ධානීෂ් අලි. මේ නම දකිද්දිම බොහෝ දෙනකුගේ මතකයට නැඟෙන්නේ ඩුබායි බලා පිටත්ව යෑමට සූදානම් කර තිබූ ගුවන් යානයක සිටියදී අවසාන මොහොතේ බලහත්කාරයෙන් අත්අඩංගුවට ගැනුණු තරුණයාවයි. ඒ වගේම ජාතික රූපවාහිනියට බලහත්කාරයෙන් ඇතුළු වී එහි විකාශන කටයුතුවලට බාධා කරමින් අරගලය සම්බන්ධයෙන් සජීවී විකාශයක් ගෙන ඒමද ධනීෂ් අලි අපේ මතකයෙන් ගිලිහී ගොස් නැහැ. ගාලුමුවදොර අරගලය තුළින් මතුවූ විවිධ චරිත අතර ඔහුත් එක් සුවිශේෂ චරිතයක්. කලක් ඔහු හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ සමීපතමයකුව සිටි බවත් කියැවුණා. ජනතා අරගලය වෙනතකට යොමු කරන්නට රාජපක්ෂවරුන් විසින් එවන ලද ව්‍යාජ අරගලකරුවකු ලෙසටත් ඇතැමුන් ඔහුව හැඳින්වූවා. කෙසේ වෙතත් ඇත්තටම කවුද මේ ධනීෂ් අලි? මේ ඔහු සමග සිදුකළ සංවාදයක්. අරගලය ත්‍ඵ යූටියුබ් නාලිකාව සමග ඔහු සිදුකළ මේ සංවාදය තුළ ධානීෂ් අලි කියන්නේ කවුද, ඔහුගේ සමාජ දේශපාලන ක්‍රියාකාරීත්වය කෙබඳුද යන්න ගැන හොඳින්ම කියැවෙනවා. මේ, එම සාකච්ඡාවයි.
එදා ඔබ ඩුබායි බලා පිටත් වෙන්න සූදානම් වෙද්දී තමයි අත්අඩංගුවට ගත්තේ. ඒ වෙලාවෙ බොහෝ දෙනෙක් කිව්වා ඔබ රටින් පැනලා යනවා කියලා. මොකක්ද ඇත්තටම එදා සිදුවුණේ?
ඔයාට මතකද අපි දෙන්නව හොයන්න සුදු කළු වෑන් දෙකක් ආවා?
මතකයි.
වසන්ත මුදලිගේ මගේ හොඳම යාළුවා. මේ අරගලයේ මුල ඉඳලම හිටියේ. ඔහුට ඩී.ඕ. එකක් ගහලා ත්‍රස්තවාදී පනත යටතේ ඔහුව අත්අඩංගුවට ගන්නවා. මාවත් ඒ වගේ මාස තුනකට නම් නෙවෙයි අවුරුදු දෙකකට විතර අත්අඩංගුවට ගන්නවා කියලා කිව්වා. මම විතරක් නෙවෙයි ජේ.වී.පී. එකේ සෝමවංශ අමරසිංහ, පෙරටුගාමී එකේ කුමාර් ගුණරත්නම්, පැතුම් කර්නර් වගේ ගොඩක් අය රටින් යනවා ජීවිතේ බේරගන්න. මොකද අපි මැරුණොත් මේ අරගලය කරන්න කවුරුත් නැතිවෙනවා. මැරිලා අරගල කරලා වැඩක් නෑනෙ. අපි ජීවිතේ බේරගන්න ඕනෙ. මටත් වයිෆ් කෙනෙක් ඉන්නවා, අවුරුදු එකහමාරක දුවෙක් ඉන්නවා. අරගලයේ බහුතරයක් සාමාජිකයෝ දන්නවා මම යන එක. රටින් යන්න හේතුව ඒක තමයි. ජීවිතේ බේරගෙන අරගලය ඉදිරියට අරගෙන යන්න.
