මූල්‍ය අරමුදලෙන් සජිත්ට ආරාධනාවක්!
බැසිල් ගහන්න යන තුරුම්පුව!
පොහොට්ටුවේ අපේක්ෂකයා හෙට එළියට!
මුළු රටම බලාසිටි දිනය මැතිවරණ කොමිසම මගින් ප්‍රකාශයට පත් කළේ ඉකුත් සිකුරාදා (26) දිනයේදීය. එදින පෙරවරුවේම නිකුත් කෙරුණු විශේෂ ගැසට් පත්‍රය මගින් කියැවුණේ 2024 ජනාධිපතිවරණය සැප්තැම්බර් 21 වැනිදා පැවැත්වීමට නියමිත බවය. ඊට අදාළ නාමයෝජනා භාරගැනීම අගෝස්තු 15 වැනිදා සිදුකරන බවද අදාළ ගැසට් නිවේදනයේ සඳහන් විය.ෂැංග්‍රිලා හෝටලයේ රහස් හමු දෙකක්! එකක් රනිල්-නාමල් අතර! අනෙක රාජපක්ෂ පවුලේ ඊළඟ පරපුර අතර! සාකච්ඡා දෙකේම සියලු තොරතුරු මෙන්න! රාජ්‍ය රහස්! I Sri Lanka Latest News
මැතිවරණ කොමිසම මේ ආකාරයට සිකුරාදා දිනයේදී ජනාධිපතිවරණය පවත්වන දිනය ප්‍රකාශයට පත්කළත් ඒ සඳහා පැමිණි ගමන් මග ඉතා සරල වූවක් නම් නොවේ. මීට පෙරාතුව පැවැති ජනාධිපතිවරණවලදී නම් කිසිදු ගැටලුවකින් තොරව සහ කිසිදු ආන්දෝලනාත්මක සිදුවීමකින් තොරව මැතිවරණ කොමිසම මගින් ජනාධිපතිවරණයට අදාළ කාලවකවානුව ප්‍රකාශ කළත් මෙවර දැකගන්නට ලැබුණේ ඊට හාත්පසින්ම වෙනස් සිදුවීමකි. ඊට හේතුව මුල සිටම ජනාධිපතිවරණය නොපැවෙත්වෙන බවට කිසියම් ව්‍යාකූලභාවයක් සහ සැකයක් ජනතාව අතර සහ රට ඇතුළේ මතුකිරීමට ආණ්ඩුවේම යම් යම් පාර්ශ්වයන් කටයුතු කිරීම නිසාය. ඔවුන් මෙය පටන්ගත්තේ ජනාධිපතිවරයාට ජනාධිපතිවරණයක් නොමැතිව තවත් වසර දෙකක් ජනාධිපති ධුරයේ සිටීමට අවස්ථාව ලබාදිය යුතු බවට ප්‍රකාශ කරමිනි. එමෙන්ම පළාත් පාලන මැතිවරණය අතුරුදන් කළා සේ ජනාධිපතිවරණයද අතුරුදන් කරනු ඇති බවට විවිධ මත පළකෙරිණි. අවස්ථා දෙකකදීම ජනාධිපතිවරණය නොපවත්වන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යම් යම් පාර්ශ්ව මගින් මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනුකෙරිණි. අවසානයේදී 22 වැනි සංශෝධනය හරහා ජනමත විචාරණයක් පවත්වා ජනාධිපතිවරයාගේ ධුර කාලය තවත් අවුරුද්දකින් කල්දමා ගැනීමේ සැලසුමක්ද දියත් කෙරිණි.
ආණ්ඩුවට වැලඳී තිබුණු මේ මැතිවරණ භීතිකාව මේ ආකාරයට ප්‍රසිද්ධියේ එළියට පනිද්දී ඊට එරෙහිව පාර්ලිමේන්තුව ඇතුළේත් ඉන් පිටතත් දැවැන්තම සටන ගෙන ගියේ වෙන කවුරුවත් නොව, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්රමුඛ සමගි ජන බලවේගයය. ආණ්ඩුව පැත්තෙන් මැතිවරණ කල්දැමීමට විවිධ ක්‍රියාමාර්ග දියත් වෙද්දී සමගි ජන බලවේගයත් එහි නීතිඥ කණ්ඩායමත් ඒ සියලු ක්‍රියාමාර්ගයන්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනුකිරීමට කටයුතු කළහ. එහි අවසන් ප්‍රතිඵලය වූයේ ජනාධිපතිවරණය පැවැත්වීමට එරෙහිව පෙත්සම් ගොනුවෙද්දී විවිධ කුමන්ත්‍රණ දියත් වෙද්දී කටකතා පතුරුවද්දීත් ඒ සියල්ල අධිකරණය හමුවේම පරාජයට පත්කිරීමට සජබය ඇතුළු සිවිල් සංවිධානවලට හැකියාව ලැබීමය.
2022 ආරම්භ වූ අරගලය අවසානයේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරය අතහැර පලා යෑමෙන් පසු මුළු රටම සූදානමින් සිටියේ අලුත් මැතිවරණයකින් අලුත් කණ්ඩායමක් තෝරාගෙන අලුත් රටක් ගොඩනැගීමටය. ඒ සඳහා මුල්ම අවස්ථාව ජනතාවට ලැබෙන්නට නියමිතව තිබුණේ පළාත් පාලන මැතිවරණයෙනි. නමුත් මුදල් නොමැති බව කියමින් සහ විවිධ හේතු ඉදිරිපත් කරමින් පළාත් පාලන මැතිවරණය අතුරුදන් කිරීමට ආණ්ඩුව කටයුතු කළේය. ශ්‍රේෂ්ඨාධිකරණය මගින් පළාත් පාලන මැතිවරණයට මුදල් වෙන්කරන ලෙස නියෝග කර තිබියදී පවා ආණ්ඩුව ඒ මැතිවරණය නොපවත්වා සිටීමට පියවර ගත්තේය. ඒ සන්තෑසියම ජනාධිපතිවරණයට ද සිදුකරනු ඇති බව බොහෝ දෙනා සිතා සිටියත් විපක්ෂය දියත් කර තිබූ සටන හේතුකොට ගෙන ජනතාවගේ ඡන්ද අයිතිය දිනා දීමට අධිකරණය කටයුතු කළේය.
