මාධ්‍යවේදී ප්‍රසාද් සමරතුංගගේ ‘තාත්තා’ රිදී තිරයට! ප්‍රසාද්ගේ දෙවැනි සිනමා අධ්‍යක්ෂණය…!

තරුණ මාධ්‍යවේදියකු මෙන්ම සිනමාකරුවකුද වන ප්‍රසාද් සමරතුංගගේ දෙවැනි සිනමා නිර්මාණය වන ‘තාත්තා’ වෘතාන්ත චිත්‍රපටය ළඟදීම දිවයිනේ සිනමාහල්වල ප්‍රදර්ශනය වීමට නියමිතය. කලාත්මක සිනමාවට බොහෝ නැඹුරුව, ලේක්හවුස් ආයතනයේ ‘සරසවිය’ පුවත්පතේ මාධ්‍යවේදියකු ලෙස සේවය කරන ප්‍රසාද් සමරතුංග මින් පෙර ‘ඉස්කෝලෙට මං ආවා’ නමැති වෘතාන්ත චිත්‍රපටයද අධ්‍යක්ෂණය කළේය. මෙවර ප්‍රදර්ශනයට නියමිත ‘තාත්තා’ චිත්‍රපටයද ඉතා කලාත්මක චිත්‍රපටයක් ලෙස සැලකෙන අතර, එය පිය සෙනෙහස ගැන නිර්මාණය කෙරුණු චිත්‍රපටයක් වෙයි. කොළඹින් බැහැර ගමක ජීවත්වන පහළ මධ්‍යම පාන්තික පවුලක් ගැන කියැවෙන කතාන්දරයක් මෙම චිත්‍රපටයට පාදක වී ඇත.

මෙහි ප්‍රවීණ නළු නිළියන් කිහිප දෙනකු සහ දක්ෂ ළමා නළු නිළියන් රැසක්ද රංගනයෙන් දායක වෙති. ‘තාත්තා’ චිත්‍රපටය නිෂ්පාදනය කර ඇත්තේ වත්මන් සිනමාවේ බොහෝ කලාත්මක චිත්‍රපට නිෂ්පාදනය උදෙසා තම දායකත්වය සැපයූ තරුණ ව්‍යාපාරිකයකු වන රූෂාන්ත විජේනායක විසිනි.

‘තාත්තා’ චිත්‍රපටයේ ප්‍රධාන චරිත කුමාර තිරිමාදුර සහ නිල්මිණි තෙන්නකෝන් විසින් රඟන අතර ළමා රංගන ශිල්පීන් වන තිසෙව් සත්සිළු විජේනායක, සදෙව් වලිමුනි, ඔනෙලි හිමහංසි, කුයේෂා අනගි සහ තවත් නළු නිළියන් රැසක් රංගනයට දායක වෙති. තරුණ පරපුරේ සම්මානනීය කලාත්මක කැමරා අධ්‍යක්ෂවරයකු වන සිසිකිරණ පරණවිතාන විසින් ‘තාත්තා’ චිත්‍රපටයේ කැමරා අධ්‍යක්ෂණය සිදුකර ඇත. සංගීත නිර්මාණය කර ඇත්තේද සම්මානනීය සංගීත අධ්‍යක්ෂවරයකු වන දිනේෂ් සුබසිංහ විසිනි. කතා සංකල්පය සහ තිර රචනය ලලිත් වර්ණප්‍රියගෙන් වන අතර, සහාය අධ්‍යක්ෂණය තරිඳු ඉලංගකෝන් ගෙනි. කලා අධ්‍යක්ෂණය ගීතානි සෙනෙවිරත්න සහ අංග රචනය තාරක අධිකාරිගෙනි. ගී පද රචනය වෛi ශානි ඇන්තනීගෙන් වන අතර, ගීත ගායනා නලින් පෙරේරා සහ උපේඛා නිර්මාණිගෙනි. නිෂ්පාදන කළමනාකරණයෙන් සහ මාධ්‍ය සම්බන්ධීකරණයෙන් උපුල් නිශාන්ත මෙම සිනමා නිර්මාණයට දායක වී ඇත.

Exit mobile version