ජාතික රූපවාහිනියට ඇතුළු වීම සම්බන්ධයෙන් ඔබ කතාබහට ලක්වුණා. ඒ ගැන සමාජයේ විවිධ මතිමතාන්තරත් පැතිර ගියා. මොකක්ද රූපවාහිනිය ඇතුළට යන්න ඇත්තටම හේතුව වුණේ?
රූපවාහිනී සංස්ථාව කියන්නේ ජාතික රූපවාහිනියට. ජාතියක් හැටියට අපි හැමෝම පිළිගන්නා රජයේ සංස්ථාවක්. මේ ආයතනය අනිවාර්යයෙන්ම ස්වාධීන විය යුතුයි. අපි දන්නවා ඉතිහාසයේ කවුද රූපවාහිනියට පැන්නේ, කොයි විදියටද පැන්නේ, පැනලා කාටද ගැහුවේ කියලා. ඒ වගේම අපි දන්නවා අනිත් මාධ්‍ය ආයතන කවුද ගිනි තිබ්බේ, ඒ මාධ්‍ය ආයතනවලට කෝටි ගණනක් පාඩු කළේ කවුද කියලා. ඒ වගේ දේවල් කරපු ඉතිහාසයක මට සහ අරගලකරුවන්ට වුවමනාවක් තිබුණා ජාතික රූපවාහිනියට ගිහිල්ලා ජාතික රූපවාහිනියේ ස්වාධීනත්වය රැකලා දෙන්න. ජාතික රූපවාහිනිය කියන්නේ ජනතාව සතු නාලිකාවක්, ඒක ජනතාවගේ නාලිකාවක් කියලා කියන්න. අනිවාර්යෙන්ම අපි සාකච්ඡා මාර්ගයෙන් ඒක ඇතුළට ගියේ. අපට තේ පැන් පවා ලබාදුන්නා. හැබැයි ප්‍රශ්නය ඇවිල්ලා තියෙන්නේ මම කතා කරපු ශෛලිය නිසා. බබ්බු නෙවෙයි නළවන්න. කාවවත් නළවන්න කවුරුවත් බබ්බු නෙවෙයි. මොකද රටේ දේශපාලන ගැන අවුරුදු ගානක කියවීමක් තියෙන කට්ටිය දන්නවා ඇති දේශපාලනඥයො කියන්නේ අපි දන්න විදියට හොරුයි මිනීමරුවොයි කියලා. නැත්නම් කුඩු ජාවාරම්කාරයො. මෙහෙම ඉන්න දේශපාලනඥයො පරිපාලනය කරපු මේ වගේ රජයේ ආයතනයකට ගිහිල්ලා බබ්බු වගේ හුරතල් කරගෙන ‘අනේ ප්‍රෝග්‍රෑම් ෂීට් එක දෙන්න අපිට මේක කරන්න’ කියලා කිව්වොත් අපට ඉඩ දෙයිද? සමහරු අහලා තිබුණා මම කුඩු ගහලද, බීලද කියලා. මට මතකයි මගේ බිරියගේ යාළුවෙක් අහලා තිබ්බලු හස්බන්ඩ් ෂොට් එකක් දාලා නේද ගිහිල්ලා හිටියේ කියලා. ඒ නිසා කියන්න ඕනෙ ඒ වෙලාවෙ කටයුතු කළේ තරහ ගියපු පුරවැසියෙක් හැටියට. මට විතරක් නෙවෙයි ඒ වෙලාවෙ හැමෝම හරිම තරහෙන් හිටියෙ. මම කතා කරපු ශෛලිය වෙනස් වෙන්න පුළුවන්. නමුත් කතා කරපු දේ ඇත්ත.
බොහෝ දෙනෙක් කියපු කතාවක් තමයි අරගලයට සම්බන්ධ වැඩි දෙනා ගංජාකාරයො, කුඩුකාරයො, රට අස්ථාවර කරන පිරිසක් කියලා. ඔබේ ඩිග්‍රි එක මොකක්ද?
