දැන් තියෙන්නෙ 60%ක අධි උද්ධමනයක්, අවුරුදු 5ට බිලියන 5ක් ගෙවන්න තියෙනවා: ඒක කරන්න බෑ, අන්තිමට කරන දේවල් මුලින් කරන්න ගිහින් තමයි මෙහෙම වුණේ
ශ්‍රී ලංකා මහ බැංකුවේ සිටි ජ්‍යෙෂ්ඨතම නිලධාරියකු වන ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා එහි අධිපති ධුරයට පත්කරනු ලැබුවේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින්. වසර 29කට අධික සේවා කාලයකින් පසු 2020 වසරේ දී විශ්‍රාම ගත් නන්දලාල් වීරසිංහ මහතා ඔස්ටේ්‍රලියාව බලා ගොස් සිටියදී හිටපු ජනාධිපතිවරයාගෙන් ලැබුණු ඉල්ලීමකට අනුව මෙලෙස මහ බැංකු අධිපති ධුරය භාරගත් බව පසුගිය සමයේ කියැවුණා. මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති ධුරයද හෙබ වූ ඒ මහතා එහි අධිපති ලෙස පත්කිරීම සම්බන්ධයෙන් බොහෝ පාර්ශ්ව සුබවාදී ප්‍රතිචාර දක්වා තිබුණේ මේ වන විට ශ්‍රී ලංකාව මුහුණපා ඇති උග්‍ර ආර්ථික අර්බුදයෙන් යම් පමණකට හෝ රට ගොඩගැනීමට ඔහු සතුව වැඩපිළිවෙළක් ඇති බවට වූ විශ්වාසයෙනුයි. එම අපේක්ෂාවන් තවදුරටත් බොඳ නොවී ඇති පසුබිමක ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය පිළිබඳ සැබෑ තතු නොබියව හෙළිකරන්නටත් අභිනව අධිපතිවරයා මාධ්‍ය සාකච්ඡා කිහිපයකදීම සහ දේශන කිහිපයකදීම කටයුතු කළා. එලෙස සංවිධාන කෙරුණු ඉතා වැදගත් තවත් දේශනයක් පසුගිය 24 වැනිදා පැවැත්වුණේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තු පරිශ්‍රයේදීයි.
‘ශ්‍රී ලංකාවේ වර්තමාන ආර්ථික තත්ත්වය සහ ඉදිරි මග’ මැයෙන් පැවැති එම සංවාදශීලී සාකච්ඡාවේ ප්‍රධාන දේශක ලෙස ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා අදහස් දැක්වූ අතර, පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායකවරයා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු ජනතා නියෝජිතයන් රාශියක්ද ඊට එක්ව සිටීම විශේෂත්වයක්. රට නැවත ගොඩනැගීමට ඇති අභියෝග පිළිබඳ මහබැංකු අධිපතිවරයාගේ සුවිශේෂ අනාවරණ රැසක් අන්තර්ගත වූ එම දේශනය Sri Lanka business tv යූටියුබ් නාලිකාවෙන් උපුටාගෙන ‘මව්රට’ පාඨක ඔබ වෙනුවෙන්ම අප මෙලෙස ඉදිරිපත් කරන්නේ ඔබ අප සියලු දෙනාම දැනුවත් විය යුතු කරුණු රාශියක් එහි කියැවෙන නිසාමයි.
