• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පාතාලයයි දේශපාලනයයි ප්‍රසිද්ධියේ එකතු කළ කව්ද මේ ‘රෝයල් බීච් සමන්’! පාතාලයට වැටුණු හැටි-ගේම් ගහපු හැටි-මිනී මරපු හැටි-හිරේ විලංගුවේ වැටුණු හැටි-ජනාධිපතිවරණයට ඉල්ලපු හැටි-දේශපාලකයන් ආශ්‍රය කරපු හැටි-අවසන් ගමන් ගිය හැටි ඔක්කොම මේ කතාවේ තියෙනවා! I Sri Lanka Latest News

January 28, 2024
in Exclusive
Reading Time: 13 mins read
A A
රතන හිමිගේ පක්ෂ නායකයා පොලිසියෙන් අල්ලයි! ඝාතන සැකකරුවකු තියාගෙන ඉඳලා!
Share on WhatsAppShare on Facebook

කළුතර එතනමඩලේදී පාතාලයේ ප්‍රබල අපරාධකරුවෙක් වූ සමයං ඇතුළු පාතාලයේ පස් දෙනෙකු සහ බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු මරා දමමින් බන්ධනාගාර බස් රථයකට 2017 වසරේ පෙබරවාරි 23 වෙනිදා එල්ලකෙරුණු පාතාලයේ ප්‍රහාරයෙන් අනතුරුව පාතාලයෙන් එවැනි දරුණු ප්‍රහාරයක් එල්ල වූයේ නම් ඒ අපේ ජනබල පක්ෂයේ නායක සමන් ප්‍රසන්න පෙරේරා නොහොත් රෝයල් බීච් සමන් ඇතුළු පස් දෙනෙක් බෙලිඅත්ත අධිවේගී පිවිසුම ආසන්න ප්‍රදේශයේදී ඝාතනය කිරීමය.Sri Lanka Latest News

එදා මාකඳුරේ මධුෂ් ඩුබායි සිට එම ප්‍රහාරය මෙහෙයවනු ලබන්නේ අංගොඩ ලොක්කා සමඟ එක්වය. පාතාලයේ බලය වෙනුවෙන් පැවති ගැටුමක ප්‍රතිඵලයක් ලෙස සිදු වූ එම ඝාතනය ආරක්ෂක අංශවලට පවා අභියෝග කළ එකක් වූයේ පොලිස් හා හමුදා ඇඳුමින් සැරසී එම ප්‍රහාරය එල්ල කර තිබීම හේතුවෙනි. වසර 07කට ආසන්න කාලයක් ගෙවී ගොස් ඇතත් අදටත් එම ප්‍රහාරයේ සැබෑ වෙඩික්කරුවන් සිටින්නේ නිදැල්ලේය. ඒ ඔවුන් කවුරුන්දැයි හඳුනා ගැනීමට පවා මෙතෙක් හැකියාවක් ලැබී නොමැති බැවිනි.

කළුතර එතනමඬලේ ප්‍රහාරයට නොදැවෙනි ආකාරයට බෙලිඅත්ත පිවිසුම ආසන්නයේ පසුගිය 22වෙනිදා එල්ල වන මෙම ප්‍රහාරය රටම හෙල්ලී යමින් පොලිසිය තූෂ්ණිම්භූත වන්නේ රට පුරාම පාතාලයට හා මත්කුඩු ජාවාරම්කරුවන්ට එරෙහිව පොලිසිය මුළු ශක්තියම යොදා යුක්තිය නමින් මෙහෙයුමක් දියත්කර තිබියදී මෙම ප්‍රහාරය එල්ල කිරීම හේතුවෙනි.

තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වෙමින් පැවති මිනිස් ඝාතන නඩුවකට පෙනී සිටීමට සුදු පැහැති ඩිපෙන්ඩරයකින් ගමන් කරමින් සිටි සමන් පෙරේරා ඉලක්ක කරගෙන මෙම ප්‍රහාරය එල්ල කරනු ලබන්නේ ඩුබායි හි රැඳී සිටින ප්‍රබල පාතාල අපරාධකරුවෙක් මෙන්ම මත්කුඩු ජාවාරම්කරුවෙක් වන කොස්ගොඩ සුජීගේ කොන්ත්‍රාත්තුවකට අනුව ඔහුගේ ප්‍රධාන ගෝලයෙක් වන බූස්සේ හර්ෂගේ සැලසුමකට අනුව බව මේ වන විටත් හෙළිවී හමාරය. ඒ කාලයක් තිස්සේ කොස්ගොඩ සුජී සහ සමන් පෙරේරා අතර පැවති ආරවුලක ප්‍රතිඵලයක් ලෙසිණි.

ව්‍යාපාරිකයෙක් ලෙස සමාජය හමුවේ වැඡඹෙමින් ඇතැම් ආරක්ෂක අංශ සාමාජිකයන්ගේ ද සහාය ඇතිව පාතාල අපරාධ මෙහෙයවමින් සිටි සමන් පෙරේරා නොහොත් රෝයල් බීච් සමන් මෙසේ ඝාතනය වන්නේ ඔහු රත්ගම විදුර නැමැති පාතාලයේ අපරාධකරු සමඟ එක්ව කොස්ගොඩ සුජීගේ ගෝලබාලයන් මෙන්ම ඥාතීන්ව ද මරා දමමින් දකුණේ පාතාල බලය අල්ලන්නට අඩිතාලම දමමින් සිටියදීය. රත්ගම විදුර මේ වන විට සිටින්නේ විදේශයකය. ඔහු ඉතාලියේ රැඳී සිටින බව කියැවෙයි. ඒ අතර ඔහු යුරෝපයේ රටවල් අතර සැරිසරමින් සිටින බවට තොරතුරු ද ඇත. දේශපාලන හයිහත්තිය ද නොඅඩුව ඇති රත්ගම විදුර කොස්ගොඩ සුජීගේ පවුලේ උදවියට හා ගෝලබාලයන්ට ප්‍රහාර එල්ල කරන්නට ගත්තේ මෑතකදීය. ඒ ඔහුට ඇති දේශපාලන හයිය වෙනදාට වඩා දැන් ඇති බැවිනි. යුක්තිය මෙහෙයුමට පවා රත්ගම විදුරගේ මත්කුඩු සහ පාතාල ජාලයේ කිසිවකුත් හසු නොවුණේ එබැවිනි. එසේම කොස්ගොඩ සුජීට ද ආරක්ෂක අංශවල ඇත්තේ ලොකු සම්බන්ධකම්ය. ඇතැම් පොලිස් ලොක්කෝ ඩුබායි සිටින ඔහුට දුරකතන ඇමතුම් ද ගන්නා බව ප්‍රසිද්ධ රහසකි. රත්ගම විදුරගේ මෙන්ම කොස්ගොඩ සුජීගේ මත්කුඩු මෙන්ම පාතාල ජාලයට සම්බන්ධකම් ඇති සැබෑ අපරාධකරුවන් පවා යුක්තියට කොටු නොවූයේ ඒ නිසාදැයි සැකයක් මේ වන විට පොලිසිය තුළම මතුවී හමාරය.

