ප්‍රසංග වේදිකාව ක්‍රියාශීලී කරපු පළමු සංගීත කණ්ඩායම…
ඇඟිලිවලින් වැඩ දැම්ම රොෂාන්ගේ ඩ්‍රම්ස් ගැහිල්ල…
අපේ රටේ ජනප්‍රිය පෙරළිකාර සංගීත කණ්ඩායමක් වන ‘ෆ්ලෑෂ් බැක්’ පසුගියදා තමන්ගේ 30 වැනි උපන්දිය සැමරුවා. අවුරුදු 30ක් කියන්නේ පොඩි කාලයක් නෙවෙයි. ඒ තරම් කාලයක් සංගීත කණ්ඩායමක් පවත්වා ගෙන යන එකත් ලෙහෙසි පහසු දෙයක් නෙවෙයි. ඒ වගේම ඒ කාලය පුරාම තමන්ගේ ජනප්‍රියත්වය ඒ ආකාරයෙන්ම රැකගන්න එකත් කිසිසේත්ම පහසු නැහැ. ඒත් රොෂාන් ප්‍රනාන්දු ප්රමුඛ ෆ්ලෑෂ් බැක් කණ්ඩායම ඒ හපන්කම කරලා තියෙනවා.
90 දශකය කියන්නේ අපේ රටේ සංගීත ක්ෂේත්රයේ පෙරළි රැසක් සිදුවූ කාලවකවානුවක්. 90 දශකයේ ආරම්භයේදීම එනම් 1991 වසරේ තමයි ෆ්ලෑෂ් බැක් කණ්ඩායම තමන්ගේ සංගීත චාරිකාව ආරම්භ කරන්නේ. ඒ වෙද්දි ලංකාවේ ජනප්‍රිය සංගීත කණ්ඩායම් රාශියක් අතරින් හෙමින් හෙමින් තමන්ගේ ගමන යන්න ෆ්ලෑෂ් බැක් කණ්ඩායමට හැකියාව ලැබෙනවා.
සංගීත කණ්ඩායමක් ජනප්‍රිය වෙන්න නම් ඒ කණ්ඩායමටම අනන්‍ය වූ සුවිශේෂතා තියෙන්න ඕනෑ. ෆ්ලෑෂ් බැක් සතුවත් එවැනි සුවිශේෂතා රාශියක් දකින්න ලැබුණා. මුල් කාලයේදී ෆ්ලෑෂ් බැක් සතු වූ සුවිශේෂම අවිය වුණේ කණ්ඩායමේ නියමුවා වගේම ඩ්‍රම්ස් වාදකයා වූ රොෂාන් ප්‍රනාන්දු. තම ඇඟිලි අතරින් ඩ්‍රම් ස්ටික්ස් කරකවමින් සෑම දෙනාගේම අවධානය තමන් වෙත යොමු කරගන්න රොෂාන් සමත් වුණා. ඇත්තටම ඒ කාලේ ෆ්ලෑෂ් බැක් ප්‍රසංග නරඹපු බොහෝ දෙනෙක් එකතු වෙලා හිටියේ ඩ්‍රම් සෙට් එක වටේ.
ෆ්ලෑෂ් බැක් කණ්ඩායම ලංකාවේ බොහෝ දෙනාගේ අවධානය දිනාගත්ත සංගීත කණ්ඩායමක් බවට පත් වුණේ 90 දශකයේ අගභාගයේදී. ඒ වෙනකම් නිහඬ ගමනක් ආව ෆ්ලෑෂ් බැක් එක සැරේටම වේදිකාවේ පෙරළි කරන කණ්ඩායමක් බවට පත්වුණා. ප්‍රසංග වේදිකාවට ක්‍රියාශීලී බව අරගෙන ආවේ ෆ්ලෑෂ් බැක්.
එකතැන ඉඳගෙන සිංදු කියන ගායකයෝ වෙනුවට ෆ්ලෑෂ් බැක් කණ්ඩායමේ ගායකයෝ වේදිකාව වටේට දුව පනිමින් සිංදු කියන්න පටන් ගත්තා. ගිටාර් වාදකයොත් ඒ වගේ. ඒක ඇත්තටම අපේ රටේ ප්‍රසංග කලාවට අලුත් වෙනසක් වුණා. ඒ වගේම ඒ වෙනසට බොහෝ දෙනෙක් ආදරය කරන්නත් පටන් ගත්තා.
