‘මම නැත්නම් මහින්ද අද හිරේ…’
මේ, හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා අගවිනිසුරු ධුරයෙන් විශ්‍රාම ගියාට පසු කී ආන්දෝලනාත්මක කතාවකි. සරත් සිල්වා මහින්දගේ මිත්රයෙකි. මහින්දගේ විවාහය කතා කරන්න ශිරන්තිගේ ගෙදරට ගියේත් සරත් සිල්වාය. ජේ.ආර්.ගේ ආණ්ඩු කාලයේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ පැවැති අතුරු මැතිවරණයකදී සිදුවූ වෙඩිතැබීමකට චෝදනා ලබා මහින්දට හිරේට යන්න සිදුවූ විට තමා බේරාගත්තා යැයි සරත් සිල්වා කීවේ එහෙයිනි. හම්බන්තොට සුනාමි වංචාව සම්බන්ධ නඩුවෙන්ද මහින්දව බේරාගත්තේ සරත් සිල්වාය. එතකොට සරත් සිල්වා අගවිනිසුරුය. ඒ නඩුවට මහින්ද කොටුවුණා නම් මහින්දට 2005 ජනාධිපතිවරණයට ඉල්ලන්න වෙන්නේ නැත. 2005 මහින්ද ජනාධිපති වුණාට පසු සරත් සිල්වා මහින්දව තක්බීර් කරන තීන්දුවක් දුන්නේය. එනම් ජෝන් කීල්ස් සහ ශ්‍රී ලංකා මැරීන් සර්විස් වංචාව සම්බන්ධයෙන් එවක මුදල් අමාත්‍යාංශ ලේකම් පී.බී. ජයසුන්දරට එරෙහිවය. සරත් සිල්වාගේ ප්‍රධානත්වයෙන් යුත් ශ්‍රේෂ්ඨාධිකරණය එම වංචාවට වගකිව යුතු පී.බී.ට රජයේ කිසිදු තනතුරක් දැරීමට තහනම් කරමින් නියෝගයක් නිකුත් කළේය. ඒ වෙලාවේ විපක්ෂ නායක සහ යූ.ඇන්.පී. නායක වූයේ රනිල් වික්‍රමසිංහය.Sri Lanka Latest News
‘අධිකරණ නියෝගයට ගරු කරමින් පී.බී. වහාම ඉවත් විය යුතුයි…’
මේ, රනිල් ලෝකයටම ඇහෙන්න හඬනගා කී කතාවය. රනිල් කියන තෙක් හිටියේ නැත. ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට ගරු කරමින් පී.බී. වහාම ඉවත් විය. ඒ වෙලාවේ යුද්ධයේ තීරණාත්මක කාලයකි. මහින්දට යුද්ධයට අවශ්‍ය මුදල් සපයා ගන්න අය-වැය හදන්න පී.බී.ව අවශ්‍ය විය. ඒත් මහින්දත් ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයට බය විය. පසුව සරත් සිල්වා අගවිනිසුරු ධුරයෙන් ඉවත් වීමෙන් පසු අගවිනිසුරු අශෝක ද සිල්වා ඇතුළු විනිසුරු මණ්ඩලයට ගොස් පී.බී. විනිසුරු මඬුල්ලේ අනුමැතිය ගෙන යළි මුදල් අමාත්‍යාංශ ලේකම් විය.
මේ පරණ කතාව මතක් වන්නේ පොලිස්පති දේශබන්දුට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය දුන් නියෝගය නිසාය. දේශබන්දුව පොලිස්පති ධුරයට නොව වැඩබලන පොලිස්පති ධුරයටත් නුසුදුසු යැයි තීරණය කළේ වත්මන් ජනාධිපති රනිල්ය. ඔහු හිටපු පොලිස්පති වික්‍රමරත්නගේ සේවය දිගු කරමින් ව්‍යවස්ථාදායක සභාවට දේශබන්දුගේ නම යවන්නේ නැතිව ව්‍යවස්ථාදායක සභාවත් සමග ගේම් ගසමින් සිටියේය. හේතුව විශ්‍රාම යෑමට නියමිත වික්‍රමරත්න වෙනුවට ජනාධිපති පොලිස්පතිවරයෙක් නම්කරන්න එවන තෙක් ව්‍යවස්ථාදායක සභාව බලාගෙන සිටිය නිසාය. ව්‍යවස්ථාදායක සභාව විශ්‍රාම යෑමට නියමිත වික්‍රමරත්නට සේවා දිගුවක් දෙන ලෙස යෝජනා කරමින් රනිල් ව්‍යවස්ථාදායක සභාව සමග ගේම් ගැසුවේය. ඒ වෙලාවේ පාස්කු ප්‍රහාරය සම්බන්ධ චෝදනා නැති, ජ්‍යෙෂ්ඨත්වයෙන් ඊළඟට සිටින පතිනායකව පොලිස්පති ධුරයට නම්කර එව්වා නම් ව්‍යවස්ථාදායක සභාව එය අනුමත කරනු ඇත. රනිල් එය කළේ නැත. මේ වනවිටත් මානව හිමිකම් කඩකිරීම් පිළිබඳ අධිකරණයේ චෝදනා ලබා සිටින පාස්කු ප්‍රහාරයට චෝදනා ලබා සිටින අරගලකරුවන්ට පහරදී අරගලකරුවන්ගෙන්ද පහරකා ආන්දෝලනාත්මක චරිතයක් වී සිටි දේශබන්දුට පොලිස්පති ධුරය නොදෙන ලෙස රටේ මතයක් ඇතිවී තිබිණි. රනිල් ඒ මතය නොසලකා දේශබන්දුගේ නම පළමුව වැඩබලන පොලිස්පති ලෙසත්, දෙවැනුව පොලිස්පති ලෙසත් ව්‍යවස්ථාදායක සභාවට යැව්වේය. ව්‍යවස්ථාදායක සභාවේ බහුතරය ඔහුගේ නම ප්‍රතික්ෂේප කළේ ඔහුව පොලිස්පති ලෙස පත්කිරීමට යෝජනා කරද්දීය.