සමන් පෙරේරා නොහොත් රෝයල් බීච් සමන් එදා 22 වෙනිදා සිය ගෝලබාලයින්ව ද ඩිෆෙන්ඩරයේ නංවාගෙන යන්නේ 2022 වසරේ ජූනි 05 වෙනිදා තංගල්ල මොරකැටි ආරේදී සිදුවූ ඝාතනයකට අදාළ නඩු විභාගයකට තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින්නටය. කුඩාවැල්ල හොල්ලා ගෙන සිටි පුද්ගලයෙක් වූ කුඩාවැල්ලේ අසේල නැමැත්තා එදා ඝාතනය වන්නේ හරක් කටා ඩුබායි සිට ලබාදුන් කොන්ත්‍රාත්තුවකට අනුවය. අසේල යනු හරක් කටාගේ හොඳම ගෝලයෙකි. පාකිස්තානයේ සිට බෝට්ටු මඟින් රැගෙන එන හරක් කටාගේ කුඩු ගොඩබිමට ආරක්ෂාකාරීව ගෙන ආවේ අසේලය. එකල ඔහු එහා මෙහා කළේ මත්කුඩු කිලෝ සිය ගණනින්ය. හරක් කටාගේ විශ්වාසවන්තයෙක් වූ අසේල ඒ ඔස්සේ කුඩාවැල්ලේ බලය අල්ලාගෙන සිටියේ ඔහුට වඩා අයෙක් නැති තරමටය. අසේල කෙරෙහි තිබුණු විශ්වාසය පළුදු වන්නේ එක දිගටම හරක් කටාගේ මත්කුඩු මහා මුහුදේදී නාවික හමුදාව විසින් අල්ලන්නට ගැනීමත් සමඟිනි. 2019 වසරේ නාවික හමුදාව විසින් මහා මුහුදේදී එකවර හෙරොයින් කිලෝ 280 සමඟ අයිස් කිලෝ 115ක් පකිස්තානුවන් පිරිසක් සමඟ එකවර අල්ලා ගැනීම හරක් කටාට තදින්ම දැනුණේය. එම මත්කුඩු තොගය අල්ලා ගන්නට ඔත්තුව ගියේ අසේලගෙන් බව හරක් කටා දැනගන්නේ බොහෝ කාලයකට පසුවය. අසේලව මරා දමන්නේ එහි ප්‍රතිඵලයක් ලෙසිනි.

අසේලගේ ඝාතන කොන්ත්‍රාත්තුව මෙරට සිට එදා මෙහෙයවනු ලබන්නේ ඥාතීත්වයෙන් හරක් කටාගේ මස්සිනා වන ශෂි ප්‍රභාත් නැමැති අයකු මඟිනි. සමන් පෙරේරාගේ අපේ ජනබල පක්ෂයෙන් ඔහු ගාල්ල දිස්ත්‍රික්කයට තරග කළ අපේක්ෂකයෙක්ද විය. ඒ හැරුණු කොට ගාල්ලට තරග කළ තවත් අපේක්ෂකයෙක් වූ සමීර මධුශංක නොහොත් සුරතලා ද මේ අතර සිටියේය. සමන් පෙරේරා නොහොත් රෝයල් බීච් සමන් මෙම ඝාතන සැලසුමට සම්බන්ධ වන්නේ පහසුකම් සහ රැකවරණය සලසමිනි. අසේලව ඝාතනය කිරීමෙන් අනතුරුව සුරතලා දින කිහිපයක්ම සැඟව සිටියේ ද සමන්ට අයත් කුරුණෑගල නිවෙසේය.

අසේලගේ ඝාතන විමර්ශන සිදුවන්නේ එවකට දකුණු පළාත්භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස සේවයේ නිරතව සිටි නීතිඥ අජිත් රෝහණ සහ තංගල්ල හා මාතර දිසාභාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස සේවයේ නිරතව සිටි අද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් ලෙස උසස්වීම් ලබා සිටින මහේෂ් සේනාරත්න යන නිලධාරීන්ගේ මෙහෙයැවීමෙන් තංගල්ල මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ලෙස සේවයේ නිරත ප්‍රධාන පොලිස් පරීක්ෂක වජිර ඉන්ද්‍රජිත් ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසිනි.

සමන් පෙරේරා නොහොත් රෝයල් බීච් සමන් ඒ වන විට දේශපාලන අතින්ද බලවත්ව සිටියේ ඉහළම දේශපාලනඥයෙකුගේ ආශීර්වාදය ඇතිවය. අන්තවාදී සිංහල සංවිධාන කිහිපයක්ම එම දේශපාලනඥයාගේ උපදෙස් මත එදා නඩත්තු කළේ ද මොහුය. පසුගිය ජනාධිපතිවරණයේදී දේශපාලන පක්ෂයක් පවා මිලදී ගෙන ජනාධිපතිවරණයට තරග කරනු ලබන්නේ ද එම දේශපාලඥයාගේ ආශීර්වාදය ඇතිවය. ඒ වන විට අප්‍රකට අපරාධකරුවෙක් ලෙස වැඡඹුණු සමන් පෙරේරා නොහොත් රෝයල් බීජ් සමන් ගැන රාජ්‍ය බුද්ධි සේවයෙන් ලොකු වාර්තාවක් පවා මැතිවරණ කොමිෂන් සභාවේ බලධාරීන්ට ලබාදී තිබුණේය. ඒ ජනාධිපතිවරණ අපේක්ෂකයෙක් වන්නට නාමයෝජනා ඒ වන විට භාරදී සිටි සමන් පෙරේරාගේ අපරාධ පැටිකිරිය ගැනය. මැතිවරණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නායක එදා මැතිවරණ කොමිෂන් සභාව ඇතුළේ සමන් පෙරේරාගේ පැටිකිරිය ඇතුළත් වාර්තාව පදනම් කරගෙන ලොකු සටනක නිරතව සිටියේ අපරාධකරුවෙක් ජනාධිපති අපේක්ෂයෙක් ලෙස කලඑළි බැසීම වළක්වන්නටය. ඒ වන විට සමන් පෙරේරා නොහොත් රෝයල් බීච් සමන් අධිකරණයක් හමුවේ වරදකරු වී නොමැති වූ බැවින් ඒ උත්සාහයක් සියල්ල ව්‍යර්ථ වන්නේ ගඟට කැපූ ඉනි වගේය.

ජනාධිපතිවරණයට එදා තරග කරන සමන් වක්‍රාකාරයෙන් උදව් කරනු ලබන්නේ ප්‍රබල අපේක්ෂකයකුටය. ඒ ඔහුට එම අපේක්ෂකයාගෙන් ලොකු රැකවරණයක් පැවති බැවිනි. ලොකු මනාප ප්‍රතිශතයක් එදා සමන් ලබා නොගත්ත ද ඔහුගේ අපේක්ෂාව ජයගෙන තිබුණේ සමාජය හමුවේ ඔහු දේශපාලන නායකයෙක් ලෙස ඉදිරියට ඒමෙනි. මහ මැතිවරණයේදී රටේ නම ගිය ප්‍රසිද්ධ භික්ෂූන් වහන්සේ කිහිප නමකට පවා අපේක්ෂකත්වයට ඉඩ ලැබෙන්නේ සමන් පෙරේරාගේ අපේ ජනබල පක්ෂයෙනි. මැතිවරණයේදී ආසන එකක්වත් ජයගන්නට මෙම පක්ෂයට නොහැකි වූවත් ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරයක් ලැබෙන්නේ ලබාගත් මනාප ප්‍රතිශතයට අනුවය. එම මන්ත්‍රීධූරයට පක්ෂයේ සාමාජිකයන් මරා ගත්තේය. අවසානයේදී එම මන්ත්‍රීධූරය හිමිවන්නේ අතුරලියේ රතන හිමියන්ටය. උන්වහන්සේ අදත් පාර්ලිමේන්තුව නියෝජනය කරනු ලබන්නේ එම මන්ත්‍රී ආසනයෙනි. මෙම මන්ත්‍රී ආසනය ද අතරමඟදී ඩැහැ ගැනීමට සමන් උප්පරවැට්ටි දැමුවේය. අතුරලියේ රතන හිමියන් තමන්ට මරණ තර්ජන ඇතැයි කියා සමන්ට එරෙහිව පොලිසියට යන්නේ ද ඒ නිසාය. ඒ වන විට සමන් පෙරේරාට ලොකු දේශපාලන හයියක් පැවතීම නිසා අතුරලියේ රතන හිමිගේ පැමිණිල්ල අඩුම තරමින් විභාගයට පවා නොගත්තේය.

