හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාගෙන් පුරප්පාඩු වූ පොලිස්පති ධුරය සඳහා එවක බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධුරයේ කටයුතු කළ දේශබන්දු තෙන්නකෝන් මහතා වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත්කරනු ලැබුවේ පසුගිය නොවැම්බර් මාසයේදීයි. මාස 3කට ආසන්න කාලයක් වැඩබලන පොලිස්පති ධුරයේ කටයුතු කළ දේශබන්දු තෙන්නකෝන් මහතා පසුගිය පෙබරවාරි මාසයේදී මෙරට 36 වැනි පොලිස්පතිවරයා ලෙස පත්කරනු ලැබුවා. පාස්කු ප්‍රහාරය වළාක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් ජනාධිපති කොමිසම හමුවේ දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව විනය පරීක්ෂණයක් පැවැත්වූ අතර, මූලික අයිතිවාසිකම් කඩකිරීමේ නඩුවකට අදාළව අධිකරණය හමුවේ ඔහු වරදකරුවකුද වුණා. එවන් පසුබිමක පොලිස්පති ධුරයට දේශබන්දු තෙන්නකෝන් මහතා පත්කිරීම ගැටලුසහගත බවට පාර්ශ්ව කිහිපයක් චෝදනා එල්ල කළා. (Sri Lanka Latest News)
ඒ අනුව පොලිස්පති පත්කිරීමේ වගකීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට පැවරුණු අතර, එහිදී දේශබන්දු තෙන්නකෝන් මහතා පත්කිරීමේ යෝජනාව සම්මත වූ ආකාරයද ගැටලුසහගත වුණා. එහිදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයන් අතර පැවැති ඡන්ද විමසීමෙන් දේශබන්දු තෙන්නකෝන් මහතාට පක්ෂව ඡන්ද 4ක් සහ විරුද්ධව ඡන්ද 2ක් ප්‍රකාශ වූ අතර, තවත් සාමාජිකයන් දෙදෙනකු ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියා. එසේ ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටි සාමාජිකයන් දෙදෙනා අදාළ යෝජනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළ බව නිගමනය කරමින් කතානායකවරයා සිය තීරක ඡන්දය භාවිත කරනු ලැබුවා. කතානායකවරයාගේ එම ක්‍රියාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධානවලට පටහැනි බවට චෝදනා එල්ල වුණා. ඒ අනුව අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඇතුළු පාර්ශ්ව 9ක් ඊට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනුකරනු ලැබුවා.
දේශබන්දු තෙන්නකෝන් මහතාගේ නාමයෝජනාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් විධිමත් ආකාරයෙන් අනුමත වී නොමැති නිසා ඒ මත පදනම්ව ජනාධිපතිවරයා විසින් සිදුකළ එම පත්වීම සම්පූර්ණයෙන්ම නීතිය ඉදිරියේ බල රහිත බවත් පෙත්සම්කරුවන් සිය පෙත්සම්වලින් සඳහන් කර තිබුණා. එම මූලික අයිතිවාසිකම් පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සලකා බැලීම පසුගිය 24 වැනිදා සිදුකෙරුණා. ඒ, යසන්ත කෝදාගොඩ මහතාගේ සභාපතිත්වයෙන් යුත් ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේයි. එහි සෙසු සාමාජිකයන් වන්නේ අචල වෙන්ගප්පුලි සහ මහින්ද සමයවර්ධන යන විනිසුරුවරුනුයි. එහිදී එම මූලික අයිතිවාසිකම් පෙත්සම් 9 විභාගයට ගැනීමට අවසර හිමි වුණා.
තීන්දුව ප්‍රකාශයට පත්කරමින් සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා පැවැසුවේ මෙම පෙත්සම් විභාගයේදී පෙත්සම්කරුවන් විසින් අධිකරණය හමුවේ ප්‍රබල නඩු නිමිත්තක් තහවුරු කිරීමට සමත්ව තිබෙන බවයි. ඒ අනුව අදාළ පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස නම්කර තිබූ ජනාධිපතිවරයා වෙනුවෙන් නීතිපතිවරයා, කතානායක මහින්ද යාපා අබේවර්ධන සහ දේශබන්දු තෙන්නකෝන් යන අයට එරෙහිව නඩු විභාගයක් පැවැත්වීමටද අධිකරණය තීරණය කරන බව විනිසුරු මඬුල්ල සඳහන් කළා. මෙම පෙත්සම්වලට අදාළ විරෝධතා තිබේ නම් ඒවා සති 6ක් තුළ ගොනුකිරීමට නියෝග කළ විනිසුරු මඬුල්ල, පෙත්සම් විභාගය නොවැම්බර් මස 11 වැනිදා යළි කැඳවන ලෙසත් නියෝග කළා.
