මේ දිනවල රට පුරා සමුපකාර ඡන්ද පැවැත්වෙමින් තිබේ. ඒවායේ ප්‍රතිඵලය ආණ්ඩුවට කිසිසේත් සුබදායක නොවන අතර සුබදායක වී ඇත්තේ සමගි ජන බලවේගයටය. මෙතෙක් පැවැති සමුපකාර ඡන්දවලින් 90%කට වැඩි ප්‍රමාණයක් ජයග්‍රහණය කොට ඇත්තේ සමගි ජන බලවේගයය. විශේෂයෙන්ම පොහොට්ටුවේ බලකොටු ලෙස සැලකෙන බොහෝ කොට්ඨාසවල බලය ඉතා පහසුවෙන් සමගි ජන බලවේගය නතුකරගෙන ඇත.
දෙහිඅත්තකණ්ඩිය විවිධ සේවා සමුපකාර සමිතියේ කොට්ඨාස නිලවරණය සමගි ජන බලවේගය ජයග්‍රහණය කළේ දැවැන්ත පරතරයකිනි. ඡන්දය පැවැති කොට්ඨාස 12ම බලය හිමිකරගැනීමට සමගි ජන බලවේග කණ්ඩායම් සමත් විය.
දෙහිඅත්තකණ්ඩිය විවිධ සේවා සමුපකාර කොට්ඨාස පහළොවක් ඇති අතර එයින් පැවතියේ කොට්ඨාස 12ක නිලවරණයයි.
ඒ අනුව එම කොට්ඨාස දොළහේම බලය හිමිව ඇත්තේ සමගි ජන බලවේගයටයි. ඇතැම් කොට්ඨාසවල බලය නිතරගයෙන්ම සමගි ජන බලවේග කණ්ඩායමට හිමිව ඇත.
සමුපකාර ජය ස.ජ.බ.ට
නිවිතිගල විවිධ සේවා සමුපකාර සමිතියේ පැවැති ඡන්ද විමසීමේදී ප්‍රදේශික 38න් 26ක ජයග්‍රහණය ලබාගැනීමට සමගි ජන බලවේගයට හැකිවිය.
1977න් පසු ශ්‍රීලනිපයෙන් පොහොට්ටුවෙන් එම බලය ගිලිහී ගිය පළමු වතාව මෙය වන අතර සමගි ජනබලවේගය වැඩිම ප්‍රාදේශික සංඛ්‍යාව සමගින් ජයග්‍රහණය කරනු ලැබීය. දෙණියාය ආසනය, කොටපොළ, පල්ලෙගම, කළුබෝවිටි, දෙහිගස්ප, අම්පාර දිස්ත්‍රික්කය, දෙහිඅත්තකණ්ඩිය, හඟූරන්කෙත ආසනය, තලවකැලේ යනාදී ලෙස මෙතෙක් පැවැති අතිබහුතරයක් සමුපකාර ප්‍රාදේශිකවල බලය හිමිකර ගත්තේ සමගි ජන බලවේගයය.
ඇතැම් ජයග්‍රහණ ලබාගෙන ඇත්තේ ආණ්ඩු පාර්ශවයේ දැඩි බලපෑමවලට පවා මුහුණ දෙමින්ය. මෙයින් තුනෙන් දෙකක බලයක් ලබාගැනීමට සමගි ජන බලවේගය ප්‍රමුඛ කණ්ඩායම සමත් වීම විශේෂය.
කුලියාපිටියෙ නැගෙනහිර කොටසේ හොරොම්බාව සමුපකාර ඡන්දය අවස්ථාවේ එතැනට පැමිණ මැර තර්ජන සහ බලපෑම් කළ සමන්ප්‍රිය හේරත් පොහොට්ටු මන්ත්‍රීවරයාට සහ ඔහුගේ ආරක්ෂකයන්ට පහරදී එළවා තිබේ.