යූ.කේ.වල කාඩිෆ් මෙට්‍රොපොලිටන් විශ්වවිද්‍යාලයේ මට ආචාර්ය උපාධියක් තියෙනවා. කොණ්ඩෙ වවපු පළියට, රැවුල වවපු පළියට කියන්න බෑ කුඩුකාරයෙක් කියලා. අරගලයෙ සම්පූර්ණයෙන්ම හිටපු කට්ටිය දන්නවා මම කොහොමද ක්‍රියා කළේ කියන එක. මගේ වෘත්තියත් පැත්තකින් තියලා මම අරගලය කළේ. මේ වෙනකන් කාගෙන්වත් සතයක්වත් අරගෙනත් නෑ. බෑන්ක් ලෝන් එකක් දෙකක් තියෙනවා. ඒවත් ගෙවාගෙන මධ්‍යම පන්තියෙ සාමාන්‍ය පුරවැසියෙක් විදියට තමයි අපිත් ජීවිතේ ගෙනිච්චේ.
ඔබ හිරේ ගියාට පස්සේ එක වීඩියෝ එකක් නිකුත් වුණා, ඔබත් එක්ක එක ටෙන්ට් එකේ හිටපු ගෑනු ළමයෙක්ගෙ. එයා කියනවා ඔයා බැඳලා හිටියෙ නෑ, බැඳලා කියලා එයාට කිව්වෙ නෑ, මාව බඳිනවා කියලා රැවැට්ටුවා කියලා. ඒ ගැන මොකක්ද ඔබට කියන්න තියෙන්නේ?
මගෙන් කටඋත්තරයක් ගන්න වෙලාවෙ පොලිසිය මගෙන් ඇහුවා ඔයත් එක්ක ටෙන්ට් එකේ හිටපු ගෑනු ළමයා කවුද කියලා. ඕක ප්‍රශ්නයක් වෙන්න ඕනෙ මගේ බිරිඳට. එයාට ප්‍රශ්නයක් නෑ. ඒ වගේම අරගලයේ සම්පූර්ණයෙන් හිටපු කට්ටිය දන්නවා මම ගෑනු ළමයෙක්ට අඩුම තරමෙ වැරැදි වචනයකින් හරි ආමන්ත්‍රණය කරලා නෑ කියන එක. ඊළඟ දේ තමයි ඔය කියන කෙනා මගේ ෆේස්බුක එක බැලුවා නම් ඒකෙ ඕනෙ තරම් තියෙනවා මගේ දරුවෝ, මගේ පවුලේ අයගෙ ෆොටෝස්. අරගලය අතරතුර හජ්ජි අවුරුද්ද ආවා. ඒ වෙලාව මමයි මගේ වයිෆුයි බබාවයි වන් ගෝල්ෆේස් එකට මම ෂොපින් එක්කගෙන ගියා. ඒ පින්තූරත් මම දාලා තිබුණා. අනිත් එක මම අරගල කරන්නේ මගේ දරුවන්ගෙත්, දරුවන්ගෙ දරුවන්ගෙත් අනාගතය වෙනුවෙන්.
ගොඩක් දෙනෙක් ඔබ සිරගත වුණාට පස්සේ කිව්වා, ඔබ ක්‍රියාකාරී දේශපාලනයට එන්නයි මේ හදන්නේ කියලා. එහෙම අදහසක් තියෙනවද?