ඒ අනුව, අදාළ අතුරු තහනම් නියෝගය ක්‍රියාත්මක වන කාලසීමාව සඳහා පොලිස්පති තනතුරට නීතියට අනුකූලව සුදුසු අයකු නම්කිරීමට පියවර ගන්නා ලෙසයි ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ජනාධිපතිවරයාට නියෝග කර ඇත්තේ. මෙම පෙත්සම් සලකා බැලීම දින ගණනාවක් තිස්සේ නියමිත අධිකරණ රාජකාරී කාලසීමාව අභිභවා ගොස් පැවැත්වීමට සිදුවූ බව පෙන්වා දුන් ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලේ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා, එම සහයෝගය සම්බන්ධයෙන් සියලු නීතිඥවරුන්ට ස්තුතිය පළකළා.
නඩු තීන්දුව ප්‍රකාශයට පත්කිරීමෙන් අනතුරුව තරිඳු ජයවර්ධන මහතා පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් මාධ්‍ය වෙත මෙලෙස අදහස් දක්වා සිටියා.
‘පොලිසිය කොච්චර දේශපාලනීකරණය වෙලාද, ඡන්ද තියන්න විවිධ දේවල් කරගන්න දේශබන්දු තෙන්නකෝන් වගේ පොලිසියේ ඉන්න පුද්ගලයෝ ආණ්ඩුව කොච්චර භාවිත කළාද කියලා අපි දැක්කා. ගෝල්ෆේස් එකට ගහද්දී දේශබන්දු තෙන්නකෝන්ගේ හැසිරීම අපි දැක්කා. හිටපු ආණ්ඩුවට කොච්චර කඩේ ගියාද කියන එක අපි දැක්කා. දේශබන්දු තෙන්නකෝන් පත්වුණු දවසේ ඉඳන් මේ වෙනකල් කරපු දේවල් නීත්‍යනුකූල නෑ කියලා අපි විශ්වාස කරනවා. අධිකරණයේ කරුණු දැක්වීම අහගෙන හිටියා නම් පෙත්සම්කරුවන්ගේ, ඕනෙ කෙනකුට තේරෙනවා ඔහු නීත්‍යනුකූලව පත්කරලා නෑ කියලා. අපි බලාපොරොත්තු වෙනවා දේශබන්දු තෙන්නකෝන් රජයේ මුදල් අවභාවිත කරමින් ඔහු කළේ පොලිස්පති කෙනෙක් විදියට යුනිෆෝම් එක ඇඳගෙන රඟපාන එක. ඒකට විරුද්ධව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට පැමිණිලි කරන්න සහ තවත් ආයතනවලට පැමිණිලි කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ජනාධිපතිවරයා නැවත වතාවක් ව්‍යවස්ථාව උල්ලංඝනය කරන්නේ නැතුව තනතුරට සුදුස්සෙක් වැඩ බලන්න පත්කරයි කියලා අපි විශ්වාස කරනවා….’
පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් නීතිඥ නාමල් රාජපක්ෂ මහතාද මාධ්‍ය හමුවේ අදහස් දක්වා සිටියේය.
‘ටිරාන් අලස් ඇමැතිවරයා දේශබන්දු තෙන්නකෝන්ට විරුද්ධව ක්‍රියා කරන අපට තර්ජනය කරමින් ඉතා දුර්දාන්ත පාලනයක් අරගෙන ගියා. එයාගේ පාලනය තහවුරු කරගන්න වැඩබලන පොලිස්පති වෙලා යුක්තිය කියන මෙහෙයුමක් කරගෙන ජනතාව අපහසුතාවට පත්කරමින් මහා විප්‍රකාර නටමින් රටේ දේපළ විනාශ කරමින් පොදු දේපළ පාවිච්චි කරමින් මහා දෙයක් කළා. නමුත් අද වෙනකොට ශ්‍රේෂ්ඨාධිකරණය මූලිකවම බැලූ බැල්මටම එයාගේ පත්කිරීම නීති විරෝධී බවට තීරණය කරලා තියෙනවා. ඒක ලොකු ජයග්‍රහණයක්…’
නීතිඥ තිෂ්‍ය වේරගොඩ මහතා – පැමිණිලාකාර පාර්ශ්වය වෙනුවෙන්
‘මේක ඉතා විශාල ජයග්‍රහණයක් ව්‍යවස්ථාව පැත්තෙන් බලන විට. මෙම පත්වීමේ ව්යවස්ථානුකූලභාවයේ විශාල ගැටලු ගණනාවක් තිබ්බා. කෲර අමානුෂික වධ හිංසා පැමිණවීම සම්බන්ධයෙන් වරදකරුවකු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියම කරනු ලැබූ පුද්ගලයකු මෙවැනි තනතුරකට පත්කිරීමේ ඇති ගැටලුවද මේ නඩුව තුළදී මතුවුණා….’