මම කැමැතියි සාකච්ඡාවක් විදියට මේ දේශනය කරගෙන යන්න. ඊට කලින් මම වත්මන් තත්ත්වය ගැන කෙටි හැඳින්වීමක් කරන්නම්. මුලින්ම මම බලන්නේ මේ වගේ අර්බුදයකට රට පත්වෙන්න හේතුව මොකක්ද කියන එක. රටක ආර්ථිකයක වර්ධන වේගය කියන එක ඉතාම වැදගත් දර්ශකයක්. 1977 මේ රටේ ආර්ථිකය විවෘත කළ දා 2012 පමණ වන තුරු අපට පුළුවන් වෙලා තියෙනවා කලාපයේ අනෙක් රටවල් එක්ක බලද්දී සාපේක්ෂව ඉහළ ආර්ථික වර්ධන වේගයක් (4.5% – 5%) පවත්වාගෙන යන්න. ඒ කාලෙ ආර්ථික වර්ධන වේගයේ ලොකු ප්‍රශ්නයක් තිබිලා නෑ. නමුත් 2013 ඉඳලා මේ දක්වා එම වර්ධන වේගය ඉතා පහළ අගයක් දක්වා ගමන් කරලා තිබෙන අයුරු දැකගත හැකියි. ඒ වගේම ඒකපුද්ගල ආදායම 2005 දී විතර ඇමෙරිකානු ඩොලර් 4000 විතර වෙලා තිබිලා 2017 වගේ වෙද්දී ආයෙත් අඩුවෙන්න පටන් අරගෙන තියෙනවා. මේ යන විදියට මේ වසර අවසානය වෙද්දී එය ඇ.ඩො. 3,200 මට්ටමට වැටෙනවා. මේ අනුව පැහැදිලි වන කාරණයක් තමයි ආර්ථික සැලැස්මේ සහ ක්‍රමවේදයේ ප්‍රශ්නයක් තියෙන බව.
ඊළඟ කරුණ තමයි උද්ධමනය. මේ දවස්වල ජනතාව අතරට ගියාම ඔවුන් කියන දෙයක් තමයි මේ බඩු මිල වැඩියි කියන එක. 1977 ඉඳලා 2009 විතර වෙනකල් අපේ රටේ උද්ධමනය තිබිලා තියෙනවා 12%ක් විතර. ඒ ප්‍රතිශතය දීර්ඝ කාලයක් පුරා පැවැතිලා තියෙනවා. 2009 ඉඳලා 2020 දක්වා 5%ක වගේ සාමාන්‍ය අගයකට පත්කර ගන්නත් පුළුවන් වෙලා තියෙනවා. නමුත් මේ වෙද්දී 60%ක තරම් අධි උද්ධමනකාරී තත්ත්වයකට අපි පත්වෙමින් යනවා. මේක ඉතාම භයානක තත්ත්වයක්. සිම්බාබ්වේ, ලෙබනනය වගේ රටවල් මුහුණදීලා තියෙන්නේ මේ වගේ අධි උද්ධමනකාරී අවාසනාවන්ත තත්ත්වයකට. එවැනි අධි උද්ධමනකාරී තත්ත්වයකට රටක් පත්වුණොත් එතැනින් පස්සේ රටේ ආර්ථිකය හසුරුවන්න ඒ රටේ මහ බැංකුවටවත් බැරි වෙනවා. රටේ සියලු ව්‍යාපාර කඩාගෙන වැටෙනවා. රුපියලේ අගය අන්තයටම වැටෙනවා. ඒ නිසා අපි මුලින්ම කරන්න ඕනෙ ආර්ථික වර්ධන වේගය උස්සන්න ඕනෙ, අනෙත් එක උද්ධමනය පාලනය කරන්න ඕනෙ. 1950 ගණන්වලදී විතරයි අපේ රටේ වියදමට වැඩිය ආදායම වැඩිවෙලා තියෙන්නේ. ඒ කාලෙ විදේශ විනිමය ඉපැයීමත්, වියදමට වඩා වැඩිවෙලා තියෙනවා. ඒ කාලෙන් පස්සේ දිගමට තිබිලා තියෙන්නෙ ලොකු අයවැය පරතරයක්.
