බඩල්කුඹුර – පස්සර ප්‍රධාන මාර්ගයේ අළුපොත ප්‍රදේශයේ, කිලෝමීටර් 11 කණුව ආසන්නයේ ඇති පාළු ඉඩමක තිබියදී මිනිස් හිස් කබලක් සොයාගෙන ඇත.
මෙම ස්ථානයේ මිනිස් හිස් කබලක් ඇති බවට 119 පොලිස් හදිසි ඇමතුම් අංශයට තොරතුරක් ලැබී ඇති තොරතුරකට අනුව.බඩල්කුඹුර පොලීසිය අදාළ ස්ථානයට ගොස් පරීක්ෂණ ආරම්භ කොට ඇති බව සඳහය.
හිස් කබල ප්‍රථමයෙන්ම දැක ඇක්කේ අදාළ ඉඩම ආසන්නයේ කොකෝවා කැඩීමට ගොස් ඇති වයස අවුරුදු 10ක දරුවෙකු විසිනි.
පසුව එම දරුවා ඒ පිළිබදව සිය සොයුරියට පවසා ඇති අතර පොලිස් හදිසි ඇමතුම් අංශයට දැනුම් දී ඇත්තේ ඇය විසින් බව පැවසේ.
හමු වූ හිස්කබල වැඩිදුර පරීක්ෂණ සදහා රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරීමට නියමිත බව වාර්තා වේ.
ගමන් බෑගයක තිබූ හිස නොමැති කාන්තා මළ සිරුරක් පසුගිය මාර්තු මස පළමුවැනි දා කොළඹ, වේල්ලවීදිය ප්‍රදේශයෙන් හමු වුණු අතර පසුව අනාවරණය වූයේ අදාළ ඝාතනය සිදු කර ඇත්තේ බඩල්කුඹුර ප්‍රදේශයේ පදිංචි උප පොලිස් පරීක්ෂකවරයෙකු විසින් බවට යි.
අදාළ කාන්තාව කුරුවිට ප්‍රදේශයේ පදිංචිව සිටි අවිවාහක 30 හැවිරිදි තැනැත්තියක් බවට හඳුණාගනු ලැබිණ.
එම සිදුවීම ආශ්‍රිත CCTV දර්ශනවල දී අදාළ පොලිස් නිලධාරියා බෑග කිහිපයක් රැගෙන ආකාරය පෙනුණු අතර එම එක් බෑගයක් තුළ ඇගේ හිස ඇතැයි පොලීසිය එවකට සැක කළද ඇයගේ හිස මේවන තෙක් හමුව තිබුණේ නැත.
බුත්තල පොලීසියට අනුයුක්තව සේවය කළ අදාළ උප පොලිස් පරීක්ෂකවරයා පසුව සියදිවි නසා ගත්තේය.
මෙම තත්ත්වයත් සමග බඩල්කුඹුර ප්‍රදේශයෙන් හමුවූ හිස්කබල අදාළ කාන්තාවගේ දැයි සැකයක් මතුව ඇත.