මව්රටටත් සතුටුයි
මෙහිදී ‘රාජ්‍ය රහස්’ තීරය සහ ‘මව්රට’ පුවත්පත සම්බන්ධයෙන්ද යමක් සඳහන් කළ යුතුව ඇත. ‘රාජ්‍ය රහස්’ තීරය සහ ‘මව්රට’ පුවත්පත ආරම්භයේ සිටම ජනතාවගේ ප්රජාතන්ත්රවාදී අයිතියක් වූ ඡන්ද අයිතිය වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටීමට පියවර ගත්තේය. පළාත් පාලන ඡන්දය කල්දැමීමට ආණ්ඩුව විවිධ තුරුම්පු ගසද්දී අනෙකුත් මාධ්‍ය නිහඬව සිටි අතරවාරයේදී අප ඒ සියලු තොරතුරු කල්තියාම ‘මව්රට’ පාඨකයන්ට ගෙන ඒමට පියවර ගත්තෙමු. ඒ අනුව ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කළ සිකුරාදා දිනය ‘මව්රට’ පුවත්පතේ සිටින අපටද ජයග්‍රාහී දවසකි. මන්ද ජනතාවගේ ඡන්ද අයිතිය වෙනුවෙන් අප කළ සටන එදින ජයග්‍රාහීව අවසන් කිරීමට අපට හැකියාව ලැබුණු නිසාය.
කෙසේ වෙතත් මේ සියල්ල අවසන් වූයේ ඉකුත් 17 වැනිදා මැතිවරණ කොමිසම විසින් ජනාධිපතිවරණය පැවැත්වීමට කොමිසම කටයුතු කරන බවට ප්‍රකාශ කිරීමත් සමගය. එහිදී මැතිවරණ කොමිසමේ සභාපතිවරයා රාහු කාලය සහ නැකැත් ආදිය පිළිබඳවද සඳහනක් කරමින් කියා සිටියේ මෙම මස අවසානයේදී ඊට අදාළ දින වකවානු ප්‍රකාශ කිරීමට කොමිසම කටයුතු කරනවා යැයි කියාය.
කොමිසම ගේමක් ගැහුවාද?
ඒ සමගම නැවත වතාවක් රට ඇතුළේ යම් කැලඹීමක් හටගත්තේ දැනුවත්ව හෝ නොදැනුවත්ව මැතිවරණ කොමිසමද ආණ්ඩුවත් සමග එක්ව මැතිවරණය කල්දමා ගැනීමට අවශ්‍ය කාලය ලබාගැනීමේ ගේම් එකක් ගසනවා දැයි කියාය. ඒ අනුව ප්‍රධාන විපක්ෂය වශයෙන් සමගි ජන බලවේගය සහ අනෙකුත් දේශපාලන පක්ෂත්, සිවිල් සංවිධානත් ඊට එරෙහිව නැගූ දැවැන්ත විරෝධය හමුවේ අවසානයේදී මැතිවරණ කොමිසමට ජනාධිපතිවරණය පවත්වන දිනය ප්‍රකාශයට පත්කිරීම සඳහා තවත් කල් ගැනීම සඳහා අවස්ථාව නොලැබිණි. ඒ අනුව පසුගිය සතිය මුලදී විශේෂ ප්‍රකාශයක් කරමින් කොමිසම කියා සිටියේ බ්‍රහස්පතින්දා දිනයේදී කොමිසම ඒ සඳහා රැස්වන බවත්, සිකුරාදා දිනයේ ජනාධිපතිවරණය දිනය ප්‍රකාශ කරන බවත්ය.
කෙසේ වෙතත් තත්ත්වය එසේ තිබියදී ආණ්ඩුව පැත්තෙන් මෙම තත්ත්වය වළක්වා ගැනීම සඳහා තවත් උපාය උපක්‍රම ක්‍රියාත්මක වන අයුරු දක්නට ලැබිණි. ආණ්ඩුවට සම්බන්ධ විවිධ පුවත්පත් මුල් පිටුවේම පුවත් පළකරමින් කියා සිටියේ ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත්කිරීම තවත් සති දෙකකින් කල් දමනු ඇතැයි කියාය. විපක්ෂයේ සිටින ආණ්ඩුවට හිතවත් මන්ත්‍රීවරයකු බව කියන ගාමිණී වලේබොඩ මහතා බ්‍රහස්පතින්දා දිනයේ විශේෂ ප්රවෘත්ති සාකච්ඡාවක් පවත්වා සඳහන් කළේ 22 වැනි සංශෝධනය සිකුරාදා දිනයේදී පාර්ලිමේන්තුවට ගෙන ඒමට නියමිතව ඇතැයි කියාය. ජවිපෙ විජිත හේරත්ද පාර්ලිමේන්තුවේදී කියා සිටියේ මැතිවරණය ප්‍රකාශයට පත්කිරීම කල්දැමීමේ සූදානමක් සහ 22 වැනි සංශෝධනය ඉදිරිපත් කිරීමේ සූදානමක් ඇති බවය. නමුත් සිකුරාදා දිනයේ ඒ කිසිවක් සිදුවූ ආකාරයක් දැකගන්නට නොලැබිණි. මැතිවරණ කොමිසම දිනය ප්‍රකාශයට පත්කළ අතර, 22 වැනි සංශෝධනයක් ගැන කිසිදු වචනයක් අසන්නට ලැබුණේ නැත.
මේ සියල්ල අතරවාරයේ දේශපාලන පිටියම කලඹවාලමින් බදාදා දිනයේදී විශාල දේශපාලන බෝම්බයක් පත්තු විය. ඒ, පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට පොලිස්පති ධුරයේ කටයුතු කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය මගින් අතුරු තහනම් නියෝගයක් පැනවීමය.
පොලිස්පතිගේ දේශපාලන බෝම්බය!
පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ දේශබන්දු තෙන්නකෝන් මහතාට තනතුර දැරීම වළක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනමක් නිකුත් කළේ පසුගිය බදාදා දිනය. මෙම තීන්දුව ලැබීමත් සමග විපක්ෂ නායක සජිත් කළේ ඊට පසු දිනම සමගි ජන බලවේගයේ නීතිඥ කණ්ඩායම කැඳවා ඊළඟට මතුවිය හැකි තත්ත්වයන් සම්බන්ධයෙන් ඔවුන් සමග දීර්ඝ සමාලෝචනයක නිරත වීමය. විශේෂයෙන්ම මේ වනවිටත් ආණ්ඩුව මෙම තීන්දුවට දැඩි ප්‍රතිචාරයක් දැක්වීමට සූදානමින් සිටින බවට සජිත්ටද තොරතුරු වාර්තා වී තිබීම නිසා යම් හෙයකින් මෙම තීන්දුව සමග ආණ්ඩුව හැප්පෙන්නට සූදානම් වුවහොත් ඒ සම්බන්ධයෙන් ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ එහිදී දීර්ඝව සාකච්ඡා කෙරිණි. යම් හෙයකින් එවැනි තත්ත්වයක් මතුවුවහොත් නීතිඥවරුන් පැහැදිලිවම සජිත්ට පෙන්වා දුන්නේ තරාතිරම නොබලා ඒ සියලු දෙනාටම අධිකරණයට අපහාස කළා සේ සලකා නඩු පැවරීමට කටයුතු කළ යුතු යැයි කියාය. ඒ අනුව, සජිත් කළේ මේ සම්බන්ධයෙන් අනෙකුත් පක්ෂ සහ සිවිල් සංවිධාන සමග සාකච්ඡා කර තීන්දු තීරණ ගැනීම සඳහා විශේෂ කමිටුවක් පත්කිරීමය. එමෙන්ම එවැනි තත්ත්වයක් මතුවුවහොත් පාර්ලිමේන්තුවේදී ඒ සම්බන්ධයෙන් ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳවද මෙහිදී නීතිඥවරුන් සමග සාකච්ඡා කිරීමට සජිත් පියවර ගත්තේය.
මේ අතරවාරයේ විපක්ෂයේ පක්ෂ නායකයන් පැමිණ සජිත්ට පෙන්වා දුන්නේ මේ ආකාරයට ජනාධිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග පවා නොසලකමින් කටයුතු කරන්නේ නම් ඔහුට එරෙහිව දෝෂාභියෝග යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පියවර ගතයුතු යැයි කියාය. එහිදී සජිත් ඔවුන්ගෙන් විමසා සිටියේ ඒ සඳහා අවශ්‍ය කාලය ප්‍රමාණවත්දැයි කියාය. කාලය ප්‍රමාණවත් වුවත් නැතත් වහාම එවැනි ක්‍රියාමාර්ගයකට යොමුවිය යුතු බව පක්ෂ නායකයන්ගේ ස්ථාවරය වී තිබිණි. එසේ වුවහොත් ඊළඟ ආණ්ඩුවකදී හෝ මේ සම්බන්ධයෙන් අධිකරණය හමුවේ නඩු පැවරිය හැකි බව පක්ෂ නායකයන්ගේ මතය වී තිබිණි. ඒ අනුව, සාකච්ඡාව අවසානයේදී සියල්ලන්ම තීන්දු කළේ ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ඉදිරිපත් කිරීම සඳහා අවශ්‍ය තොරතුරු ඉතා රහසිගතව එක්රැස් කිරීමටය. ඒ අනුව ජනාධිපතිවරණය පැවැත්වෙන අතරවාරයේදී හෝ මේ සම්බන්ධ යෝජනාවක් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් විය හැකි බව ‘රාජ්‍ය රහස්’ තීරයට ලැබෙන ආරංචිවලින් දැනගන්නට තිබේ.
කෙසේ වෙතත් පොලිස්පතිවරයා සම්බන්ධ ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය නිකුත් වීමත් සමග ජනාධිපතිවරයා කළේ බදාදා සවස් වරුවේ හදිසි කැබිනට් මණ්ඩල රැස්වීමක් කැඳවීමය. එම කැබිනට් මණ්ඩල රැස්වීම්දී ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව සම්බන්ධයෙන් ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් දීර්ඝව සාකච්ඡා කෙරිණි. එහිදී යම් යම් ඇමැතිවරුන් ඒ සම්බන්ධයෙන් විවිධ මත ඉදිරිපත් කළ ආකාරයක් දැකගත හැකි විය. ඒ වනවිටත් අදාළ තීන්දුව සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය දැඩි තීන්දුවක් ගනු ඇති බවට එදින කටකතා පැතිර ගියත් අවසානයේදී කැබිනට් මණ්ඩලය තීන්දු කළේ අදාළ තීන්දුව ගැඹුරින් අධ්‍යයනය කොට දින දෙකක් තුළ සිය මතය පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කරන බව දැනුම් දීමය.
මේ ආකාරයට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව සම්බන්ධයෙන් ආණ්ඩුව සිය මතය පාර්ලිමේන්තුවේදීම ප්‍රකාශ කිරීමට තීන්දු කළේ ඇයි? ඊට හේතුව වෙන මොකවත් නොව, පොලිස්පතිවරයාට එරෙහිව අධිකරණයට ගිය රටේ නමගිය ජනාධිපති නීතිඥවරුන් සියලු දෙනාම පාහේ ආණ්ඩුව මේ සම්බන්ධයෙන් දක්වන ප්‍රතිචාරය දෙස විමසිල්ලෙන් යුතුව සිටීමය. එසේ කවුරුන් හෝ ඒ සම්බන්ධයෙන් විවේචනය කරන්නේ නම් ඔවුන්ට එරෙහිව අධිකරණයට අපහාස කළා සේ සලකා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නඩු කටයුතු ගොනුකිරීමට ඔවුන් සූදානම්ව සිටීම ඊට හේතුවය. මේ සම්බන්ධයෙන් ආණ්ඩුවටද තොරතුරු ලැබී නොතිබුණා නොවේ. ඒ අනුව ආණ්ඩුව තීන්දු කළේ පොලිස්පතිවරයා සම්බන්ධයෙන් ප්‍රකාශ දෙකක් නිකුත් කිරීමටය.