ආර්ථික වශයෙන් ගත්තාම රජය කියලා කියන්නේ එක කොටසක් විතරයි. රජයේ ක්‍රියාකාරීත්වය 20%-30%ත් අතර. පෞද්ගලික අංශය තමයි 70%ක් විතර ක්‍රියාකාරී වෙන්නේ. රජයේ අයවැය හිඟය දීර්ඝ කාලයක් තිස්සේ ඍණ අගයක පැවැතීම තමයි මුළු රටේම විදේශ විනිමය ඉපයීම සහ වියදම අතර හිඟයක් නිර්මාණය වීමට මූලික කරුණ විදියට අපි දකින්නේ ආර්ථික විද්‍යානුකූලව. මේක න්‍යායාත්මකවත් තහවුරු කරන ලද තත්ත්වයක්. ඕනෑම රටක මේ වගේ අයවැය හිඟයක් දීර්ඝ කාලයක් තිස්සේ පවතිනවා නම්, ඒ රටේ විදේශ විනිමය සම්බන්ධයෙන් දීර්ඝ කාලීන හිඟයක් පවතිනවා. අපේ රටෙත් ඒක පැහැදිලිවම පේනවා. කොහොමද මේක රටේ විදේශ විනිමය හිඟයක් බවට පත්වෙන්නේ? රජයේ වියදම් වැඩියි කියලා කියලා කියන්නේ ඒ රජයට විශාල වශයෙන් ණය ගන්න සිද්ධ වෙනවා දේශීය හෝ විදේශීය වශයෙන්. දේශීයව ණය ගැනීමේදී පොලී අනුපාතය වැඩියි. අනිත් එක තමයි පුද්ගලික අංශයට තියෙන සම්පත් තමයි රජය ණයට ගන්නේ. එතකොට පුද්ගලික අංශයට පාවිච්චි කරන්න තියෙන ඉතුරුම් රජය ණයට ගත්තාම ඒ අයට ඒවා ආයෝජනය කරන්න වෙන්නෙ නෑ. එතකොට පොලී අනුපාතය වැඩිවෙනවා. ඒ වැඩිවෙන පොලිය ගෙවන්න රජයට තවත් වැඩිපුර ණය ගන්න සිදුවෙනවා. එතකොට ආයෙත් අයවැය හිඟය වැඩිවීමට ඒකම බලපානවා.
අනෙක් පැත්තෙන් ආනයනය සඳහා රටේ තියෙන ඉල්ලුම වැඩිවීමට, රජයේ ආදායමට වඩා වැඩිපුර වියදම් කිරීම හේතුවක් වෙනවා. උදාහරණයක් විදියට රජය විශාල ව්‍යාපෘති කරන කොට, ආනයනත් වැඩි කරන්න වෙනවා. එතකොට ආනයන වියදම වැඩි වෙනවා. ඒකෙන් තමයි විදේශ විනිමය හිඟය ඇතිවෙන්නේ. එහෙම හිඟයක් ඇති වුණාම ඒක පියවන්න රටක් විදියට ආයෝජන හෝ ණය ලැබෙන්න ඕනෙ. ආයෝජන ලැබෙනවා නම් ඒක ප්‍රශ්නයක් නෑ. මොකද ආයෝජන රටේ නතර වෙන නිසා. නමුත් ණය ලබාගැනීමේදී වෙන්නේ ඒ හරහා රටේ ණය බර තවත් වැඩිවෙන එක. ඒ වගේම තමයි ආනයනය වැඩි වෙනකොට රුපියලේ අගය පහත ගිහින් ඩොලර් එකේ වටිනාකම ඉහළ යනවා. රුපියල පහත වැටුණාම උද්ධමනය ඉහළ යනවා. ඒ හරහා රජයේ ව්‍යාපෘතිවලට යන වියදම ආයෙත් වැඩි වෙනවා. මේක තමයි අපි තේරුම් ගන්න ඕනෙ. මේක චක්‍රයක් වගේ. මේක විසඳන්න තියෙන එකම දේ තමයි මේ චක්‍රය කොහෙන් හරි කඩන්න ඕනෙ. කඩලා ස්ථාවර කරන්න ඕනෙ.
