මතකද දන්නේ නෑ පහුගිය කාලේ ලංකාවේ තෙල් සම්බන්ධව ලොකු ප්‍රශ්නයක් ආවා. ඉල්ලුමට සැපයුම දීගන්න බැරිව ගියා. ගොඩක් වෙලාවට ඒ වෙලාවේ අපි කතා කළේ තෙල් ප්‍රශ්නෙ විසඳගෙන අපි ගමනාගමනය සිදුකරන්නේ කොහොමද කියලා. එතකොට ආපු යෝජනාවක් තමයි පොදු ප්‍රවාහන සේවය දියුණු කළ යුතු බව. ලෝකයේ බොහෝ රටවල පොදු ප්‍රවාහන සේවය හරි දියුණුයි. ලෝකයේ දියුණු රටවල බොහෝ අය ගමන් බිමන් යන්නේ පොදු ප්‍රවාහන සේවාවල. ඒ රටවල වාහන මිල අපේ රටේ වාහනයක මිලෙන් දහයෙන් එකකටත් වඩා අඩු වුණාට, ඒ රටක ඛනිජ තෙල් ඕනේ තරම් තිබුණට ඒ මිනිස්සුන්ට තෙල් ගහන්න ඕනෙ තරම් සල්ලිත් තිබුණට ඒ අය ගමන් බිමන් යන්න යොදාගන්නේ පොදු ප්‍රවාහන සේවය. පොදු ප්‍රවාහන සේවය පාවිච්චි කිරීම නිසා ඒ රටවල මාර්ග තදබදය අඩුවුණා. මිනිස්සුන්ගේ කාලය ඉතිරි වුණා. මිනිස්සුන්ගේ මානසික තත්ත්වය හොඳ වුණා වගේම කාටත් තමන්ගේ ගමන් බිමන් පහසුවෙන් කරගන්න පුළුවන් විදියට පොදු ප්‍රවාහන සේවය ක්‍රියාත්මක වුණා. හැබැයි ලංකාවේ එහෙම වෙන්නේ නෑ. ලංකාව කියලා කියන්නේ ලෝකෙ රටවලට සාපේක්ෂව දියුණු රටක් නෙවෙයි. ලංකාවේ මාර්ග පද්ධතිය කියලා කියන්නේ ලෝකෙ තියෙන අතිශය ආසාර්ථක මාර්ග පද්ධතියක්. ඒ වගේම ලංකාවේ ඉන්නේ ඉතා අවිනීත රියැදුරන්. මාර්ග නීතිරීතිවලට අනුව ලංකාවේ මිනිස්සු කටයුතු කරන්නෙම නෑ. ඒක අපි ඕනෙ තරම් දකින දෙයක්.
මේ සියලු දේවල් එකතු වෙලා තියෙද්දිත් අපි තවමත් පොදු ප්‍රවාහන සේවාවල ගමන් බිමන් නොයා, අපි ළඟ තියෙන වාහනයකින් ගමන් බිමන් යන තත්ත්වයට පත්වෙලා තියෙනවා. ලංකාවේ මෝටර් රථ උපාංගවල මිල ඉහළ ගිහිල්ලා, ලංකාවේ මෝටර් රථ උපාංග මිලදී ගන්න බැරි තරම් මිනිස්සුන්ගේ ආර්ථික ශක්තිය කඩාගෙන වැටිලා, ලංකාවේ මිනිස්සුන්ට වාහනේක මිල දරාගන්න බැරි තැනට ඇවිල්ලා තියෙද්දී අපි තවමත් අපේ පොදු ප්‍රවාහන සේවාවල යන ගමන් බිමන් ප්‍රමාණය අඩු මට්ටමක තියාගෙන ඉන්නේ. තෙල් ප්‍රශ්නෙ ආපු කාලෙ විතරක් අපේ රටේ මිනිස්සු පොදු ප්‍රවාහන සේවා පාවිච්චි කරන්න ටිකක් හුරු වුණා. හැබැයි ඒ වෙලාවෙත් අපි උත්සාහ කළේ පොදු ප්‍රවාහන සේවා කියන විකල්පයට යනවට වඩා තමන්ට ගමනක් බිමනක් යන්න පුළුවන් විදියට අඩුම තරමින් පාපැදියක් හරි භාවිත කරන්න. ඇත්තටම ඇයි මේක මෙහෙම වෙන්නේ?
