ද්විත්ව පුරවැසිභාවය ගැන පහුගිය කාල වකවානුව තිස්සේම විවිධ ආකාරවලින් කතාබහට ලක්වුණා. ඒ කතාබහට ලක්වුණේ ද්විත්ව පුරවැසිභාවය සහ ද්විත්ව පුරවැසිභාවය දරන්නන් දේශපාලනයට පැමිණීම සම්බන්ධව. ඇත්තටම මේක ඉතිහාසය පුරාම පැවැති මාතෘකාවක් නෙවෙයි. නමුත් මේ නොපැවැති මාතෘකාව කරළියට එන්නේ ද්විත්ව පුරවැසිභාවය දරන්නන් ලංකාවෙ දේශපාලනයේ ඉහළ පුටුවලට පැමිණීමට දැරූ උත්සාහයත් එක්ක. මේ උත්සාහයේ ඉතා ඉදිරියෙන් ඉන්නවා රාජපක්ෂ පවුල. රාජපක්ෂ පවුලේ නියෝජිතයෙක් වෙච්ච ගෝඨාභය රාජපක්ෂ ලංකාවේ ජනාධිපතිවරයා බවට පත්වෙන්නට උත්සාහ දැරූ අවස්ථාවේදීම මේ ද්විත්ව පුරවැසිභාවයට අදාළ කතන්දරය ඉතා ඉක්මනින් එළියට ආවා. ඒ පිළිබඳ කතා කළ බොහෝ දෙනෙක් කිව්ව කතාවක් වුණේ ද්විත්ව පුරවැසිභාවය නම් වූ සාධකය මත පදනම්ව ගෝඨාභය රාජපක්ෂට ලංකාවෙ ජනාධිපතිකම ගන්න බැරිවෙන බව සහ ඔහුට මේ සඳහා ඉදිරිපත් වෙන්නට පවා නොහැකි බව කිව්වත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති පුටුවට පැමිණීමට අවශ්‍ය මූලික සුදුසුකම් ටික සම්පූර්ණ කර තිබූ බව එවක මැතිවරණ කාර්යාලය පිළිගත් අතර, ඉන් පසුව ඔහු ජනාධිපතිවරයා බවට පවා පත්වුණා. මේ සම්බන්ධව විවිධ කතිකාවන් නිර්මාණය වුණායින් පස්සේ අපි දැක්ක ඉතාම වැදගත් කතන්දරයක් වුණේ පහුගිය කාල වකවානුවේ මේ ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධව බැසිල් රාජපක්ෂගේ නම නිතරම කියවෙන්න ගැනීම.
බැසිල් ද්විත්ව පුරවැසියෙක් බවත්, ඔහුගේ ද්විත්ව පුරවැසිභාවය අභියෝගයට ලක් කළ යුතු බවත්, ඔහුට පාර්ලිමේන්තු අසුන අහිමි විය යුතු බවත් බොහෝ දෙනෙක් කිව්වා. හැබැයි මේ ද්විත්ව පුරවැසි කතන්දරයත් එක්ක තමන්ගෙ මැතිසබේ අසුන අහිමි කරගන්නට ගීතා කුමාරසිංහට සිද්ධ වුණා. පහළ තැනින් ජලය ගලායන්නා සේ ගීතාට එම තනතුර අහිමි වුණත්, බොහෝ දෙනෙක් තමන්ගෙ තාන්න මාන්න තියාගෙන අගේට හිටියා.