ඉන් පළමු නිවේදනය වූයේ ජනාධිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව සම්බන්ධයෙන් දරණ මතයය. කතානායකවරයා වෙත ලිඛිතව දැනුම් දෙමින් එහිදී ජනාධිපතිවරයා කියා තිබුණේ තමන්ද ඉදිරි ජනාධිපතිවරණයේ අපේක්ෂකයකු නිසා වැඩබලන පොලිස්පතිවරයකු පත්කිරීමට තමන්ට හැකියාවක් නොමැති බවකි. එසේ වුවහොත් මැතිවරණ පෙත්සම්වලට මුහුණ දීමට තමන්ට සිදුවනු ඇති බව ජනාධිපතිවරයා එහි සඳහන් කොට තිබිණි.
දෙවැනි නිවේදනය මගින් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට අභියෝග කිරීමට ආණ්ඩුව සැලසුම් කොට තිබිණි. ඒ අනුව එම විශේෂ නිවේදනය අගමැතිවරයා හරහා පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කිරීමට ආණ්ඩුව තීරණය කළේ එහිදී අධිකරණයට අපහාස කිරීමේ නඩු කටයුත්තකට ගොනුකර ගැනීම අපහසු නිසාය. ඒ අනුව සිකුරාදා දිනයේදී පාර්ලිමේන්තුවේ අදහස් දක්වමින් දිනේෂ් කියා සිටියේ මෙම තීන්දුව ආණ්ඩුව නොපිළිගන්නා බවකි. එම නිසා වැඩබලන පොලිස්පතිවරයකු පත්කිරීමේ අවශ්‍යතාවක් නොමැති බව කී දිනේෂ්, කතානායකවරයාගෙන් විශේෂ ඉල්ලීමක් කරමින් අනුර බණ්ඩාරනායක මහතා කළාක් මෙන් අධිකරණයේ තීන්දුව නොපිළිගන්නා බවට ප්‍රකාශයක් සිදුකරන ලෙසද ඉල්ලා සිටියේය. නමුත් එම ඉල්ලීමෙන් හීන් සීරුවේ ලිස්සා යමින් කතානායකවරයා කියා සිටියේ මෙම ප්රශ්නය අධිකරණයෙන්ම විසඳා ගන්නා ලෙසය.
මේ අතර, සිකුරාදා පස්වරුවේ විපක්ෂයේ මන්ත්‍රීවරුන් අතර මේ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි. එහිදී බොහෝ මන්ත්‍රීවරුන් පෙන්වා දුන් කාරණයක් වූයේ පොලිස්පතිවරයා සම්බන්ධයෙන් වූ සිද්ධියේදී ජනතා විමුක්ති පෙරමුණ සහ මාලිමාව දැඩි නිහඬ ප්රතිපත්තියක සිටීම පුදුමයට කාරණාවක් යැයි කියාය. ඇතැම් මන්ත්‍රීවරුන් කියා සිටියේ විපක්ෂය එකාවන්ව පොලිස්පතිවරයා පත්කිරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට යද්දී ජවිපෙ හීන් සීරුවේ එය කරඇරි බවකි. වෙනත් සිදුවීම්වලදී නම් මුලින්ම ශ්‍රේෂ්ඨාධිකරණයට දිවයන ජවිපෙ මෙම සිදුවීමේදී කරඇරියේ ආණ්ඩුව සමග ඇති යම් රහස් ඩීල් එකක් නිසාද යන්න ගැන සැකයක් මතුවන බවද එහිදී මන්ත්‍රීවරු පෙන්වා දුන්හ. එසේ නොමැති නම් ආණ්ඩුවේ යම් යම් ඇමැතිවරුන් සමග ඇති හිතවත්කම් නිසා පොලිස්පතිවරයාගේ සිද්ධියේදී ජවිපෙ කර ඇරි බවක්ද එහිදී කියවිණි. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් සජබය ඉදිරියේදී විශේෂ තොරතුරු රැසක්ම පාර්ලිමේන්තුවේදී හෙළිකිරීමට සූදානමින් සිටින බවක් ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය.
රනිල් නාමල්ට කතා කරයි!
පසුගිය කාලයේ ජනාධිපතිවරයා කටයුතු කළේ පොහොට්ටුවේ ජාතික සංවිධායක ලෙස කටයුතු කරන නාමල් රාජපක්ෂව තඹයකට මායිම් නොකරය. සක්‍රීය දේශපාලනයේ නාමල් නිරතව සිටියත් ජනාධිපතිවරයා පසුගිය කාලයේ සෑම වැදගත් දේශපාලන සාකච්ඡාවකටම එක්කර ගත්තේ මහින්දවත්, නාමල්ගේ අනෙකුත් සහෝදරයන් දෙදෙනා වූ රෝහිත සහ යෝෂිතවය. මේ හරහා ජනාධිපතිවරයාගේ බලාපොරොත්තුව වන්නට ඇත්තේ නාමල් හා ඔහුගේ සහෝදරයන් අතර ගැටුමක් මතුකරලීම විය යුතුය. අනෙක් අතට ජනාධිපතිවරයා නාමල්ව වැඩිය ගණන් නොගෙන කටයුතු කළේ පොහොට්ටුවේ තනතුරක් ලබාදුන්නද නාමල් පක්ෂය ඇතුළේ එතරම් ඉස්සෙනු ඇති බවට නොසිතාය.
කෙසේ වෙතත් පසුගිය මාස කිහිපය පුරා නාමල් පක්ෂයත් සමග ගමින් ගමට ගියේය. පක්ෂයේ මතවාදය වෙනුවෙන් පෙනී සිටියේය. පාක්ෂිකයන්ට හයිය දුන්නේය. පක්ෂය ඇතුළේ ඉතා කෙටි කාලයකින් ජනප්‍රියම චරිය බවට පත්විය. මේ නිසාම ජනාධිපති අපේක්ෂකත්වය ලබාගැනීමේදී ජනාධිපතිවරයාටද නාමල් සමග කතා නොකර සිටිය නොහැකි තත්ත්වයක් පසුගිය සතිය වනවිට මතුව තිබිණි. මේ නිසාම පසුගිය සතියේදී ජනාධිපතිවරයා නාමල්ට පණිවුඩයක් යවමින් දැනුම් දී තිබුණේ වහාම තමන්ව හමුවිය යුතු යැයි කියාය.