සහනාධාර දෙන්න, අධ්‍යාපනයට, සෞඛ්‍යයට වගේ දේවල්වලට වියදම් කිරීම රජයේ වගකීමක්. නමුත් ඒ වියදම්වලට සාපේක්ෂව රජයට ආදායමකුත් තියෙන්න ඕනෙ. එහෙම නැති වුණාම තමයි අධ්‍යාපනයට වැඩිපුර ඉල්ලනවා, නමුත් දෙන්න විදියක් නෑ කියන්නේ. පාරවල් හදන්න ඉල්ලනවා නමුත් දෙන්න විදියක් නෑ. මොකද ආදායමක් නෑ. ඒ විදියේ ප්‍රෙෂර් එකක් ඔබතුමාලගෙන් එනකොට භාණ්ඩාගාරය කරන්නේ තව ටිකක් වැඩිපුර ණය ගන්න එක. පාර්ලිමේන්තුවෙන් ඉල්ලනවා අපේ ණය සීමාව වැඩි කරන්න කියලා. එතකොට ණය බර තවත් වැඩි වෙනවා. ඒ විදියට හිඟයක් වාර්ෂිකව පවත්වාගෙන ගියාම ණය එකතු වෙලා එකතු වෙලා දරාගන්න බැරි තත්ත්වයකට එනවා. දළ දේශීය නිෂ්පාදිතය කියන දර්ශකයෙන් තමයි මේ ණය බර මනින්න පුළුවන්. 1980 ගණන්වලදී 108% දක්වා ඒක වැඩිවෙලා තියෙනවා. 2001 දී 105%ට ගිහින් තියෙනවා. නමුත් මේ වෙද්දී 99% තියෙන්නේ. ඒ අනුව සාපේක්ෂව බැලුවාම දැන් ණය අර්බුදයක් තියෙන්න විදියක් නෑ. මොකද ඉතිහාසයේ වැඩිම ප්‍රතිශතය තියෙන්නේ දැන් නෙවෙයි. නමුත් මේ ණයවල වෙනසක් තියෙනවා. ඒ කාලෙ ගත්තු ණය සහ දැන් ගන්න ණය අතර. 1980 සහ 1990 කාලයේ ලබාගෙන තියෙන්නේ සහනදායී ණය කියන ඒවා. මූල්‍ය අරමුදල, ආසියානු සංවර්ධන බැංකුව, ලෝක බැංකුව වගේ ආයතනවලින්. ඒවා 0.2%, 0% පොලියට ගත්තු ණය නිසා ලොකු බරක් දැනුණේ නෑ. ඒ කාලෙ ණය ප්‍රතිශතයක් වශයෙන් වැඩි වුණත්, ණය අර්බුදයක් කරා ගිහින් තිබුණෙ නෑ. නමුත් මේ වෙද්දී අපි ඉන්නේ ණය අර්බුදයක.
රජය වශයෙන් එහෙම ණය ගත්තාම එම ණය වියදම් කරනකොට ඒ හරහා රටේ විදේශ විනිමය ඉපැයීම වැඩිවෙන ආකාරයට ඒවා වියදම් කළ යුතුයි. ඒ හරහා එම ණය ගෙවීමේ හැකියාව වැඩි වෙනවා. එතකොට ණය අර්බුදයක් එන්නෙ නෑ. 1980 ගණන්වල අපේ රට විශාල වශයෙන් ණය ගත්තේ මහවැලි ව්‍යාපාරය නිසා. ඒකෙදි විදේශ විනිමය ඉපැයීම පැත්තෙන් කරුණු දෙකක් සිදුවුණා. එකක් කෘෂිකර්මාන්තය හා ආහාර නිෂ්පාදනය වැඩි වුණා. ඒ හරහා රටට යම් කිසි සහනයක් ලැබුණා. අනෙක් කරුණ විදුලි බලාගාර ඉදිකිරීම නිසා විදුලි බලය රටට ලැබුණා. අදත් රටේ විදුලි බලයෙන් 60%ක් පමණ ලැබෙන්නේ ජල විදුලි බලාගාරවලින්. එදා කරපු ඒ ආයෝජනය නිසා අදටත් අවුරුද්දකට බිලියන 2 බැගින් රටට ඉතිරි වෙලා තියෙනවා.
