මන්ඩතිව් යනු යාපනය අර්ධද්වීපයට මත්තෙන් වූ නිල්වන් මුහුදු තීරයට එහා හරිත භූමියයි. කයිට්ස් යනු දකුණු රටේ ගාල්ලට සමාන කොලනි ලක්ෂණ දැකිය හැකි අපූරු භූමියකි. මන්ද මේවා යටත්විජිත සමයේ වෙළෙඳ කටයුතු උදෙසා භාවිත කළ සන්ධිස්ථානයන්‍ය. මේ දූපත මේ වන විට මුහුදු පිපිඤ්ඤා නම් චීනය, සිංගප්පූරුව, හොංකොං ආදී අග්නිදිග ආසියාතික රටවල ප්‍රණීත ආහාරයක් වන අතර මේ ගොවිපළ නිරීක්ෂණය නම් හුදෙක්ම මා හට අපූරු අත්දැකීමකි.
ඇතුන්ගේ තොට වූ කයිට්ස් පසුව විජේවීර නවාතැන්ගත් තැනයි. කයිට්ස් හෙවත් ‘ඌර්කාවතුරෙයි’ අර්ධද්වීපයේ වූ විශාලම දූපතයි. වර්ග කිලෝමීටර් හැටපහක පමණ භූමියකි. දිගින් කිලෝමීටර් දහඅටක් හා පළල කිලෝමීටර් හතරක් පමණය.
‘අයර් බළකොටුව’ (Erie Fort) නම් හිරිගල්වලින් ඉදිකර ඇති මෙහි නටබුන් අධ්‍යයනය කිරීමෙන් මෙය අඩි 130 දිග හා පළල, සිලින්ඩරාකාර අට්ටාල 4ක් සහිත ඉතා පුළුල් වූ බිත්ති ඇති බළකොටුවක්. මීට නුදුරින් භූමියට මත්තෙන් මීටර් හාරසීයකට එහා සාගරය මධ්‍යයේ ඉදිකළ හැමන්හිල් බළකොටුව පර්චස් තිස්දෙකක භූමිය පුරා පැතිරුණු තවත් සංචාරක ස්ථානයකි. මෙය ‘Key to Jaffna’ හෙවත් යාපනයේ යතුර යන අන්වර්ථ නාමයෙන් හඳුන්වා දී තිබේ. මේ බළකොටුව මුලින්ම හඳුන්වා ඇත්තේ ‘ෆෝටලෙසා රීල්’ හෙවත් රාජකීය බළකොටුව නමින්ය. 1971 දී හටගත් කැරැලි කෝලාහල සමයේදී ශ්‍රී ලංකා රජය විසින් අත්අඩංගුවට ගත් සිරකරුවන් මෙම බළකොටුවෙහි රඳවා තබා ඇත. ජනතා විමුක්ති පෙරමුණේ ආරම්භ නායකයකු වන රෝහණ විජේවීර මහතාද මෙම බළකොටුවෙහි සිරමැදිරියක රැඳවූ බව සඳහන් වේ. පසුකාලීනව ශ්‍රී ලංකා නාවික හමුදාව අත්අඩංගුවට ගත් චූදිත සමුද්‍ර යාත්‍රිකයන් මෙම බළකොටුව බන්ධනාගාරයෙහි රඳවන ලදී.
යාපනේ නිහඬ නගරය කරෙයිනගර්
යාපනයේ සිවුකොන රස්තියාදුවේ යන යාල් ආගන්තුකයාගේ මේ දිගහැරීම කරෙයිනගර් සංචාරයයි. කරෙයිනගර් (කරෙයි ගස් දූපත) නම් සාගරයේ ශ්‍රේෂ්ඨත්වය, පෞරාණික කෝවිල්වල අසිරිය සහ අසංඛ්‍යාත මුහුදු ආහාර ආයාසයකින් තොරව ඒකාබද්ධ කරන යාපනය නගර මධ්‍යයේ සිට කිලෝමීටර් විස්සකට එහා දුරක වූ ගමනාන්තයකි. එය පාරාදීසයක් නිර්වචනය කිරීමට යොදාගත හැකි ගමනාන්තයක් ලෙස හැඳින්වීම වරදක් නැත.