පසුගිය සෙනසුරාදා රාත්‍රියේ මෙම විශේෂ හමුව පැවැත්වුණේ ෂැංග්‍රිලා හෝටලයේ පිහිටි සාගල රත්නායකගේ නිවෙසේදීය. සාකච්ඡාවට පෙර ජනාධිපතිවරයා සිතන්නට ඇත්තේ තමන්ගේ දේශපාලන පළපුරුද්ද සහ උපාය උපක්‍රම හේතුකොට ගෙන නාමල්ව තමන්ගේ මතයට නම්මා ගැනීමට හැකිවෙතැයි කියාය. ඒ නිසාමදෝ ජනාධිපතිවරයා නාමල් සමග සාකච්ඡාව ආරම්භ කළේ ඉංග්‍රීසි බසිනි. ආගිය තොරතුරු සහ දේශපාලන තොරතුරු පිළිබඳ ඉංග්‍රීසි බසින් අසද්දී නාමල්ද වැඩිය ගණන් නොගෙන සුහදශීලී අයුරින් ඉංග්‍රීසි භාෂාවෙන්ම ඊට පිළිතුරු දීමට කටයුතු කළේය.
මෙසේ ආගිය තොරතුරු විමසා සිටීමෙන් අනතුරුව ජනාධිපතිවරයා එකවරම අසා සිටියේ ජනාධිපතිවරණය සම්බන්ධයෙන් පොහොට්ටුවේ තීන්දුව කුමක්දැයි කියාය. එහිදී ගත් කටටම නාමල් දුන්නේ ජනාධිපතිවරයා කිසිසේත්ම බලාපොරොත්තු වූ ආකාරයේ පිළිුතුරක් නම් නොවේ. එහිදී නාමල් කෙළින්ම ජනාධිපතිවරයාට කියා සිටියේ පොහොට්ටුවෙන් අපේක්ෂකයකු ඉදිරිපත් කරන බවත්, ඒ ධම්මික පෙරේරා බවත්ය. නාමල්ගේ මේ නොසිතූ ප්‍රතිචාරයත් සමග ජනාධිපතිවරයාද තරමක් කලබලයට පත්වූ ආකාරයක් දැකගන්නට ලැබිණි. ඒ නිසාම තර්ජනයක් නොවුණද යම් තර්ජනාත්මක ස්වරයකින් ජනාධිපතිවරයාද කියා සිටියේ ‘ආ එහෙමද? එහෙම නම් ඉතින් මේ පාර්ලිමේන්තුවෙන් වැඩක් නෑනේ. මම පාර්ලිමේන්තුව විසුරුවනවා…’ කියාය. මේ ප්‍රතිචාරයෙන් නාමල් කලබල වනු ඇති බවක් ජනාධිපතිවරයා සිතා සිටියද සිදුවූයේ ඊට හාත්පසින්ම වෙනස් දෙයකි. නාමල් එහිදී කියා සිටියේ ‘ඒක හොඳ තීරණයක් ජනාධිපතිතුමා. අපිත් මේ මාස 6ක් තිස්සේ ඔබතුමාට කියන්නේ මේ පාර්ලිමේන්තුව විසුරුවා හරින්න කියලයි. මොකද මේකෙ තියෙන්නේ විකෘති ජන වරමක්. එතකොට අපිට අලුත් ජන වරමක් ගන්න පුළුවන්….’ යැයි කියාය. නාමල් මේ ලබාදුන් පිළිතුරත් සමග තමන්ට කට වැරැදුණු බවක් ජනාධිපතිවරයාට සිතෙන්නට ඇත.
ඒ අනුව වහාම සන්සුන් වූ ජනාධිපතිවරයා නැවතත් නාමල්ට කියා සිටියේ ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන පොහොට්ටුව සමග ගොඩනැගීමට නියමිත සන්ධානය පිළිබඳ සාකච්ඡා කරගෙන යන බවත්, ඉදිරි ජනාධිපතිවරණයට එම සන්ධානයෙන් ඉදිරිපත් වීමට තමන් සූදානමින් සිටින බවත්ය. ඊටද නාමල් දුන්නේ තරමක් අමුතු තාලයේ පිළිතුරකි
සන්ධාන නෑ! වල්පල් කතාවෙන්නේ!
‘මම නම් දන්න තරමට ඔතන ජනාධිපතිතුමා දේශපාලන සන්ධානයක් ගැන සාකච්ඡා වෙන්නේ නෑ. එතැන කතා කෙරෙන්නේ ඕපාදූප. දේශපාලන සන්ධානයක් හදද්දී මම තාත්තගෙන් ඉගෙනගෙන තියෙන දේවල් තමයි එතැන ඉතාම වැදගත් දේශපාලන කරුණු සාකච්ඡා වෙනවා කියන එක. මැතිවරණයට ඉදිරිපත් වෙන්නේ කොහොමද, දිස්ත්‍රික්ක බෙදෙන්නේ කොහොමද, දිස්ත්‍රික් නායකයන් පත්කරන්නේ කොහොමද, ආසන සංවිධායකවරු පත්කරන්නේ කොහොමද, ඒ ඒ පක්ෂවල කාර්යභාරයන් මොනවාද, සන්ධානයේ මහලේකම් කවුද, මහමැතිවරණයට තරග කරන්නේ කොහොමද වගේ දේවල් සාකච්ඡා කළ යුතු වුණත් තාමත් ඒවා ගැන කිසිම සාකච්ඡාවක් වෙලා නෑ කියලයි මට නම් දැනගන්න තියෙන්නේ….’ යනුවෙන් නාමල් දුන් පිළිතුරත් සමග සාකච්ඡාව කිසිදු අවසන් තීන්දුවකින් තොරව නිමා වූ ආකාරයක් දැකගත හැකි විය. කෙසේ වෙතත් ඊට දින කිහිපයකට පසු නාමල් මාධ්‍ය හමුවේ කළ දැඩි ප්‍රකාශයත් සමග තවදුරටත් ජනාධිපතිවරයා සමග සහයෝගයෙන් කටයුතු කරන ආකාරයක් දැකගන්නට නොලැබිණී. එහිදී නාමල් කියා සිටියේ ජනාධිපතිවරයා පොහොට්ටුව දෙකට කැඩීමට කටයුතු කර ඇති බවත්, වසර දෙකක් පුරා ජනාධිපතිවරයාට කළ උපකාරයට ජනාධිපතිවරයා කළගුණ දැක්වූයේ ඒ ආකාරයට බවත් යැයි කියාය. ඒ අනුව, නාමල්ගේ එම ප්‍රකාශයත් සමග පොහොට්ටුවේ සහාය ජනාධිපතිවරයාට ලැබෙනු ඇතැයි සිතිය නොහැක.