සමුපකාර ඡන්දයක ප්‍රතිඵලය එතරම්ම වැදගත් වන්නේද? මේ පිළිබඳ ඉතිහාසයෙන් ඕනෑ තරම් සාක්ෂි සපයාගත හැකිය. යහපාලන ආණ්ඩුව පැමිණ අවුරුද්දක් ගතවන විට ඒකාබද්ධ විපක්ෂය ආණ්ඩුවට එරෙහි බරපතළ රැල්ලක් නිර්මාණය කළේය. ඒකාබද්ධය තමන් සිටින තැන කුමක්ද කියා තෝරා බේරා ගන්නට පාවිච්චි කළ මිනුම් දණ්ඩ වූයේ සමුපකාර ඡන්ද ප්‍රතිඵලයන්ය. එවක සමුපකාර ඡන්දවලට ඉදිරිපත් කරන ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායම් දිගින් දිගටම ඉහළ ප්‍රතිශතයකින් ජයග්‍රහණය කරන්නට වූහ. එය රැල්ලක් බවට පත්විය.
‘සමුපකාර ඡන්ද දිනලා කොහෙද ආණ්ඩු පෙරළන්නේ?’
සමුකාර ඡන්දයක් කියන්නේ මොකක්ද කියාවත් නොදන්නා පිරිස් හිත හදාගන්න කීවේ එහෙමය. එවක යහපාලන ආණ්ඩුවේ සමහරු පවා එය සැහැල්ලුවට ගත්හ.
‘සමුපකාර ඡන්ද දිනලා කොහෙද ආණ්ඩු පෙරළන්නේ. මේක 2025 වෙනකන් ආණ්ඩුවක්’
ඒ දවස්වල යහපාලන ආණ්ඩුවේ සිටිය සමහරු කීවේ එහෙමය.
විවිධ සේවා සමුපකාර සමිතියක් විසින් තමන්ගේ සමිතියට අයත් එක් එක් ප්‍රාදේශිකවලට සභාපති, ලේකම් හා කාරක සභා නිලධාරින් පත් කරගන්නටත්, ඒ ඒ ප්‍රාදේශිකවල ජයගන්නා කණ්ඩායම්වලින් වැඩිම බලය හිමිකරගත් කණ්ඩායම විසින් නම්කර ඇති පුද්ගලයා එම සමුපකාර සමිතියේ සභාපති ලෙස පත් කරගැනීමත් සිදුවන්නේ ඒ ඒ ප්‍රදේශිකවල ලියාපදිංචි වී ඇති සමුපකාර සමිතිවල සාමාජික ඡන්දයෙනි.
බැලූ බැල්මට සරලව පෙනුණාට එය මහ පොළොවේ දේශපාලනය තුළ කිසියම් සලකුණක් තබන්නට සමත්ය. එදා දේශපාලනයට එන්නට මහජන නියෝජිතයන් අත්පොත තැබුවේ සමුපකාර ඡන්දයෙන්ය. සමුපකාර ඡන්දයෙන් දේශපාලනයට අත්පොත තබා ජාතික දේශපාලනය නියෝජනය කරන මැති ඇමැතිවරුද අදටත් පාර්ලිමේන්තුවේ සිටින බව මතක තබාගත යුතුය.
තම ගම් ප්‍රදේශයේ හතරකොනම දන්නා පුද්ගලයා ඔහු වන අතර සමුපකාර ඡන්දයට ඉදිරිපත් වී ජයග්‍රහණය කර පසුව ගම්වාසීන්ගේ කර මතින් පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වෙයි. එහි පන්නරය ලබන ඔහු එම පළාත් පාලන ආයතනයේ සභාපති තනතුරට හෝ නගරාධිපති තනතුර දක්වා ගමන් කරයි. එතැනින් විවර වන දොරටුව හරහා ඔහුට පළාත් සභාවටත් පාර්ලිමේන්තුවටත් යා හැකිය.
‘ඔබට පෙනෙනවා ඇති මේ ආණ්ඩුව මැතිවරණ සිතියම හකුළමින් සිටින බව. දැන් සමුපකාර ඡන්ද තියෙන එකත් නවත්වන්න හදනවා. මේ වෙනකොට පවත්වපු සෑම සමුපකාර ඡන්දයකින්ම මහින්දවාදී බලවේගය ජයග්‍රහණයකර තිබෙනවා. (අත්පොළසන්) අම්බලන්ගොඩ වගේම අධ්‍යාපන ඇමැතිගේ කුලියාපිටිය ආසනයේ සමුපකාර ඡන්දෙත් මහින්දවාදී බලවේගය ජයග්‍රහණය කළා. තවත් සමුපකාර කිහිපයක ඡන්ද ප්‍රතිඵල නිකුත් වෙලා තිබෙනවා. ඒ සියල්ල ජයග්‍රහණය කළේ මහින්දවාදී බලවේගයයි. ඒ නිසයි දැන් සමුපකාර ඡන්ද තියෙන එක නවත්වන්න සූදානම් වෙන්නේ.’
