ආසියා මහද්වීපයේ දකුණු ආසියා කලාපයේ කලකට ඉහතදී බොහෝ අභිමානවත්ව වැජඹුණු ලංකාදීපය යටත් විජිත පාලනයෙන් දශක ගණනාවකට මත්තෙන් වුවද මේ වන විට අස්ථාවර වූ හා ජරාජීර්ණය වූ පවුල් පාලනයක් යටතේ දේශපාලන, ආර්ථික හා සමාජයීය වශයෙන් බිඳවැටී යන තත්ත්වයකට මුහුණ පා සිටී. මෙවන් පසුබිමක ‘ත්‍රෛලෝක විජයපත්‍ර’ නොහොත් කංසා වගාව ආරම්භ කිරීමට රටේම පාලන තන්ත්‍රය කටයුතු කරද්දීත් පරිභෝජනයට වඩා සුදුසු එළවළු හා පලතුරු, මාංශ, මුහුදු ආහාරවල මිල ඉතා ශීඝ්‍ර ලෙස වැඩිවී ඇති අවධියක මතෘ භූමියේම ඇති සම්පත් පරිභෝජනය කරමින් ඩොලර් සෙවීමත්, රටේ ජනතාවගේ මූලික අවශ්‍යතා සැපිරීමත් වඩා යහපත් නොවන්නේද? ඒ මගේ පැනයයි.
දීර්ඝ කාලයක් උතුරු පෙනිසියුලාවේ මංමාවත්වල, දූපත්වල දිගින් දිගටම ගවේෂණාත්මකව සංචාරය කරන යාල් ආගන්තුකයා වරෙක කරෙයිනගර් දෙසට සුක්කානම මෙහෙයවන කල්හි කාකතිව් හෙවත් කපුටු දූපතට මඳක් නුදුරුන් මුහුදු ආහාර ලෙස ඉස්සන්, කකුළුවන් වගාකර පිටරට අපනයන කරන ගොවිපළක් දැක ඇත. තවත් වරෙක මන්නාරම් සංචාරය අතරතුර අඩම්පන්වලට මත්තෙන් මහා පරිමාණයෙන් සිදුකරන කකුළුවන් වගා මධස්ථානයක් දැක ඇත. නමුත් මේවා යාල් ආගන්තුකයාට බොහෝ සෙයින් නුහුරු නුපුරුදු ඒවා නොවූයේ එදිනෙදා ආහාර වේලේ අංගයන් ලෙස බොහෝ විට මීන් පොරියල්ල මාළු බැදුම්, යාපනේ ආරෙට කුළුබඩු යොදා පිසූ කකුළු කරියද, දැල්ලන් හා ඉස්සන් එක්කර තල් පිටි, මෑ, මුහුදු මාළු හා සියඹලා යුෂයෙන් රසගැන්වූ ඕඩියල් කූල්වලද රස දන්නා නිසාවෙනි.
නමුත් මේ කතාව ඇරඹෙන්නේ නුදුරේදී මා සංචාරය කළ මන්ඩතිව් නොහොත් මකුළුදූව සංචාරයේදී ඇස ගැටුණු මුහුදු පිපිඤ්ඤා වගාවක් සම්බන්ධයෙනි. පිපිඤ්ඤා ලෙස නම්කරන ලද විට අපට හැඟෙන්නේ මේ නම් එළවළු වර්ගයක් ලෙසය. මන්ද අප ඇල්ගී යොදාගෙන නිෂ්පාදනය කරන විවිධ ආහාර මෙන්ම ජීවවායුන් පිළිබඳ යම්තාක් දුරකට හෝ දන්නා නිසාවෙනි. නමුත් මේ සාගර ජීවීන් විශේෂයකි. ශ්‍රී ලංකාවේ උතුරු මුහුදේ සිට මන්නාරම දක්වා වූ කලාපයේ ජීව විද්‍යාත්මක ව්‍යුහය විශාල මුහුදු ජීවීන් ප්‍රමාණයකගේ ජීවන චක්‍ර පවත්වා ගැනීමට බොහෝ සෙයින් පිටිවහලක් වේ. ඒ නිසාවෙන් රටේ මුහුදු ආහාරවල ඉල්ලුමට අමතරව අතිරික්තය අපනයන කිරීමද සිදුවීම වෙරළබඩ ධීවර ප්‍රජාව දිරිගන්වන තවත් එක් සාධකයකි.