කුඩාවැල්ලේ අසේලගේ ඝාතනයේ විමර්ශන ආරම්භ වන විට රටේ පැවතුවේ වෙනම දේශපාලන සංස්කෘතියකි. සමන් පෙරේරා නොහොත් රෝයල් බීච් සමන්ට එතෙක් රැකවරණය ලැබුණු දේශපාලඥයාට මුහුණ දීමට සිදුව තිබුණේ සමන් පෙරේරා වැනි අය බේරා ගැනීමට නොව පැවති අර්බුදයෙන් ගොඩ ඒමට මඟක් සොයන්නට කාලය වෙන් කරන්නටය. දේශපාලන පෙරළියක් පවා සිදුවන්නේ මේ අතරතුරදීය. ඒ නිසාම සමන් පෙරේරලා කරපිංචා කොළයක් ගාණට වැටුණේය. එයින් උපරිම පල නෙළා ගත්තේ තංගල්ල පොලිසියේ එවකට සිටි මූලස්ථාන පොලිස් ස්ථානාධිපති වජිර ඉන්ද්‍රජිත් ඇතුළු නිලධාරීන්ය. එක රොත්තට අසේලගේ ඝාතනයට ගෑවුණු ශෂි ප්‍රභාත් හැරුණු කොට හැමෝම අල්ලා ගත්තේය. සමන් පෙරේරා නොහොත් රෝයල් බීච් සමන්ව 2022 වසරේ අගෝස්තු 23 වෙනිදා මහා රෑ අත්අඩංගුවට ගනු ලබන්නේ අම්බලන්ගොඩ පිහිටි මහ ගෙදර සැඟවී සිටියදීය.

එදා වජිර ඉන්ද්‍රජිත් ඇතුළු නිලධාරීන් විසින් අල්ලා ගත් සමන් පෙරේරා නොහොත් රෝයල් බීච් සමන් ඇතුළු පිරිස කුඩාවැල්ලේ අසේලගේ ඝාතනයේ සැකකරුවන් ලෙස ඉදිරිපත් කරනු ලබන්නේ තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණයටය. දීර්ඝ කාලයක් රක්ෂිත බන්ධනාගාරගතව සිටි සමන් ඇතුළු පිරිස ඇප ලැබීමෙන් අනතුරුව අවස්ථා කිහිපයකදීම නඩු විභාගයට සහභාගි වීමට තංගල්ල උසාවියට ආවේ ගියේ එකටය. මේ බව දැනගත් කොස්ගොඩ සුජී, සමන් පෙරේරා නොහොත් රෝයල් බීච් සමන්ට වැඩක් දෙන්නට තීරණය කරනු ලබන්නේ ඔහු ඒ වන විට රත්ගම විදුර සමඟ එක්ව පාතාලයේ බලය ගොඩනඟමින් තමන්ට අභියෝගයක් වීමට තිබුණු ඉඩට වඩා මලල ක්‍රීඩකයෙක් වූ සිය හොඳම මිතුරාව මරා දැමූ පළිය ගන්න කාලයක් තිස්සේ පැවති කැකෑරෙන වෛරය පිරිමහ ගන්නටය. එසේ නොමැතිව කුඩාවැල්ලේ අසේල මැරුවාට පළිගන්නට නම් නොවන බව මේ වන විටත් පෙනී ගොස් හමාරය.

කුඩාවැල්ලේ අසේල ඝාතනයට සමන් පෙරේරා නොහොත් රෝයල් බීච් සමන් දායකත්වය දී තිබුණේ සුරතලාට සඟවා තබා ගැනීම පමණි. සමන්ව අත්අඩංගුවට ගෙන තිබුණේ ඒ නිසාය. එසේ නොමැතිව ඝාතන කුමන්ත්‍රණයට සමන්ගේ ඝෘජු දායකත්වයක් විමර්ශනයේදී හෙළිවී නොතිබුණි. කොස්ගොඩ සුජී කර තිබුණේ අසේලගේ ඝාතන නඩුවට පෙනී සීටීමට සමන් එන්නේ අනාරක්ෂිතව බැවින් ඒ මොහොත ඔහුගෙන් පළිගැනීමට යොදා ගැනීමය.

මෙම ප්‍රහාරය කොස්ගොඩ සුජී වෙනුවෙන් සැලසුම් කරනු ලබන්නේ බූස්සේ අසේලය. කොස්ගොඩ සුජීගේ සමීපතම ගෝලයෙක් වන ඔහු මේ වන විට සිටින්නේ ද ඩුබායිවලය. අප්‍රකට පාතාල චරිතයක් වන බූස්සේ අසේල ගැන පොලිස් වාර්තා පවා නැති තරම්ය. 2012 වසරේදී අසේල මත්කුඩු තොගයක් සමඟ පොලිසියට හසුවී ඇති බව සඳහන්ය. ඒ අධිවේගී මාර්ගයේදීය.

සමන් පෙරේරා නොහොත් රෝයල් බීජ් සමන් මරා දැමීමේ සැලසුම දියත් කිරීමට මෙරට සම්බන්ධීකාරක ලෙස අසේල සම්බන්ධ කර ගන්නේ එදා මත්කුඩු සමඟ හසුවී බන්ධනාගාරගත කර සිටියදී දැන හඳුනාගත් සමන් කුමාරය. ඒ වන විට පනස් හතර හැවිරිදි වියේ පසු වූ සමන් කුමාර සිය ජීවිතයේ වසර 20ක පමණ කාලයක් සිට ඇත්තේ බන්ධනාගාරගතවය. ඒ හොරකම් සහ මංකොල්ලකෑම් සම්බන්ධයෙනි. අකුරැස්ස බංගම පොලිස් වසමේ මලිදූව, බෝපිටිය, පිටවිලවත්තේ පිහිටි නිවසක අඹුදරුවන් සමඟ පදිංචිව සිටි සමන් කුමාර මේ වැඩේට සම්බන්ධ කර ගන්නේ රුපියල් ලක්ෂ 10ක මුදලක් ලබාදීමට පොරොන්දු වෙමිනි.

ඒ මාස එකාහමාරකට පෙරය.

සමන් කුමාර වැඩේට එකඟ කර ගැනීමෙන් අනතුරුව වෙඩික්කරුවන් මෙන්ම ගමන් බිමන් යාමට වාහන මෙන්ම ප්‍රහාරයේ සම්පූර්ණ සැලසුම සකස් වන්නේ කොස්ගොඩ සුජීගේ මෙහෙයැවීමෙන් බූස්සේ අසේල විසිනි. සැලසුම වී තිබුණේ සමන් පෙරේරා නොහොත් රෝයල් බීජ් සමන් සහ සුරතලා මරා දැමීමය. ඒ අසේල ඝාතන නඩු විභාගය පැවති සෑම දිනයකදීම පාහේ සමන් පෙරේරා සහ සුරතලා අධිකරණය හමුවට ආවේ ගියේ එකට බව අසේල සිය ඔත්තුකරුවන් මඟින් ඒ වන විටත් දැන සිටි බැවිනි. ඒ සෑම අවස්ථාවකදීම සමන් පෙරේරා ආවේ අධිවේගී මාර්ගය ඔස්සේය. ඒ හැම දෙයක්ම අසේල ගෝලබාලයන් යොදා රැස් කරගෙන තිබුණේය. අසේලගේ සැලසුම වූයේ අධිවේගී මාර්ගයෙන් පිටතට පැමිණීමෙන් අනතුරුව සමන් පෙරේරා ගමන් ගන්නා වාහනය පසු පස පන්නා ගොස් ලැබෙන පළමු අවස්ථාවේදීම වෙඩි තබා මරා දමන්නටය. එය අසාර්ථක වුවහොත් දෙවැනි සැලසුම වී තිබුණේ තංගල්ල අධිකරණය ආසන්නයේදී ඔවුන්ට ප්‍රහාරයක් එල්ල කර මරා දැමීමය.

මේ සඳහා වෙඩික්කරුවන් දෙදෙනකු අසේල ඩුබායි සිටම සම්බන්ධ කර ගත්තේය. ඔවුන් දෙදෙනා කවුරුන්දැයි තවමත් පැහැදිලිවම හෙළිවී නැත. බොහෝ දුරට ඔවුන් හමුදා සේවයේ සිට මේ වන විට පාතාලයේ කුලී ඝාතකයන් ලෙස කටයුතු කරන අය විය හැකි බව අනුමාන කළ හැකිය.