කරෙයිනගර් ද්වාරය ආගන්තුක සංචාරකයාව පිළිගන්නේ මෙහි වූ විශේෂ ‘සිවන් කෝවිල’ වෙනුවෙනුයි. පාරවල් නිහඬය. නගරයේ මෙන් නොසන්සුන් බවක් නැත. කැෂූරිනා වෙරළ නම් නැරඹිය යුතුම තවත් ගමනාන්තයකි. වෙරළ ඉතා පිරිසිදුය. හිරු බැසීම සිත් ඇදගන්නාසුලු බවක් එක්කරයි. ‘තැලසෝපීලික්’ හෙවත් මුහුදට දැඩි සේ කැමැත්තක් දැක්වන උදවියට සුදුසුම ස්ථානය මෙයයි.
කරෙයිනගර් ඇත්තෙන්ම සිත් ඇදගන්නාසුලු යාපනය අර්ධද්වීපයේ වූ සන්සුන් දූපතකි. කැෂූරීනා වෙරළට අමතරව මෙහි ‘කෝවලම්’ නම් වෙරළ උද්‍යානයක්ද ඇත. ඒ සමීපයේ මීටර් 25ක් පමණ උස ප්‍රදීපාගාරයක් දැකගත හැක. මෙය 1916 බි්‍රතාන්‍ය යටත්විජිත සමයේ ඉදිකර ඇත. කැෂූරීනා යන පාරේ ඇති එක් ආහාර අලෙවිසලක් ඇත. හුදෙක් දකුණේ වූ හෙල බොජුන් හල හා සමානය. යාපනේ ආවේණික ආහාර වේලක රස මනාව විඳිය හැකිය.
කරෙයිනගර් දූපතට ඇතුළු වීමට මත්තෙන් පොන්නාලෙයි දෙසට රථය දාවනය කළහොත් කිලෝමීටර් එකකට එහා ‘පොන්නාලෙයි වරදරාජ පෙරුමාල් කෝවිල’ දැකබලා ගත හැකිය. පොන්නලෙයි කිරුෂනන් කෝවිල නමින් ද හඳුන්වන හින්දු දේවස්ථානයකි.
කුරුවික්කඩ්ඩුවාන් ජැටියෙන් එහා නෙදර්ලන්තය ඩෙල්ෆ්ට්
හිරු අවරට යන කල්හි මේ දූපත් හුදෙකලා බවක් එක්කරන්නේ යාල් ආගන්තුකයාගේ සංචාරයට විරාමයක් තබමින්‍ය. මීළඟ දූපත් සංචාරය නම් නෙඩෙන්තිව් හා නාගදීපයයි. නිල් දියඹට ඇදෙන වඩ තාරකී නැවට කුරුවික්කඩ්ඩුවාන් ජැටියෙන් ගොඩවී උසාවි සංකීර්ණය අසල වූ පෞරාණික පරෙවි කූඩුව, ලන්දේසින් ඉදිකළ ඉංග්‍රීසින් පාලනය මෙහෙයවීමට යොදාගත් ඕලන්ද රෝහල, උසාවි සංකීර්ණය, නෙඩන්තිව් දූපතට පමණක් සීමා වූ කොරල්ගල් බැමි, රංචු පිටින් සැරිසරන කැලෑ අශ්වයන්, ශ්‍රී ලංකාවේ ඉතාමත් ආකර්ෂණීය බයෝබැබ් ගසක්, යටත්විජිත අතීතයෙන් මීකා නම් කොටුව, යටත්විජිත ක්වීන්ස් කුලුන හෙවත් ක්වින්ඩා කුලුන, කොරල් ගල්වලින් සෑදු චෝලයින් විනාශ කළ බෞද්ධ ස්ථූපයක නටබුන්, හින්දු අභය භූමිය සමග වැඩෙන ගල් , බි්‍රතාන්‍ය අශ්ව ගාලේ නටබුන්, අතුපතර විසිරුණු විශාල නුග ගස හා යෝධ පාද සටහන නැරඹීම කදිමය. අපගේ බුදුරජාණන් වහන්සේගේ පහස ලත් නයිනතීව් හෙවත් නාගදීප පූජා බිම වන්දනා මාන කිරීමට අමතක නොකළ යුතුය.