මුහුදු පිපිඤ්ඤා නම් චීනය, සිංගප්පූරුව ආදී අග්නිදිග ආසියාතික රටවල ප්‍රණීත ආහාරයක් වන අතර මේ ගොවිපළ නිරීක්ෂණය එය නම් හුදෙක්ම මා හට අපූරු අත්දැකීමකි. මන්ද මුහුදේ තැන තැන ඉනි සිටුවා දැල්වලින් ආවරණය කර සිදුකරන මේ වගාව රටට මහා පරිමාණයෙන් ඩොලර් සොයාගැනීමට මහත් පිටිවහලක් වන නිසාවෙනි. උතුරේ ධීවර ජනතාව අතර මේ වනවිට ප්‍රචලිත වෙමින් පවතින මෙම මුහුදු ජීවීන් වගාව මීට ඉහතදී කල්පිටිය හා මන්නාරම ආශ්‍රිතව සුළු පරිමාණයෙන් සිදුවී ඇතත් මීට වසර ගණනාවක දීර්ඝ ඉතිහාසයක් ඇත.
ශ්‍රී ලංකාවේ මුහුදු පිපිඤ්ඤා වගාව තරමක් පැරණි වන අතර එය හඳුන්වා දුන්නේ චීන ජාතිකයන් විසිනි. පුරාණ සේද මාර්ගය හරහා වෙළෙඳාම පැවැති විට මුහුදු පිපිඤ්ඤා සියවස් ගණනාවක් පුරා චීනයට ගෙන ගිය ප්‍රධාන භාණ්ඩයක් ලෙස වාර්තා වී ඇත.
සාමාන්‍යයෙන් මුහුදු පිපිඤ්ඤා ලෙස හැඳින්වෙන්නේ බැරල් හැඩැති ‘හොලෝතුරෝයිඩියා’ නම් තරු මාළු සහ මුහුදු ඉකිරියන්ද අඩංගු එකයිනොඩර්ම්ස් (Echinoderms) නම් විශාල සත්ව කාණ්ඩයට අයත් කොටසක් වශයෙනි. සියලු මුහුදු පිපිඤ්ඤා සාගර ජීවීන් වේ. සමහරක් නොගැඹුරු ප්‍රදේශවල වාසය කරන අතර අනෙක් ජීවීන් ගැඹුරු සාගරයේ වාසය කරයි. ලෝකයේ සාගරවල වාසය කරන මුහුදු පිපිඤ්ඤා විශේෂ 1,000කට වඩා ඇති නමුත් වාණිජමය වශයෙන් වැදගත් වන්නේ දුසිම් දෙකක් පමණි.
මුහුදු පිපිඤ්ඤා වාණිජමය වශයෙන් ලබාගත හැකි ඉහළම වටිනාකමින් යුත් මුහුදු ආහාර අතර වේ. මුහුදු පිපිඤ්ඤා අග්නිදිග ආසියානු කලාපයේ ආහාරයක් ලෙස භාවිත කිරීමේ දිගු ඉතිහාසයක් ඇත, මූලික වශයෙන් ඒවායේ පෝෂණ ගුණය සලකා බලන විට ඒවා ප්‍රණීත ආහාරයක් ලෙස සැලකේ. සමහර රටවල, වටිනා ඖෂධ නිෂ්පාදනය කරනු ලැබේ. උදාහරණයක් ලෙස, මැලේසියාවේ Gamat Oil ‘ගමට් තෙල්’ මුහුදු පිපිඤ්ඤාවල වියළන ලද ශරීරයෙන් නිෂ්පාදනය වන අතර එය beche-de-mer (Trepang හෝ haisom) ලෙස අලෙවි කෙරේ. කෙසේ වෙතත්, මුහුදු පිපිඤ්ඤා අල්ලා ගැනීමෙන් තිරසාර නිෂ්පාදනයට ඇති සීමාවන් සහ සීමිත තාක්ෂණික කුසලතා සහ දැනුම හේතුවෙන් මහා පරිමාණ මුහුදු පිපිඤ්ඤා කර්මාන්තයක් දියුණු කිරීමට ශ්‍රී ලංකාවට හිතකර පාරිසරික තත්ත්වයන් ලැබී ඇත.