සමන් පෙරේරා පරිහරණය කරනු ලබන්නේ සුදු පැහැති ඩිපෙන්ඩරයක් බව අසේල කල්තියාම දැන සිටියේය. එම ඩිපෙන්ඩරය පන්නා ගොස් වෙඩි තැබීමට නම් එම රථයේ වේගයටම ගමන් කළ හැකි වාහනයක අවශ්‍යතාව අසේල දැන සිටියේය. එබැවින් වෙඩික්කරුවන්ට ගමන් කිරීමට අසේල සූදානම් කරනු ලබන්නේ මිට්සුබිෂි වර්ගයේ පැජරෝ ජිප් රථයකි. 65-2615 අංක තහඩුව ගැසූ කොළ පැහැති එම ජිප් රථය ඒ වෙනුවෙන් සමන් කුමාර අතට ලැබෙන්නේ 21 වෙනිදාය. අසේල විසින් ලබාදුන් දුරකතන ඇමතුමකට අනුව සමන් කුමාර අකුරැස්සේ යම් ස්ථානයකට ගොස් ජිප් රථය බාර ගන්නේ එය රැගෙන පැමිණි අයෙකුගෙනි. එදා රැය පුරාම ජිප් රථය තිබෙන්නේ සමන් කුමාරගේ නිවෙස පිහිටි ගෙවත්තේය. පසුදින උදෑසනම සමන් කුමාර අවධිව ජීප් රථය පනගන්වා ගෙන යන්නේ අකුරැස්සටය. ඒ යන විට ප්‍රහාරයට අවශ්‍ය ගිනි අවිද ජීප් රථයට යම් පුද්ගලයෙක් රැගෙන විත් පටවා තිබුණේය. අකුරැස්සෙන් ජිප් රථයට ගොඩකර ගන්නේ දෙදෙනෙකි. ඒ එක් අයෙක් වෙඩික්කරුවෙකි. ඔහු කවුරුන්දැයි සමන් කුමාර දැන හඳුනන්නේ නැත. අඩුම තරමින් ඒ පුද්ගලයා තමන් කවුරුන්දැයි කීවේද නැත. ජිප් රථයට ගොඩවූ දෙවැන්නා රියදුරෙකි. අසේල ඩුබායි සිට උපදෙස් දෙන්නේ ජීප් රථයේ සුක්කානම ඔහුට භාරදෙන ලෙසය. සමන් කුමාර මෙම රියදුරාව හොඳින් දැන හඳුනා ගෙන සිටියේය. ඒ හිර ගෙදරදීය. නමින් ඔහුත් සමන්ය. ඔහු අලුත්ගම පැත්තේ පදිංචිකරුවෙක් බව පමණක් සමන් කුමාර දැන සිටියේය.

ජීප් රථයට තෙවැන්නා ගොඩ කර ගන්නේ කඹුරුපිටියෙනි. ඔහු කවුරුන්දැයි කියා ඒ වන විට ජීප් රථයේ සිටි කිසිවකුත් දැන සිටියේ නැත. එකිනෙකා එහිදී දැන හඳුනා ගන්නට ද නොගියේය. ඔවුන් අනතුරුව කෙළින්ම ගමන් ගත්තේ සිය ඉලක්කය වෙතය. ඒ බෙලිඅත්ත අධිවේගී මාර්ග පිවිසුම අසලටය. ඒ වන විටත් ඩුබායි සිට සමන් කුමාරට දුරකතන ඇමතුම් මඟින් අසේල තොරතුරු ලබා දෙමින් සිටියේ සමන් පෙරේරා නොහොත් රෝයල් බීජ් සමන්ගේ ගමන් මග ගැනය. ඔහු එන්නේ සුදු පැහැති ඩිපෙන්ඩරයක බව මෙන්ම එම වාහනයේ අංකය පවා අසේල ඩුබායි සිටම කීවේය.

එම ඩිෆෙන්ඩරය අධිවේගී මඟෙන් පිටතට පැමිණෙනවාත් සමඟ එය පිටුපසින් ජිප් රථය ගමන් කරන්නට වූයේ තංගල්ල උසාවිය අසලට යාමට පෙර ඉඩ ලැබෙන පළමු අවස්ථාවේදීම ප්‍රහාරයක් එල්ල කිරීමේ සූදානමිනි. ඒ වන විටත් ජිප් රථයේ සිටි වෙඩික්කරුවන් දෙදෙනාම සිටියේ ටී 56 අවි දෙක අතට ගෙන එය ඕනෑම ප්‍රහාරයකට සූදානම් කරගෙනය.

වැඩි දුරක් ඔවුන්ට ඩිපෙන්ඩරය පස්සේ එදා පැන්නීමට ඉඩක් නොවීය. අධිවේගී මාර්ග පිවිසුමේ සිට මීටර් පන් හයසියකට වඩා ඩිපෙන්ඩරය ගමන් කළේ නැත. වෙළඳ සැලක් අසල එය නතර කරනු ලබන්නේ උදෑසන ආහාර ලබාගෙනම උසාවිය බලා යාමේ සූදානමින්. ඒ අනුව සමන් පෙරේරා නොහොත් රෝයල් බීච් සමන් ඇතුළු පිරිස ඩිපන්ඩරයෙන් බිමට බසිනවාත් සමඟ වේගයෙන් පැමිණි ජිප් රථය ඉද්ද ගැසුවාක් මෙන් එතනම නතර කර ඒ තුළින් බිමට පනින වෙඩික්කරුවන් දෙදෙනා එකවරම වෙඩි වරුසාවක් එල්ල කරනු ලබන්නේ සමන් පෙරේරා ඇතුළු පිරිස ඉලක්ක කරගෙනය. එහිදී ඔවුන් හිස් ලූ ලූ අත දිව යන්නට වූයේ ජීවිතය යදිමිනි. එහෙත් වෙඩික්කරුවන්ගෙන් කිසිවකුටත් සමාවක් නොවීය. අවසානයේදී ඔවුන් ඩිපෙන්ඩරයේ සිටි රියැදුරාට ද වෙඩි තබා මරා දමන්නේ ඩිපෙන්ඩරය පන ගන්වාගෙන පලායාමට උත්සාහයක නිරත වන විටදීය.

ජනාධිපති අපේක්ෂකයෙක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් හිමි පක්ෂයක නායකයෙක් ද වන වැලිසරගේ සමන් ප්‍රසන්න පෙරේරා නොහොත් රෝයල් බීජ් සමන්ගේ අවසානයෙ ලියැවෙන්නේ එසේය. එදා ඔහු සමඟ මරු වැලඳ ගන්නා ගෝලබාලයන් අතර ඉදුරුවේ පදිංචිකරුවෙක් වූ සමීර මධුසංක නොහොත් සුරතලා ද, ගාල්ලේ පදිංචිකරුවෙක් වූ හසිත චන්සුක ද, දෙමටගොඩ ආරාමය පාරේ පදිංචිකරුවෙක් වූ වැලිගම මුල් පදිංචිකරුවෙක් වන නලින් චමිපික ජයතිලක ද වාහනයේ රියැදුරු ලෙස කටයුතු කළ කුරුණෑගල ගැට්ටුවානේ පදිංචිකරුවෙක් වන බුද්ධික රාජපක්ෂ ද සිටියේය.

සමන් පෙරේරා නොහොත් රෝයල් බීච් සමන්ගේ ඉතිහාසය පිරිස්සීමේදී පෙනී යන්නේ අනූව දසකයේ අග බාගය වන විටත් කොස්ගොඩ ඉඳුරුව වෙරලේ සංචාරක මඟ පෙන්වන්නෙක් (beach boy) ලෙස සිටියෙක් බවය. සාමාන්‍ය පවුලක තරුණයෙක් වූ ඔහු ඔළුව උස්සන්නේ මෙරට සංචාරයක් සඳහා පැමිණි ආරාබි ජාතිකයකු සමඟ ඇති කරගත් සමීප හිතවත්කමක ප්‍රතිඵලයක් ලෙසිනි. එම විදේශිකයා ඔහුට ඉදුරුව වෙරළ අයිනේ ඉඩමක් මිලදී ගෙන එහි හෝටලයක් ඉදි කිරීමට උපකාර කරනු ලබන්නේ යහමින් මුදල් වැය කරමිනි. රෝයල් බීච් ලෙස අදටත් හඳුන්වන්නේ එම හෝටලයයි. සමන් පෙරේරාගේ නම ඉදිරියේ රෝයල් බීච් සමන් යැයි අන්වර්ථ නාමයක් පට බැඳෙන්නේ ඒත් එක්කමය.

