20 වැනි සියවසේ දශක දෙකකට පසු යාපනයේ ජීවත් වූ සිංහල දරුවන්ට තම මවු භාෂාවෙන් අධ්‍යාපනය ලැබීමට නොහැකි විය. 1930 වසර වන විට බොහෝ සිංහල රාජ්‍ය සේවකයෝ සහ ව්‍යාපාරිකයෝ යාපනය නගරය සහ ඒ අවට ප්‍රදේශවල පදිංචියට පැමිණ සිටියහ. මේ පිරිස අතර බෞද්ධයන් වූ අයට අවශ්‍ය වූයේ යාපනයේ තරුණ බෞද්ධ සංගමය පිහිටුවීමටයි. 1932 වර්ෂයේදී මෙහි පළමු සිංහල පොදු පාසල පිහිටුවීමට අවස්ථාව උදාකර දීමට එක්වූයේ මෙම සංගමයේ සාමාජිකයන්ය. යාපනයේ ආරම්භ කරන ලද කතෝලික දේවස්ථානය අසල රෝහල පාරේ අක්කර භාගයක භූමි භාගයක පාසල ඉදිකර ඇත. ආරම්භයේදීම පාසලේ සිටියේ සිසුන් 17 දෙනකු පමණක් වන අතර එම නිසා 01 වසර සිට 05 වසර දක්වා මට්ටම් අතර පමණක් ඉගැන්වූයේය. ප්‍රධාන අධ්‍යක්ෂ ධුරය හිමිවූයේ දිවංගත එච්.පී.එම්.වයි. විජේසිංහටය. ඇගේ සැමියා එම්.කේ. අමරදාස ද විජේසිංහ සමග පාසලේ ගුරුවරයකු ලෙස සේවය කළේය. එය එවක යාපනයේ රජයේ අනුග්‍රහය ලබන මිශ්‍ර පාසල (යාපනය රාජයේ පෝෂිත සිංහල මිශ්‍ර පාඨශාලාව) ලෙස හැඳින්විණි. එවක පාසලේ පරිපාලකවරයා වූයේ යාපනය හින්දු අධ්‍යාපන කවුන්සිලයේ සාමාන්‍යාධිකාරී නීතිඥ එස්. රාජරත්නම් මහතාය.
විශේෂයෙන්ම සිසුන් වැඩි ප්‍රමාණයක් ගෙන්වා ගැනීමේදී විදුහල්පතිනිය සහ අමරදාස මහත්ම මහත්මීන් පාසලට විශාල සේවයක් කළහ. ඔවුන් යාපනයේ සිංහල වැසියන්ගේ නිවෙස්වලට ගොස් සිංහල අධ්‍යාපනයේ වැදගත්කම ගැන කතා කිරීමට විශාල කාලයක් හා වෑයමක් දැරීය. දහවල් විවේකයේදී සිසුන්ට පෝෂ්‍යදායී ආහාර ලබාදීම සඳහා රජයෙන් සහ පරිත්‍යාගශීලීන් විසින් ලබාදෙන මුදල් ප්‍රතිපාදන වෙන් කිරීමටද ඔවුහු වගබලා ගත්හ. අන්තර් දිස්ත්‍රික් සහ අන්තර් පාසල් ක්‍රීඩා තරග සහ තරගාවලි සඳහා සහභාගි වීමට සිසුන් දිරිමත් කිරීමට ඔවුන් විශාල උත්සාහයක් දරයි. 1938 මැයි 01 වැනි දින පාසල සම්පූර්ණයෙන්ම රජයට පවරා ගන්නා ලද අතර යාපනය රජයේ මිශ්‍ර සිංහල පාසල (ආණ්ඩුවේ සිංහල මිශ්‍ර පාසල, යාපනය) ලෙස හඳුන්වන ලදී. 1939 පෙබරවාරි 26 වැනි දින පාසලේ පළමු ත්‍යාග ප්‍රදානෝත්සවය සිදුවිය. විදුහල්පතිනිය විජේසිංහ මහත්මිය විසින් එවකට උතුරු පළාතේ ප්‍රධාන පාසල් පරීක්ෂක සී.ටී. ලෝරාජ් සහ ඔහුගේ බිරිය උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූහ. මෙම වසරේම පාසල සඳහා තවත් කැපීපෙනෙන සිදුවීමක් සිදුවිය. එවක අග්‍රාමාත්‍යවරයා සහ කෘෂිකර්ම අමාත්‍යවරයාව සිටි ඩී.එස්. සේනානායක මහතා පාසලට පැමිණ මාණ්ඩලික නේවාසිකාගාරයක් අවශ්‍ය බවට තීරණය කළේය.
