සිංහල සිනමාවේ විචිත්‍රවත් මංසලකුණු තියාපු ලස්සනම නිළියෝ දෙන්නෙක් තමයි මේ ඉන්නේ. ලස්සන විතරක් නෙවෙයි. මේ දෙන්නම හුඟක් දක්ෂ, චරිතාංග නිළියෝ. දෙන්නම සම්මානනීයයි. මේ ප්‍රවීණ කලාකාරියන් දෙන්නව හඳුනාගන්න නම ගම සටහන් කරන්න ඕනෙ නැහැ. ඒත් මේ ලියවිල්ලට ඕනෙ නිසා නමත් එක්කම දෙන්නගෙ සුන්දර පැටිකිරියත් ලියමු. එක්කෙනෙක් ශ්‍රියානි අමරසේන. අනිත් නිළිය සෝනියා දිසා. එහෙම නැත්නම් දිසානායක. Sri Lanka Latest News
ඇයි මේ හිටි ගමන් ශ්‍රියානි අමරසේනයි සෝනියා දිසයි ගැන ලියන්න හිතුණේ?
ඒක නම් අහන්න ඕනෙ ප්‍රශ්නයක් නෙවෙයි. ඒ මොකද මේ දෙන්නා ගැන පසුගිය දවස්වල සෝෂල් මීඩියාවල වගේම මුහුණු පොතේත් දිගට හරහට හැඩකාර හෑලි ලියලා පෝස්ට් දාලා තිබුණා. හේතුව මේ ප්‍රවීණ ලස්සන ජනප්‍රිය නිළියෝ දෙන්නගෙම උපන් දිනේ වැටිලා තියෙන්නේ ජුනි මාසේ. දෙන්නම ඉපදිලා තියෙන්නෙත් එක්දහස් නවසිය හතළිස් හතරේ. ශ්‍රියානි අමරසේන ජුනි 14. සෝනියා දිසා ජුනි 07 වැනිදා. එතකොට දෙන්නම එකම වයසේ. ඒ කියන්නේ දෙන්නටම අවුරුදු 81යි.
කියන්න බැහැ නේද?
ඔව්. 81යි කියලා කියන්න බැහැ. දෙන්නම තවම තරුණ පාටයි. ඒ වගේම හැඩයි. දෙන්නා සිනමාවට ආවෙත් එකම කාලවකවානුවකයි. ශ්‍රියානි මුලින්ම සිනමා රසය උරගා බලන්න ආවේ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ ගොළු හදවත ෆිල්ම් එක හරහායි. ‘දම්මි’ට හරියන මුහුණ හොයන්න ලෙස්ටර් මහත්තයා තියපු ඔඩිෂන් එකට ලස්සන මුහුණක් තියෙන ශ්‍රියානි අමරසේනත් ආවා. ඒත් ඔහු හොයාපු දම්මිගේ රූපේ ඇයට තිබුණේ නැහැ. හැබැයි ඈ හිස් අතින් ගෙදර ගියෙත් නැහැ. සුගත්ගේ නෑනාගේ චරිතයට ඈව තෝරාගත්තා. ඉන් පස්සේ ලෙස්ටර් ජේම්ස් පීරිස් කියන ප්‍රවීණ නිර්මාණකරුවා වාගෙම ඔහුගේ බිරිය වූ ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂිකා සුමිත්‍රා පීරිස්ගෙත් බොහෝ නිර්මාණවල ශ්‍රියානි රඟපෑවා.
සෝනියා දිසා හැට ගණන්වලින් ආරම්භ කරපු සිනමා රංගනය තුළ හැත්තෑවේ ඉඳන්ම අසූව දශකය වෙන තුරුම විවිධ ආකාරයේ විශිෂ්ට චරිත නිරූපණයක නියැළුණා. ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ කේ.ඒ.ඩබ්. පෙරේරාගේ චිත්‍රපට අතර සෝනියා දිසාට හැමදාමත් වාගේ ප්‍රධාන චරිතයක් ලැබුණා. බොක්ස් ඔෆිස් වාර්තා රැසක්ම බිහිකරපු ජනක සහ මංජු ඒ අතර විශේෂයි. ‘හරිම බඩු තුනක්’ ෆිල්ම් එකට ‘ඔබගේ රුව මාගේමයි’ සින්දුවට ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු එක්ක ඈ තාල තියලා රැඟූ රැඟිල්ල රසික සිත් උන්මාදනීය බවින් ඔකඳ කළා. තරමක් නපුරු ආවේගශීලී චරිතවලට බොහෝ නිර්මාණකරුවන් ඈව කොටු කළාට ඇගේ ජනප්‍රියත්වයට එය බාධාවක් වුණේ නැහැ.
එකම අවුරුද්දේ ඉපදුණු මේ ප්‍රවීණ කලාකාරියො දෙන්නම රංගනයෙන් පසු හෝ ඊට අමතරව චිත්‍රපට අධ්‍යක්ෂණයට සහ නිෂ්පාදනයටත් අත තිබ්බා. ඒ නිර්මාණ කාර්යය තුළත් දෙන්නම කතාබහට ලක්වුණා. සෝනියාගේ ‘ජය අපටයි’, ‘මමයි රජා’ නිෂ්පාදනයන් බොක්ස් ඔෆිස් වාර්තා තිබ්බා.
ඉතින් මේ සුරූපී සිනමා තාරකාවන් දෙන්නා ගැන තව ලියන්න බොහෝ දෑ තියෙනවා. මේ වාගේ පොඩි ඉඩක නෙවෙයි. පත්තර පිටු ගානක් ඒවා ලියන්න පුළුවන්. ඒ තරමට ශ්‍රියානි අමරසේනයි සෝනියා දිසායි කියන්නේ ඒ තරමට සිංහල සිනමා කෙත හරිම චමත්කාරජනකව අස්වැද්දූ ප්‍රවීණ නිළියන් දෙදෙනෙක්. වාණිජ වගේම සම්භාව්‍ය සිනමා රැල්ල තුළත් නම තැබූ දෙන්නෙක්. අදටත් රසික සිත්වල මතකයෙන් බැහැරව නොයන දෙන්නෙක්.
‘සුබ උපන්දිනක් වේවා…’ කියන්න කාලය ඉකුත්ව ගියත් අපි නිරෝගී සුවය පිරි සුබදායී හෙට දවසක් ශ්‍රියානි අමරසේනටත් සෝනියා දිසාටත් ප්‍රාර්ථනා කරමු.
මල්මි කෞෂල්‍යා