සමන්ට සහෝදරයෙක් ද සිටියේය. ඔහු වැලිසරගේ සුමිත් පෙරේරාය. රෝයල් බීච් හෝටලයේ පරිපාලන කටයුතු කරගෙන ගියේ ඔහුය. ව්‍යාපාර දියුණුවත් සමඟ සමන් පෙරේරා මෙන්ම සුමිත් පෙරේරා ද ධන බලය මෙන්ම මැරබලයද ළංකර ගත්තේය. ඔවුන් සමඟ ආරවුලක පැටලුණු සංචාරක මඟ පෙන්වන්නන් දෙදෙනකු මරා දැමීමට ඔවුන් දෙදෙනා උත්සාහ දරන්නේ ඔය අතරතුරදීය. ඒ ඉදුරුව වෙරළේදී වෙඩි තබාය. වැඩේ එදා ගැස්සී කෝලිත සහ රෝහණ නැමැති සංචාරක මඟ පෙන්වන්න්නන්ගේ ජීවිත රැකෙන්නේ අයියා මලෝ දෙදෙනාට හිර ගෙදර උරුම කර දෙමිනි. සමන් පෙරේරා පළමු වරට බන්ධනාගාරගත වන්නේ ඒත් සමඟිනි. මේ දෙදෙනාට රත්ගම විදුරව මුණ ගැසෙන්නේ හිරගෙදරදීය.

මෙකල දකුණ හොල්ලාගෙන සිටි පාතාලයේ ප්‍රබලයෙක් වන්නේ නඳුන් ධර්මවික්‍රම නොහොත් එස්.ටී.එෆ්. නඳුන්ය. පොලිස් විශේෂ කාර්ය බලකායේ උප පොලිස් පරීක්ෂකවරයෙක් ලෙස සේවයේ නිරතව සිටියෙක් වන නඳුන් පොලිස් සේවයේ නිරතව සිටියදී පාතාලය සමඟ ඇසුරුකරමින් පාතාලයට අවි ආයුධ අලෙවි කළ අයෙකි. 1998 වසරේ ජුලි 16 වෙනිදා කොළඹදී නදුන්ව ගිනි අවි අලෙවි කිරීමක් සිදුවන විටදී අත්අඩංගුවට ගන්නේ මේ වන විට පොලිස් සේවයෙන් විශ්‍රාම ගොස් සිටින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩිය. එස්. ටී. එෆ් නඳුන් නමැති පාතාලයේ චරිතයක් බිහි වන්නේ ඔහු බන්ධනාගාරගතව එළියට පැමිණීමත් සමඟිනි. දැන් ඔහු අපරාධ ලෝකයේ නැත. දැන් ඔහු ජීවත් වන්නේ ඉතාලියේය.

හික්කඩුව නගරසභාව තුළදීම 2003 අප්‍රේල් 06 වෙනිදා එවකට හික්කඩුව නගර සභාවේ සභාපතිවරයාව සිටි ගාමිණි පින්නදූවට වෙඩි තබා මරා දැමීම පිටුපස ද නඳුන් සිටියේය.

නඳුන්ගේ බිරියගේ බාල සහෝදරයා ටෙරී ත්‍රාබ්‍රෝය. ඔහු දක්ෂ මලල ක්‍රීඩකයෙකි. ඔලිම්පික් රන්පදක්කම්ලාභී රටේ බලාපොරොත්තුවක් වූ බලපිටියේදී වෙඩි තබා මරා දමන්නේ 2004 වසරේ දෙසැම්බර් 22 වෙනිදාය. ඒ ක්‍රීඩා පුහුණුව නිම කර නිවෙස බලා ගමන් කරමින් සිටියදීය. එම ඝාතනය පිටුපස සිටියේ සමන් පෙරේරා නොහොත් රෝයල් බීච් සමන්ය. ටෙරීව එසේ ඝාතනය කරනු ලබන්නේ නඳුන්ට දැනෙන්නටය. ඒ සමන්ගෙන් රුපියල් ලක්ෂ 25ක කප්පමක් ඉල්ලා නදුන් කර තිබුණු තර්ජනයක් මුල්කරගෙනය. “ සල්ලි දෙන්නේ නැහැ. පුළුවන් දෙයක් කරපන්“ යැයි සමන්ගෙන් නඳුන්ට අභියෝගයක් එල්ල වන විට පාතාල භාෂාවෙන් නදුන් පිළිතුරු දෙන්නේ රෝයල් බීච් හෝටලයට වෙඩික්කරුවෙක් යවා හතර අතේ වෙඩි තබමිනි. ටෙරීට වෙඩි තබා මරවන්නේ ඊට ප්‍රතිචාර දක්වමිනි. මේ ගේම සමන් කරවන්නේ නඳුන්ගේන් කැඩී ගිය ගෝලයෙක් වන ආමි මල්ලි යොදවාය. එකල ආමි මල්ලි පමණක් නොව, පසු කාලයක රත්ගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාව සිටි මනෝජ් මෙන්ඩිස් පවා සිටියේ නඳුන්ගේ කණ්ඩායමේය.

ඔවුන් දෙදෙනාම නඳුන්ගෙන් කැඩී වෙන්ව යන්නේ අහුංගල්ල රන් මැණිකා හෝටලයේ හිමිකරු ජීවක ඝාතනයේ කොන්ත්‍රාත් මුදල බෙදා ගැනීමේදී ඇතිවුණු හිත් තැවුලක් මුල්කරගෙනය. 2003 වසරේ දෙසැම්බර් 03 වෙනිදා රන්මැණිකා හෝටලයේ හිමිකරු මරා දමන්නේ යැයි කියැවෙන්නේ රුපියල් ලක්ෂ 25ක කොන්ත්‍රාත්තුවකට අනුවය. වෙඩික්කරුවා වූ ආමි මල්ලිට එම මුදලින් නදුන් ලබාදී තිබුණේ රුපියල් 10,000ක් පමණි. මේ නිසා නඳුන්ගෙන් කැඩී යන ආමි මල්ලිව කිට්ටු කර ගන්නේ සමන් කුමාර නොහොත් රෝයල් බීච් සමන්ය. ආමි මල්ලි වත්තල ප්‍රදේශයේ ජීවත් වූ දක්ෂ වෙඩික්කරුවෙකි. හමුදා පුහුණුව ලැබූ ඔහු රෝයල් බීච් සමන්ගේ සෙවණෙහි රැඳෙමින් එවකට දකුණු පළාත් භාරව සිටි නියෝජ්‍ය පොලිස්පතිවරයා වූ ඩී. ඩබ්ලිව්. ප්‍රතාපසිංහ මහතාවද මරා දැමීමට අවස්ථා කිහිපයකදීම උත්සාහ දරා තිබුණේය. ඒ නිසාම පසුකාලයකදී පොලිස් වෙඩිල්ලකින් ඔහුගේ ඉරණම තීරණය වී තිබුණේය.

නඳුන්ගේ බලය හීන වෙන්නේ ආමි මල්ලි ඔහුගෙන් කැඩී යාමත් සමඟිනි. ටෙරීව මරා දැමූවන්ගෙන් පළි ගැනීමට තරම්වත් ඒ වන විට නදුන්ට ශත්තියක් නොවීය. කොස්ගොඩ සුජී ඒ වෙනුවට බිහිවන්නේ එතැන් සිටය.

