ශ්‍රී ලංකාවේ ආර්ය ජනාවාස ආරම්භ කළ දා පටන් මෙහි පැවැතියේ රාජ්‍ය පාලනයකි. එහි ආභාසය භාරතීය සමාජයෙන් ලැබෙන්නට ඇතැයි සැලකිය හැකිවන්නේ විජය ඇතුළු පිරිසේ ජන්මභූමිය භාරතය වන නිසාය. ඔවුන් මෙහි පැමිණ ජනාවාස පිහිටුවාගෙන මෙහි පරිපාලනය ගෙන යමින් ක්‍රමයෙන් රට සංවර්ධනය කිරීමට කටයුතු කළ බව හඳුනාගැනීම දුෂ්කර නොවේ. විජයගෙන් ඇරැඹි ලාංකේය රාජ්‍ය පාලන තන්ත්රය මෙරට අවසාන රාජ්‍ය පාලකයා වූ ශ්‍රී වික්රමරාජසිංහ රජු දක්වා පැවැත්තේය. මේ සැම දෙනාම ලංකා රජය පාලනය කිරීමේ දී අනුගමනය කළ වැදගත් කරුණු පිළිබඳ කෙටි විවරණයක් මෙමගින් ඉදිරිපත් කෙරේ.
මෙහි පළමු රාජ්‍ය පාලකයා වූයේ විජය රජු බව ඉහතින් සඳහන් කෙරිණි. විජයගෙන් පසු ආරම්භ වූ පාලන තන්ත්රය ඔහුගෙන් පසු පවත්වාගෙන යාමට තැනැත්තෙකු නොවූයේ ඔහුට දරුවන් නොසිටි බැවිනි. ඒ නිසා භාරතයේ තම සහෝදරයාගේ සහාය පැතීමට විජයට සිදු විය. ඒ අනුවයි සුමිත්තගේ බාල පුතු වූ පණ්ඩුවාසදේව කුමරු මෙරටට පැමිණියේ. එතැන් පටන් දේවානම්පියතිස්ස රාජ්‍ය අවධිය දක්වා රාජ්‍ය කාලය බැලීමේ දී මේ කාලවකවානුව තුළ රාජ්‍යත්වයට පත් බොහෝ දෙනා සහෝදරයන් බව පෙනේ. පණ්ඩුවාසදේවගෙන් පසු රජකම ලබාගන්නේ අභය වන අතර ඔහුගෙන් පසු රජවන්නේ ගණතිස්ස නම් රජෙකි. ඔහු පණ්ඩුවාසදේවගේ පුතෙකි. පණ්ඩුකාභය රාජ්‍යත්වයට පත්වන්නේ මොහු ඝාතනය කිරීමෙනි. පණ්ඩුකාභයගේ පුතෙකු වූ මුටසීව රජුගේ පුතුන් දසදෙනෙකු වූ බව දීපවංසයේ සඳහන් වේ. අභය, තිස්ස, නාග, උත්තිය, මුත්ත, අභය, මිත්ත, ශිව, අසේල, තිස්ස ආදි නම්වලින් හඳුනාගැනෙන මේ පිරිසෙන් මුලින්ම රජවූයේ තිස්ස කුමරුය. දේවානම්පියතිස්ස නමින් හඳුනාගැනෙන්නේ ඔහුයි. ඉන්පසුව උත්තිය කුමරු රජ වන අතර නාග නමින් හැඳින්වූ කුමරු රාජ්‍යයේ ඇති වූ අවිශ්වාස කටයුත්තක් නිසා රුහුණු ප්‍රදේශයට ගොස් එහි ප්‍රාදේශීය පාලනයක් ගෙන ගියේය. ඔහුගේ පරපුර නැවතත් එළාර රාජ්‍ය කාලයේ දී කරළියට එන්නේ දුටුගැමුණු කුමරු එම පුරුකේ සුවිශේෂ චරිතයක් වන බැවිනි. මේ කාලයේ අනුරාධපුර පැවතියේ සහෝදරයාගෙන් සහෝදරයාට රාජ්‍ය භාරදීමේ පටිපාටියකි. ඒ සඳහා නිදසුන් ලෙස,
දේවානම්පියතිස්සගෙන් පසු උත්තිය, සූරතිස්ස, අසේල රජවරුන් රජකම ලබාගැනීම,
දුටුගැමුණු රජුගෙන් පසු සද්ධාතිස්ස රජකම ලබාගැනීම,
සද්ධාතිස්සගෙන් පසු ඔහු පුතුන් වන ලජ්ජිතිස්ස, ඛල්ලාටනාග, ථුල්ලත්ථන, වළගම්බා ආදි රජවරුන් පාලනය ගෙනයාම දැක්විය හැකිය.