මේ අතර, අදාළ නඩු තීන්දුව ලබාදීමෙන් පසුව කතෝලික සභාව මාධ්‍ය හමුවක් පවත්වා එම සභාවේ මතය ප්‍රකාශ කළ අතර, එහිදී කොළඹ අගරදගුරු පදවිය නියෝජනය කරමින් ගරු සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා මෙලෙස අදහස් දක්වා සිටියේය.
‘දේශබන්දු තෙන්නකෝන් මහත්මයට පොලිස්පති ධුරයේ වැඩ රාජකාරි කිරීම අත්හිටුවලා තියෙනවා ශ්‍රේෂ්ඨාධිකරණය. අපි හිතනවා ඒක ඉතා වැදගත් හොඳ තීරණයක්.’
ප්රශ්නය
මීළඟට පොලිසියේ ජ්‍යෙෂ්ඨත්වයෙන් ඉන්නේ දැනට වැඩතහනමට ලක්වෙලා ඉන්න නිලන්ත ජයවර්ධන මහත්මයා. එතුමාව ඊළඟට වැඩබලන පොලිස්පති කරයිද? ඒ ගැන ඔබතුමන්ලාගේ අදහස මොකක්ද?
පිළිතුර
‘මම දන්න හැටියට එහෙම කරන්න විදියක් නැහැ. ඔහුට විරුද්ධව විනය පරීක්ෂණයක් පවත්වන එකයි දැන් තියෙන්නේ. ඒ සඳහා තමයි ඔහුගේ සේවය අත්හිටුවලා තියෙන්නේ. ඒ විනය පරීක්ෂණය නිමාවන තුරු ඔහුට පොලිසියේ රාජකාරි කිරීමේ හැකියාවක් නැහැ.’
ප්රශ්නය
ඔබවහන්සේලා ඊළඟට බලාපොරොත්තු වෙන්නේ මොන වගේ පොලිස්පතිවරයෙක්ද?
‘අපි බලාපොරොත්තු වෙන්නේ දේශපාලනයට යටත් වෙන්නේ නැති, දේශපාලණීකරණය වෙන්නේ නැති, දේශපාලකයන්ට අවශ්‍ය පරිදි කටයුතු නොකරන කෙනෙක්. ඒ වගේම අපි ඉන්නේ ඉතා වැදගත් කාලපරිච්ඡේදයක. ජනාධිපතිවරණයක් අබියස. එතකොට මේ ජනාධිපතිවරණය සාධාරණ ස්වාධීන ජනතාවට තමන්ගේ ස්වාධීන මතය ප්‍රකාශ කරන්න ඉඩකඩ සැලසෙන මැතිවරණයක් බවට පත්කර ගැනීම සඳහා පොලිසියට ලොකු වගකීමක් තියෙනවා. අපි කල්පනා කරන්නේ එවැනි සාධාරණ පුද්ගලයෙක් වැඩබලන පොලිස්පති ධුරයට පත්වෙයි කියලා….’
දේශබන්දු තෙන්නකෝන් මහතාගේ සේවය අත්හිටුවීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේද අවධානය යොමුවූ අතර, පක්ෂ විපක්ෂ දේශපාලකයන් රැසක් එහිදී උණුසුම් වාදවිවාදවලට එළඹුණේ මෙලෙසයි.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා
‘පොලිස්පති හැටියට කටයුතු කිරීමේ වගකීම අත්හිටුවන්න. ව්‍යවස්ථාදායක සභාවේ සිදුවුණු ක්‍රියාදාමය කතානායකවරයා විකෘති කරලා ජනාධිපතිවරයාට යවපු ලියුම. මේ ලියුම පැහැදිලිවම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරලා තිබෙනවා. මේ වංචාසහගත ලියුම පදනම් කරගෙන ජනාධිපතිවරයා පත්කරපු එකත් ව්‍යවස්ථා විරෝධීයි. ‘ඡන්දය දීමෙන් වැළකී සිටීම විපක්ෂ වීමක් ලෙස සලකනු ලබන්නේ නම්, ඡන්දය ලැබුණා සේ සලකන්නේ නම්, සභාපතිවරයා ලෙස මගේ ඡන්දයද පක්ෂව ලබාදෙන බව කාරුණිව දන්වමි.’ කාටද ලියලා තියෙන්නේ? ‘හිතවත් ජනාධිපතිතුමනි’. කවුද අස්සන් කරලා තියෙන්නේ? මහින්ද යාපා අබේවර්ධන කතානායක සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සභාපති. සම්පූර්ණයෙන්ම වැරැදි ක්‍රියාවක් කළේ. අගමැතිතුමා දන්නවා. එතුමාට ඒකට උත්තර දෙන්න බැහැ. කතානායකවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අමු අමුවේ උල්ලංඝනය කරලා තියෙනවා. ඒ පිළිබඳ මොකක්ද ගන්න ක්‍රියාමාර්ගය? කතානායකවරයාගේ මේ ලිපිය පදනම් කරගෙන ජනාධිපතිවරයා, මම හිතන්නේ ජනාධිපතිවරයා හොඳ උගත් නීතිඥවරයෙක්. අපි විශ්වාස කරනවා හොඳ දැනුමක් තියෙන පුද්ගලයෙක්. මේ වගේ තුට්ටු දෙකේ ලියුමකට පත්කිරීම් කරනවද….?’
අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා
‘මේ ප්රශ්නය පිළිබඳ ගරු කතානායකතුමාට විරුද්ධව විපක්ෂයෙන් විශ්වාසභංග යෝජනාවක් ගෙනාව මේක පදනම් කරගෙන. විශ්වාසභංග යෝජනාවත් පරාද වුණා. මේ ඒ කාරණය නැවත Interim Relief එකක් දුන්නම දැන් ඒ කාරණය නැවත එතුමා රිපීට් කරනවා. ඉතින් පොඩ්ඩක් ඉවසලා ඉමු අවසන් තීරණය දැනගන්න….’
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා
‘බැලූ බැල්මට සාධනීයව කරුණු කාරණා තියෙනවා නම් තමයි Interim Relief එකක් දෙන්නේ. එහෙම නැත්නම් කොච්චර leave to proceed දීලා තියෙනවද Interim Relief නැතුව? මම ඔබතුමාට නීතිය ගැන උගන්වන්න ඕනේ නෑ. හැබැයි මේ වෙලාවේ මම උගන්වනවා. මේක තමයි පාඩම. ඔබතුමා කියනවා හරි, කතානායකවරයාට විරුද්ධව විශ්වාසභංගයක් ආවා, ඒකත් පරාජය වුණා කියලා. ඒකට අපි පුදුම වෙන්න හොඳ නෑනේ. වැරැදි විදියට පොලිස්පතිවරයා පත්කරපු ජනාධිපතිවරයත් පත් කළේ 134ක බහුතරයකින්. මේ වැරැදි ලියපු පුද්ගලයාව බේරන්න ඉදිරිපත් වෙන්නෙත් ඒ බහුතරයමයි. විකෘති බහුතරයකින් විකෘති තීන්දු ගන්නකොට අපි පුදුමයට පත්වෙන්නේ නෑ. මම කියන්නේ පුද්ගලයෝ ගැන ප්‍රශ්නයක් නෙවෙයි. මම කියන්නේ අමු අමුවේ ව්‍යවස්ථාව උල්ලංඝනය කරලා තියෙනවා. ව්‍යවස්ථාදායක සභාවේ රැස්වීම අවසන් වුණාට පස්සේ එය පවත්වපු වෙලාවේ මේ තීන්දුව සභාවටත් කියන්නේ නැතුව කතානායකවරයා හොර ලියුමක් ලිව්වා. හොර ලියුමක් තමයි. අන්තිම හොර ක්‍රියාවක්….’
මේ අතර, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පසුගිය 26 වැනිදා පාර්ලිමේන්තුවේදී සඳහන් කළේ දේශබන්දු තෙන්නකෝන් මහතාට පොලිස්පති ධුරයේ රාජකාරී කිරීම අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදී තිබෙන අතුරු තහනම් නියෝගය පිළිනොගන්නා බවයි.
දැනටත් පොලිස්පති ධුරය දරනු ලබන්නේ දේශබන්දු තෙන්නකෝන් මහතා බවද අග්‍රාමාත්‍යවරයා පැවැසීය.
‘පොලිස්පති සම්බන්ධව වැඩ අත්හිටුවා ඇති ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝගය බලරහිත කළයුතු යැයි කතානායකවරයා සහ පාර්ලිමේන්තුව වෙත සිහිපත් කරනවා. කතානායකවරයා මේ සම්බන්ධව හැකි ඉක්මනින් මැදිහත් වන ලෙස අපි දන්වා සිටිනවා’ යනුවෙන් ද අගමැතිවරයා එහිදී පවසා සිටියේය.