පසුගිය කාලෙ වාණිජ ණය අරගෙන ඒවා වියදම් කරපු හැටි අපි බැලුවොත්, වැඩිපුර වියදම් කරලා තියෙන්නේ රජයේ සේවකයන්ගෙ පඩිනඩි ගෙවීමට, විශ්‍රාම වැටුප් ගෙවීමට, පොහොර සහනාධාර දීමට, පෙට්‍රල් සහනාධාර දීමට, එලෙස සහනාධාර දීමෙන් පාඩු ලබන ආයතනවලට මුදල් දීමට වගේ දෙවල් සඳහා. ඒ වගේ දේවලට විදේශ ණය අරගෙන වියදම් කළාම ඒ හරහා කිසිම විදේශ විනියම ඉපැයීමක් සිදුවෙන්නෙ නෑ. ඒ දේ තමයි ඉතිහාසයේ ඉඳලම අපේ රටට වෙලා තියෙන අර්බුදය. ණය ගන්නවා, ණය ගෙවනවා මේක තමයි දිගටම සිදුවෙලා තියෙන්නේ. ණය ගෙවන්න රටේ ආදායම වැඩි වෙන්නෙ නෑ, ඒ නිසා ආයෙත් ණයක් අරගෙන කලින් ණය ගෙවනවා. නමුත් අපේ උද්ධමනය සාමාන්‍ය ආකාරයට පාලනය කරගෙන ආපු නිසා අපට ණය දෙන්න සූදානමින් ඉන්නවා විදෙස් රටවල්. ඒ ණය දීපු හැම අවස්ථාවකම අපි ණය ගත්තා.
හැබැයි එක අවස්ථාවක ඒ අය ණය දීම නවත්වපු හැටියෙම අපි බංකොලොත්. එතකොට අපිට කලින් ගත්තු ණය ගෙවාගන්නත් බැරි වුණා. ඒ විදියට ණය ගැනීමේ හැකියාව නැවතුණු තැනදී රජයත්, රටත් බංකොලොත් වෙනවා.
හැබැයි වාසනාවකට හෝ අවාසනාවකට මීට පෙර කවදාවත් අපි ණය අර්බුදයකට ගිහින් නැහැ. ඊට කලින් අයි.එම්.එෆ්. එකට ගිහින් සල්ලි ටිකක් අරගෙන මේකෙන් ගොඩවෙලා ඉඳලා තියෙනවා. හොඳම උදාහරණය තමයි 2016-2017 අයි.එම්.එෆ්. එකට ගිහින් රටේ බදු වැඩි කරලා, ආදායම් වැඩිකරගෙන ආපු එක. ඊට පස්සේ 2019 ආණ්ඩුව මාරු වුණා විතරයි මේක අනිත් පැත්ත ගැහුවා. ආදායම් නැති කරගත්තා. ආපහු පස්සට ගියා. ඒ නිසා අපි මේක දැන්වත් හැදුවෙ නැත්නම් අපට ආයෙ ආයෙත් අයි.එම්.එෆ්. එකට යන්න වේවි. මේ පාර අයි.එම්.එෆ්. එකට ගිහින් සල්ලි ටිකක් අරගෙන ගොඩ එන්න පුළුවන්. එහෙම ගොඩ ගියා කියලා, අපි මේ කරගෙන යන වැඩපිළිවෙළ ආයෙත් අනිත් පැත්ත ගැහුවොත් එහෙම නැවතත් අවුරුදු තුනකින් පස්සේ අපි හිටපු තැනටම එනවා. ඒ නිසා තමයි මේක තේරුම් ගැනීම වැදගත් වෙන්නේ. රටක් විදියට නිවැරැදිව ක්‍රියාත්මක කරන්න තියෙන ප්‍රතිපත්ති මාලාවක්. රජය මොකක් වුණත් නිවැරැදි ප්‍රතිපත්තියක් නම් ඒක ක්‍රියාත්මක කරගෙන යෑමේ සම්පූර්ණ වගකීම තියෙන්නෙ ජනතා නියෝජිතයන් වෙච්ච ඔබතුමාලා අතේ. නමුත් සිද්ධවෙන්නේ ඒක නෙවෙයි. ඔබතුමාලා ජනතාව ළඟට ගිහින් කියන්නේ, ගිය ආණ්ඩුව කරපු දේවල් වැරැදියි, අපි බදු අඩු කරන්නම්, තව සහනාධාර දෙන්නම්, පෙට්‍රල් ඩීසල් ටික අඩුවට දෙන්නම් කියලා පොරොන්දු වෙනවා. ඊට පස්සේ ජනතාව ඔබතුමාලාව පත්කර ගන්නවා. ඒක ඔබතුමාලගෙ වැරැද්දක් කියලා නෙවෙයි මම දකින්නේ. ජනතාව නොදැනුවත්ව එහෙම කළාම ඔවුන් අමාරුවෙ වැටෙන බව ජනතාවට තේරෙන්නෙ නෑ.