කෙසේ නමුත් රාජ්‍ය පාලනයේ දී මේ සැම දෙනා බොහෝ සෙයින් එකිනෙකාට සමාන පාලන ක්‍රමවේදයක් අනුගමනය කළ බව හැඳිනගත හැකිය. පාලනය රාජාණ්ඩු පාලනයක් වූ නිසා තීන්දු තීරණ ගැනීමේ තීරක බලවේගය වූයේ ද රජතුමාය. රජුගේ සේවය සාර්ථක කරගැනීම උදෙසා මහ ඇමතිවරු, රාජ පුරුෂයන් හා වෙනත් අය සිටි බව පෙනේ.
මහින්දාගමනයේ ආලෝකයත් සමග රාජ්‍ය භාරගත් සැම රජ කෙනෙකුම ධාර්මිකව රාජ්‍ය ගෙනයාමට කටයුතු කළහ. මහින්ද මහතෙරුන්ගේ ආගමනය මෙරට ජනතාව ළබැඳිව පිළිගත් අතර රජුගේ ක්‍රියාකලාපයත් සමග වැසියන්ද ඊට අනුගතව ක්‍රමයෙන් බෞද්ධ ඌරුවට හැඩගැසුණු බව පැහැදිලිය. කෙසේ නමුත් අතීතයේ පටන් රාජ්‍ය තන්ත්රයේ ප්‍රධානියා හෙවත් රජතුමාගෙන් ඉටු වූ සේවාවන් ඉතා ලඝු කොට පහත පරිදි දැක්විය හැකිය.
රාජාණ්ඩු පාලනයක් පවත්වාගෙන යාම
සහෝදරයාගෙන් සහෝදරයාට හෝ පියාගෙන් පුතාට රජකම උරුම වීම
රාජ්‍ය පාලනය සඳහා රාජ්‍යයේ උරුමක්කාරයෙකු වීම අනිවාර්ය වීම
බාහිරින් හා අභ්‍යන්තරයෙන් ඇතිවන විවිධ ආක්‍රමණ යුධමය තත්ත්ව ආරක්ෂා කිරීම
කෘෂිකාර්මික රටක් වූ බැවින් ජනතාවට ඒ සඳහා අවැසි වාරි කටයුතු දියුණු කිරීම
බෞද්ධාගම මෙහි රාජ්‍ය පිළිගැනීම වූ නිසා බෞද්ධාගම ආරක්ෂා කිරීම
බෞද්ධ වෙහෙර විහාරස්ථාන ගොඩනැංවීම, ප්‍රතිසංස්කරණය, ආරක්ෂා කිරීම
සාහිත්‍යය ඇතුළු කලාකටයුතු දියුණු කිරීම
බෞද්ධයකු වශයෙන් බෞද්ධ රාජ්‍ය පාලන මූලධර්මවලට අනුගතව පාලනය ගෙනයෑම
ආදි ලෙස දැක්විය හැකිය. මෙහි දී පළමුවෙන් සඳහන් කළ කරුණු කිහිපය කෙටියෙන් නමුත් විස්තර කොට ඇත. එහිලා වැදගත්ම කරුණක් වන්නේ රාජ්‍ය පාලනය සඳහා උරුමකරුවකු බවට පත්වීමය. එසේ රාජ්‍ය උරුමය රහිත තැනැත්තන්ට රාජ්‍ය ලබාගැනීම අසීරු කරුණකි. පොළොන්නරු යුගයේ දී රාජ්‍යත්වයට පත් වූ නිශ්ශංකමල්ල රජු කාලිංග වංශිකයකු වූ බැවින් ඔහු මෙරටෙහි රාජ්‍ය පාලනයට හිමිකරුවකු බව උලුප්පා දැක්වීමටත් ජනතාවගේ හිත දිනාගැනීම උදෙසාත් කටයුතු කළ ආකාරය අනුව එය ප්‍රත්‍යක්ෂවේ. කෙසේ නමුත් මෙරටෙහි රජ වූ බොහෝ දෙනා රාජ්‍ය උරුමය සහිත පරපුරකින් පැවැත ආවෝ වූහ. එය වෙනස් වූයේ දකුණු ඉන්දීය ආක්‍රමණ හමුවේදීය.
