භික්ෂුන් වහන්සේලා දේශපාලනයට අවතීර්ණ වීම හේතුවෙන් සිදුවන සමාජ සංස්කෘතික හානිය පිළිබඳ කතාබහ දැඩි ඉතිහාසයක් ඇති එකකි. නිදහස ලබා ගත් දින සිටම ඒ පිළිබඳව විවිධ අවස්ථාවල විවිධාකාරයේ කතාබහ නිර්මාණය වී ඇත. වර්තමානයේද එම කතාබහ නැවත ඉස්මතු වී ඇති ආකාරයක් පෙනෙන්නට ඇත. ඒ පසුගිය මහ මැතිවරණයේදී අපේ ජනබල පක්ෂයට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් ඇති වී තිබෙන අර්බුදය හේතුවෙනි.
පසුගිය මහ මැතිවරණයට දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා අපේ ජනබල පක්ෂය තරග වැදුණේ ස්වාමීන් වහන්සේ කිහිප නමක් මුල්කර ගනිමිනි. පූජ්‍ය අතුරලියේ රතන හිමි, පූජ්‍ය ගලබොඩඅත්තේ ඤාණසාර හිමි, පූජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමි ඇතුළු දිවයිනේ ප්‍රකට භික්ෂූන් වහන්සේ කිහිප නමක්ම එම මැතිවරණයට අපේ ජනබල පක්ෂය යටතේ තරග වැදුණහ. මැතිවරණයේදී දිස්ත්‍රික් මට්ටමින් එකදු මන්ත්‍රී ආසනයක් හෝ දිනා ගැනීමට එම පක්ෂයට නොහැකි වූ නමුත් අවසානයේදී එක් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් දිනා ගැනීමට අපේ ජනබල පක්ෂයට හැකි විය.
මැතිවරණයට නාම යෝජනා බාර දීම ආරම්භ වූ දිනයේ සිටම අපේ ජනබල පක්ෂයට අර්බුද රැසකට මුහුණ දීමට සිදුවිය. ගලබොඩඅත්තේ ඤාණසාර හිමියන්ගේ නායකත්වයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයට ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍රය ප්‍රතික්ෂේප වීම ඒ අතර ප්‍රධාන විය. මැතිවරණ ප්‍රතිඵලය නිකුත් වූ පසුවත් එම අර්බුද අවසන් නොවුණු අතර ඒ වෙනුවට එම අර්බුද තවත් වැඩි වන ආකාරයක් දක්නට හැකි විය.
අපේ ජනබල පක්ෂයට ලැබුණු මන්ත්‍රී ධුරය සඳහා සුදුස්සෙකු තෝරා පත්කර එවන ලෙස මැතිවරණ කොමිසමේ සභාපතිවරයා විසින් එම පක්ෂයට දැනුම් දීමත් සමඟ එවකට පක්ෂයේ ලේකම්වරයා වූ වේදිනිගම විමලතිස්ස හිමියන් විසින් තම නම ඒ සඳහා සුදුසු බවට මැතිවරණ කොමිසමට දැනුම් දී ඇත. නමුත් ඒ වන විට වේදිනිගම විමලතිස්ස හිමියන් පක්ෂයේ ලේකම් තනතුරින් ඉවත් කර ඇති බවට පක්ෂ නායක සමන් පෙරේරා මහතා විසින් කොමිසමට දැනුම් දී තිබිණි. ඒ හේතුවෙන් මන්ත්‍රී ධුරය සඳහා විමලතිස්ස හිමියන්ගේ නම පිළිගැනීමට මැතිවරණ කොමිසමට නොහැකි විය.
ඒ සමඟම අපේ ජනබල පක්ෂය තුළ ඇතිව තිබූ අර්බුදය තවත් බරපතළ විය. වේදිනිගම විමලතිස්ස හිමියන් දින කිහිපයක් අතුරුදන් වූ අතර එම හිමියන්ට මරණ තර්ජන ඇති බවට පැමිණිල්ලක්ද පොලිසියට ලැබී තිබිණි. ඒ දින කිහිපය පුරාම මෙරට බෞද්ධ බොහෝ දෙනකුට භික්ෂුන් වහන්සේ පිළිබඳ ඇති වූයේ දැඩි කනගාටුවක් සහ කලකිරීමකි. ඒ එම කාලය පුරාවට අපේ ජනබල පක්ෂයේ ස්වාමීන් වහන්සේ හැසිරුණු ආකාරයෙනි. මැතිවරණය පවත්වා මාස හතරක් යනතුරුම මන්ත්‍රී ධුරයට සුදුස්සා නම් කිරීමට අපේ ජනබල පක්ෂයට නොහැකි වූ අතර ඒ අතරතුර කාලයේදී එම ස්වාමීන් වහන්සේලා එකිනෙකා කෙරෙහි ද්වේෂසහගත ප්‍රකාශ සිදු කරන ආකාරයද දැකගත හැකි විය.
