කුමාර වෙල්ගම කියන්නේ කවදත් කෙළින් කතා කරපු ආන්දෝලනාත්මක දේශපාලන චරිතයක්. වෙල්ගම තමන්ට කොච්චර අවාසි වුණත් කවදාවත් දේශපාලන ජීවිතයේ බොරු කියන්න ගියේ නෑ. බය නැතුව කෙළින් ඇත්ත කතා කළා. ඒ නිසා ‘කළුගංතොට සිංහයා’ කියල තමයි වෙල්ගමට කවුරුත් ආදරයට කතා කරන්නෙ.
පසුගිය කාලෙ වෙල්ගම ගැන විවිධ කතා කියවුණා. වෙල්ගම ඔරිජිනල් ශ්‍රී ලංකාකාරයෙක් වුණත් මහින්ද පැරැදිලා ශ්රීලනිපය එජාපයත් එක්ක ජාතික ආණ්ඩු හදන්න තීන්දු ගනිද්දි වෙල්ගම විතරක් කොන්ද කෙළින් තියාගෙන මධ්‍යම කාරක සභාවෙදි කිව්ව “මම මේ වැඬේට විරුද්ධයි” කියල. ඒ හින්ද මම විපක්ෂයෙ වාඩිවෙනව කියලත් එදා වෙල්ගම කිව්ව. කිව්ව වගේම වෙල්ගම මහින්දත් එක්ක ගිහින් විපක්ෂයෙ වාඩි වුණා.
හැබැයි මහින්ද පොහොට්ටුව හදද්දි හැමෝම පොහොට්ටුවට ගියත් වෙල්ගම පොහොට්ටුවට ගියේ නෑ. වෙල්ගම ශ්‍රී ලංකා එකත් එක්ක හිටිය. ඒ වෙලාවෙ වෙල්ගම කිව්වෙ මට ශ්‍රී ලංකා එක දාල වෙන පක්ෂවලට යන්න බෑ කියලයි. ඒ වගේම පොහොට්ටුව ගෝඨාභයට ජනාධිපති අපේක්ෂකත්වය දෙන්න තීන්දු කරද්දි වෙල්ගම කෙළින්ම කිව්ව මම ඒකට විරුද්ධයි කියල. මිලිටරිකාරයෙක්ට මට සහාය දෙන්න බෑ කියල කිව්ව. මට රෑ නිදහසේ නිදාගන්න ඕනෙ කියල කිව්ව. මේව කිව්ව කියල සුදු වෑන්වලින් මාවත් උස්සගෙන යයි කියලත් කිව්ව.
කොහොම වුණත් වෙල්ගම ගෝඨාගෙ කැම්පේන් එකෙන් අයින් වෙලයි හිටියෙ. ඒ වගේම වෙල්ගම සජිත්ගෙ හංසයට සහාය දෙන්න සූදානම් වුණෙත් නෑ.
අදටත් වෙල්ගම කියන්නෙ ශ්‍රී ලංකා එකත් එක්ක ඉන්නෙ දාහයිද, දෙදාහයිද ඒ අයත් එක්ක පක්ෂය කෙළින් කරවන්න තමන් සූදානම් කියල. මේ පසුබිම මැද්දෙ පසුගිය සතියෙ වෙල්ගම ගැන අලුත් තොරතුරක් වාර්තා වුණා. ඒ තමයි වෙල්ගමගෙ කළුතර තියෙන ගෙදරට හොරු පැන්න කියල. හැබැයි ගෙදර කිසිම වටිනා කියන බඩුවක් නැතිවෙලා නම් තිබුණෙ නෑ. ඒ නිසා වෙල්ගම කියන්නෙ පසුගිය දවස්වල තමන් කියපු කතා හින්ද තමන්ගෙ ජීවිතයට හානියක් කරන්න කවුරු හරි උත්සාහ කළා වෙන්න පුළුවන් කියලයි. මේ ගැන පසුගිය සතියෙ අපි වෙල්ගමගෙන් කළින්ම කතා කරල ඇහුව. මේ, අපිට වෙල්ගම දුන්න උත්තරේ.