සංස්ථාවල තත්ත්වය මම කෙටියෙන් පෙන්වන්නම්. පහුගිය කාලෙ රාජ්‍ය සංස්ථාවල පාඩුව ටි්‍රලියනයක්. කවුද මේවා ගෙවන්නේ? කංචන ඇමැතිතුමා හොඳට දන්නව මේක ගැන. එතුමත් සෑහෙන උත්සාහයක් ගන්නවා මේක හදන්න. නමුත් ආයෙත් මැතිවරණයක් ආපු ගමන් ඔබතුමාලම ගිහිල්ලා කියනවා සංස්ථාවෙ ප්‍රශ්නයක් නෑ, අපි ආවම පෙට්‍රල් මිල අඩු කරන්නම්, ලාම්පු තෙල් අඩුවට දෙන්නම් කියලා. එතකොට ඡන්ද ලැබෙයි. නමුත් ඔබතුමාලා ගිහින් කියන්න ඕනෙ ඒක නෙවෙයි. එහෙම අඩුවට දෙන්න බෑ. දුන්නොත් ඔබතුමාලටම තමයි ඒවා ගෙවන්න වෙන්නේ.
අපි බලමු මේ තරම් ලොකු ණය අර්බුදයකට රට පත්වුණේ කියලා පහුගිය අවුරුදු දෙක ඇතුළත. පළමු හේතුව තමයි 2019 බදු කපාහැරීම. දෙවැන්න තමයි අයවැය හිඟය සහ ඒ අයවැය හිඟය කොහොමද විදෙස් ණයවලින් මූල්‍යනය කළේ කියන එක. 2020 තිබුණු ණය ගෙවලා මිසක් අලුතෙන් සතයක් වත් ණය දීලා නෑ. 2021 අයවැය හිඟය විශාල ලෙස වැඩි වෙලා. ඒක මූල්‍යනය කරලා තියෙන්නේ දේශීයව. දේශීය වෙළෙඳපොළේ එච්චර මුදල් නෑ. මොකද, ඒ වෙලාවෙ රජය මුදල් අච්චු ගහලා දෙන්න තීරණය කළා. ඒ විදියට තමයි මේ 2020-2021 ගිහිල්ලා තියෙන්නේ. මේ වගේ දෙයක් තාවකාලිකව කරන්න පුළුවන් කොවිඩ් කාලෙ. ලෝකෙ බොහෝ රටවල මහ බැංකු කෙටිකාලයක් සඳහා මුදල් අච්චුගහලා ඒ මූල්‍ය අර්බුදය සමනය කරගත්තා. නමුත් නැවත හරිගියාට පස්සේ ඒක අනිත් පැත්ත හරවන්න ඕනෙ. නමුත් අපි ඒ මුදල් අච්චු ගැසීම 2021ත් කළා. ඒකෙ ප්‍රතිඵලයක් විදියට තමයි අද 60%ට 70%ට උද්ධමනය වැඩිවෙලා තියෙන්නේ. උද්ධමනයෙ ප්‍රතිඵල එන්නේ කාලයක් ගිහිල්ලා. අපි ඒකෙ භයානකකම දැක්කා. අපි අනතුරු ඇඟෙව්වා ඒ ගැන. නමුත් කවුරුවත් ඒවා ගණන් ගත්තෙ නෑ.