2016 සැප්තැම්බර් 29 විමල් වීරවංශ සමුපකාර ඡන්ද ගැන කීවේ එහෙමය. ඔහු නොකියා කීවේ ගමේ බලය පෙන්වන්නේ සමුපකාර ඡන්දවලින් කියලාය.
‘ආණ්ඩුවේ බිය සාධාරණ බව පෙන්වූයේ සමුපකාර ඡන්ද ප්‍රතිඵලයයි. රට පුරාම සමුපකාර සමිති බලය අත්පත් කරගැනීමට ඒකාබද්ධ විපක්ෂය සමත් වූයේ 60% – 90%ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගනිමිනි. සාමාන්‍යයෙන් ආණ්ඩුවක් එසේ පිරිහෙන්නේ වසර 15ක් පමණ අඛණ්ඩව රට පාලනය කළ විටය. ඒ අනුව වසර 15කින් ලබාගත හැකි ජයග්‍රහණයක් වසරක් තුළ ලබා ගැනීමට ඒකාබද්ධ විපක්ෂය සමත් වී ඇත. එසේ නම් ඒකාබද්ධ විපක්ෂයේ ක්‍රියාකාරීත්වය පිළිබඳ සමහරෙක් මැසිවිලි නගන්නේ ඇයි?
ආණ්ඩුවේ දැවැන්ත පිරිහීම පිළිබඳ සමුපකාර ඡන්ද ප්‍රතිඵල පමණක් නොව සමාජ ජාල වෙබ් අඩවි මෙන්ම රට පුරා පැනනැඟී ඇති ආණ්ඩු විරෝධී උද්ඝෝෂණද සාක්ෂි දරයි.’
උදය ගම්මන්පිල එහෙම කීවේ 2017.01.26 වැනිදාය.
ඇත්ත වශයෙන්ම සමුපකාර ඡන්දවල ජයග්‍රහණ ඒ දිනවල ඒකාබද්ධ විපක්ෂය උත්සවශ්‍රීයෙන් සැමරූහ.
ඊළඟ මැතිවරණයේ ජයග්‍රහණය ඒකාන්ත බවට ඔවුන් ඉඟි සපයා ගත්තේ මහා පොළොවේ ක්‍රියාත්මක වූ සමුපකාර ඡන්දවල ප්‍රතිඵලයෙන්ය.
2015 දී යහපාලන ආණ්ඩුව එන්නට වසර එකහමාරකට දෙකකට පමණ පෙර සිට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පරාජය පිළිබඳ සොහොන් ලකුණු පෙනෙන්නට පටන් ගත්තේ පළාත් පාලන ආයතනවල අයවැය පරාජය වෙමිනි. ඔවුන්ගේ බළකොටු සේ සැලකුණු කොට්ඨාසවල අයවැය එක දිගට පරාජය වීමත් සමගම එක්සත් ජාතික පක්ෂය අළුගසා නැගී සිටින්නට පටන් ගත්තේය. අනෙක් අතට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සිටි ප්‍රගතිශීලී දේශපාලකයෝ එන පොට හොඳ නැති බව තේරුම් ගත්හ. කීවා වගේම දෙදහස් පහළොවේදී එක්සත් ජනතා නිදහස් සන්ධානය මහින්ද රාජපක්ෂද සමග පරාජයට පත්විය.
2016, 2017 වන විට සමුපකාර ඡන්ද පරාජය වෙමින් ඉදිරි අනාගතයේ පිළිබඳ සොහොන් ලකුණු යහපාලන ආණ්ඩුවට පෙන්නුම් කළහ. එය ඒ විදියටම සිදුවිය. එහෙත් තවත් තීරණාත්මක තැනක් වූයේ පළාත් පාලන මැතිවරණයෙන් ඉතිහාසය ඉතිහාසයේ පළමු වතාවට ආණ්ඩු බලය ලබාගෙන සිටි පක්ෂයක් පරාජය වීමය.