රටක පාලකයා අවධානය යොමු කළ යුතු වැදගත්ම කරුණ වන්නේ රටේ ජනතාවගේත් රටේත් ආරක්ෂාව තහවුරු කිරීමය. රජකුගෙන් මෙය සැවොම අපේක්ෂා කරන බව අමුතුවෙන් කිවයුත්තක් නොවේ. මෙහි රාජ්‍ය කටයුතු ආරම්භයේ පටන් විවිධ ගැටුම් ඇති වූ බව නොරහසකි. පණ්ඩුවාසදේවගෙන් පසු රාජ්‍ය උරුමය පිළිබඳ ගැටලුවක් මතුවූයේ දෛවඥයන් චිත්‍රා කුමරියට උපදින දරුවා ඔහුගේ මාමාවරුන් ඝාතනය කොට රාජ්‍ය ලබාගන්නා බව පැවසීම නිසාය. රාජ්‍ය තන්ත්රයේ ප්‍රධානීන්ට සැකසංකා ඉපැද්දවීමට එය ප්‍රබල ලෙස බලපෑයේය. කෙසේ වුවත් මෙහි මුල්ම අද්දැකීම ලබන්නේ සූරතිස්ස රජතුමාය. ඒ සේනගුත්තික නම් දෙදෙනාගේ මෙරටට පැමිණීම හා රාජ්‍ය බලය පැහැර ගැනීම නිසාය. එතැන් පටන් අවස්ථා රාශියකදී විදේශීය ආක්‍රමණ සිදුවී ඇත. රටේ භෞතික වස්තු පමණක් නොව රටවැසියාද ඉන් මහත් ව්‍යසනවලට ගොදුරු වී ඇත. එසේම අභ්‍යන්තර දේශපාලන බල අරගල පැවති බවද කිවයුතු නැත. දකුණු ඉන්දීය බලපෑම් ලැබෙන බොහෝ අවස්ථාවල රට අභ්‍යන්තරයේ ද රජුට විරුද්ධව කැරැලි ඇති වූ අතර ඒ නිසා දකුණු ඉන්දීය ද්‍රවිඩයන්ට රජකම පැහැර ගැනීම පහසුවක් වී ඇති බව පෙනේ. කෙසේ නමුදු රජුගේ සුවිශේෂ වගකීමක් වන්නේ රාජ්‍ය ආරක්ෂා කිරීමයි.
අප රට කෘෂිකාර්මික රටකි. අද වුවද එකී තත්ත්වයෙන් අප මිදී නැත. අතීතයේ මෙහි පාලනය ගෙන ගිය රජවරුන්ගෙන් ඉටුවිය යුතුයැයි සැලකූ තවත් කරුණක් වන්නේ කෘෂිකර්මාන්තය දියුණු කිරීම හා ඒ සඳහා අවශ්‍ය පහසුකම් සැපයීමයි. පණ්ඩුකාභය රජුගෙන් ඇරැඹි වාරි කර්මාන්ත දියුණුව ක්‍රමයෙන් සංවර්ධනය වූ බව පැහැදිලිය. රජරට ප්‍රදේශය වියළි කාලගුණයෙන් යුක්ත වූ බැවින් වැව් ගොඩනංවා වැසි ජලය ආරක්ෂා කිරීමේ ක්‍රමවේදය ඇති කළ බව පෙනේ. ධාතුසේන, මහසෙන්, වසභ, පරාක්‍රමබාහු ආදී රජවරුන් ගත්කල්හි වාරි කර්මාන්තයේ දියුණුව පිණිස මහඟු සේවයක් කළ රජවරුන් අතරින් කිහිප දෙනෙකි. අනෙක් සෑම රජකෙනකුම වාරි කර්මාන්තයේ දියුණුව අපේක්ෂාවෙන් වැව්, අමුණු, ඇළවේලි ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කළහ. කෘෂිකර්මාන්තයේ යෙදෙන ගොවියන් සඳහා අවශ්‍ය කටයුතු සලසාලීය.
දේවානම්පියතිස්ස රජු බුදුදහම වැළඳගැනීමත් සමග මෙහ රාජ්‍ය පාලකයන් බෞද්ධ පාලකයෙක විය යුතුයි යන සම්මතය ක්‍රමයෙන් රට තුළ වර්ධනය විය. සිව්වැනි මිහිඳු රජුගේ සෙල්ලිපියේ ද දැක්වෙන්නේ මෙරට රජතුමා බෝසත්වරයකු විය යුතු බවයි. ඒ අනුව බුදුදහම මෙහි පිහිටිදා පටන් පාලන තන්ත්රය ගෙන ගියේ බෞද්ධ රජෙකි. එළාර ආදි ද්‍රවිඩ රජවරුන් වුවද බෞද්ධයකු නොවූවත් බෞද්ධ ධර්මයට අනුකූල වන පරිදි රජකම ගෙනගිය බව මහාවංසය පෙන්වා දෙයි. පඤ්ච ශීලය ආරක්ෂා කරමින්, දසරාජධර්මය, දසසක්විතිවත්, සප්ත අපරිහානීය ධර්ම, සතර සංග්‍රහ වස්තු, සතර බ්‍රහ්මවිහාර ආදි මාහැඟි ගුණාංග වර්ධනය කරගනිමින් රාජ්‍ය පාලනය ගෙනයාමට අපේ රජවරුන් කටයුතු කර ඇත. සද්ධාතිස්ස, ධාතුසේන, මුගලන්, කාශ්‍යප, අභය, සංඝබෝධි ආදී රාජ්‍ය නාම ගත්විට ඒ නාමවලින්ද බෞද්ධයකු බව නිතැතින්ම හැඟවේ. ඔවුන්ගේ ක්‍රියාකලාපයද ඊට අනුරූප විය.