ඇත්තටම පසුගිය දවස්වල මම හිටියේ නුවරඑළියේ, මොකද ගමේ පාක්ෂිකයෝ ඉල්ලීම් කරනවා පොහොට්ටුවට සම්බන්ධවෙලා නැවතත් වැඩ කරන්න කියලා. නමුත් මම ඒක කරන්නේ නැහැ. මොකද මහින්ද රාජපක්ෂ මහත්තයා ගාවින් එළියට බැස්සේ, මම පොහොට්ටුවේ සාමාජිකයෙක් නෙවෙයි. මම පොහොට්ටුවේ සාමාජිකත්වය අරගෙන නැහැ. මගේ අඛණ්ඩ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකත්වය අවුරුදු 38යි. මම ඒක නැති කරගන්න කැමැති නැහැ.
විවිධ හේතුන් මත, එකක් පවුල්වාදය, එකක් දාලා තියෙන අපේක්ෂකයාට මම කැමති නැහැ. මොකද මම ප්රජාතන්ත්රවාදී කෙනෙක්. ප්රජාතන්ත්රවාදය ආරක්ෂා නොකරන කෙනෙක් එක්ක යන්න මම කැමති නැහැ. මේ වගේ විවිධ හේතුන් මම මාධ්‍ය තුළින් කියලා තියෙනවා. මේ රටේ ජනතාව දන්නවා මම කිව්ව සියලු දේම.
හිට්ලර් පාලනය මේ වගේ මම ගොඩක් දේවල් කියලා තියෙනවා. මේ අවස්ථාවේ මම කියන්න විවේචනය කරන්න යන්නේ නැහැ, මොකද ඡන්දයක් තියෙන නිසා.
මිනිස්සුන්ගේ බලපෑම නිසා මම නුවරඑළියට ගියා. ගිහින් එදා රෑ ඉඳලා ඊට පහුවෙනිදා උදේ මම ග්‍රෙගරි මල්වත්තේ ඇවිදින්න ගියා උදේ ව්‍යායාම්වලට ඒ යන අවස්ථාවේදී මගේ නිවසේ උද්‍යානය භාරව ඉන්න ප්‍රේමසිරි කිව්වා සර් ඔබතුමාගේ කාමරේ ජනේලේ කඩලා කෙනෙක් ඇතුළුවෙලා අල්මාරිය කඩලා ඒක ඇතුළේ තිබුණු බඩු සීසීකඩ විසික්කරලා දාලා තියෙනවා කියලා. හැබැයි මම මේක ඇරියේ නැහැ ඔබතුමාට දැනුම් දුන්නේ ගෙදර එළියේ ජනේලේ ගාව ඉඳගෙනයි, කිව්වම, පස්සේ මම කතා කරලා අලුත්ගම පොලිසියේ ඕ.අයි.සී. මහත්තයාට මේ බව දැනුම් දුන්නා. ඒ වගේම මම දැනුම්දුන්නා පොලිස්පතිතුමාගේ තියෙනවා මෙහෙයුම් මධ්‍යස්ථානයක් එතුමාගේ යටතේ. එතුමාටත් දැනුම් දුන්නා මගේ නිවසට මෙන්න මේ වගේ කෙනෙක් පැනලා තියෙනවායි කියලා. ඊට පස්සේ මම ඊයේ රෑ ආවා මගේ නිවසට. මගේ කාමරේ මම බැලුවා. බැලුවාම මම දැක්කා මගේ වටිනා කියන බඩුමුට්ටු කිසිවක් අරගෙන ගිහිල්ලා නැහැ. මගේ තියෙනවා අතේ ගෙනියන්න පුළුවන් සේප්පුවක්. ඒක අතේ ගෙනියන්න පුළුවන්. අර හෝටල්වල කාමරවල තියෙන්නේ පොඩි සේප්පු අන්න ඒවගේ අතේ ගෙනියන්න පුළුවන්. ඒ සේප්පුව අල්ලලාවත් නැහැ.
ඒ වගේම මගේ තියෙනවා හොඳ පැකින් පිට තියෙන කමිස හතරක්. ඒක අරගෙනත් නැහැ. කුඩුකාරයෙක් ආවා නම් ඒක අරගෙන යනවා. ඒ වගේම ඉතා වටිනා රත්තරන් පෑනක් තිබ්බා ඒ පෑනත් ගෙනිහිල්ලා නැහැ. මගේ තියෙන කිසිම බඩුමුට්ටුවක් ගෙනිහිල්ලා නැහැ. ඇඳුම් සේරම ඇදලා දාලා තිබුණ මම දැක්කා. මම දැක්කයි කිව්වේ රෑප රාමු තුළින්.