ලංකාවේ බස් රථ ගමනාගමනය කියලා කියන්නේ තනිකරම ජඩ මාෆියාවක් බවයි ලියුම්කරුට හිතෙන්නේ. ඒක ලංකා ගමනාගමන මණ්ඩලයෙ වුණත්, පෞද්ගලික බස් වුණත් කාගෙත් දකින්න ලැබෙන පොදු ලක්ෂණයක්. ලංකාවෙ බස්වල තරම් නරක රියැදුරන් වෙන කිසිම තැනක නෑ කියලයි අපට හිතෙන්නේ. ඒ අය කිසිම හේතුවක් නිසා පාරේ යන වෙන කෙනෙක් ගැන හිතන්නේ නෑ. ඒ වගේම ලංකාවේ බස්වලට සාමාන්‍ය මාර්ග නීතිරීතිවලින් 90%ක්ම අදාළ වෙන්නෙ නෑ. බොහෝ වෙලාවට බස් රථවලට පාරේ යන්න නියමිත වේගයක් නෑ. ඒගොල්ලන්ට පාරේ යන්න නියමිත ලේන් එකක් නෑ. එහෙන් දාලා මෙහෙන් දාලා ඉස්සර කරලා කිලෝමීටර් ගාන වේගයෙන් ගිහිල්ලා, ඇඟට කපලා මේ සියලු වැරැදි බස් රථ රියැදුරන් කරනවා. සාමාන්‍යයෙන් බස් එකකට ඉස්සර කරනවා කියන එක යුද්ධයක්. ඉස්සර කළොත් බස් රථයේ රියැදුරාට ඔක්කොටම වඩා තරහා යනවා. මේ වගේ ඉතා නරක අවිනීත රියැදුරන් ඉන්න රටක මාර්ග පද්ධතිය අතිශය නරක රටක පොදු ප්‍රවාහන සේවා දියුණු කරන්න බෑ කියන එක අපට තේරෙනවා. හැබැයි පොදු ප්‍රවාහන සේවා දියුණු කරන්න බැරිවෙලා තියෙන්නේ රටේ රජයෙවත්, රටේ ආණ්ඩුවේවත්, මිනිස්සුන්ගෙවත් වැරැද්දක් හින්දා නෙවෙයි, රියැදුරන්ගෙම වැරැද්ද නිසා.
ඒ වගේම අපි දන්නවා ලංකාවේ බස් රථ මාෆියාව කොච්චර නරක මට්ටමකද තියෙන්නේ කියන එක. මිල ගණන් තීරණය කරන එක, තමන්ගේ ඇඳුම පැලඳුම තීරණය කරන එක, මිනිස්සුන්ට කතා කරන එක වගේ දේවල් තියෙන්නේ හරිම පහත් තැනක. ගොඩක් වෙලාවට බස් රථයකට නැග්ගට පස්සේ බස් එකක ගාන නියමිතව සඳහන් වෙලා තිබුණත් ඒ නියමිත මුදල අරගෙන ඒකට ඉතිරි සල්ලි දෙන්න බස් රථවල රාජකාරි කරන මහත්වරුන්ට තියෙන්නේ පුදුමාකාර අකැමැත්තක්. හුඟක් වෙලාවට ඒ වෙලාවෙම ඉතුරු සල්ලි ගන්න එක නම් කරන්නම බැරි දෙයක්. ඒ වෙලාවේ ඉතුරු සල්ලි ඉල්ලුවොත් බස් එකෙන් බැහැලා යන්න කියලා තර්ජනය කරලා, බැණලා, කාර් එකක් ගන්න තැනට අපට පත්වෙන්න සිදුවෙනවා. මොකද ඒගොල්ලෝ යෝජනා කරනවා ‘කාර් එකක් අරන් පලයං ඔය නීතිරීතිවලට වැඩ කරන්න නම්’ කියලා. ඇත්තටම ඒගොල්ලෝ දන්නෙ නෑ කාර් එකක් ගන්නවට වඩා මේ විදියට පාරේ බස් එකක යන එකෙන් ඒ රටට සිදුවෙන සේවය කොච්චර විශාලද කියන එක. ඇත්තටම ඒක දැනගත්තත් ඒ මහත්වරුන්ට කිසිසේත්ම ඒක වැඩක් නෑ කියලත් අපි දන්නවා.