මහින්දාගමනයත් සමග මෙහි රාජ්‍ය පාලනයේ අනුශාසකයා වූයේ බෞද්ධ භික්ෂූන් වහන්සේය. රජතුමා නිතැතින්ම භික්ෂු ශාසනය ආරක්ෂා කරගෙන යාමට වගකීම භාරගත්තේය. වෙහෙර විහාරස්ථාන ගොඩනංවමින්, මහා ස්තූප ඉදිකරමින්, භික්ෂුන් වහන්සේට ප්‍රත්‍ය පහසුකම් නොඅවුඩ ලබාදෙමින් තමන්ගෙන් ඉටුවිය යුතු දෑ ඉටු කිරීමට පසුබට නොවීය. මහාවිහාරය, අභයගිරිය, ජේතවනය, වෙස්සගිරිය, මිහින්තලය, තිස්සමහාරාමය, සිතුල්පව්ව ආදී රටපුරා සැම ස්ථානයකම විහාරස්ථාන ගොඩනංවා භික්ෂුන් වහන්සේට වාසස්ථාන ඇති කොට ඇති මිරිසවැටිය, රුවන්වැලිසෑය, අභයගිරිය, ථූපාරාමය, මහියංගණය, ජේතවනාරාමය, රන්කොත් වෙහෙර, සෝමාවතිය ආදී මහාථූප ගොඩනැංවීමට රජු මූලිකත්වය ගෙන ඇත. භික්ෂු ශාසනය පරිහානිදායක අවස්ථාවලදී එයින් මුදාගැනීමට ශාසනික කතිකා හා සංගායනා සිදුකොට ඇත. විනය විරෝධි භික්ෂුන් සිටි අවස්ථාවල බුදුසසුනේ උන්නතිය උදෙසා එකී පිරිස් යටපත් කොට ඇත.
මිනිසුන්ගේ ශිෂ්ටත්වය හඳුනාගත හැකි සුවිශේෂ අංගයක් වන්නේ සාහිත්‍ය හා කලා ශිල්පයි. ශ්‍රී ලාංකේය ඉතිහාසයේ අනුරාධපුර යුගයේ සිටම සාහිත්‍ය දියුණුවද ක්‍රමයෙන් වර්ධනය වී ඇති බව පැහැදිලිය. මේ සඳහා රජවරුන්ගේ දායකත්වයද නොමඳව ලැබී ඇත. සියබස්ලකර කෘතිය අනුවර්තනය කළේ සේන නම් වූ රජකෙනෙකි. ධම්පියා අටුවාගැටපදය, කව්සිළුමිණ ලියන්නේද රජවරුන්ය. ජානකීහරණ නම් වූ සංස්කෘත මහාකාව්‍ය රචනා කරන්නේ කුමාරදාස රජුය. රාජසභාවේ කවියන්ද සිට ඇත. සීගිරිය වර්තමානයේ ද ලොවක් මවිත කළ අපූර්ව නිර්මාණයකි. එහි නිර්මාතෘවරයාද කාශ්‍යප රජතුමායි. රාජ්‍ය මාලිගා ගත් කල්හි අද වුවද එහි නටබුන් පවතී. ඒ සැමෙකකින්ම අපගේ ප්‍රෞඪත්වය වර්ධනය කරන්නේය. අතීතයේ පටන් කලාව සාහිත්‍ය දියුණු කිරීම රජුගේ කාර්යභාරයක්, වගකීමක්ව පැවැත්තේය.
මේ අනුව අතීතයේ පටන් රජුගේ කාර්යභාරය කුමන ස්වරූපයක් ගත්තේදැයි අවබෝධයක් අපට ලබාගත හැකිය. ඔවුන් පාලන තන්ත්රයේදී අනුගමනය කළ මූලධර්මවල සාරය නිසා අදද අපි අභිමානයෙන් ඒ ගැන කතාකරමු.
පූජ්‍ය පදියතලාවේ ඤාණවිමල හිමි