මන්නාරම් පිටි වැල්ලේ
මදටිය වැල් ඔංචිල්ලේ
කොණ්ඩෙ කඩං හඳට අඬං
සිංදු කියන්නී… කුණ්ඩුමනී
කුණ්ඩුමනී… කුණ්ඩුමනී…
කුණ්ඩුමනී… කුණ්ඩුමනී…
ප්‍රේරේමකීර්ති ද අල්විස් මහතාගේ පද මාලාවක් වික්ටර් රත්නායක මහතාගේ සංගීතයෙන් සන්නද්ධව ෆ්‍රෙඩී සිල්වාගේ ගොරහැඬි හාස්‍යමය හඬින් ගැයෙන මේ ගීතය’සැබැවින්ම මන්නාරම් පිටි වැල්ලේ සිටින කුණ්ඩුමනී කෙනෙක් මන්නාරම් සැරිසරන්නාගේ සිතේ අඳිනු ලබයි. උතුරේ සිවුකොන සිසාරා ඔබමොබ හැසිරෙන උතුරු අර්ධද්වීපයේ ආගන්තුකයාගේ මීළඟ නවාතැන නම් මන්නාරම් ගල්ෆ් කලාපයයි.
මන්නාරම් ගල්ෆ් කලාප කොටසේ කෙළවර ඉන්දියාවට ළඟින්ම පිහිටි ලංකාවේ කොටසයි.
මන්නාරම් ගල්ෆ් කලාපය වනාහි හින්දු සංස්කෘතිය හා මිශ්‍ර අපූරු දමිළ ජන විකාශනයක් පිළිබිඹු කරන්නාවූ ලක්දිව තවත් එක් ඉසව්වකි. මේ කතා ඔක්කොම මන්නාරම් ගල්ෆ් කලාපයේ සිරි අසිරි ගැනයි. ඉන්දියාව හා අත්වැල් බඳින මන්නාරම් දූපත්, මන්නාරමට රැකවල් දුන් මන්නාරම් බළකොටුව, ඩොරික්ගේ ගඩොල් මාලිගය, රාමාට ලංකා පුරයට මං තැනූ ආදම්ගේ පාලම, දියඹ පුරා විහිදි ධීවරයෝ, අත්වැල් බඳිමු බයෝබැබ් ගහ වටා, මල්වතු ඔයේ ද්වාරය, මාතොටින් නුදුරින් වූ තිරුකේතීෂ්වරම්, මාතොටින් එන උතුරු සුළඟේ ගිනි සිඹින මඩු පල්ලියේ අසිරිය දුටුවෙමි.
ඇමෙරිකාවේ ආදර නදිය මනිපායි වෙත රෝහල්, ඩිස්පෙන්සරි, මෙඩිකල් කෝලීජ ලෙස ගලා ආවේය.