අනෙත් කරුණ තමයි අපි රුපියල් අච්චු ගහලා විදේශ ණය ගෙවනවා තියෙන සංචිත ටිකෙන්. සංචිත ඉවර වුණාට පස්සේ කොහොමද ගෙවන්නේ? අලුතෙන් ණය දෙන්නෙත් නෑ. මම වැඩ භාරගන්නකොට අප්‍රේල් මාසෙ පාවිච්චි කරන්න පුළුවන් සංචිත මිලියන 20යි තිබුණේ. ඊට කලින් මහජන බැංකුව, ලංකා බැංකුව ඒගොල්ලන්ගෙ එල්.සී. පැහැරහැරලා තිබුණේ. කංචන ඇමැතිතුමා දන්නවා, තෙල් ගේන්න අපේ සංචිත නැති වෙනකොට ලංකා බැංකුවටයි, මහජන බැංකුවටයි මහ බැංකුවෙන් කියලා කියනවා එල්.සී. ඕපන් කරලා දෙන්න කියලා. එල්.සී. එක ඕපන් කරන්න කියනවා, හැබැයි ඒගොල්ලන්ටත් සල්ලි නෑ, අපටත් සල්ලි නෑ.
මම අප්‍රේල් 08 වැනිදා භාරගන්නකොට අතේ තියෙන්නේ ඩොලර් මිලියන 20 ගානයි. ඊළඟ 18 වැනිදා ඩොලර් බිලියන 200ක් ගෙවන්න තියෙනවා ණය වාරිකය බැංකු දෙකකට. ඊළඟ මාස 12 ඇතුළත බිලියන 12ක් ගෙවන්න තියෙනවා. නමුත් මිලියන 20යි අතේ තියෙන්නේ. ඊට මාස හයකට කලින් ‘සික්ස් මන්ත් රෝඩ් මැප්’ කියලා එකක් නිවේදනය කළා මට කලින් හිටපු අධිපතිතුමා. එතුමා කිව්වා බිලියන 10ක් එනවා කියලා ඊළඟ මාස හයට. අප්‍රේල් මාසෙ මම එනකොට ඒක 0 වෙලා තිබුණේ. සතයක්වත් ඇවිල්ලත් නැහැ, තියෙන සංචිත ටිකත් බින්දුවට ගිහිල්ලා. ඒ අනුව තමයි අපි අලුත් මුදල් ලේකම්තුමා එක්කත් කතා කරලා, කැබිනට් එකේ අනුමැතිය අරගෙන මෙතැනින් එහාට ණය ගෙවන්න ක්‍රමයක් නෑ කියලා. ගෙවන්න පුළුවන් වුණත් ගෙවන්න බැහැ. මොකද සල්ලි නෑ ගෙවන්න. ඒ අනුව ණය දීපු අයට අපි කතා කරලා කිව්වා මේ වෙලාවෙ ණය ගෙවන්න අපට හැකියාවක් නෑ කියලා. රේටිං ඒජන්සි මේ තත්ත්වය පුරෝකථනය කරලා අපිව පල්ලෙහාටම දැම්මා.