ෂෙහාන්ගේ ගෙදර සාකච්ඡාවක්!
මේ ආකාරයට නාමල් පොහොට්ටුව යළි රාජපක්ෂ ප්‍රතිපත්ති වටා ගොනුකිරීමට කටයුතු කරද්දී ආණ්ඩුව නියෝජනය කරන පොහොට්ටුවේ මැති ඇමැතිවරුන් නම් සිටින්නේ තවදුරටත් ජනාධිපතිවරයාට සහාය දිය යුතු බවටත්, ජනාධිපතිවරයා පොහොට්ටුවේ අපේක්ෂකයා විය යුතු බවටත් වූ ස්ථාවරයේය. ඉන් එක් අයකු වන්නේ මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහය. ඒ අනුව ෂෙහාන් පසුගිය සතියේදී කැප්පෙටිපොල මාවතේ පිහිටි ඔහුගේ නිවෙසේදී ආණ්ඩුව නියෝජනය කරන සියලු මන්ත්‍රීවරුන්ට රාත්‍රී භෝජන සංග්‍රහයක් සඳහා ආරාධනා කළේ මේ සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කිරීම සඳහාය. එහිදී බොහෝ දෙනා කියා සිටියේ නාමල් කුමන මතයක් දැරුවද පොහොට්ටුව තවමත් මහින්දගේ අදහස්වලට ගරු කරන බැවින් පොහොට්ටුවේ අපේක්ෂකත්වය ජනාධිපතිවරයාට ලබාදීම සඳහා විශාල පීඩනයක් මහින්දට එල්ල කළ යුතු යැයි කියාය. එහිදී ඔවුන් කළ ගණන් බැලීමට අනුව පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් 75ත් 80ත් අතර ප්‍රමාණයක් ජනාධිපතිවරයාට සහාය දැක්විය යුතුය යන ස්ථාවරයේ සිටින බවද කියැවිණි.
මහින්ද හමුවෙන්න ගිහින්!
මේ අතර, කොළඹ මල් පාරේ පිහිටි වජිර අබේවර්ධන මහතා යටතේ පවතින මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේද වරින් වර ජනාධිපතිවරයාට සහාය ලබාගැනීමේ සාකච්ඡා පවත්වන ආකාරයක් දැකගන්නට තිබේ. ඒ අනුව පසුගිය සතියේ වජිර සියලු පොහොට්ටුවේ ඇමැතිවරුන් සහ රාජ්‍ය ඇමැතිවරුන් එම කාර්යාලයට කැඳවා සාකච්ඡා කිරීමට පියවර ගෙන තිබිණි. එහිදීද පොහොට්ටුවේ මැති ඇමැතිවරුන් වජිරට පෙන්වා දුන්නේ පොහොට්ටුවේ සහාය ජනාධිපතිවරයාට ලබාගැනීමට නම් මහින්දට දැඩි බලපෑමක් එල්ල කළ යුතු යැයි කියාය.
ඒ අනුව පසුගිය අඟහරුවාදා පාර්ලිමේන්තු රැස්වීම අතරවාරයේදී පොහොට්ටුවේ රාජ්‍ය අමාත්‍යවරුන් මහින්දගේ කාමරයට ගොස් ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට පියවර ගත්හ. එහිදී ඔවුන් මහින්දට දිගින් දිගටම කියා සිටියේ පොහොට්ටුව ආරක්ෂා කරගැනීමට නම් ජනාධිපතිවරයාට අපේක්ෂකත්වය ලබාදිය යුතු යැයි කියාය. රාජ්‍ය ඇමැතිවරුන්ගේ වදෙන් බේරෙන්නට බැරිම තැන මහින්දද හිස වනමින් ඔවුන්ට කියා සිටියේ, ‘හරි හරි ඕගොල්ලෝ වැඩේ කරගෙන යන්න. ඕකට තව කල් තියෙනවනේ…’ යැයි කියාය.
වැඩේ හරි!
ඒ අනුව මෙම රාජ්‍ය අමාත්‍යවරුන් වහාම ආණ්ඩුවේ ඉහළ තැන්වලට වාර්තා කළේ ජනාධිපතිවරයාට නැවත වතාවක් අපේක්ෂකත්වය දීමට මහින්ද කැමැත්ත ප්‍රකාශ කළ බවකි. එම ප්‍රතිචාරය මත ඉකුත් සතියේ තවත් විශේෂ සාකච්ඡාවක් ආණ්ඩුව සහ පොහොට්ටුව අතර පැවැත්විණි. අරලියගහ මන්දිරයේ පැවැති එම සාකච්ඡාවට ජනාධිපතිවරයාත්, අගමැතිවරයාත්, පොහොට්ටුව වෙනුවෙන් බැසිල් රාජපක්ෂත් සහභාගි වී සිටියහ. මෙහිදී බැසිල් කෙළින්ම පොහොට්ටුවේ කොන්දේසි සියල්ල ආණ්ඩුවේ නියෝජිතයන්ට ඉදිරිපත් කිරීමට කටයුතු කළේය. විශේෂයෙන්ම මැතිවරණ ව්‍යාපාරයේදී දිස්ත්‍රික්ක බාරදිය යුත්තේ කාටද, ඉදිරි ආණ්ඩුවකදී අගමැති ධුරය හිමිවිය යුත්තේ කාටද, ඇමැතිවරු ලෙස පත්කළ යුත්තේ කාවද යනාදී සියලු කරුණු මෙහිදී බැසිල් සාකච්ඡා මේසයට ඉදිරිපත් කළේය. නමුත් ඒ සම්බන්ධයෙන් පිරිස අතර එකඟතාවක් නම් මතුවන ආකාරයක් දැකගන්නට ලැබුණේ නැත. මේ ආකාරයට ජනාධිපතිවරයා බැසිල් සමග ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සම්බන්ධයෙන් සාකච්ඡා කරන අතරවාරයේ පොහොට්ටුවේ සහාය තමන්ට ලබාදෙන ලෙස රාජ්‍ය අමාත්‍යවරුන් හරහා මහින්දට බලපෑම් කිරීමට පියවර ගෙන තිබීම විශේෂ සිදුවීමක් විය.