මිෂනාරි ව්‍යාපාරයේ තවත් පැතිකඩක් වූයේ දේශීය වෛද්‍ය විද්‍යාව වෙනුවට බටහිර වෛද්‍ය විද්‍යාව හඳුන්වා දීමයි. ඒ අනුව දකුණු ආසියාවේ ප්‍රථම රෝහල හා ශ්‍රී ලංකාවේ ප්‍රථම වෛද්‍ය විද්‍යාලය වූ මනිපායි ග්‍රීන් රෝහල දොස්තර සැමුවෙල් ග්‍රීන්ගේ පුරෝගාමීත්වයෙන් ආරම්භ වූයේය. ලෝකයේ ප්‍රථම ඩිස්පෙන්සරිය, පළමු ඇමෙරිකානු මිෂනාරි වෛද්‍යවරයා වූ වෛද්‍ය ජෝන් ස්කඩර්ගේ පුරෝගාමිත්වයෙන් ආරම්භ වූයේද යාපනයේ පන්ඩතිරිප්පුහිය. එපමණක් නොව ලංකාවේ පළමු වෛද්‍යවරිය වූ වෛද්‍ය මේරි ස්කොට් මහත්මියගේ ප්‍රධානත්වයෙන් ග්‍රීන් මිෂනාරි රෝහල ආරම්භ කර වසර විස්සකට පසු ලංකාවේ පළමු හෙද විදුහල ඇරඹුණේත් යාපනේ මනිපායි ප්‍රදේශයේය. තවද යාපනයේ මුද්‍රණාලය ඇමෙරිකානු මිෂනාරීන් යාපනයට පැමිණියේ අධ්‍යාපනය ශිෂ්ටාරය හා පුස්තකයන්ගෙන් මනා සේ පෝෂණය වූ බොහෝ විද්වතුන් බිහිවූ බොස්ටන්හි මැසචුසෙට් සිටය. ඔවුන්ගේ ආගමනයට පෙර මුද්‍රණය කළ පොත්පත් කිසිවක් නොතිබීම නිසා 1820 වර්ෂයේ සිට බොස්ටන් සිට යාපනය දක්වා මුද්‍රණ යන්ත්‍ර හා තාක්ෂණික ශිල්පීන් එවන ලදී. ‘මෝනිං ස්ටාර්’ පුවත්පත මිෂනාරිවරුන් බොහෝ සේ කියවීමට හා ලිවීමට ළැදි පාර්ශ්වයක් වූ නිසාවෙන් පුවත්පතක අවශ්‍යතාවද ඇතිවිය. එහි ප්‍රතිඵලයක් ලෙස 1841 වර්ෂයේ දකුණු ආසියාවේ දෙවැනි දමිළ හා ඉංග්‍රීසි පුවත්පත ලෙස ‘උදය තාරකී’ නොහොත් ‘මෝනිං ස්ටාර්’ පුවත්පත ප්‍රකාශයට පත්විය. මේවාද ඉතා අපූරූ කතාන්දරය. ඇමෙරිකානු මිෂනාරි ලංකාවට පැමිණි කාලසීමාවේ ශබ්දකෝෂ කිසිවක් නොතිබිණි. එක වචනයකට සමාන බොහෝ වචන භාවිත කිරීම පුරුද්දක් කරගත් නිසා ශබ්දකෝෂයක් නිර්මාණය කිරීමේ අවශ්‍යතාව මතුවී තිබිණි. නමුත් මේ සඳහා මූලික පියවර තබා තිබුණේ එවක නල්ලුර්හි ඇන්ජිලිකන් මිෂනාරි වූ ජෝසප් නයිට්ය. ඔහු දෙමළ ඉංග්‍රීසි ශබ්දකෝෂය නිර්මාණය කිරීම අවසන් කිරීමට මත්තෙන් ජීවිතය නිමා කළ නිසා එහි වගකීම ඇමෙරිකානු මිෂනාරින් සතුවිය. වගකීම භාරගත් ලෙවී ස්පෝල්ඩින් (ඛැඩස ීච්මකාසබට) වචන 58,500ක් අඩංගු කරමින් ශබ්දකෝෂයක් නිර්මාණය කළ අතර එය 1842 වර්ෂයේ මනිපායි මුද්‍රණාලයේ මුද්‍රණය කරන ලදී.
ඉතින් මේ ඔබේ වාරයයි. දුටු නුදුටු යාපනේ සිරි බලන්න.

විදුනි බස්නායක