දැන් 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් වීමත් එක්ක ආයෙත් වතාවක් ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධව කතන්දරය එළියට එන්න පටන්ගත්තා. ද්විත්ව පුරවැසිභාවය දරන්නන් එක්කෙනෙක් දෙන්නෙක් නොවන බවත්, 10 දෙනෙක් සිටින බවත් මේ කතන්දරයේදී ඊළඟට කියවුණු කාරණයක්. ද්විත්ව පුරවැසිභාවය දරන්නන් 10 දෙනෙක් පාර්ලිමේන්තුවේ සිටිද්දී ඔවුන්ට එරෙහිව ගත හැකි ක්‍රියාමාර්ගය කුමක්ද කියන එක හොයා බලන්නට පටන්ගත්තා. මේ දහදෙනා කවුද කියන එකත් මේ වෙද්දී ප්‍රශ්නයක් බවට පත්වෙලයි තියෙන්නේ. මෙහෙම 10 දෙනෙක් ඉන්නවා නම් ඔවුන්ට විරුද්ධව ගතහැකි ක්‍රියාමාර්ගය මොකක්ද කියන එක ගැන ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කතානායකතුමා එක්තරා ප්‍රකාශයක් කරලා තිබුණා. ඔහු කියන්නේ මේ විදියට ද්විත්ව පුරවැසිභාවය දරන්නන් 10 දෙනෙක් හිටියත්, ඒ 10 දෙනා සම්බන්ධව තමන්ට කතානායකවරයා ලෙස ගත හැකි පියවරක් නැති ආකාරයේ කතාවක්. ඒ ආකාරයෙන් කතානායකවරයාගේ තනතුරේ සීමා මායිම්වල සිට පියවරක් ගත නොහැකි නිසාත්, ඒ සම්බන්ධව අධිකරණමය ක්‍රියාදාමයකට යනවා නම් ඊට ඉඩ පවතින බව වගේ අදහසක් තමයි ඔහුගෙන් කියවිලා තිබුණේ. මැතිවරණ දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් දරන්නෙත් මෙවැනිම අදහසක්. ඔවුන් කියන්නේ පත්වූ 10 දෙනා සම්බන්ධව පියවර ගැනීම හෝ ඒ සම්බන්ධව කළ යුත්තේ කුමක්ද යන්න ගැන හෝ තමන්ට අදහසක් නොමැති බව. දැන් ඊළඟ ප්රශ්නය වෙන්නෙ මේ අය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූල නොවන ආකාරයෙන් පාර්ලිමේන්තුවේ රැඳී සිටිනවා නම් එම තනතුරු සම්බන්ධව වගකියන්නේ කවුද? ඒ සම්බන්ධව පියවර ගන්නේ කවුද? ඒ සම්බන්ධව රටේ බරපතළ ප්‍රශ්නයක් ඇති බව විතරක් අපට පිළිගත හැකි කාරණයක්.
මේ වන විට 22 ආණඩුක්රම ව්‍යවස්ථා සංශෝධනයත් එක්ක අලුතෙන් කරළියට එන්නේ පරණ ගැටලුවමයි.
ඒ ගැටලූලුව ගැන මේ වෙනකොට හොයන්න පටන් අරගෙන තියෙනවා. හැබැයි කැබිනට් ප්‍රකාශකගෙන් මේ පිළිබඳ ප්‍රශ්න කළ අවස්ථාවක දී ඔහු කියා තිබුණෙ ද්විත්ව පුරවැසියන් හොයන්න පාර්ලිමේන්තුවට ක්‍රමවේදයක් නැති බවයි. ඒ සඳහා ක්‍රමවේදය තියෙන්නේ අධිකරණය සතුව කියලා.
ඒත් මේ වෙනකොට පාර්ලිමේන්තුව අවශ්‍ය පියවර ගනිමින් ඉන්නවා කියලයි අපි හිතන්නෙ.
22 වැනි ව්‍යවස්ථාව සම්මත වීමෙන් පසු පාර්ලිමේන්තුවේ සිටින ද්විත්ව පුරවැසියන් කව්රුන්ද යන්න සොයා බැලීම සඳහා කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනාගේම නාමලේඛනයක් ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත යොමු කරපු බවක් කියවෙනවා. ඒ අනුව පසුගිය දින කිහිපය පුරාම ආගමන විගමන දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කළ බවක් දැනගන්න තියෙනවා. මේ විමර්ශනයේදී ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තු පැමිණි කෙනෙක් ද්විත්ව පුරවැසිභාවය හිමි අයකු බව ආගමන විගමන දෙපාර්තමේන්තුව මේ වන විට හදුනාගෙන ඇති බවත් ආරංචියි. මේ ද්විත්ව පුරවැසි නීතියට අදාළ ඉලක්කය සම්පූර්ණයෙන්ම බැසිල් රාජපක්ෂ නොවිය යුතුයි. නීතිය හැමෝටම එක විදියට බලපානවා නම් රටවල් දෙකක දෙපය තියාගෙන ඉන්න අය විතරක් නෙවෙයි, පාස්පෝට් දෙකක් තියෙන අයත් අල්ලගන්න ඕනෙ. කොහොම නමුත් මේ ද්විත්ව පුරවැසියන්ගෙ තනතුරු අහිමි වීමට නියමිතයිද? එහෙම වුණොත් එන්නෙ කවුද? ඒ අයගෙ ද්විත්ව පුරවැසි බව පරීක්ෂා කරන්නෙ ඊට පස්සෙද?
ඉන් පස්සෙ ආයෙත් මේ ගැටලුවම එනවා. ඒ නිසා කරන්න ඕනෙ නාමයෝජනා දෙනකොටම මේ ගැන හොයලා බලන්න ඕනෙ. ඒ වගේම ඡන්දදායකයො විදියට අපිත් ඒ ගැන අවධානයෙන් ඉන්නම ඕනෙ. නැත්නම් මේවා හොයන්න අරවට මෙව්වට නාස්ති වෙන්නෙ අපේම සල්ලි.
ජීවන පහන් තිළිණ