ඔබ උදේ ගමනක් ගිහින් පහුවෙනිදට ආපසු එද්දී මහ විශාල වැවක් ඔබේ ගමේ හදලා තිබුණොත් ඒක විස්මිත වැඩක්. ඔබ විශ්වාස නොකරන තරමේ වැඩක්. අද එහෙම මහ පුදුම සිදුවීම් නොවුණට ඈත අතීතයේ එහෙම පුදුම දේ සිදුවූ බව ජනප්‍රවාදයේ එනවා. එහෙම ජනප්‍රවාදයට අනුව එක දවසින් හැදුවාය කියන වැවක් තමයි බතලගොඩ වැව.
දුටුගැමුණු රජුගේ බුලතා යෝධයා කාටත් රහසේ සොරබොර වැව හැදුවා වගේ විවිධ කාලවල මේ විස්මිත වැඩ කළ හැකි යෝධයන් තමන්ගේ යුතුකම විවිධාකාරයෙන් රට වෙනුවෙන් ඉටු කිරීමට කැපවී කටයුතු කර තිබෙනවා. එහෙම යෝධයකුගේ වැඩක් ලෙස තමයි බතලගොඩ වැව ගැන සඳහන් වෙන්නේ. ජනප්‍රවාදයට අනුව මේ බතලගොඩ වැව හැදුවාය කියන යෝධයාට අවශ්‍ය වෙලා තියෙන්නේ තමන්ගෙ වැව ඉතා ඉක්මනින් වැඩ අවසන් කරන්න. කොයි තරම් ඉක්මනින්ද කියනවා නම් කෙනකුගේ ඇස මවිත වන ඉක්මනකට තමන්ගෙ වැව හදන්නයි යෝධයාගෙ සැලැස්ම වෙලා තියෙන්නේ. ඒ නිසා මේ යෝධයා තමන්ගෙ අදහස ක්‍රියාවට නඟන්න හැකි වැවක් සෑදීමට සුදුසු ස්ථානයක් මුලින් සොයා බලලා තිබෙනවා. ඒ සඳහා යෝධයා විවිධ ප්‍රදේශවල පරිසර පද්ධති නිරීක්ෂණය කරලා තිබෙනවා. ඒ විතරක් නෙවෙයි. වැව හදන්න පටන්ගත්තාම එම කටයුත්ත නොනවත්වා කරගෙන යෑමට අවශ්‍ය අනකුත් සාධක ඉටුකර ගැනීම ගැනත් යෝධයා වැඩි උනන්දුවක් දක්වා තිබෙනවා.
ජනප්‍රවාදයට අනුව යෝධයා තමන්ගෙ වැඩේට හොඳම තැන හොයාගත්තේ එදා රුවන්වැලිසෑයට රිදී සැපයූ බව කියන කුරුණෑගල රිදී විහාරය හා සමීප ප්‍රදේශයකින්. ඒ තැන තමයි අද ඔය බතලගොඩ වැව හදලා තියෙන්නේ. යෝධයා මේ වැව හදන්න මේ තැන හොයාගන්න ප්‍රධානම සාධකයක් වුණාය කියන්නේ පහන්ගල කියන උස කන්ද පාමුල මෙම ස්ථානය පිහිටා තිබීම. ඒකටත් ප්‍රධාන හේතුවක් තිබෙනවා. ඒ තමයි යෝධයාට අවශ්‍ය වුණේ වැව හැකි ඉක්මනින් වැඩ අවසන් කිරීම නිසා. දහවල් කාලයට වඩා රාත්‍රී කාලයේ වැඩටයි මේ යෝධයාගෙ වැඩි කැමැත්ත තිබිලා තියෙන්නේ. ඒ නිසා මේ යෝධයා වැඩිපුරම අවධානය යොමු කළාය කියන්නේ රාත්‍රියට වැඩ කරන්න ආලෝකයක් සකසාගත හැකි ආකාරයකටයි. එහිදී බතලගොඩ වැව හදන්න යෝධයා සැලසුම් කර තිබෙන්නෙ වර්තමානයේ පහන්ගල ලෙස හඳුන්වන ගල මත විශාල පහනක් දල්වා එහි ආලෝකයෙන් වැව ඉදිකිරීමයි.
යෝධයාගේ සැලසුම සාර්ථක වෙනවා. පහන්ගලේ දැල්වූ පහනේ ආලෝකය ඉතා හොඳින් පහළ බෑවුම ආලෝකවත් වී වැව ඉදිකිරීමේ කටයුතු සඳහා විශාල සහනයක් වී තිබෙනවා. ඒ අනුව යෝධයාට එක දවසින් මේ වැව නිමා කරන්නට හැකි වූ බවත් වැව හදන්න පහන් පත්තු කළ නිසා මෙම ගලට පහන්ගල ලෙස නම තැබුණු බවත් තමයි ජනප්‍රවාදයේ සඳහන් වෙන්නේ.
පහන්ගල කියන්නෙ තවත් ලෝකයක් හා සමාන සුන්දර ස්ථානයක්. බතලගොඩ වැව හදන්න, පහන් ආලෝකය සැපයුවා වගේම මේ පහන්ගල අතීතයේ පටන් අවට පරිසරය නිරීක්ෂණය සඳහා භාවිත කළාය කියලත් අනුමාන කරන්න පුළුවන්. මොකද රිදී විහාර භූමියේ සිට ඉතා කෙටි කලකින් මෙම පහන්ගල දක්වා ගමන් කළ හැකි අතර පහන්ගල මුදුනට ගිය විට රිදීගම ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ හරි අඩක් නිරීක්ෂණය කිරීමේ හැකියාව පවතිනවා. ඒ වගේම ඇටිපොල කන්ද, ලිහිනියාගල, නැව්ගල කන්ද පමණක් නොවේ, නෙල්ලිගලත් නිරීක්ෂණය වෙනවා. ඒත් එක්කම කුරුණෑගල, මහනුවර, මාතලේ කියන දිස්ත්‍රික්ක වෙන්වන කඳුවැටි ඉතා හොඳින් නිරීක්ෂණය කිරීමේ හැකියාවත් මේ පහන්ගලට තිබෙනවා.
මේ අපූරු පිහිටීම නිසාම පහන්ගල කන්ද ඈත අතීතයේ විවිධ රාජ්‍ය පාලන යුගයන්හි පරසතුරු ආක්‍රමණ ඇතිවූ විට අවට පරිසරය නිරීක්ෂණය සඳහා යොදාගත් තැනක් බවටත් අනුමාන කළ හැකියි. ඒ, කෙසේ නමුත් පහන් ගලේ දැල්වූ ආලෝක පහන නොවුණා නම් බතලගොඩ වැව අද ඔය තිබෙන තැන නොතිබෙන්නට තිබුණාය කියලත් ජනප්‍රවාදයන්ට අනුව පැහැදිලි වන කරුණක්.
කුමාර රත්නායක