එකල, බොහෝ උතුරු ධීවරයන්ට විශාල මසුන් ඇල්ලීම දුෂ්කර වූ විට, බොහෝ ඉන්දියානු ට්‍රෝලර් යාත්‍රා බලපත්‍ර නොමැතිව ශ්‍රී ලංකා මුහුදට ඇතුළු වීම සහ මසුන් දඩයම් කිරීම, යාන්ත්‍රික බොටම් ට්‍රෝලිං වැනි නීති විරෝධී මසුන් ඇල්ලීමේ ක්‍රම භාවිත කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වේ. එය ශ්‍රී ලංකා ධීවරයන්ගේ ජීවනෝපාය, ජාතික මත්ස්‍ය නිෂ්පාදනය, මසුන් ඇල්ලීමේ අපනයන ආදායම සහ ශ්‍රී ලංකා මුහුදු තීරයේ පොහොසත් පරිසර පද්ධතිය අහිමි කරන අතර ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය. ඉන්දීය ධීවරයන් විසින් යාන්ත්‍රික බොටම් ට්‍රෝලිං ක්‍රම භාවිත කිරීම වෙරළබඩ ප්‍රදේශවල ධීවර ප්‍රජාවගේ ධීවර ආම්පන්නවලටද දැඩි තර්ජනයක්වී තිබේ. ඉන්දීය බොටම් ට්‍රෝලර් යාත්‍රා මගින් මුහුදු පිපිඤ්ඤා පවා නීති විරෝධී ලෙස ශ්‍රී ලංකා මුහුදු සීමාවේදී ලබාගැනීමට ඔවුහු පුරුදුවී සිටියහ. වරෙක මන්නාරම දිස්ත්‍රික් ධීවර සමිති එකමුතුවේ ලේකම් වූ එන්.එම්. ආලම් මහතා ප්‍රාදේශීය පුවත්පතකට ප්‍රකාශ කර සිටියේ, ‘ඉන්දියානුවන් අත්තනෝමතික ලෙස අපේ මුහුදු තීරයේ මුහුදු පිපිඤ්ඤා අස්වැන්න නෙළන අතර, දැනට පවතින ව්‍යසනකාරී බොටම් ට්‍රෝලිං ක්‍රියාකාරකම්වලට අමතරව, ඔවුන් අපට එම දේම යම් වටිනාකමක් සහිතව නැවත විකුණනවා…’ යනුවෙනි.
කෙසේ හෝ නැවතත් මේ වගාව දැඩි රෙගුලාසි ඔස්සේ යාපනේ තැනින් තැන ඉතා සුළු පරිමාණයෙන් සිදුවෙමින් පවතී. 2021 වර්ෂයේ අපනයනය කළ මුහුදු පිපිඤ්ඤා ප්‍රමාණය මෙටි්‍රක් ටොන් තුන්සීයකට අධික වන අතර ඉන් ලැබූ ලාභය ඩොලර් මිලියන පනහකට අධික වේ. නමුත් මෙහි වෙළෙදපොළ කඩාකප්පල් කොට ලංකාවේ වයඹදිග මුහුදු ප්‍රදේශය සම්පූර්ණයෙන්ම චීනයට මුහුදු පිපිඤ්ඤා වගාකිරීමට ලබාදීමේ හස්තයක් ක්‍රියාත්මක වන බව වාර්තා වේ. මේ නිසා ස්වාභාවික සමුද්‍ර ජීවී ගහනයට වන හානිය ඉස්මතු කරමින් උතුරේ ධීවර ජනතාව නිරත්තරයෙන් හඬ නැගුවද ඒ සියලු පියවර පල රහිත තත්ත්වයක් ඇතිකර ඇත.
කෙසේ හෝ උතුරේ ජනතාව රටේ ආර්ථිකයට උර දෙමින් සිදුකරන නිහඬ සේවය මෙසේ අගය කරමි.
විදුනි බස්නායක