ඊට පස්සේ මම බැලුවා ගේ ඇතුළේ තියෙන විදුලි බුබුලු ඔස්ටේ්රලියාවෙන් ගෙන්නපු ලෑම්ප්ෂේඞ් කීපයක්ම තිබුණා පැකින් පිට. ඒවා ඕන කෙනකුට ගෙනිහින් විකුණන්න පුළුවන්. ඒවට අත තියලා වත් නැහැ. මගේ මුළුතැන්ගෙයි පැන්ටි්රයේ තිබ්බ ඉලෙක්ටි්රක් භාණ්ඩ කිසිම දේකට අත තියලා නැහැ.
ඉතින් මම දැනගත්තා මේක හොරකමකට ආව එකක් නෙවෙයි. හොරකමකට ආවා නම් තියෙන වටිනා භාණ්ඩ අරගෙන යනවා. අර සේප්පුව උස්සගෙන යනවා, සේප්පුව අතේ ගෙනියන්න පුළුවන් නේ එහෙමවත් ගෙනිහිල්ලා නැහැ. මෙයා ඇවිත් තියෙන්නේ එක්කෝ ලියකියවිලි බලන්න වෙන්න ඇති. මගේ ගෙදර ලියකියවිලි කිසිවක් නැහැ. එහෙම නැත්නම් මෙයා ආවේ මම කරන ප්‍රකාශවලට, සාමාන්‍යයෙන් මම පොහොට්ටුවට විරුද්ධව කතා කරනවා, හංසයාට විරුද්ධව කතා කරනවා. ඒ නිසා මේ ප්‍රකාශවලට විරුද්ධව එක්කො මාව ඝාතනය කරන්න. මම නිදාගන්න ඇඳ එතැනමයි තියෙන්නේ. එහෙම නැත්නම් මාව බය කරන්න. ඒ කියන්නේ මේ වගේ සිද්ධියක් වුණාම බය වෙනවනේ. මගේ කට වහන්න කරපු එකක් කියලයි මම හිතන්නේ.
මේ ගැන මම පොලිසියට පැමිණිලි කරලා තියෙනවා. මම අලුත්ගම පොලිසියට ගිහිල්ලා මගේ කටඋත්තරයත් ලබා දුන්නා. මේක දේශපාලන වශයෙන් කරපු ප්‍රහාරයක් හැටියටයි මම දකින්නේ.
දැන් ඉස්සෙල්ලාම පක්ෂය ගොඩනගන්න ඕනේ නම්, ඉස්සෙල්ලාම කළ යුත්තේ මොකක්ද? අපි කරන්න ඕනේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එහෙට මෙහෙට වැනෙන්නේ නැති දෙපැත්තට යන්නේ නැති අය එකතු කරලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හරි මාර්ගයට ගන්න පුළුවන් අය එක්කහු කරන එක. ඒක අපි දැනට කරගෙන යනවා. අපි අදත් සාකච්ඡා කරා. ඉදිරියේදීත්, මම දින වකවානු කියන්නේ නැහැ මට ප්‍රහාරයක් එල්ල කරා වගේම ඒ අයටත් එල්ල කරයි.
ඒ ප්‍රධාන සංවිධායකවරුන්ට අපේ පාක්ෂිකයන්ට, අපේ ක්රියාකාරිකයන්ට අපි නුදුරේදීම දැනුම් දෙනවා, එතකොට අපි එක්කහුවෙලා ඒ ගැන සාකච්ඡා කරලා, ඊට පස්සේ දෙවැනුව මේ රටේ සමුළුවක් තියන්න බලාපොරොත්තු වෙනවා. අපි ඒ සමුළුවට යන්න තමයි මේ මූලික අඩිතාලම දාන්නේ.