අවසානයේ කෙසේ හෝ අතුරලියේ රතන හිමියන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා නම් කිරීමට අපේ ජනබල පක්ෂය කටයුතු කළේය. එහිදී සඳහන් වූයේ මන්ත්‍රී ධුරයේ කඩින්කඩ කටයුතු කිරීමට ස්වාමීන් වහන්සේලා තීරණය කර ඇති බවය. මැතිවරණයෙන් වසරක් ඉක්ම යද්දී අපේ ජනබල පක්ෂය දැන් නැවත අර්බුදයකට ලක් වී ඇත්තේ ඒ හේතුව මතය.
මේ වන විටද අපේ ජනබල පක්ෂයේ මන්ත්‍රීවරයා ලෙස කටයුතු කරන්නේ අතුරලියේ රතන හිමියන්ය. අපේ ජනබල පක්ෂය පවසන ආකාරයට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය ලබාදීමේදී රතන හිමියන් එකඟ වී ඇත්තේ මාස හයකට පසුව මන්ත්‍රී ධුරය නැවත ගලබොඩඅත්තේ ඤාණසාර හිමියන්ට ලබා දීමටය. නමුත් එම එකඟතාව අනුව කටයුතු කිරීමට රතන හිමියන් කටයුතු කර නොමැති අතර පොරොන්දු වූ මාස හයක කාලය ඉක්මවා ගොස් තිබියදීද, මන්ත්‍රී ධුරයෙන් ඉවත් වීමට රතන හිමියන් කටයුතු කර නැත. ඒ හේතුවෙන් රතන හිමියන් පක්ෂයෙන් නෙරපා හැරීමට අපේ ජනබල පක්ෂය කටයුතු කර ඇති අතර ඒ බව මැතිවරණ කොමිසම වෙතද දන්වා යවා ඇත.
පසුගියදා පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ අපේ ජනබල පක්ෂයේ ජාතික සංවිධායක සුසන්ත කොඩිතුවක්කු මහතා සඳහන් කළේ පක්ෂයට හිමි මන්ත්‍රී ධුරය කිසිවෙකුටත් අවභාවිතා කිරීමට ඉඩ නොදෙන බවය. රටේ ජනතාව පක්ෂයට ලබා දුන් ඡන්දයෙන් ලැබුණු මන්ත්‍රී ධුරය දේශපාලන ඩීල් සඳහා අවභාවිත කිරීමට ඉඩ නොදෙන බවද කොඩිතුවක්කු මහතා ප්‍රකාශ කළේය. ඒ හේතුවෙන් අතුරලියේ රතන හිමියන්ට තවදුරටත් එම මන්ත්‍රී ධුරයේ කටයුතු කළ නොහැකි බවද පැවසූ කොඩිතුවක්කු මහතා මන්ත්‍රී ධුරයට පත්කළ යුත්තේ කවුරුන්දැයි යන්න සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වන බවද සඳහන් කළේය. එහිදී ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ එම නම් අතරට ගලබොඩඅත්තේ ඤාණසාර හිමියන්ගේ නමද යෝජනා වී ඇති බවය. කෙසේ නමුත් මේ දක්වාම මන්ත්‍රී ධුරයෙන් ඉවත් වීමේ සූදානමක් රතන හිමියන් සතුව පවතින බවක් පෙනෙන්නට නැත. එමෙන්ම තමන් මන්ත්‍රී ධුරයෙන් ඉවත් නොවන බවට උන්වහන්සේ සඳහන් කළ බවද මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය විය. ඒ හේතුවෙන් උන්වහන්සේ සම්බන්ධ විවිධාකාරයේ අදහස් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරණය වෙමින් ඇත. උතුම් නිර්වාණය පසක් කර ගැනීම සඳහා බුද්ධ ශාසනයට ඇතුළත් වූ හිමිනමක් මන්ත්‍රී ධුරයක් රැක ගැනීම සඳහා වෙහෙසීම බොහෝ දෙනකු ප්‍රශ්න කර තිබුණේ හාස්‍යසහගතවය. එමෙන්ම මන්ත්‍රී ධුරය සඳහා හිමිවරුන් අතර නැවත මත ගැටුමක් ඇති වීම පිළිබඳවද බොහෝ දෙනකු කලකිරීමට පත්ව ඇත. එම මත ගැටුම්වලදී ප්‍රසිද්ධියට පත් වූ ඇතැම් ප්‍රකාශ බෞද්ධ භික්ෂුන්ට නොගැළපෙන තරමේ ඒවා බවද බොහෝ දෙනාගේ අදහස වී ඇත.