රාජපක්ෂවරුන්ගේ දෙවන පරපුර!
පසුගිය කාලය පුරාම රාජපක්ෂ සහෝදරයන් එක්රැස් වී එක තැනක සිට සාකච්ඡා පැවැත්වූයේ නැති තරම්ය. ඊට හේතු වූයේ ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයෙන් ඉවත් වීමත් සමග රාජපක්ෂ පවුල ඇතුළේ මතුව තිබූ යම් යම් මත ගැටුම්ය. නමුත් මීට සති දෙකකට ඉහතදී ගෝඨාගේ උපන්දිනය නිමිත්තෙන් පැවැති ආගමික වතාවත්වලදී කලකට පසු පළමු වතාවට ගෝඨාභය පවුල එක්රැස් වූ ආකාරයක් දැකගත හැකි විය. පසුගිය සතියේ මෙහි තවත් දිගුවක් ලෙස විශේෂ සිදුවීමක් රාජපක්ෂ පවුල ඇතුළේ සිදුවනු දැකගන්නට ලැබිණි. ඒ, රාජපක්ෂ පරම්පරාවේ ඊළඟ පරම්පරාව වූ රාජපක්ෂවරුන්ගේ දරුදැරියන් සියලු දෙනාම එකට හමුවීමේ සිදුවීමකි. රාජපක්ෂ පවුලේ සහෝදර සහෝදරියන් සියලු දෙනාගේම දූදරුවන්ගේ සහභාගිත්වයෙන් පැවැති මෙම හමුව රාත්‍රී භෝජන සංග්‍රහයක්ද සමගින් සූදානම් කොට තිබුණේ ෂැංග්‍රිලා හෝටලයේය.
මෙහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ ජනාධිපතිවරයාට අතිශය සමීපව කටයුතු කරන බවටත්, ජනාධිපතිවරයාට සහාය දක්වනු ඇති බවටත් කටකතා පැතිර ගිය චමල් රාජපක්ෂ මහතාගේ පුත් ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාද මෙම හමුවට එක්ව සිටීමය. එහිදී නාමල්, ශෂීන්ද්‍ර ඇතුළු සියලු දෙනාම එක්ව සිටි මෙම සාකච්ඡාවේදී පවතින දේශපාලන තත්ත්වය පිළිබඳ ඉතා සුහදව සාකච්ඡා වූ ආකාරයක් දැකගත හැකි විය. විශේෂයෙන්ම පසුගිය කාලය පුරා රාජපක්ෂවරු බෙදා වෙන්කිරීමට යම් යම් පාර්ශ්ව ගෙන ගිය මෙහෙයුම්, සිදුකළ කුමන්ත්‍රණ, හතරවටේ යැවූ ප්‍රචාරයන් ආදිය පිළිබඳ මෙහිදී සියලු දෙනාම ඇති තරම් සිනාසෙමින් කතා කළ ආකාරයක් දැකගන්නට ලැබිණි. එහිදී බොහෝ දෙනකු නාමල්ගෙන් විමසා සිටි කාරණයක් වූයේ මෙවර ජනාධිපතිවරණයට අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වන්නේදැයි කියාය. නමුත් ඊට පැහැදිලිවම පිළිතුරු දුන් නාමල් කියා සිටියේ තමන් මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවන බවකි. එසේ වුවද අනිවාර්යයෙන්ම පොහොට්ටුවෙන් අපේක්ෂකයකු ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන බවද එහිදී නාමල්ගේ ස්ථාවරය විය. ඊට බලපාන හේතුද නාමල් පිරිසට එකින් එක පැහැදිලි කර දුන්නේය.
මේ අතර, රාජපක්ෂ පවුලේ ඊළඟ පරම්පරාව මේ ආකාරයට ෂැංග්‍රිලා හෝටලයේ මුණගැසී සාකච්ඡා කරමින් සිටින බවට විජේරාම මාවතේ පිහිටි නිවසේ සිටි මහින්දටද දැනගන්නට ලැබිණි. එම පුවත වාර්තා වීමත් සමග ඉතා සතුටට පත් මහින්ද වහාම කළේ විජේරාමේ සිට ෂැංග්‍රිලා හෝටලයට යෑමය. එසේ ගිය මහින්දද මෙම අලුත් රාජපක්ෂවරුන්ගේ හමුවට එක්වී ඔවුන් සමග ඉතා සුහදව අදහස් හුවමාරු කරගැනීමට කටුයතු කළේය. මීට අමතරව මහින්ද ෂැංග්‍රිලා හෝටලයට පැමිණ ඇති බවට තොරතුරු වාර්තා වීමත් සමග කොළඹ සිටි පොහොට්ටුවේ මැති ඇමැතිවරු කිහිප දෙනෙක්ද වහාම ෂැංග්‍රිලා හෝටලයට ඔළුව දමා යෑමට අමතක නොකළහ.
සජිත්ට මූල්‍ය අරමුදලෙන් එන්න කියයි!
මෙවර ජනාධිපතිවරණය සම්බන්ධයෙන් මුළු රටම පමණක් නොව, ජාත්‍යන්තර ප්‍රජාවම පවා පිළිගන්නා මත විමසුමක ප්‍රතිඵල අප පසුගිය සතියේත් ඊට පෙර අවස්ථාවලදීත් ‘රාජ්‍ය රහස්’ තීරයෙන් අනාවරණ කර සිටියෙමු. එහිදී අප මුලින්ම කියා සිටියේ මෙම මත විමසුමට අනුව සජිත් ඉදිරියෙන්ම සිටින බවත්, අනුර දෙවැනි ස්ථානයේ සිටින බවත්, පොහොට්ටුව සහ ජනාධිපතිවරයා ඉන් පසුව සිටින බවත්ය. කෙසේ වෙතත් මීට සති දෙකකට ඉහතදී බාරදුන් අවසන් මත විමසුමට අනුව සජිත් තවත් ඉදිරියට පැමිණ ඇති බවත්, අනුර 7%කින් පල්ලම් බැස ඇති බවත් අප පෙන්වා දුන්නෙමු. නමුත් සදාචාරාත්මක හේතු මත අප මෙම මත විමසුම සිදුකළ ආයතනයේ නම සඳහන් නොකිරීමට කටයුතු නොකළෙමු. ඒ, වෙනත් ආයතනයක් මගින් මුදල් ගෙවා අදාළ මත විමසුම සිදුකරගෙන තිබූ නිසාය. කෙසෙ වෙතත් අප එහි ප්‍රතිඵල පසුගිය සතියේ වාර්තා කළේ මෙසේය.