අපි කතිරෙ ගහනවනේ. ඒ කතිරෙ ගහන වෙලාවෙදිම අපි ක්‍රියාකාරී දේශපාලනයට සම්බන්ධයි. රටේ පුරවැසියො විදියට පෝලිම් බූත් එකට ගිහිල්ලා ඡන්දය දාන වෙලාවෙම අපි ක්‍රියාකාරී දේශපාලනයට සම්බන්ධයි. නමුත් මැතිවරණ දේශපාලනයට එනවද නැද්ද කියන ප්‍රශ්නෙ තමයි ඔතැන පැනනගින්නේ. අපි කියන්නේ මේ මැතිවරණ ක්‍රමවේදය වැරැදියි. ව්‍යවස්ථාව වැරැදියි. එක්දාස් අටසිය ගණන්වල හදපු පොලිසිය, එක්දාස් අටසිය ගණන්වල හදපු දණ්ඩනීති සංග්‍රහය, එක්දාස් අටසිය ගණන්වල හදපු බන්ධනාගාරය මේ තුන තියාගෙන තමයි අපට දඬුවම් දෙන්නේ. මේවා සුද්දො හැදුවේ යටත් විජිත පාලනය කරන්න. යටත් විජිතයක් වෙලා තිබුණු ශ්‍රී ලංකාව පාලනය කරන්න හදපු ක්‍රමවේදය, උඩ ඉන්න රදළ පැලැන්තිය විසින් අපව වහල්ලු කරගෙන පාලනය කරනවා. ඒක තමයි ඇත්ත කතන්දරය.
ඔබට පක්ෂයකින් ආරාධනාවක් ආවොත්?
පක්ෂ හැම එකකින්ම වගේ ආරාධනා ලැබිලා තියෙනවා. පක්ෂ දේශපාලනය කියන එක ලංකාවට හරියන්නෙ නෑ. ‘ගේට් සීරෝ’ කියන්නේ අරගල භූමියෙ ලේකම් කාර්යාලය ගාව පළමු ගේට්ටුව. ඔය ගේට්ටුව අල්ලගත්තු දවසේම ගෝඨා ෆේල් නෑ කියපුවාම එදාම ගෝඨා ෆේල්. එතකොට ෆේල් නැති වෙච්ච එක ෆේල් කළේ එදා. එතැන ඉඳලම මම කිව්වේ එක දෙයක්. පක්ෂ පාලනය රටට අහිතකරයි. මොකද ජාතික ප්‍රතිපත්තියකට අනුව වැඩ කරන්නේ නෑ පක්ෂ දේශපාලනයට ගියාම. මොකද අවුරුදු ගානක් තිස්සේ මේ පක්ෂ ටික හැදුවේ රදළ පැලැන්ති ටික. පක්ෂ දෙක තුනක් විතරයි සාමාන්‍ය මිනිස්සු ඇහිල්ලා හැදුවේ. අපි දන්නවා සාමාන්‍ය පන්තියෙන් ආපු පාලකයො දෙන්නයි ඉතිහාසෙ හිටියේ. එක්කෙනෙක් රණසිංහ ප්‍රේමදාස. අනිත් කෙනා මෛත්‍රීපාල සිරිසේන. ඒ දෙන්නටත් කරන්න දුන්නේ නෑ. චන්ද්‍රිකා බණ්ඩාරනායකට බැණපු මහින්ද, බණ්ඩාරනායක පිළිරුව රකින්න පොලිස් ගාඩ් එක දානවා. දිනේෂ් ගුණවර්ධනයි රනිල් වික්‍රමසිංහයි ක්ලාස් මේට්ස්ලා. දිනේෂ් ගුණවර්ධන අද අගමැති. ‘කවුද හොරා මහින්ද හොරා’ කියලා පාර්ලිමේන්තුවේ කෑගහපු රනිල් අද රාජපක්ෂලගෙ රෙදි හෝදනවා. ඉතින් මේක තමයි ඇත්ත කතාව. රටේ වත්මන් තත්ත්වය දැනගත්තොත් මිනිස්සුන්ට තේරෙයි අපි අරගල කළේ මොකටද කියන එක.
ඔබට ගෙදරින් බලපෑමක් නැද්ද රට වෙනුවෙන් ආයෙත් කතා කරන්න එපා කියලා?