රුපියල් 108ක් වුණොත් ගමනේ ගාස්තුව එක්කො 110ක් දෙන්න ඕනේ, එහෙම නැත්නම් 120ක් දෙන්න ඕනේ. හැබැයි ඔය 10, 12 ඉතුරු සල්ලි ටික ගන්න මාර ෆයිට් එකක් දෙන්න ඕනේ. ඉල්ලුවොත් කුණුහරුපෙන් බැණුම් අහලා තමයි යන්න වෙන්නේ. 103ක් වුණොත් ඒකට 105ක් දෙන්න සිද්ධ වෙනවා. 198ක් නම් 200ක් දෙන්න සිද්ධ වෙනවා. මේ රුපියල දෙක කියලා කියන්නේ පොඩි ගානක් වුණාට, 10 දෙනෙක්ගෙන් රුපියල් දෙක ගානේ ගත්තම ඒක රුපියල් 20ක්. සිය දෙනෙක්ගෙන් ගත්තොත් 200ක්. අපට දරාගන්න බැරි බරපතළ ප්‍රශ්නයක් වෙන්නේ බස් ගාස්තු වැඩිවීම. බස් ගාස්තු වැඩිවීම ජූනි මාසයේදී විද්‍යාත්මකව සිදුවෙන බව තමයි අපි අහලා තියෙන්නේ. නමුත් ඊට කලිනුත් මේ මිල වැඩිවීම් නිතර දෙවේලේ සිදුවෙනවා. අපි නිකන් අන්තර්ජාලයේ හොයලා බලපුවාම මිල වැඩිවීම් කිහිපයක්ම සිදුවෙලා තියෙනවා. ප්‍රධාන වශයෙන් මිල වැඩිවීමක් කියලා අපට හඳුනාගන්න පුළුවන් එකක් තමයි 2022 ජූනි 01 වැනිදා සිදුකළ මිල වැඩිවීම. 22%කින් 22 වැනිදා බස් ගාස්තු වැඩිවීම සිදුවුණා. අවම ගාස්තුව රුපියල් 40 දක්වා ඉහළ ගිය අවස්ථාව තමයි මේක. මේක හරිම තීරණාත්මක අවස්ථාවක්. මීට කලින් 2022 මැයි මාසේ 25 වැනිදා වෙනකොටත් මේ ගාස්තු වැඩිවීම සම්බන්ධයෙන් තීරණයක් ගන්නවා ඒ බස් ගාස්තුව 19.5%කින් ඉහළ නැංවීම සම්බන්ධව. ඒ වෙලාවේ තමයි අවම ගාස්තුව රුපියල් 32ක් බවට පත්වුණේ.
මේ විදියට මිල වැඩිවීම් නිතර දෙවේලේ සිද්ධ වෙනකොට රුපියල් 32ක් දක්වා මිල වැඩිවෙන්නේ 19.5%ක ගාස්තු වැඩිවීමක් එක්ක. මේ සියල්ලම සිදුවෙන්නේ 2022 අවුරුද්දේ වීම තමයි වැදගත්ම සිදුවීම. මීට කලිනුත් මිල වැඩිවීම් කිහිපයක්ම සිදුවෙනවා. ඒ 2022 ජනවාරි මාසේ 05 වැනිදා මිල වැඩිවීම. ඒ වැඩිවීමේදී සිදුවෙන්නේ 17.44%කින් බස් ගාස්තුව ඉහළ යනවා. එදා වෙද්දී අවම බස් ගාස්තුව තියෙන්නේ රුපියල් 14ක් විදියට. මේ රුපියල් 14ක් ව තිබුණු අවම බස් ගාස්තුව රුපියල් 17 දක්වා ඉහළ යනවා. ඒ, 2022 ජනවාරි මාසේ 05 වැනිදා. දැන් 2022 ජනවාරි මාසේ 05 වැනිදා සිට 2023 ජනවාරි මාසේ 05 වැනිදා දක්වා කීප වතාවක්ම මිල වැඩිවීම් සිදුවෙනවා. ඒ මිල වැඩිවීම් එක්ක මිනිස්සුන්ට දරාගන්න බැරි තරම් ඉහළට බස් ගාස්තුව ඉහළ යනවා. අද වෙද්දී බස් ගාස්තුව යම් තරමකට අඩුවෙලා තිබුණත්, මේ අඩුවීම මිනිස්සුන්ට දැනෙනවද කියන එක සම්බන්ධයෙනුත් ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි ඩීසල් මිල තීරණාත්මකව අඩු වෙනකොටත්, ඩීසල් මිල වැඩි වෙද්දී බස් ගාස්තු ඉහළ නංවනවා තරම් ඉක්මනින් අඩු වෙනවාද කියන එක ගැන අපි බලාගෙන ඉන්නවා. ඇත්තටම එහෙම දෙයක් අපට පේන්නත් නෑ. කොහොමද එහෙම වෙන්නේ කියලත් අපට ප්‍රශ්නයක් තියෙනවා. මොකද බස් ගාස්තුව කියලා කියන්නේ නිතරම වෙනස්වන සුලු දෙයක් විය යුත්තෙත් නෑ. ඒ වගේම බස් ගාස්තුව ඉහළ දැමීමට තියෙන කලබලයම බස් ගාස්තු පහළ දාන්නත් තියෙනවා නම් මේක සාමාන්‍ය මගියාට විශාල සහනයක් වෙයි කියලා අපි විශ්වාස කරනවා. ඒ වගේම මේ මිල අඩුවීම ප්‍රමිතිගතව සිදුවෙනවා නම් තමයි වඩාත් වැදගත් වෙන්නේ.