2000 වසර ආරම්භය වෙද්දි ෆ්ලෑෂ් බැක් කියන්නේ ලංකාවේ අතිශය කාර්යබහුල සංගීත කණ්ඩායමක් බවට පත්වෙලා තිබුණා. ඒ වගේම ඒ වෙද්දි ඔවුන්ගේම ගීත රාශියකුත් අතිශයින් ජනප්‍රියත්වට පත්වෙලා තිබුණා.
ෆ්ලෑෂ් බැක් හරහා බිහි වුණු ගායන ශිල්පීන් ගැන කතා කිරීමේදී අංක එකට මතකයට එන්නේ කිංස්ලි පීරිස්. මුල් කාලයේදී එච්.ආර්. ජෝතිපාල මහත්මයාගේ ගීත ගායනා කළ කිංස්ලි, පසුව තමන්ගේම නිර්මාණ හරහා විශාල ජනප්‍රියත්වයක් හිමිකර ගත්තා.
කිංස්ලිගේ කැසට්පට කිහිපයක් ආදායම් වාර්තා බිඳ හෙළමින් අලෙවි වුණා. අදටත් කිංස්ලි ලංකාවේ ජනප්‍රියම ගායන ශිල්පියෙක්. ඒත් කවදාවත් ෆ්ලෑෂ් බැක් දාලා යන්න තම ජනප්‍රියත්වය හේතුවක් කරගන්න කිංස්ලි කටයුතු කළේ නැහැ.
මුල් කාලයේ ඩ්‍රම්ස් වාදකයකු ලෙසින් පෙරළි කළ රොෂාන් පසු කලෙකදී ගායන ශිල්පියෙක් ලෙස කටයුතු කරන්න ගත්තා. හුරුපුරුදු ඩ්‍රම්ස් වාදනයට සමු දුන් රොෂාන් තමන්ගේ තැන නවකයකුට ලබාදෙන්න තරම් නිහතමානී වුණා. ලංකාවේ ගීත කලාවට නැවුම් ආරක් එකතු කරමින් රොෂාන් ගායනා කළ ගීත රාශියක් අදටත් අතිශයින් ජනප්‍රියයි.
ඕනෑම කණ්ඩායමක් දිගු කාලයක් එකට කටයුතු කරද්දී, යම් යම් මත ගැටුම් ඇති වීම සාමාන්‍ය දෙයක්. මේ ගමන පුරාම ෆ්ලෑෂ් බැක් කණ්ඩායමත් එවැනි අවස්ථාවලට මුහුණ දුන්නා. කණ්ඩායම ජනප්‍රියත්වයේ හිණිපෙත්තේ සිටි කාලයේදී කණ්ඩායම නියෝජනය කළ ප්‍රබල සාමාජිකයෝ වෙනත් සංගීත කණ්ඩායම් එක්ක එකතු වුණේ සෑම දෙනාම පුදුම කරවමින්.
ඒත් ඒ අඩුව පුරවන්න ඊට වඩා දක්ෂයෝ කණ්ඩායමට ගේන්න රොෂාන්ට ශක්තිය තිබුණා. ඒ වගේම අදටත් මුල් පෙළේ සාමාජිකයන් වැඩි පිරිසක් සිටින කණ්ඩායමක් ලෙස ෆ්ලෑෂ් බැක් හඳුන්වන්න පුළුවන්. ඒ අතරට රොෂාන්, කිංස්ලි වගේම අරුණ තමෙල් සහ රෝස් අලගියවන්නත් ඇතුළත් වෙනවා.
අදටත් ප්‍රසංග වේදිකාවේ ෆ්ලෑෂ් බැක්ට තියෙන ඉල්ලුම ඉතාම ඉහළයි. වසර 30ක් පුරා ප්‍රේක්ෂකයන්ට, ශ්‍රාවකයන්ට වෙනස් අත්දැකීම් ලබාදෙමින් ජනප්‍රියත්වය ඒ විදියටම රැකගන්න රොෂාන් ඇතුළු සාමාජිකයන්ට හැකියාව ලැබිලා තියෙනවා.
ලංකාවේ කණ්ඩායම් සංගීතයේ ජීව ගුණය රැක ගනිමින් තව බොහෝ දුරක් යන්න ෆ්ලෑෂ් බැක් කණ්ඩායමට ශක්තිය පතන ගමන් ඔවුන්ට සුබ උපන්දිනයක් පතන්නත් අපි මේක අවස්ථාවක් කර ගන්නවා.
-චන්දන පොන්නම්පෙරුම