පළාත් පාලන ආයතන 340න්, 200කට ආසන්න සංඛ්‍යාවක් ජයග්‍රහණය කිරීමට පොහොට්ටුව ලකුණ යටතේ තරග කළ පොදුජන පෙරමුණ සමත් විය.
රටේ පළාත් පාලන ආයතනවලින් 70%ක බලය සහ පළාත් පාලන ඡන්ද කොට්ඨාසවලින් 90%ක බලය ඔවුන් සතු විය.
උතුරු නැගෙනහිර හැර අනිකුත් සියලු පළාත්වල ඉදිරියෙන් සිටීමට පොදුජන පෙරමුණට හැකි විය. ආණ්ඩු බලය හිමි එක්සත් ජාතික පක්ෂය දෙවැනි ස්ථානයටත්, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ නායකත්වයෙන් යුත් එක්සත් ජනතා නිදහස් සන්ධානය තුන්වැනි ස්ථානයටත් පත්විය. දේශපාලන විචාරකයන් බලාපොරොත්තු නොවූ ඡන්ද ප්‍රතිඵලයක් වාර්තා කිරීමට පොදුජන පෙරමුණ සමත් වූ අතර, බලයේ සිටින පක්ෂ දෙකක් පරාජය කර මෙම ප්‍රතිඵලය ලැබීම විශේෂත්වයකි.
පොහොට්ටුවට ඒ ගමනට පාර කපා දුන්නේ සමුපකාර ඡන්දවලින් ලද ජයග්‍රහණයේ පන්නරයය.
මිනිසුන්ගේ ආහාරපාන, ඇඳුම් පැලඳුම්, සෞඛ්‍ය, අධ්‍යාපනය මෙන්ම තමන් නිෂ්පාදනය කරන ආර්ථික භෝගවලට විවිධ භාණ්ඩවලට සාධාරණ මිලක් හිමි කරගැනීම ආදී පොදු ආර්ථික ප්‍රශ්නවලදී ජනතාවගේ පෙරගමන්කරුවා වූයේ අපේ රටේ සමුපකාර ව්‍යාපාරයයි.
විවිධ සේවා සමුපකාර සමිතියක ලියාපදිංචි වී ඇත්තේ ගමේ සාමාජිකයාය. ඔහු එම සමුපකාර බැංකුව හා නිතර ගනුදෙනු කරයි. සමුපකාරය රටේ සංවර්ධන කාර්යයට ඍජුවම දායක කරගත හැකි ආයතනයකි. මේ රටේ ජනගහනයෙන් මිලියන පහක පමණ පිරිසක් මොනයම් හෝ සමුපකාර සමිතියක සාමාජිකත්වය දරයි. විශාල ප්‍රමාණයක් එකම ව්‍යාපාරයක් යටතේ සාමාජිකත්වය ලබන මේ රටේ දැවැන්තම ව්‍යාපාරයද සමුපකාර ව්‍යාපාරයයි. එවන් සමුපකාරයක ඡන්දයක් යනු නිකම්ම නිකන් හිස් යමක් නොවේ. එය එක්තරා කැඩපතකි.
සමුකාර සමිතියක් සෑම විටම ග්‍රාමීය ජනතාව හා සම්බන්ධය. එහි මැතිවරණයක් හා සාමාජිකයන් යනු දේශපාලන බිම් මට්ටමයි. එවන් තත්ත්වයක් තුළ සමුපකාර ඡන්දයක ප්‍රතිඵලය මොනතරම් තීරණාත්මක දැයි ඉතිහාසයෙන් ඕනෑ තරම් උදාහරණ සහිතව කරුණු ඉදිරිපත් කළ හැකිය. එදා එක්සත් ජනතා නිදහස් සන්ධානයට සොහොන් ලකුණු රැගෙන ආවේත්, ඉන් අනතුරුව යහපාලන ආණ්ඩුවට සොහොන් ලකුණු රැගෙන ආවේත් සමුපකාර ඡන්ද ප්‍රතිඵල හරහාය.
මෙදා වර්තමාන ආණ්ඩුවට සොහොන් ලකුණු රැගෙන එන්නේත් සමුපකාර ඡන්දයෙන් දැයි යන්න නුදුරේදීම දැකගත හැකි වනු ඇත.