ජගමුණි සුජීව සොයිසා නොහොත් කොස්ගොඩ සුජී 1984 වසරේ ජුලි 21 වෙනිදා උපන්නෙකි. මෙරට පාතාලයේ නමගිය අපරාධකරුවෙක් වෙනුවෙන් අදටත් ජාත්‍යන්තර පොලීසියේ නිල වෙබ් අඩවියේ ප්‍රසිද්ධකර ඇති එකම පාතාල අපරාධකරු මොහුය. කොස්ගොඩ සුජී පාතාලයට වැටෙන්නේ සිය හොදම මිතුරා වූ ටෙරීව මරා දැමූවන්ගෙන් පළිගන්නට ගොසිනි. ටෙරීගේ පියා සුජීගේ මාමාය. ඥාතිකමට වඩා දෙදෙනා අතර තිබුණේ මිතුදමකි. ඒ ඔවුන් දෙදෙනාම සිටියේ සම වයසේ වූ බැවිනි. ටෙරීගේ මරණය සුජීගේ හිතට කොතරම් කා වැදී තිබුණිදැයි කිවහොත් පළි ගන්නා තුරු සුජීට රෑට නින්ද පවා ගියේ නැත. සිය සහෝදරයා බදු මිතුරා මැරූ පළිය සුජී ගන්නේ නදුන්ගේද මෙහෙයැවීම මත රෝයල් බීච් හෝටලයට කඩා වැදී සමන් පෙරේරා නොහොත් රෝයල් බීච් සමන් ඉලක්කර වෙඩි ප්‍රහාරයත් එල්ලකරමිනි. නදුන්ගේ ගෝලබාලයින්ද සමඟ ගොස් එදා රෝයල් බීජ් සමන්යැයි කියා වැරදී වෙඩි තබා මරා දමන්නේ සමන්ගේ සහෝදරයාටය. ඒ 2005 වසරේ ජනවාරි 19 වෙනිදාය. ජගමුණි සුජීව ද සොයිසා කොස්ගොඩ සුජී ලෙස පාතාල අපරාධකරුවන් අතර භෞතිෂ්ම ලබන්නේ ඒත් සමඟිනි. කොස්ගොඩ සුජීගේ නම ඉදිරියේ ලියැවෙන පළමු මිනිස් ඝාතනය එය වූවත් ඔහුව පොලිසියට පළමුවරට අත්අඩංගුවට පත්වන්නේ මැදවච්චියේදී 2008 වසරේදී ගජමුතු කිහිපයක් සමඟිනි. ඒ වන විට ඔහු කොස්ගොඩ, අහුංගල්ල හා ඒ ආශ්‍රිතව සිදුවුණු පාතාලයේ හැම අපරාධයකටම කොස්ගොඩ සුජීගේ නම ගෑවී තිබුණේය. නදුන් රටින් පැන යන්නේ ද සුජී සමඟ ආරවුලක් ඇති කරගෙනය. එම ආරවුලට ද මුල මුදල්ය.

ඒ අතර සමන් පෙරේරා නොහොත් රෝයල් බීච් සමන් බලවත් වෙමින් සිටියේ මුදල් බලය යොදා පොලිසියට සම්බන්ධ පිරිස් සමග ඉතා කිට්ටු සම්බන්ධකම් ගොඩනඟා ගනිමිනි. ඒ අතර නදුන්ගෙන් කැඩි ගිය පාතාලයේ කෙරුමෝ කිහිපදෙනෙක් ද ඔහු කිට්ටු කරගෙන සිටිමින් 2006 වසරේ පෙබරවාරි 17 වෙනිදා නදුන්ගේ මාමන්ඩි වූ ස්ටැන්ලි තාබ්‍රෝවද මරා දැමුවේය. ඔහු කොස්ගොඩ හිටපු ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාය. නදුන්ට තිබුණු දේශපාලන ශතිත්ය බිඳ දැමීම එම ප්‍රහාරයේ අරමුණ විය. ඊටද පළිගැනීමට සුජිත් සිටියේ මාන බලමිනි. ඒ රෝයල් බීච් සමන්ට වැඩේ දෙන්නටය. ඊට පහසුවෙන් ඉඩක් නොලැබෙන්නේ සමන්ගේ පාතාල ගෝලබාලයන්ගේ රැකවරණය සමන්ට නොඅඩුව ලැබෙන්නට වූ බැවිනි. රත්ගම විදුරගෙන්ද සමන්ට ලැබුණේ ලොකු සහයකි.

කොස්ගොඩ සුජී වරක් රෝයල් බීජ් සමන් ගමන් කරමින් සිටි වාහනයට ඉලක්ක කරගෙන හෝටලය අසලදී වෙඩි ප්‍රහාරයක් එල්ල කරනු ලැබුවත් සමන්ට හීරීම් තුවාලයක්වත් නොවීය. එම වෙඩි ප්‍රහාරය වදින්නේ ඔහු සමඟ වාහනයේ ගමන් කරමින් සිටි විදේශිකයකුටය. කොස්ගොඩ සුජී සහ රෝයල් බීච් සමන් අතර ගැටුම නිමක් නොවූ ගැටුමක් බවට පත්වන විට සිය කල්ලිය නඩත්තු කිරීමට මංකොල්ලකෑම් සහ මත්කුඩු ජාවාරමට කොස්ගොඩ සුජී අත තබන්නේ නඳුන්ගේ ඉගැන්නුම් බස්වලට අනුව යමිනි.

2007 වසරේදී කොස්ගොඩ සුජී ඇතුළු පිරිසක් අම්බලන්ගොඩ පැත්තේ පිහිටි ජුවලරියක් කොල්ල කන්නට යන්නේ නඳුන්ගේ සැලසුමකට අනුවය. රුපියල් කෝටි එකහාමාරක මුදල් හා රන් භාණ්ඩ එදා සුජී ඇතුළු පිරිස කොල්ල කෑවෝය. නදුන් අවසාන මොහොතේ එම කොල්ලයට නෑවිත් මග හැරියේය. කොල්ලය සිදුවන විට පොලීසිය එහි පැමිණිම හේතුවෙන් සිදු වූ වෙඩි හුවමාරුවේදී අම්බලන්ගොඩ පොලිසියේ දෙදෙනෙක් වෙඩි කා මරුමුවට ද පත්විය. එසේ යුද්ධයක් කර රැගෙන ආ මුදල් හා රන් භාණ්ඩවලින් සුජීට කොටස හැටියට නඳුන් බෙදන්නේ රුපියල් 10,000ක මුදලක් පමණි. ඊට එරෙහිව නදුන්ට එරෙහිව සුජී යුද ප්‍රකාශ කරමිනි. ඒ අතර වැඩියෙන්ම හිටියේ හමුදාවලින් පලාආ සෙබලුන්ය.

මැදවච්චියේදී පොලිසියට හසුවන සුජී වසර දෙකකට වැඩි කාලයක් රක්ෂිත බන්ධනාගාරගතව සිටියේය. 2010 වසරේ සුජී ඇප මත නිදහස ලබා එළියට එන්නේ අපරාධ ලෝකයේ කෙරුමෝ රැසක් සමඟ සම්බන්ධකම් ගොඩනඟාගෙනය. ඒ අතර මාකඳුරේ මධුෂ් ද සිටියේය. මත්කුඩු ජාවාරමට මහා පරිමාණයෙන් මෙහෙයැවීමට පවා ඔහුට අවස්ථාවක් ලැබෙන්නේ ද ඒත් සමඟිනි. පොඩි ලැසී පවා එකල සිටියේ සුජී සමඟිනි. පොඩි ලැසී, සුජී සමඟ එක්වන්නේ පොඩි ලැසීගේ පියා වන තෙල්වත්තේ වසන්ත මරා දැමුවාට මනෝජ් මෙන්ඩිස්ගෙන් පළිගැනීමටය. පොඩි ලැසී විසින් 2015 වසරේ දෙසැම්බර් 04 වෙනිදා මනෝජ් මෙන්ඩිස්ව මරා දමන්නේ ද සුජී ඝාතන රැසක්ම එකල මෙහෙය වු කල්ලියේ රැකවරණය ලබමිනි.

