දැකීමකි. මඟ දෙපස ධීවර ප්‍රජාවගේ නිවාස හා මත්ස්‍යයන් කපා කොටා වියළීමට සූදානම් කරවන පොල් අතු හෝ තල් අතුවලින් වට කළ උස් නොවූ කුඩා වාඩිය. නොගැඹුරු මුහුදේ මත්ස්‍යයන් දඩයමට යොදාගන්නා යාත්‍රාය. බහුධින ධීවර යාත්‍රාවන්ද බහුලය. හවස් වරුවට වන්නට පොකුරු ලෙස වැල්ලේ තැන තැන එකතුවන, රටට අවශ්‍ය මත්ස්‍ය සම්පත ගොඩට ගෙන ඒමට දියඹ සමග හරි හරියට ගනුදෙනු කරන හැඩිදැඩි ශරීර සහිත තරුණ ධීවර ප්‍රජාව දැකීමත් ආඩම්බරයක්‍ය. ලංකාවේ බොහොමයක් මුහුදුබඩ කලාපවල වැසියන් එදා යටත්විජිත සමයේ වූ පාලනය හේතුකොටගෙන කතෝලික බැතිමතුන් විය. අදටත් එය එසේමය. මුහුදට කිට්ටුව දකින ඉසව්වක ඇත්තේ කුරුසියක් මත ඇණ ගැසූ සාමයේ පණිවුඩය සොයා යන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ පිළිරුවක් සහිත කතෝලික පල්ලිය. මේ දසුන කයිට්ස්, ඩෙල්ෆ්ට් හා මන්නාරම් සංචාරයේදීද මා අත්දකින ලදී. පූර්ව යටත් විජිත සහ යටත් විජිත කාලවලදී පේදුරුතුඩුව වෙළෙඳ වරායක් විය. තවද පේදුරුතුඩුව අසල වූ වඩමාරච්ච්වලට යාබද වල්ලිපුරම් ගම්මානයද පොහොසත් පුරාවිද්‍යාත්මක නටබුන් සහිත පැරැණි ජනාවාසයකි.
ඔය අතර වූ මනල්කාඩූ නම් වැලි සහිත අපූරූ භූ විෂමතාවන් පෙන්වන භූමිභාගයකි. මෙහි ඕලන්ද යුගයට අයත් පුරාණ කතෝලික පල්ලියක නටබුන් ශේෂ වී ඇති අයුරු දැකිය හැකිය. මෙම වැලි සහිත ස්ථානය සම්බන්ධ වඩා අපූරුම කතාව නම් යාපනය කුඩතනෙයි මනල්කාඩු නීති විරෝධී වැලි ජාවාරම පිළිබඳ හඬ නැඟූ පරිසරවේදී කේතීස්වරන් තේවරාජා පැහැරගෙන ගොස් හිසට වෙඩිතබා මරා දමා අදට දස වසරකටත් වඩා කාලයක් අවසන් වී ඇති වගයි. වෘත්තීමය වශයෙන් යාපනය වඩමාරච්චි තැපැල් හලේ සේවකයකු වූ කෙතීෂ්වරන් තේවරාජා තමා උපන් පරිසරයට බෙහෙවින් ආදරය කළ අපූරු පරිසරවේදියකු විය. දේශපාලන අනුග්‍රහය මත, කුඩාතනෙන වෙරළේ, මුහුදුවැල්ල මංකොල්ලකමින් සිදුකෙරුණු පාරිසරික සංහාරයට එරෙහිව පෙරමුණේ සටන් කළ ඔහු ඒ පිළිබඳ ප්‍රාදේශීය බලධාරීන් දැනුවත් කිරීමෙන් නොනැවතී, ‘ෆේස්බුක්’ අන්තර්ජාල සමාජ වෙබ් අඩවිය හරහා නොබියව, ඊට එරෙහි මතයක් සමාජගත කිරීමෙහිලා උත්සුක විය. තර්ජන හා බිය වැද්දවීම් හමුවේ, උකටලී නොවූ තේවා, කුඩාතනෛ වෙරළ තීරය ඡායාරූපයට නගා, එය අන්තර්ජාල මිත්‍ර සංහතිය අතර පතුරුවාහරින ලද්දේ ‘කුඩාතනෛ වෙරළේ සම්පත් සංහාරය’ මැයෙනි. නමුත් ඔහුගේ ඉරණම වූයේ 2010 වසර ඔහුගේ ජීවිතයේ අවසාන වසරත් දිනයත් වීමයි. එදිනම රාත්‍රියේ ඔහුගේ නිවෙසට කඩාවැදුණු ‘වැලි හොරු’ ඔහුගේ පරිගණකය පිරික්සා, අනතුරුව ඔහු කුඩාතනෛ වැල්ලට රැගෙන ගොස් ඝාතනය කරන ලදී. ඉදින් තේවාට 2011 වසර උදා වූයේ නැත.
මංජුල වෙඩිවර්ධන මෙසේ තේවා ගැන ‘නියඟලා මල’ නමින් පද ඇමුණූයේ ඔහු පරිසරය වෙනුවෙන් හඬනගා දිවිපිදූ අපූරු දෙමළ දේශප්‍රේමියකු වීම නිසායි. මහා මුහුදක් දොම්නසින් හඬන අවධියක කේතීස්වරන් නම් පරිසරවේදී ආදරණීය තරුණයා 2010 වසරේ අවසන් දින ජීවිතයෙන් සමුගන්නේ මේ කුඩතනෛ වෙරළ තීරයේය.
මංජුල වෙඩිවර්ධන ලියූ ‘නියඟලා කවි’ ඒ වෙනුවෙනි.
උවන පුස්තකේ සයිබර ගුවන පිට
සරන විහඟුනේ දෙනයන කෙවෙන විට
කෙවෙණි අගින් පිසහැර දමා වැලි කැට
බලනු යාපනෙන් ගිලිහුනු සොඳුරු පිට
වැඩට ගියත් හිමිදිරියෙම තැපෑලේ
ගමන පමයි අකුරට වැඩ කලාවේ
වෙහෙස නොවුණ සටනට වැලි තලාවේ
උවන පොතිනි පිටු බලයක් ගෙනාවේ
රුහිරු ගලන පෙති විහිදුණ මලක් ළඟ
සපථ කරන්නට හැඟුමන් කොතෙක් වෙද
මලට පැහැය ලැබ දුන් මවු බිම නැමද
උවන පොතට එක්කෙරුවා මල් සුවඳ
විඩාබර නොවුණ දෑසක් ලද හින්දා
කුඩා සන්දියෙම වෙරළට පෙම් බැන්දා
‘අඩා වර ළඟට වර’ ළඟටම කැන්දා
කුඩාතනෛ ඉස්මත්තෙම ගිනි බින්දා
සීතම්බර සළු පට පිළි හෙවනැල්ලේ
ආන්නදයක් ඇති දෙයියොත් හෙළුවැල්ලේ
විලි සංගයක් නැති සින්නක්කර වැල්ලේ
සඟමිත් තෙරණියොත් ඉකිබිඳ වැළපිල්ලේ
එසේ නම් යාපනේ සංචාරය කරන කල අවදි කරගනු මැනව ඒ අතීතය. සිහි බුද්ධියෙන් විමසනු මැනව අපි එදා සිටියේත් අද සිටින්නේත් දේශපාලනය අභිමුව තම සුඛවිහරණය උදෙසා තීරණ ගන්නා යුගයක වග.

විදුනි බස්නායක