මෛත්‍රී ජනාධිපති කාලයේ පොලිස්පති ධුරයට මෛත්‍රී නම් තුනක් යැව්වේය. මෛත්‍රීට ඕනෙ කෙනා තේරුණේ නැත. රනිල් අගමැති ලෙස සිටි ව්‍යවස්ථාදායක සභාව තේරුවේ පූජිත් ජයසුන්දරවය. මෛත්‍රී අකැමැත්තෙන් වුවද එය පිළිගත්තේය.
සම්ප්රදාය නම් තුනක් යැවීම වුවද රනිල්, වික්‍රමරත්නට සේවා දිගු ලබාදීමෙන්ද පසුව දේශබන්දුගේ නම පමණක් එවීමෙන්ද ව්‍යවස්ථාදායක සභාව පමණක් නොව පොලිස්පති ධුරයද කොළොප්පමක් කළේය.
දේශබන්දු පොලිස්පති ධුරයේ සිටියදීම ශ්‍රේෂ්ඨාධිකරණය දේශබන්දු මානව හිමිකම් කඩකිරීමට වරදකරු කර ඔහුට වන්දි ගෙවන ලෙස නියෝග කොට පොලිස් කොමිසමට ඔහුට එරෙහිව විනය පරීක්ෂණයක් තියන ලෙස නියෝග කළේය.
රනිල් මේ තීන්දුවත් ගණන් ගත්තේ නැත. දේශබන්දු පොලිස්පති ධුරයේම සිටියේය. ඔහුට එරෙහි විනය පරීක්ෂණ ආරම්භ නොවීය. ඔහු දේශබන්දුව පත් කළේ ව්‍යවස්ථාදායක සභාව ඔහුට එරෙහිව දුන් ඡන්දය කුණු කූඩයට දමමින් කතානායක දේශබන්දුට පක්ෂව ලිපියක් දුන්නා කියමින්ය. කතානායකට ව්‍යවස්ථාදායක සභාවේ බහුතරය දේශබන්දුව පත්කිරීමට එරෙහිව ඡන්දය දී තිබියදී ව්‍යවස්ථාදායක සභා රැස්වීමට පසු කතානායකගෙන් ලියුමක් ගෙන ජනාධිපතිවරයකුට පොලිස්පති පත්කළ නොහැකිය. රනිල් ව්‍යවස්ථා විරෝධීව ඔහුව පොලිස්පති කළේය.
අනෙක රනිල් ඔහුව පොලිස්පති ලෙස පත්කළේ කතෝලික සභාව සහ කාදිනල් හිමි ඔහු පාස්කු ප්‍රහාරය වළක්වන්න ක්‍රියා නොකළ නිසා ඔහුව පත් නොකරන ලෙස ඉල්ලීමක් කර තිබියදීය. සාමාන්‍යයෙන් ලොව කොයි රටකවත් බෝම්බ ප්‍රහාරයක් වළක්වන්න ක්‍රියා නොකිරීමේ චෝදනාව ලද අයෙක් ආරක්ෂක අංශයෙන් ඉහළ තනතුරුවලට පත්කරන්නේ නැතිවා පමණක් නොව, ඔවුන්ව තනතුරුවලින් ඉවත් කරයි. මෑතක හොඳම නිදසුන ඇමෙරිකාවේ රහස් ඔත්තු සේවා අධ්යක්ෂ ට්‍රම්ප් ඝාතන ප්රයත්නයේ වගකීම බාරගෙන ඉවත් වීමය.