එකල දකුණේ පොලිසියක ස්ථානාධිපතිවරයෙක් රුපියල් ලක්ෂ 50ක කොන්ත්‍රාත්තුවක් ව්‍යාපාරිකයෙකුගෙන් ලබාගෙන තිබුණේ කොස්ගොඩ සුජීගේ කථාව අවසන් කරන්නටය. ඒ ගැන කන වැකුණු සුජී එම ස්ථානාධිපතිවරයාට වැඩක් දෙන්නට සූදානම් වන විට එය වැළකී යන්නේ සුජීට හිතවත් පොලිස් ලොක්කෝ ඒ දේට ඉඩ නොදීම නිසාය. අරලිය හෝටලයේ හිමිකරු වූ අරලිය සරත් ඝාතනය වන්නේ ද ඒ අතරතුරදීය. කොස්ගොඩ සුජීගේ ගෝලබාලයන් අතින් ඒත් එක්කම එම පවුලට සම්බන්ධ කිහිප දෙනෙකුම මිය යන්නේ වෙනත් ව්‍යාපාරිකයකුගෙන් ලද කොන්ත්‍රාත්තුවකට අනුවය. ඔහු සරත්ව මරා දමන්නේ ආණ්ඩු පෙරළියක් සමඟ සරත් දේශපාලනික වශයෙන් බලවත් වීම හේතුවෙනි.

එම ඝාතනයට පෙර කොස්ගොඩ සුජී 2011 වසරේ පෙබරවාරි 04 වෙනිදා අරලිය හෝටලයේදී යසරත්න නමැති අයකුව මරා දමන්නේ ද කොන්ත්‍රාත්තුවකට අනුවය.

එම ඝාතනයත් සමඟ පොලිසිය ඔහු පස්සේ පන්නන විට ජීවිතාරක්ෂාව පතා පනින්නේ සිංගප්පූරුවටය. ඒ ව්‍යාජ ලෙස සකස් කළ විදෙස්ගමන් බලපත්‍රයකිනි. සිංගප්පූරුවේදී ඔහුව මෙරටට පිටුවහල් කරනු ලබන්නේ හොර පාස්පෝට් එක නිසාය. ඒ පැමිණි ඔහු බෝට්ටුවක නැඟී ඉන්දියාවට පනින්නේ සිංගප්පූරුවේ සිට පැමිණෙන විට කිසිවකුගේ සැකයකට ලක්නොවී හිරේ විලංගුවේ නොවැටී බේරුණු බැවිනි.

ඉන්දියාවට ගිය සුජී එහි සිට වැඩ පෙන්වන්නට ගත්තේ ඔහුගේ සමීපතම ගෝලයා වූ ඌරගහ මයිකල් යොදවාගෙනය. කොන්ත්‍රාත් මිනිස් ඝාතන ගොන්නක්ම මයිකල් හරහා සුජී කළේය. අවසානයේදී ඔවුන්ට වැඩ වරදින්නේ මයිකල්ව ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන්ට හසුවීමත් සමඟිනි. ඉන්දියාවේ සිටි සුජීව රාජ්‍ය තාන්ත්‍රික මෙහෙයුමක් මඟින් ගෙන්වා ගන්නේ ද මයිකල්ගේ හෙළි කිරීම් මතය. එහිදී අවි ආයුධ ගොන්නක්ම ප්‍රශ්න කිරීම් හමුවේ සුජිත්ගෙන් සොයා ගත්තේය. සුජීට එල්.ටී.ටී.ඊ. වෙඩික්කරුවන් සමඟ සම්බන්ධකම් ගොඩ නැඟෙන්නේ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ රඳවා සිටියදී ය. බුම්මා නැමැති පාතාලයේ වෙඩික්කරුවා කොස්ගොඩ සුජීගේ අබිරහස් වෙඩික්කරුවෙකි. ඔහු එල්.ටී.ටී.ඊ. නායකයාවූ ප්‍රභාකරන්ගේ සමීප ආරක්ෂාව සැලසූ බලකායේ සිටියෙකි.

එදා ත්‍රස්ත විමර්ශන කොට්ඨාස අත්අඩංගුවට පත්වීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත වන ඔහු ඇප මත එළියට එන්නේ යහපත් ජීවිතයක් ගත කිරීමේ අපේක්ෂාව ඇතිවය. ඊට ඉඩක් නොලැබෙන්නේ රෝයල් බීච් සමන් ව්‍යාපාරිකයන් කිහිප දෙනෙක් සමඟ එක්ව සුජීට වැඩේ දෙන්නට සැලසුම් කර තිබීම නිසාය. දකුණේ ස්ථානාධිපතිවරයකුට ලක්ෂ 50ක කොන්ත්‍රාත්තුවක් ගොස් තිබුණේ ද එහි ප්‍රතිඵලයක් ලෙසිණි. යහපත් ජීවිතයක් ගත කිරීම වෙනුවෙන් සුජිත් 2016 වසරේ පෙබරවාරි 19 වෙනිදා මහරගම පැත්තේ හෝටයලයක රහසිගත අයුරින් විවහායක් ද කර ගත්තේය. එදා ඒ විවාහ උත්සවයේදී පවා සුජීව මරා දැමීමට වෙඩික්කරුවන් යොදවා තිබුණේය. අරලිය සරත් ඝාතනය වන්නේ එහි ප්‍රතිඵලයක් ලෙසිනි.

රෝයල් බීච් සමන්ට ද සුජී ඉව ඇල්ලුවත් එය ව්‍යර්ථ වීමත් සමඟ බිරිඳ සමඟ ව්‍යාජ විදෙස් ගමන් බලපත්‍රයකින් රටින් පැන ඩුබායි වෙත යන්නේ ජීවිතාරක්ෂාව පතාය. දැන් මයිකල්ද සිටින්නේ ඩුබායිවලය. රෝයල් බීච් සමන් ඝාතන සැලසුමේ එක් කොටසක් ඉටු කරනු ලබන්නේ මයිකල්ය. ඒ ඔහුගේ පාසල් මිතුරෙක් වූ චින්තක යොදවා තංගල්ල උසාවිය අසල ඔත්තු බලමිනි. ඒ රෝයල් බීච් සමන්ට වැඩේ දෙන්නට සැලසුම් කර තිබුණේ උසාවිය අසලදී බැවිනි. මයිකල්ගේ කීමට එදා උදෑසනම චින්තක තංගල්ල උසාවියට යන්නේ මිතුරෙක් සමඟිනි. වැඩි වේලාවක් ඔහුට උසාවි භූමියේ රැඳී සිටීමට ඉඩක් නොවීය. මයිකල් දුරකතන ඇමතුමක් ගෙන දැනුම් දෙන්නේ “ උඹ පලයන් වැඩේ ඉවරයි“ යැයි කියාය. එහිදී ඊෂි කෑෂ්කර රුපියල් 10,000ක මුදලක් චින්තකට ලැබී තිබුණේය. දැන් චින්තක සිටින්නේ ඔත්තු බැලීමට ගිය මිතුරා සමග පොලිස් විශේෂ කාර්ය බළකායට කොටුවීය.

ඒ අතර හක්මන පොලිසිය පසුගිය 23 වෙනිදා සමන් කුමාරව කොටුකර ගත්තේය. වෙඩික්කරුවන් ගමන් ගත් ජිප් රථය සොයා ගන්නේ ගාල්ල විද්‍යාලෝක පිරිවෙන් භූමියේ ඇති රථ ගාලේ දමාගොස් තිබියදීය.

එදා 22 වෙනිදා රෝයල් බීච් සමන් ඇතුළු පස් දෙනාටම වෙඩි තබා මරා දමන වෙඩික්කරුවන් ජිප් රථයේම නැඟී පළා යන්නේ බෙලිඅත්ත දෙසටය. බෙලිඅත්තෙන් හක්මන ඔස්සේ කඹුරුපිටියට එන ජිප් රථය නගරයේදී නතර කෙරෙන්නේ වෙඩික්කරුවකුට ඉන් බැස ගැනීමටය. ඔහුගේ පැහැදිලි රූපයක් ආරක්ෂක කැමරාවක ද සටහන්ව ඇත්තේය. දෙවැන්නා බැස ගන්නේ අකුරැස්සෙනි. ආරක්ෂක කැමරාවක ඔහුව ද සටහන්ව තිබෙන අතර රූපය පැහැදිලි නැත. එහෙත් ගමන් විලාසය අනුව සැකයක් මතුවී ඇත්තේ මෝල් අසංක නැමැති පාතාලයේ කුලී ඝාතකයා ඔහු විය හැති බවය. හමුදා විශේෂ බලකායෙන් පළාවිත් සිටින සෙබළෙක් වන ඔහු කඩුවෙල සමයංගේ කල්ලියේ සිටි අයෙකි. මෙතෙක් ඒ ඔහුමදැයි තහවුරු වී නොතිබුණි.