ඒ සමුළුවේදී අපි ඉල්ලන අපේක්ෂකයන් ගැන කතාකරන්නේ නැහැ. විශේෂයෙන්ම මමත්. මම පොහොට්ටුව ගැන කතාකරන්නෙත් නැහැ හංසයා ගැන කතා කරන්නෙත් නැහැ. නමුත් මම කතා කරන්නේ අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මැරෙන්න නොදී, මේ මැතිවරණයෙන් පස්සේ තමයි ඒ තීරණාත්මක අවස්ථාව එළැඹෙන්නේ. ඒ තීරණාත්මක අවස්ථාව එළැඹෙන්නේ මැතිවරණයෙන් පස්සේ නිසා අපි එය ආරක්ෂා කරගන්න තමයි අපි ඒ දේ කරන්නේ.
එහෙම නැතුව කාටවත් මඩ ගහන්න නෙවෙයි. කාගෙවක් ඡන්ද කඩන්න නෙවෙයි. මොකද අපිට මේ අවස්ථාවේදී අපේ පක්ෂය ආරක්ෂා කිරීම තමයි මගේ යුතුකම පරණ ශ්‍රී ලංකාකාරයෙක් හැටියට. ශ්‍රී ලංකාකාරයෝ කියලා කියාගන්නා අය දැන් විවිධ පැතිවලට ගිහිල්ලා. ඉතින් ඒ අය ගිහිල්ලා ඉවරයි. ඒගොල්ලෝ බලන්නේ ඒගොල්ලන්ගේ තානාන්තර වරප්‍රසාද විතරයි. නමුත් මට වරප්‍රසාද අවශ්‍ය නැහැ. මම වරප්‍රසාද ලබාගන්නා පුද්ගලයෙක් නම් 2015 දී මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ රටේ ජනාධිපති වුණාම එතුමත් එක්ක ඉඳලා මට හොද ඇමතිකමක් ලබාගන්න තිබුණා.
මොකද මම හිටපු ඇමැතිවරයෙක් අවුරුදු දහයක්. ඒ නිසා මට එතුමාගෙන් ඇමැතිකමක් ගන්න තිබුණා. නමුත් මම එතුමාගේ ක්‍රියාකලාපයට විරුද්ධවෙලා එළියට බැස්ස පළවෙනි ශ්‍රී ලංකා මන්ත්‍රීවරයා. එහෙනම් මට දින 52 දී මහින්ද මහත්තයාට අත උස්සලා එතුමා කියන දේ අහගෙන හිටියා නම් අර ආණ්ඩුව බලහත්කාරයෙන් පිහිටපු වෙලාවේ මටත් ගන්න තිබුණා හොඳ ඇමැතිකමක්. නමුත් මම ඇමතිකම් ප්‍රතික්ෂේප කරා. මම ඒකට විරුද්ධව කතා කරා.
එහෙනම් මේ මම අවස්ථාවේදී පොහොට්ටුව දිනුවොත්, එහෙනම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අමතක කරලා දාලා අනෙක් රටේ ප්‍රශ්න අමතක කරලා දාලා මට ඉතාම හොඳ ඇමතිකමක් ගන්න තිබුණා. නමුත් මම ඒවා ඔක්කොටම පයින් ගහලා තමයි මේ ආවේ. මට පදවි තානාන්තර අවශ්‍ය නැහැ.
මගේ වයසේ හැටියට මට යුතුකමක් තියෙනවා සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ අතින් පත්වීම ගත්ත කෙනෙක් හැටියට මේ පක්ෂය ආරක්ෂා කිරීම. ඒකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාක්ෂිකයන් මා සමග එකතු වෙන්න. මම බයේ පැනලා යන මිනිහෙක් නෙවෙයි. මම ඔයගොල්ලන්ට නායකත්වය දෙන්න ඉදිරිපත් වෙලා ඉන්නේ. ඒ නිසා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනිය මේ අවස්ථාවේදී අපි සමග කෙළින් හිටගන්නවා. ඒ නිසා ඔබතුමන්ලත් මේ පක්ෂය ආරක්ෂා කරන්න මාත් එක්ක එන්න. බය නැතුව මේ පක්ෂය වෙනුවෙන් ඕන අවස්ථාවකදී අපි ඉදිරියට යන්න සූදානමින් ඉන්න බව කියන්න ඕනේ.”
ප්‍රේමලාල් විජේරත්න