ඊට අමතරව ආර්ථික වර්ධනයට සහ ආහාර හිඟයට එක හේතුවක් තමයි පොහොර සහනාධාරය එකපාරම නැවැත්වීම. විදේශ විනිමය අර්බුදයට වඩා ඒක දේශීයව බලපාපු දෙයක්. කොවිඩ් කාලෙ ලෝකෙ හැම රටකටම වගේ අයි.එම්.එෆ්. එකෙන් කිසිම කොන්දේසියක් නැතුව ඩොලර් බිලියන 800ක වගේ මුදලක් දෙන්න සූදානම් වුණා. 2020 මාර්තු මාසෙ විතර අපි ගිහින් මේක ඉල්ලුවාම ඒගොල්ලො අපේ ණය ‘අන්සස්ටේනබල්’ කියලා ලේබල් කරලා ඉවරයි. ඒගොල්ලො කිව්වා ණය ගන්න ඕනෙ නම් මුලින්ම ඕගොල්ලන්ගෙ ණය ප්‍රතිව්‍යුහගත කරන්න කියලා. ඒ අනුව රජය කිව්වා අපට ඕගොල්ලන්ගෙ ණය ඕනෙ නෑ අපේ ‘හෝම් ග්‍රොව්න්’ මොඩ්ල් එකක් තියෙනවා ඒකෙන් අපිට ගොඩ එන්න පුළුවන් කියලා. හැබැයි ඒ අතරත් අපිට අපේ ණය ප්‍රතිව්‍යුහගත කරන්න කල් දෙන්න කියලා චීනයෙන්, ඉන්දියාවෙන් ඉල්ලුවා. නමුත් ඒගොල්ලො එහෙම කරන්න නම් ඒ සඳහා ස්වාධීනව අනුමත කරපු වැඩපිළිවෙළක් ඉදිරිපත් කරන්න ඕනෙ. ඉතින් ඒ නිසා අපට ඒකත් නැති වුණා. ඒ අතර අපි වෙන වෙන කෙටිකාලනීය ණය අරගෙන යන්තම් 2020 ජනවාරි විතර වෙනකල් ඇදගෙන ගියා. එක පැත්තකින් රුපියල් අච්චු ගහනවා. අනිත් පැත්තෙන් ඩොලර් එක නැති කරගන්නවා. මම එන්න කලින් මාර්තු මාසෙ වෙද්දි මහ බැංකුවත් තේරුම් ගත්තා මේක තවදුරටත් කරගෙන යන්න බෑ, අපි අතේ සංචිත නෑ කියලා. ඊට පස්සේ අතහැරලා දැම්මා. අතහැරලා දැම්මට පස්සේ 203ට තිබුණු ඩොලර් එක ගියා 380ට. මේ දේවල් කරද්දී තියෙනවා යම් වැඩපිළිවෙළක්. විනිමය අනුපාතිකය කියන්නේ රටේ ප්‍රතිපත්තිවල ප්‍රතිඵලය. ඉතින් අන්තිමටම කරන්න තිබුණු දේ මුලින්ම කරපු එකේ ප්‍රතිඵලය තමයි දැන් මේ අපිට අත්දකින්න වෙලා තියෙන්නේ. 20%ට විතර තිබුණු උද්ධමනය දැන් 60% – 70%ට නැගලා. ඊට පස්සේ වෙච්ච දේවල් මට වඩා හොඳට ඔබතුමාලා දන්නවා ඇති. තෙල් පෝලිම්, ගෑස් පෝලිම් තිබුණා, දීර්ඝ විදුලි කප්පාදුවක් තිබුණා. ඒ ඔස්සේ සමාජ විප්ලවයක් ඇවිත්ත මිනිස්සු ආණ්ඩුව පෙරළලා දැම්මා. ආර්ථික අර්බුදය සහ එය කළමනාකරණය නොකිරීමේ ප්‍රතිඵලයක් තමයි එය.
දැන් අපට බිලියන 6ක් 7ක් විතර ගෙවන්න තියෙනවා ඊළඟ අවුරුදු පහේදී. ඒක කවදාවත් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මොක්කද අපි ඉස්සරහට කරන්න තියෙන්නේ? දැන් අපි ණය ගෙවන්න බෑ කිව්වා. නමුත් අපට වැඩපිළිවෙළක් තියෙනවා ඉස්සරහට යන්න. අයි.එම්.එෆ්. එකත් එක්ක සාකච්ඡා කරලා, ඒ අයට මේ රටට එන්න කියලා ඒ කටයුතු දැන් කෙරීගෙන යනවා. මගේ ලොකු විශ්වාසයක් තියෙනවා ඒ අයත් එක්ක ඉක්මනින් සම්මුතියකට එන්න පුළුවන් වේවි කියලා.

සැකසුම – චානක ලියනගේ










