ශ්‍රී ලාංකේය රාජ්‍ය නාමාවලියේ වැඩි වශයෙන් රාජ්‍යත්වය දරා ඇත්තේ රජවරුන්ය. එම කාලය තුළ රජකම් කළ රැජිනියන් බිහිවී ඇත්තේ පස්දෙනෙකු පමණී.
(1) කල්‍යාණවතී රැජින
(ක්‍රි.ව. 1202- 1208)
(2) අනුලා රැජින (ක්‍රි.පූර්ව 48-43)
(3) දෝන කතිරිනා රැජින
(4) සීවලී රැජින (ක්‍රි. ව.32- 33)
(5) ලීලාවතී රැජින
1) කල්‍යාණවතී රැජින.
චූලවංශයේ සඳහන් වන පරිදි කල්‍යාණවතී දේවිය නිශ්ශංකමල්ල රජුගේ අග මෙහෙසියයි. කල්‍යාණවතී දේවිය රාජ්‍යත්වය හිමිකර ගත්තේ සහස්සමල්ල රජුගෙන් පසුවය. මහාවංශයට අනුව ඇයගේ රාජ්‍ය කාලය වසර 6කි. එහෙත් ඇයගේ පාලන සමයේ ලියවුණු සෙල්ලිපිවලට අනුව පාලන කාලය වසර 8කි.
2) අනුලා රැජින.
ශ්‍රී ලාංකේය ඉතිහාසයේ පළමු රැජින ලෙස අනුලා දේවිය අභිෂේක ලැබීය.
ඇය චෝරනාග රජුගේ බිසවය. චෝරනාග රජුට වස දී මරණයට පත් කර අනුරාධපුර රාජධානියේ රාජ්‍ය බලය අත්පත් කර ගනී. චෝරනාග රජුට පෙර රජවී සිටි මහාචූලමහාතිස්ස රජුගේ දෙවැනි පුතා වූ කූටකණ්ණතිස්ස කුමාරයාට රාජ්‍යත්වය ලැබීමට උරැමය තිබුණද ඔහු අනුලා රැජිනගෙන් දිවි ගලවා ගැනීම සඳහා පැවිදි විය.
වංශකතාවල සඳහන් පරිදි පුද්ගලයන් 32දෙනෙකුට අගමෙහෙසිය වී රාජ්‍ය පාලනය කළ බව කියවේ. අවසානයේ මාස හතරක පමණ කාලයක් අනුලා රැජින ස්වාධීනව රාජ්‍ය පාලනය කර ඇත. ඉන් අනතුරුව කූටකණ්ණතිස්ස කුමාරයා අනුලා දේවිය මරා දමා සිහසුන ලබාගෙන ඇත.
3)දෝන කතිරිනා රැජින
මෙරට ඉතිහාසයේ අවසාන රැජින ලෙස සැලකෙන්නේ දෝන කතිරිනාය. මහනුවර රාජධානියේ විසූ කරලියද්දේ බණ්ඩාරගේ දියණියවූ කුසුමාසන දේවිය පෘතුගීසීන් විසින් හදා වඩා ගැනීමේ ප්‍රතිඵලයක් ලෙස තම කුසුමාසන දේවි නාමය වෙනුවට කිතු දහම වැලඳගෙන දෝන කතිරිනා නම් වූවාය. තම පියාගෙන් පසු පෘතුගීසීන්ගේ ආධාර ඇතිව රාජ්‍යත්වයට පත් වුවද ඉතා සුළු කලකින් සීතාවක පළමුවැනි රාජසිංහ රජු දෝන කතිරිනා දේවියගෙන් රාජ්‍ය පැහැර ගනු ලැබීය.
4)සීවලී රැජින
අනුරාධපුර රාජධානියේ චූලාභය රජුගෙන් පසු රාජ්‍යත්වයට පත්වන්නේ සීවලී රැජිනයි. ආමන් ගාමිණී රජුගේ දියණියවූ ඇය කණ්ණීරජාණෝ රජුගේ සොහොයුරියයි. දීපවංශයේ ඇය රේවතී නමින් හඳුන්වා ඇත. මාස හතරක පමණ කාලයක් රාජ්‍ය පාලනය කර ඇත. පසුව ඉලනාග රජු සීවලී රැජින නෙරපා දමා රාජ්‍ය බලය හිමි කර ගනී.
5) ලීලාවතී රැජින
ලීලාවතී රැජින පොළොන්නරුවේ රජකල ශ්‍රේෂ්ඨ පාලකයෙකු වූ මහා පරාක්‍රමබාහු රජතුමාගේ අගමෙහෙසියයි. පොළොන්නරු රාජධානිය තුළ ඇය තෙවරක්ම රාජ්‍යත්වයට පත් වී තිබේ. දාඨාවංශයේ සඳහන් වන පරිදි පාණ්ඩ්‍ය වංශයෙන් පැවත එන ඇයගේ පියා වූයේ සිරිවල්ලභ නමැති පාණ්ඩ්‍ය කුමාරයෙකි.
මහා පරාක්‍රමබාහු රජුගෙන් පසුව කාලිංග සහ පාණ්ඩ්‍ය වංශිකයන් අතර ඇති වූ අර්බුද නිසා දේශපාලනය අස්ථාවර වේ. ක්‍රි.ව. 1197 දී කිත්ති නමැති සෙනවියාගේ සහාය ඇතිව අභිෂේක වූවාය. වසර තුනක පමණ කාලයක් සාමකාමීව රට පාලනය කළ අතර ක්‍රි.ව. 1200දී සහස්සමල්ල නමැති කාලිංග වංශික කුමාරයෙක් ඇය නෙරපීය. ක්‍රි.ව. 1209 දී විත්තන්ථවමුනක්ඛ සෙනෙවියාගේ සහාය ඇතිව දෙවන වරටත් ලීලාවතී රැජින බලයට පත්වේ. ක්‍රි.ව.1210දී ලෝකේෂ්වර නමැති කාලිංග වංශික කුමාරයෙක් ලීලාවතී රැජිනගෙන් නැවත වරක් රාජ්‍ය පැහැර ගත්තේය. ඉන් පසුව ක්‍රි.ව.1211 දී ඇය තෙවන වරටත් බලයට පත්වන්නේ පරාක්‍රම නමැති සෙනෙවියාගේ උපකාර ඇතිවය. එහෙත් එසේ බලයට පත්ව මාස 7ක් ඉක්ම ගිය තැන ඉන්දියාවේ සිට පැමිණි පරාක්‍රම නමැති පාණ්ඩ්‍ය කුමාරයෙක් ලීලාවතී රැජින රාජ්‍යත්වයෙන් නෙරපා දැමීය.
දමන සමූහ කේ.ඒ.මෛත්‍රීපාල