ලංකාවේ එවැනි සංස්කෘතියක් ඇතිකිරීමට කතෝලික සභාව සහ කාදිනල් හිමි අධිකරණය හරහා ලොකු සටනක් කරමින් සිටී. එහි වාසිය කතෝලිකයන්ට පමණක් නොව රටටමය. මෙයින් රටේ ආරක්ෂක අංශ තමන් අතින් වරදක් නොවන තැනට බයවෙලා හෙල්ලුම්කා සීරුවෙන් සිටී. රට ආරක්ෂා වන්නේ එලෙසය. පාස්කු බෝම්බ ප්‍රහාරය ඇතිවූයේ ආරක්ෂක අංශ අනතුරු ඇඟවීම් ගණන් නොගෙන බය නොවී සිටි නිසාය.
පාස්කු බෝම්බයට අදාළ අධිකරණ තීන්දුවලින් ආරක්ෂක අංශ නින්දෙන් අවදි වී ඇතත් දේශපාලනඥයන් තාම නින්දේය. අරගලයෙන් රාජපක්ෂලා අවදි වී ඉවත් විය. හැබැයි අරගලය ප්‍රයෝජනයට ගෙන ජනාධිපති වූ රනිල් තවම මර නින්දේය.
පළාත් පාලන ඡන්දය වහාම පවත්වන්න යැයි අධිකරණය නියෝග කළේය. ඔහු ඒ නියෝගය මායිම් කළේ නැත. පොලිස්පතිවරයා මානව හිමිකම් කඩකර ඇතැයි අධිකරණය නියෝගයක් දුන්නේය. ඔහු එය මායිම් කළේත් නැත. ඔහු ඒ වෙනුවට පාර්ලිමේන්තුව අධිකරණයට පහර ගහන්න පාවිච්චි කළේය. දැන් ඔහු ව්‍යවස්ථා විරෝධීව පත්කළ පොලිස්පතිට එරෙහිව අධිකරණය තහනම් නියෝගයක් නිකුත් කර තිබේ. ඒ නියෝගය අධ්‍යයනය කරන්නත් ඔහුට කාලය අවශ්‍ය යැයි ඇමැති මණ්ඩලය පිට දමා නිවේදන නිකුත් කර තිබේ.
හිටපු අගවිනිසුරු සරත් සිල්වා කීවා හරිය. මෙලෙස අධිකරණය සමග හැප්පුණු ජනාධිපතිවරයෙක් ලංකාවේ සිට නැත. රනිල්ට තව ඇත්තේ දවස් කිහිපයකි. අරගලයෙන් රටම අවදි වුණත් රනිල් තවම මර නින්දේය. රනිල් ජනාධිපති වුණේ මහජනතාවගෙන් නොවන නිසා රනිල්ට මහජනතාවගෙන් වැඩක් නැත.
19 වැනි ව්‍යවස්ථා සංශෝධන පනත ගෙන එමින් 2015.04.28 දින රනිල් පාර්ලිමේන්තුවේ මෙහෙම කතාවක් කීවේය.
‘මට මතකයි ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා විශ්‍රාම ගියාට පසු දවසක හැන්දෑවක මේ ගැන විශාල විවාදයක් යන වෙලාවේ කතා කරන කොට මට එතුමා කීවා ‘Ranil anyone who sits there would not like to give up that power. You have to get him out when his term is over…. (රනිල් ඔය පුටුවේ වාඩිවෙන කවුරුන් හෝ ඔය බලය අතහරින්න කැමැති වෙන්නේ නැහැ. ඒ නිසා ඔබට සිදුවෙනවා ඔහුගේ නිල කාලය ඉවර වෙනකොට ඔහුව එළියට දමන්න) කියලා. ඒක ඇත්ත.’
රනිල් වික්‍රමසිංහ
2015.04.28
පාර්ලිමේන්තුවේදී
(හැන්සාඩ් වාර්තා 867-868)
දැන් රනිල්ටත් හැදිලා තියෙන්නේ ජේ.ආර්. කිව්ව ලෙඩේය. ජනාධිපතිවරණය නියමිත දිනට පවත්වන මෙන් නියෝග දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය නිල කාලය ඉවරයි කියලා රනිල්ව නින්දෙන් ඇහැරනවාද දන්නේ නැත. නැතිනම් නිල කාලය අවසන් වූ ජනාධිපතිවරයකුට ගෙදර යන්න කියලා ජේ.ආර්. කිව්ව වැඩේ අධිකරණය කරනවාද දන්නේ නැත. කොහොම වුණත් මේ ජනාධිපතිවරණයෙන් කවුරු ජනාධිපති වුණත් ලංකාවට බයවෙන්න දෙයක් නැත.
‘ඔබ ඇති තැන – නැත බිය සැක….’
ශ්‍රේෂ්ඨාධිකරණය දෙන තීන්දු දෙස බලන විට මිනිස්සුන්ට සැනසෙන්න ඒ වචන ටිකත් ඇතිය.