එම වෙඩික්කරු අකුරැස්සෙන් බැස ගත් පසු වාහනය පැදවූ සමන් නමැති අලුත්ගම පුද්ගලයා සමඟ සිය නිවසට යන සමන් කුමර ගිනි අවි සඟවන්නේ නිවෙසේය. අනතුරුව ජිප් රථය සොදා පිරිසිදු කිරීමෙන් පසු ඩුබායිවලින් ලැබෙන ඇමතුමකට අනුව එම රථය රැගෙන යන්නේ ගාල්ල විද්‍යාලෝක පිරිවෙන් රථගාලටය. අලුත්ගම සමන් අතුරුදන් වන්නේ ජිප් රථය එහි නතර කිරීමෙන් අනතුරුවය. අකුරැස්සේ සමන් කුමාර ජිප් රථය එහි නතර කර කෙළින්ම එන්නේ සිය නිවෙසටය. ඒ පැමිණි ඔහු ඩුබායි සිට හර්ෂ ලබාදෙන උපදෙස්වලට අනුව යමින් 23 වෙනිදා උදෑසන 6.30ටට පමණ ගිනි අවි දෙක යතුරු පැදියක නැඟී රැගෙන ගොස් භාර දෙන්නේ දික්වැල්ල නගරයට යතුරුපැදියකින් ආ පුද්ගලයකුටය. පොලිස් ප්‍රශ්න කිරීමේ හමුවේ සමන් කුමාර පවසා ඇත්තේ හර්ෂ ලබාදුන් උපදෙස්වලට අනුව හදිසියකදී පරිහරණය කිරීමට වෑන් රථයක් ද සූදානම් කර තිබුණු බවය. ඒ වෙඩික්කරුවන්ට පලා යන්නටය. එම වෑන් රථත්, යතුරුපැදියත් හක්මන පොලිසියේ නිලධාරීන් සිට භාරයට ගත්තේය.

විමර්ශන තවමත් හමාර නැත. ජිප් රථයේ හිමිකරු සොයා මේ වන විටත් ලොකු මෙහෙයුමක් ක්‍රියාත්මකය. ඒ එම ජිප් රථයේ අංක තහඩු වෙනත් රථයකට අයත් වූවක් නිසාය. චැසි හා ඇංජින් අංක ඔස්සේ කළ විමර්ශනයේදී පෙනී ගොස් ඇත්තේ හය හත් දෙනෙක් අත මෙම ජිප් රථය හුවමාරුවී ඇති බවය. අවසාන හිමිකරු ඇතැයි පෙනී ගොස් ඇත්තේ දෙහිවල පැත්තේය. විමර්ශන නිලධාරීන් මේ වන විට ඉව අල්ලමින් සිටින්නේ එම ජිප් රථයේ හිමිකරු මෙන්ම වෙඩික්කරුවන් දෙදෙනා කොටුකර ගැනීමටය.

ගයාන් කුමාර වීරසිංහ -සිළුමිණ

SendShareShare
Previous Post

බටහිර ඉන්දීය කොදෙව්වෙන් කාලයකට පසු සුපිරි ක්‍රිකට් වීරයෙක් බිහිවෙයි! අවුරුදු 27කට පසු ඕස්ට්‍රේලියාව පරදා ලකුණු 8ක හිතාගන්නවත් බැරි ටෙස්ට් ජයක් කොදෙව්වන්ට හිමිකර දෙයි! බ්‍රයන් ලාරා-කාල් හූපර් හඬා වැටෙයි! VIDEO I Sri Lanka Latest News

Next Post

ඩාවින්චිගේ මොනාලිසාට සුප් එකකින් ගහයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

මහනුවරට ආවාම අස්ගිරි-මල්වතු මහනාහිමිවරුන් සජිත්ට මොනවද කිව්වේ? මල්වතු මහානාහිමියන් සජිත්ට බුද්ධ ප්‍රතිමාවක් තෑගි දුන්නේ ඇයි? PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

ශාසන පරිහානිය ගැන මහා සංඝරත්නයෙන් ඉදිරිපත් වූ ඉල්ලීම් මත මහා සඟ සමුළුවක් පැවැත්වීමට විපක්ෂනායක සජිත් මූලිකත්වය ගනී! ත්‍රෛනිකායික මහනාහිමිවරුන් හමුවීමටත් නියමිතයි! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

මුහුදු තීරයේ ජාවාරම්වලට හවුල් වෙලා? කල්පිටිය OIC විතරක් ඉතුරු කරලා මුලු පොලිසියම මාරු කරයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුව ඇතුළේ මුළු විපක්ෂයම එකතු කරන් සටනක් දෙන විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවෙන් එළියේ සටනටත් ලෑස්ති වෙයි! ආණ්ඩුවේ ඒකාධිපති පාලනයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය-මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නව සිවිල් සමාජ ව්‍යාපාරයක් ආරම්භ කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

පාර්ලිමේන්තුව ඇතුළේ මුළු විපක්ෂයම එකතු කරන් සටනක් දෙන විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවෙන් එළියේ සටනටත් ලෑස්ති වෙයි! ආණ්ඩුවේ ඒකාධිපති පාලනයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය-මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නව සිවිල් සමාජ ව්‍යාපාරයක් ආරම්භ කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

සරණගේ නඩු 4ක් අද කැඳවයි! වැරැද්ද පිළිගෙන නඩුව කෙටියෙන් අවසන් කරගන්න කලින් කරපු දැනුම් දීම අයින් කරගන්නා බව උසාවියට කියයි! Sri Lanka Latest News
Exclusive

සරණට කිසිම පිළිසරණක් නෑ! නඩු 4ට බරපතළ වැඩ සහිතව අවුරුදු 16ක් හිරේ..! දඩය ලක්ෂ 18යි! I Sri Lanka Latest News

Load More
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

ශ්‍රී ලංකා රුපියල අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව තවදුරටත් අවප්‍රමාණය වී තිබේ.Sri Lanka Latest News ඒ අනුව,  මහ බැංකුව විසින් අද (09)...

Read more
සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

මහනුවරට ආවාම අස්ගිරි-මල්වතු මහනාහිමිවරුන් සජිත්ට මොනවද කිව්වේ? මල්වතු මහානාහිමියන් සජිත්ට බුද්ධ ප්‍රතිමාවක් තෑගි දුන්නේ ඇයි? PHOTOS & VIDEO I Sri Lanka Latest News

ශාසන පරිහානිය ගැන මහා සංඝරත්නයෙන් ඉදිරිපත් වූ ඉල්ලීම් මත මහා සඟ සමුළුවක් පැවැත්වීමට විපක්ෂනායක සජිත් මූලිකත්වය ගනී! ත්‍රෛනිකායික මහනාහිමිවරුන් හමුවීමටත් නියමිතයි! I Sri Lanka Latest News

පීටර්සන් සොලියුෂන්ස් ශ්‍රී ලංකා සමාගම සිය නව ප්‍රධාන කාර්යාලය කොළඹ ඔරියන් සිටි හිදී විවෘත කරමින් වර්ධනයේ සහ නව්‍යකරණයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරයි! Sri Lanka Latest News

පීටර්සන් සොලියුෂන්ස් ශ්‍රී ලංකා සමාගම සිය නව ප්‍රධාන කාර්යාලය කොළඹ ඔරියන් සිටි හිදී විවෘත කරමින් වර්ධනයේ සහ නව්‍යකරණයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරයි! Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

මුහුදු තීරයේ ජාවාරම්වලට හවුල් වෙලා? කල්පිටිය OIC විතරක් ඉතුරු කරලා මුලු පොලිසියම මාරු කරයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.