2010 මහබැංකු වාර්තාවට අනුව ලංගම බස් 7,746ක්, ඒ වගේම පෞද්ගලික බස් 19,805ක් ශ්‍රී ලංකාවේ එහෙට මෙහෙට යනවා. 2010 මහබැංකු වාර්තාව තමයි අපට ලැබුණේ අවසන් වශයෙන්. ඒ වසරේ ලංගම ලබා ඇති ශුද්ධ අලාභය මිලියන 8.4ක්. පුද්ගලික බස් ලාභ ලබන ව්‍යාපාරයක් වෙද්දී ලංගම මෙහෙම පාඩු ලැබුවේ කොහොමද කියන එක ගැනත් ප්‍රශ්නයක් තියෙනවා.
2010 වෙද්දී අවම ගාස්තුව තිබුණේ රුපියල් 9ක් විදියට. හැබැයි මේ අවම ගාස්තුව මුලින්ම තිබිලා තියෙන්නේ ශත 3ක් විදියට කියලා තමයි අපට දැනගන්න ලැබෙන්නේ. මෙන්න මේ ශත තුනක් විදියට තිබුණු ගාස්තුව 1956දී ශත 5ක් ලෙස ලේඛනවල සඳහන් වෙලා තියෙනවා. කර්නල් වෝල්ඩෝ සන්සෝනි කොමිසමේ නිර්දේශ අනුව තමයි ශත 3, ශත 5 බවට පත්වෙලා තියෙන්නේ. ඉතිහාසයේ වැඩිම මිල ඉහළ යෑම විදියට සඳහන් වෙලා තියෙන්නේ 1975දී සිදුවුණු බස් ගාස්තු සංශෝධනය. එහිදී පළමු ගමන් අවස්ථාව සඳහා ශත 15ක් ලෙසත්, ඉන් පස්සේ සෙක්ෂන් විදියට ශත 25, ශත 30 විදියට ගාස්තු ඉහළ ගියා කියලා සඳහන් වෙනවා. ඉන් වසර ගණනාවකට පස්සේ 1991 අංක 37 දරන ජාතික ගමනාගමන කොමිෂන් සභා පනත ක්‍රියාත්මක වෙන්න පටන් අරගන්නවා. මේත් එක්කම මුල් සෙක්ෂන් එකට අයකිරීම රුපියල් 2කටත්, ඉන් පස්සේ වැඩිවීම් සඳහන් වෙලා තියෙනවා. මේ අතරතුරේ විශේෂ ක්‍රමවේද ඇවිල්ලා බස් ගාස්තු ඉහළ යෑම සඳහා විවිධ ක්‍රමවේද නිර්මාණය වෙලා අද වෙද්දී බස් ගාස්තුව ක්‍රමයෙන් ඉහළ යන තැනට පත්වෙලා තියෙනවා. මේ ජූලි මාසෙත් බස් ගාස්තුව ක්‍රමිකව වැඩිවීම සඳහා නිශ්චිතව ඒ අය හදාගත්ත ක්‍රමවේදයක් තියෙනවා. ඒ නිසා අපි බලාගෙන ඉමු කොහොමත් තට්ටු වෙන්නේ අපේ පාත්තරේට හින්දා, කොහෙන් වැඩි වුණත්, කාට වැඩිවුණත් ඒක ගෙවන්න වෙන්නේ මහජනතාවට. ඩීසල් මිල වැඩිවුණාම, ඩීසල් මිල තමන්ගෙ වාහනේට තෙල් ගහන අතරතුරේ බස් එකට තෙල් ගහන්නත් මුදල් වියදම් කරන්න ඕනේ අපි. ඒ නිසා බස් ගාස්තුව ප්‍රමිතිගත කරලා, ඒ සම්බන්ධව නිවැරැදි ක්‍රමවේදයක් දාලා, විනයගරුක රියැදුරන් දාලා, මහාමාර්ගවල තියෙන අනතුරු අඩුකරන්න වැඩ කරලා, බස්වලටත් මහපොළොවේ තියෙන සාමාන්‍ය නීතිරීති ටික පනවලා විනයගරුක ගුණයහපත් බස් සේවයක් හැදුවොත් එහෙම ලංකාවේ තියෙන ප්‍රශ්නවලින් 50%ක් වත් විසඳෙයි කියන එකයි අපේ විශ්වාසය.

ජීවන පහන් තිළිණ