අපි හැමෝටම ගෙදරින් බලපෑමක් එන්න පුළුවන්. මොකද එයාලා අපට ආදරෙයි. එයාලා කැමැති නෑ අපේ ජීවිත අහිමි වෙනවට. ඒ ජීවිතයට තියෙන ආදරේ නිසා තමයි රටින් ගිහින් ඉතිරි වැඩ කටයුතු ටික පටන්ගමු කියලා හිතුවේ. ගෙදරින් පුංචි පුංචි බලපෑම් ආවත් කොයිම අවස්ථාවකවත් කියලා නෑ අරගලය අතහරින්න කියලා. අරගලය කියන්නේ වීදියේ අරගලය විතරක් නෙවෙයි. ඉදිරියට වීදියේ අරගල අපට ලොකුවට කරන්න බැරි වේවි. මොකද වත්මන් පාලකයා යන්නේ ඒකාධිපති පාලනයකට. මහ ලොකුවට ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරපු රනිල් වික්‍රමසිංහ මහත්තයා දැන් යන්නේ ඒකාධිපති පාලනයකට. ඒ වුණාට වීදියේ අරගලවලට යනවද කියන එක ගැන තවම හරි තීරණයක් නෑ. නමුත් වෙනස් විදියේ අරගල ක්‍රමවේද ටිකක් අපි ක්‍රියාත්මක කරනවා. මොකද මේ අරගලය වෙනස්. අපි මුල ඉඳලම කිව්වේ මේක ආදරයේ අරගලය කියලා. අපි සන්නද්ධ වුණේ නෑ මේ වෙනකන්. ඉදිරියටත් සන්නද්ධ වෙන්නෙ නෑ. අරගලය අපි වෙනස් ක්‍රමවේදයකට ඉදිරියට අරගෙන යන්න අදහස් කරගෙන ඉන්නවා.
වසන්ත මුදලිගේ සහෝදරයා මේ වෙනකොට දින 90ක රැඳවුම් නියෝග මත රඳවා තබාගෙන ප්‍රශ්න කරනවා. මොකද හිතන්නේ වසන්ත ගැන?
වසන්තව මට හම්බවෙන්නෙ අරගලයෙදි. නැත්නම් මට අන්තරේ එක්ක කිසිම සම්බන්ධයක් තිබුණෙ නෑ. මට සංවිධානයක්වත් නෑ මේ වෙනකන්. ඉදිරියේදී සංවිධානයක් හදාගන්න වෙනවා රට වෙනුවෙන් වැඩ කරන්න. වසන්තට හදවතින්ම යාළුවෙක් හැටියට ඔහු එක්ක මම ළඟින් ඉන්නවා. මතවාදීව අපට සමහර ගැටුම් තියෙන්න පුළුවන්. නමුත් අරගලයෙදී අපි එක පොදු මතයක හිටියා. අපට නම් කියන්න පුළුවන් ටවුමෙ ඉස්කෝලෙට ගියා, අවුරුදු ගානක් රට ගිහින් ඉගෙන ගත්තා, ආයෙ ලංකාවටත් ඇවිල්ලා ඉගෙන ගත්තා. නමුත් වසන්ත කියන්නේ බොහොම දුෂ්කර පැත්තකින් ඇවිත් අපේ අම්මලා තාත්තලගෙ ප්‍රශ්න හරියටම තේරුම් අරගෙන ඒ වෙනුවෙන් කතා කරපු කෙනෙක්. වසන්ත කියන්නේ මේ අරගලයේ එක කණුවක්. අරගලය කියන ටෙන්ට් එක ගත්තොත් ඒකෙ හැම කණුවක්ම වටිනවා. වසන්ත කියන්නේ එක කණුවක්. වසන්ත පිටිපස්සේ අන්තරේ ඉන්නවා. වසන්තත් එක්ක ලංකාවෙ විශ්වවිද්‍යාලවල කොල්ලො කෙල්ලො ටික ඉන්නවා. වසන්තව අපි මේ වෙලාවෙ ආදරෙන් සිහිපත් කරනවා. මට ආරංචියි ඔහුට තංගල්ලෙ දාලා දීලා තිබුණේ පැදුරක් විතරයි කියලා. කොට්ටයක්වත් නෑ, බෙඩ් ෂීට් එකක්වත් නෑ කියලා. ඊට පස්සේ ඒවා ඉල්ලලා අපේ නීතිඥයන් ලියුමක් භාරදීලා තිබුණා. මේක තමයි ඇත්ත තත්ත්වෙ.