මෙරට ඉතිහාසයේ පළමුවරට භික්ෂුන් වහන්සේ මුල්කර ගනිමින් දේශපාලන පක්ෂයක් මහ මැතිවරණයක් සඳහා තරග වැදුණේ 2004 වසරේදීය. ඒ ජාතික හෙළ උරුමය යටතේය. උතුම් සම්බුද්ධ ශාසනයට සහ බුද්ධ චීවරයට තිබූ ගෞරවය හේතුවෙන් එම මැතිවරණයේදී ස්වාමීන් වහන්සේ දස නමක් පාර්ලිමේන්තුවට පත්කර යැවීමට මෙරට ජනතාව ක්‍රියා කළහ. නමුත් පාර්ලිමේන්තුවට පත් වී දින කිහිපයකින් පැවැති කතානායකවරයා තෝරා පත්කර ගැනීමේ ඡන්ද විමසීමේ සිටම එම ස්වාමීන් වහන්සේලා කටයුතු කළේ ජනතාවගේ කලකිරීමට හේතුවන ආකාරයෙනි. ඒ හේතුවෙන් ඊළඟ මැතිවරණය වන විට ජාතික හෙළ උරුමයෙන් තරග කළ භික්ෂුන් වහන්සේ බොහෝ දෙනකුටද දේශපාලනය එපා වී තිබිණි.
අතුරලියේ රතන හිමියන්ද පාර්ලිමේන්තුවට තේරී පත් වූයේ එම මැතිවරණයෙනි. එදා සිට අද දක්වාම විවිධ දේශපාලන කණ්ඩායම් හරහා උන්වහන්සේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස කටයුතු කර ඇත. අපේ ජනබල පක්ෂය පවසන ආකාරයට එකඟතාව කඩකරමින් උන්වහන්සේ තවදුරටත් එම මන්ත්‍රී ධුරය රැක ගැනීමට උත්සාහ දරන්නේ මක්නිසාදැයි අප දන්නේ නැත. කාලයක් පුරා විවිධාකාරයේ පුවත්වලට මුල් වූ ගලබොඩඅත්තේ ඤාණසාර හිමියන්ද මුල්වරට මැතිවරණයකට තරග කළේ 2015 වසරේදීය. නමුත් එහිදී උන්වහන්සේට බලය ලබාදීමට මෙරට ජනතාව කටයුතු කළේ නැත. පසුගිය මැතිවරණයට තරග කිරීමේ අවස්ථාව උන්වහන්සේට හිමි නොවූ නමුත් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය යටතේ පාර්ලිමේන්තුවට පිවිසීමට උන්වහන්සේ උත්සාහ දරමින් ඇත. කෙසේ නමුත් සියලු දේ අත්හැර සාමය සමානාත්මතාවය අගය කරන දහමක් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් පෙනී සිටින භික්ෂුන් වහන්සේලා මේ ආකාරයෙන් කටයුතු කිරීම බොහෝ දෙනකුගේ පිළිකුලට හේතු වී ඇති බවද අමුතුවෙන් කිව යුතු නැත. 2004 වසරේදී ආසන දහයකට හිමිකම් කියූ භික්ෂු දේශපාලනය දැන් එක් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් දක්වා පහත වැටී ඇත. එයින් පෙනී යන්නේ මේ රටේ ජනතාව තුළ භික්ෂු දේශපාලනය සම්බන්ධයෙන් පවතින මතයය. ඒ බව උන්වහන්සේලාම තේරුම් ගන්නවා නම් වඩාත් හොඳ බව අපේ අදහසය.
චන්දන පොන්නම්පෙරුම










