බන්ධනාගාර දෙපාර්තමේන්තුව තුළ වැරැදිකරුවන් වූ සහ වැරැදිකරුවන් නොවූ ආකාරයෙන් ඇතුළත් කරගන්නා පිරිස පසුගිය වසර තුන ඇතුළත 140%කින් පමණ ඉහළ ගොස් ඇත. (Sri Lanka Latest News)
2021 වනවිට වරදකරුවන් වූ පිරිස 14,547ක් ලෙසත්, වරදකරුවන් නොවූ පිරිස 62,426ක් ලෙසත්, ඍජු ඇතුළත් කිරීම් දැකගත හැකි අතර, අදාළ වර්ෂයේ මුළු ගණන 76,973ක් ලෙස වාර්තා වේ.
බන්ධනාගාර දෙපාර්තමේන්තුව මගින් ප්‍රකාශයට පත්කරන ලද වාර්තාවකින් හෙළි වූ බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා අංශයේ අධ්යක්ෂ සහ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා පැවැසීය.
නමුත් 2023 වනවිට වරදකරුවන් වූ පිරිස 46,939ක් ඇතුළත් කොට ඇති අතර, වරදකරුවන් නොවූ පිරිස 1,38,117ක් විවිධ සිර කඳවුරුවලට ඇතුළත් කොට ඇති බවද සඳහන්ය.
ඒ අනුව 2023 වසරේදී ලංකාවේ පවතින සිර කඳවුරුවලට ඇතුළත් කොට ඇති මුළු ප්‍රමාණය 1,85,056කි.
මේ අනුව අදාළ කාලපරිච්ඡේදය තුළ වරදකරුවන් වූ පිරිසෙහි 222%ක පමණ වර්ධනයක් පෙන්නුම් කරන අතර, වරදකරුවන් නොවූ පිරිස 121%කින් පමණ වර්ධනයක්ද, සිර කඳවුරුවලට ඇතුළත් කරන ලද මුළු පිරිසෙන් 140%ක පමණ වර්ධනයක් දැකගැනීමට හැකිය.
2022ට සාපේක්ෂව සලකා බලනවිට බන්ධනාගාරගත වූ ප්‍රමාණය 46,475කින් පමණ ඉහළ ගොස් ඇති බව දැනගැනීමට හැකිය.
2023 වසරේ බන්ධනාගාරගත වූවන් අතර කාන්තාවන් 6,796ක්ද සිටින බව වාර්තා වේ.
2023හි වරදකරුවන් නොවූ කාණ්ඩයෙහි බන්ධනාගාරගතව සිටි අයගෙන් 42%ක් (66,569)ක් පමණ මත්ද්‍රව්‍ය චෝදනා මත බන්ධනාගාරගත වූවන්ය.
ප්‍රේමලාල් විජේරත්න