රටේ මර්දනය උපරිමයෙන්ම ගෙනියනවා. මට කරපු වැඩේ පොඩ්ඩක් මම කියන්නම්. මාව ෆ්ලයිට් එකේදි ඇරෙස්ට් කරපු හින්දා මට ඩී.ඕ. ගහන්න බැරි වුණා. හැබැයි එදා පොලිසියෙ එස්.එස්.පී.ලයි, ඩී.අයි.ජී.ලයි කුරුඳුවත්ත පොලිසියෙදි මට අඬගහලා කිව්වා ‘දැන් දැක්කනෙ ලහිරුලාට වෙලා තියෙන දේ, නඩු කතා කරන්න කවුරුවත් නෑ, උඹලත් මෝඩ වැඩක් කරගත්තේ ධානිෂ්. මාස 03යි අවුරුදු 02ක් ඇතුළත ඔයාට ඩී.ඕ. එකක් ගහලා රඳවාගෙන ප්‍රශ්න කරනවා’ කියලා. ඒකෙ චෝදනා දෙකක් මාධ්‍යවලත් දාලා තිබුණා. එක චෝදනාවක් තමයි බුද්ධි අංශයෙ කට්ටියකට පහරදීලා මම රඳවා තබාගෙන හිටියා කියලා, ඊට පස්සේ බණ්ඩාරනායක පිළිරුව මම කඩන්න ගියා කියලා. නමුත් හැමෝම දන්නවා ඒ ප්‍රචණ්ඩකාරී වැඩවල මම හිටියේ නෑ කියන එක. ඔය වගේ බොරු චෝදනා තමයි මට දැම්මේ.
පොලිසිය වැඩ කරන්නේ උඩින් එන ඕඩර්වලට. ඒ නිසා පොලිසිය කවදාවත් ස්වාධීන නෑ. එක්දාස් අටසිය ගණන්වල ආපු පොලිස් ආඥා පනත තියාගෙන කොහෙද වැඩ කරන්නේ?
ඒ වගේම එදා ෆ්ලයිට් එකේදි මං වෙනුවෙන් නෙවෙයි මේ රටේම අරගලකරුවන් වෙනුවෙන් කතා කරපු ඒ ෆ්ලයිට් එකේ හිටිය හැමෝටම මගේ හෘදයාංගම ස්තුතිය පුද කරනවා. මාව ඇරෙස්ට් කළෙත් අත්තනෝමතිකව. මොකද ශ්‍රී ලන්කන් එයාලයින්ස් හින්දයි එයාලා ඔච්චර දැඟලුවේ. මම මේ වෙනකොට මානව හිමිකම්වලට පෙත්සමක් ගොනුකරලා තියෙනවා මේකට එරෙහිව. ඉදිරියේදී නීතිමය ක්‍රියාමාර්ග ගනී මගේ නීතිඥවරු. රට වෙනුවෙන් කතා කරන පිටරටවල ජීවත් වෙන ශ්‍රී ලාංකිකයන් සියලු දෙනාටම මම අත් දෙක එකතු කරලා වැඳලා කියනවා බොහොම ස්තුතියි කියලා. මොකද ඔයාලා හින්දා තමයි අපි මේ අරගලය ශක්තිමත්ව කරගෙන යන්නේ. මම වෙනුවෙන් කෑගහපු හැමෝටම ස්තුතියි. බය වෙන්න එපා. මොකද මේක අපේ රට. ඒ නිසා අරගලයත් එක්ක එකතු වෙලා අපි ඉස්සරහට යමු.

සැකසුම – චානක ලියනගේ










