එකෝමත් එක රටක ඉන්නවා ගිරව් දෙන්නෙක්. ඒ දෙන්නා ඉන්නේ එකම කූඩුවේ. මේ කූඩුවට එක දවසක් හමා එන මහා සුළි සුළඟින් සිද්ධ වෙන හානියත් එක්ක ගිරා පැටව් දෙන්නා දෙපැත්තට වීසි වෙනවා. එක්කෙනෙක් වැටෙන්නේ සොර මුලක් ඉන්න තැනකට. තව කෙනෙක් වැටෙන්නේ තාපසාරාමයකට. මේක අපි අහලා තියෙන කතාවක්. මේ කතාව වගේ නෙවෙයි මේක ඊට වඩා වෙනස් කතාවක්. හැබැයි ඒ කතාවෙයි, මේ කතාවෙයි යම් සමානකමක් තියෙනවා. ඒ කතාවේදී එක්කෙනෙක් වැටෙන්නේ නරක තැනකට. එක්කෙනක් වැටෙන්නේ හොඳ තැනකට. මේ විදියට දෙගොල්ලොම වැටෙන්නේ ඉතා සුවිශේෂ වූ තැන් දෙකකට. හැබැයි මේ යාළුවො දෙන්නෙක්ගේ කතාවක්. මේ යාළුවො දෙන්නා එකට හැදිලා, එකට ජීවත් වෙලා, එකට කාලා බීලා, එකට විනෝදෙන් හිටපු දෙන්නෙක්. එකට විනෝදෙන් හිටපු යාළුවෝ දෙන්නෙක් බොහෝ වෙලාවට හිතන්නේ එක විදියට. යන්නේ සමාන ගමනක්.
ඒත් මේ කතන්දරය ඊට වඩා වෙනස්. මේක පින්තූර කතාවක් කියලා වෙලාවකට මට හිතෙනවා. මොකද මේ කතාවේ රසවත්ම තැන සුන්දරම තැන තියෙන්නේ මට නම් මේ පින්තූරවල. මේ පින්තූර දිහා බැලුවට පස්සේ හරිම අපූරු දේවල් ටිකක් පේන්න තියෙනවා. මේ දෙන්නම බොහෝ වෙලාවට එක හා සමාන ඉරියව්වලින් එක විදියට පින්තූරවලට පෙනී ඉඳලා තියෙනවා. එක්කෙනෙක් හමුදා නිලධාරියෙක්. එක්කෙනෙක් භික්ෂුන්වහන්සේ නමක්. මේ හමුදා නිලධාරියත්, මේ භික්ෂුන්වහන්සේත් එකම ගමේ එකට හිටපු එකම එක යාළුවෝ දෙන්නෙක්. යාළුවෝ දෙන්නා කාලයත් එක්ක ලෝකෙ සාමාන්‍ය ජන ජීවිතයට මිශ්‍ර වෙනවා. පාසලේ අධ්‍යාපනය ඉවර කරලා දෙන්නා තමන්ට ගැළපෙන පාරවල් දෙකක් තෝරගන්නවා ජීවිතේ ඉස්සරහට යන්න. එහෙම තමයි අපි හැමෝගෙම ජීවිත ගතවෙලා යන්නේ. සමහර වෙලාවට අපි හිතුවෙවත් නැති විදියකට අලුත් පාරකට අපි වැටෙනකොට සමහරුන් ජීවිතවල ඉලක්කගත පාරක යන්න පටන් ගන්නවා. මේ දෙන්නගෙන් එක්කෙනෙක් හමුදාවට යන්න තීරණය කරනවා. අනෙක් එක්කෙනා ශාසනයට යන්න තීරණය කරනවා. එක්කෙනෙක් රට රකින්න යන්න තීරණය කරනවා. එක්කෙනෙක් ආගම රකින්න යන්න තීරණය කරනවා. රට ජාතිය ආගම කියන තුන තමයි ඉතා වැදගත් කියලා අපි අහලා තියෙනවා වුණාට මෙහෙම දෙයක් අපි මීට කලින් දැකලා නෑ. යාළුවා හමුදාවට යන්න පිටත් වෙන දවසේ ‘ගිහින් වරෙන් මචං’ කියන අනිත් යාළුවා ඔහු හමුදාවේ ඉඳන් ආපහු ගෙදර එන දවසේ ‘තෙරුවන් සරණයි’ කියලා ආදරෙන් පිළිගන්න පුළුවන් විදියේ භික්ෂුන්වහන්සේ නමක් බවට පත්වෙනවා. මේ පින්තූර දෙකේ තියෙන්නේ අන්න ඒ කතාව. එක පැත්තකින් හමුදා නිලධාරියෙක් වෙච්ච යාළුවා තමන්ගෙ ජීවිතේ ඉස්සරහට යනවා. අනෙක් පැත්තෙන් භික්ෂුන්වහන්සේ නමක් වෙච්ච අනෙක් යාළුවා තමන්ගේ ජීවිතේ ඉස්සරහට යනවා. රට ජාතිය ආගම මුල්කොට ගත්තු මිනිස්සු හැමදාම මේ රට ආරක්ෂා කළා. මේ රට රැක්කා. එක කාලෙක භික්ෂුන්වහන්සේලාට පැවරිලා තිබුණු රාජකාරියක් වුණේ මේ රට රැකගැනීම. තවත් කාලෙක හමුදාවට පැවරිලා තිබුණු රාජකාරියක් වුණේ මේ රට ආරක්ෂා කිරීම. මේ දෙගොල්ලොම දෙවිදියකට මේක අඩු නැතුව සිද්ධ කළා කියන එක නම් අපිට විශ්වාසයි. සමහර භික්ෂුන්වහන්සේලා මේ රටට කරලා තියෙන මෙහෙය අපරිමිතයි. ඒකට සමහර කියන වචනය යොදන්න වුණාට සමාවෙන්න. මොකද හේතුව, ඇතැම් වෙලාවට ඇතැම් තැන්වලදී ඇතැම් අවුල් ඇතිකරලා තියෙන්නෙත් අපේ රටේ භික්ෂුන්වහන්සේලාම නිසා. හමුදා නිලධාරීනුත් මේ රට රැකගත්තා. යුද්ධය වෙලාවේ ඒ අය තමයි පෙරමුණට ගියේ. කවදා කොහොම කියෙව්වත් ඒ අය නොහිටියා නම් මේ රට අද මෙතැන නොතියෙන්න තිබුණා. ඒ නිසා අපි හැම වෙලාවකම හමුදා නිලධාරීන්ටත් අපේ ගෞරවය පුද කරනවා. හැමෝටම නෙවෙයි. හැබැයි වැඩි ප්‍රතිශතයක් නිලධාරීන්ට ඒ ගෞරවය ඒ විදියටම හිමියි.
ඉතින් කොහොම නමුත් මේ කතාවට මේ දෙන්නම අයිතියි. කවදා කොහේ කොහොම හිටියත් ජීවිතේ තමන්ට ගැළපෙන පාර තෝරගත්තා වගේ අර ගිරා පැටව් දෙන්නගේ කතාවේ වගේ දෙන්නා අද ඉන්නේ දෙපැත්තක. හැබැයි දෙන්නා දෙපැත්තක හිටියට දෙන්නා දෙවිදියක වුණාට ඒ දෙන්නගේ යාළුකම නම් හැමදාමත් ඒ විදියටම ආරක්ෂා වෙලා තියෙනවා කියලයි මේ කතන්දරය දකිද්දී අපට හිතුණේ.

ජීවන පහන් තිළිණ