1939 අගෝස්තු පළමු දින ඩී.ඒ. කරුණාරත්න, විදුහලේ ප්‍රධාන ගුරුවරයා ලෙසත්, විජේසිංහ සහ අමරදාස යාපනයෙන් මාරුකර යවා ඇත. 1941 වසර වන විට පාසලේ සිසුන් 72ක් සිටි අතර එය 07 වසර දක්වා එහි පන්ති කාමර පුළුල් කරන ලදී. වසර හතකට පසු, බි්‍රතාන්‍ය අධිරාජ්‍යයෙන් ලංකාව නිදහස ලැබූ එම වසරේම, පාසලට සිසුන් 183ක් සහ කාර්ය මණ්ඩලය 05 දෙනකු සිටීමේ භාග්‍යය හිමි විය. එවක විදුහල්පතිවරයා වූයේ එම්.බී. බස්නායක මහතාය.
පාසලේ දීර්ඝ හා වර්ණවත් ඉතිහාසයේ තවත් සුවිශේෂ සිදුවීමක් වූයේ 1950 වර්ෂයේදී පාසල සඳහා පළමු දෙමහල් ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා මුල්ගල තැබීමයි. මෙය සිදුකරන ලද්දේ අගමැති ඩී.එස්. සේනානායක මහතා විසිනි. 1958 වසර පාසලේ සිසුන්ට සහ ආචාර්ය මණ්ඩලයට අමතක නොවන වසර විය. යාපනය රජයේ සිංහල මිශ්‍ර පාසලට ‘මහා විද්‍යාලය’ තත්ත්වය හිමි වූ වසර මෙයයි. එවක පාසලේ විදුහල්පතිවරයා වූයේ බී.එච්.එච්. විමලදාස, සහ එහි කාර්ය මණ්ඩලය 10 දෙනකුගෙන් සමන්විත විය. 1970 දශකයේ මුල් භාගය වන විට පාසල සිසුන් 600කට වැඩි සංඛ්‍යාවක් සිටින පරිදි ව්‍යාප්ත වී ඇති අතර උසස් පෙළ සඳහා කලා, විද්‍යා සහ වාණිජ විෂය ධාරාවන්ද හඳුන්වා දෙන ලදී.
බොහෝ කලකට පසු පාසලට ‘මධ්‍ය මහා විද්‍යාල’ තත්ත්වය හිමි විය. මෙම දීර්ඝ කාලය තුළ කථික, නාට්‍ය හා ලේඛන තරග, සාමාන්‍ය දැනුම ප්‍රශ්නාවලිය සහ දිස්ත්‍රික්, අන්තර් දිස්ත්‍රික් මට්ටම් සහ ජාතික මට්ටමේ ක්‍රීඩා තරග වැනි ක්ෂේත්‍ර රැසකින් විශිෂ්ට දස්කම් දැක්වූ පාසල දිවයින පුරා ඉමහත් පිළිගැනීමක් ලබාගත්තේය. වඩාත් වැදගත් දෙය නම්, විවිධ ආගමික සහ වාර්ගික පසුබිම්වලින් යුත් සිසුන්ගෙන් යුත් බහු සංස්කෘතික ප්‍රජාව සඳහා පාසල රට තුළ පුළුල් ලෙස පිළිගැනීමට ලක්විය. බෞද්ධ, හින්දු, ඉස්ලාම්, කතෝලික සහ ක්‍රිස්තියානි ආගම්වලට අයත් දෙමළ, සිංහල, මුවර්, බෝරා, මැලේ සහ බර්ගර් යන ප්‍රජාවන්ට අයත් සිසුන්ට යාපනයේ සිංහල මධ්‍ය මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබීමට හා විෂය බාහිර ක්‍රියාකාරකම්වලට සහභාගි වීමට සම අවස්ථාව හිමි විය. අවාසනාවකට මෙන්, 1985 මැයි මාසයේදී, සිවිල් යුද්ධය පුපුරා යෑමෙන් පසු පාසල විනාශ විය. මේ වන විට යාපනයේ සිංහල මධ්‍ය මහා විද්‍යාලය පැවැති බව කීමට ඉතිරිව ඇත්තේ ප්‍රසිද්ධ තැපැල් පෙට්ටියක් පමණි. වත්මන් රජය ප්‍රජාවන් අතර සහජීවනය කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින් සිටින අතර, එතෙර මෙතෙර පදිංචිව සිටින J/SMMV හි ආදි ශිෂ්‍යයන් සහ ගුරුවරුන්ගෙන් සමහරෙක් තම ආදරණීය පාසල යළි ගොඩනැගීමට බලාපොරොත්තු වෙති.

විදුනි බස්නායක