‘ඉදිරි ජනාධිපතිවරණයේ ප්‍රතිඵල සම්බන්ධයෙන් මෙරට තානාපති කාර්යාල, දේශපාලන පක්ෂ සහ ව්‍යාපාරික ප්‍රජාව පිළිගත් ආයතනයක් මගින් සිදුකළ දෙවැනි මත විමසුමේ ප්‍රතිඵල මේ වනවිට නිකුත් වී තිබේ.
පසුගිය සතියේ නිකුත් කොට ඇති ප්‍රතිඵලවලට අනුව මේ වනවිට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය ජයග්‍රාහී ප්‍රතිශතය 42.5% දක්වා ඉහළ නංවා ගැනීමට සමත්ව ඇත.
මෙම ආයතනය මගින් මීට පෙර සිදුකළ පළමු මත විමසුමේදී සජිත් ප්‍රේමදාස මහතා ලබාගෙන සිටියේ 39%ක ඡන්ද ප්රතිශතයකි.
දෙවැනි ස්ථානයේ ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා සිටියද, ඒ මහතාගේ ප්‍රතිශතය පළමු මත විමසුමේ තිබුණාට වඩා 7%කින් පහත වැටී තිබීම විශේෂ සිදුවීමකි.
අදාළ ආයතනය මගින් සිදුකළ පළමු මත විමසුමේදී අනුර කුමාර දිසානායක මහතා 22%ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගැනීමට සමත්ව තිබුණද, පසුගිය සතියේ නිකුත් කළ දෙවැනි මත විමසුමට අනුව ඒ මහතාගේ ඡන්ද ප්‍රතිශතය 15% දක්වා පහත වැටී ඇත.
වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජනප්‍රියත්වය මෙවර දක්වා ඇත්තේ 12%ක් ලෙසටය. ඒ අනුව වික්‍රමසිංහ මහතා 9% සිට 12% දක්වා 3%කින් සිය ඡන්ද ප්‍රතිශතය වර්ධනය කරගැනීමට සමත්ව ඇත.
කෙසේ වෙතත් මෙවර මත විමසුමෙන්ද පොහොට්ටුව ලබාගෙන ඇත්තේ 9%ක ඡන්ද ප්‍රතිශතයක් පමණි. ඒ අනුව පළමු මත විමසුමට සාපේක්ෂව ඔවුන්ගේ ජනප්‍රියත්වය අඩු හෝ වැඩිවීමක් සිදු නොවී ඇති බවක් පෙනෙන්නට තිබේ.
කෙසේ වෙතත් නවතම මත විමසුම මගින් 17%ක ප්‍රමාණයක් තවමත් ජනාධිපතිවරණයේදී සිය ඡන්දය භාවිත කරන අපේක්ෂකයා සම්බන්ධයෙන් තීන්දුවක් ගෙන නොමැති බව දක්වා ඇත.
අදාළ ආයතනය මගින් මෙම මත විමසුම සිදුකොට ඇත්තේ උතුරු-නැගෙනහිර පළාත් දෙක නොමැතිවය. ඒ අනුව එම පළාත් දෙකෙහි ඡන්දය භාවිත වන ආකාරය අනුව මෙම ප්‍රතිශතයන් තවදුරටත් ඉහළ පහළ යා හැකිය.’
අප අනාවරණ කළ පරිදිම මෙම මත විමසුමේ ප්‍රතිඵළ ජාත්‍යන්තරයම පිළිගන්නා බවට තහවුරු වූ පුවතක් පසුගිය සතියේ වාර්තා විය. ඒ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ඉතා රහසිගත සාකච්ඡාවක් සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාටත්, හරෂ ද සිල්වා මහතාටත් ආරාධනා කර තිබීම හේතුවෙනි. සාමාන්‍යයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල රටක විපක්ෂයේ සිටින නියෝජිතයන්ට මෙවැනි ආකාරයේ සාකච්ඡාවකට ආරාධනා කරන්නේ ඉතා කලාතුරකිනි. විශේෂයෙන්ම ජනාධිපතිවරණ සමයක් ප්‍රකාශයට පත්ව තිබියදී එවැනි අන්දමේ ආරාධනාවක් සිදු නොකරන තරම්ය. නමුත් මෙවර ඒ සියලු සිද්ධාන්තයන් ඉක්මවා යමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ජනාධිපතිවරණ සමයක් බව හෝ නොතකා විපක්ෂ නායකවරයාටත්, හර්ෂටත් සාකච්ඡාවට ආරාධනා කොට ඇත්තේ ඉදිරි කාලයේදී ඔවුන් සමග ගනුදෙනු කරන්නේ කුමන ආකාරයන්ද යන්න සාකච්ඡා කිරීමට බව දැනගන්නට තිබේ. ඒ අනුව සජබයද මෙම ආරාධනාව පිළිගෙන ඇති බවක්ද ආරංචිය.
සිකුරාදා දිනයේදී ජනාධිපතිවරණ දිනය මැතිවරණ කොමිසම මගින් ප්‍රකාශ කිරීමත් සමග මුලින්ම මැතිවරණ කොමිසමට ගොස් ජනාධිපතිවරණයට ඇප මුදල් තැන්පත් කළේ වෙන කවුරුවත් නොව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාය. ඒ හරහා ඔහු රටට පෙන්වීමට උත්සාහ කළේ තමන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට සූදානමින් සිටින බවකි. නමුත් මෙහිදී සියලු දෙනාම දැනගත යුතු විශේෂ කාරණාවක්ද තිබේ. ඒ, ඇප මුදල් බඳින සියලු දෙනාම ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවට සහතිකයක් නොමැති බවය. මන්ද යත් තවමත් ජනාධිපතිවරයාට පොහොට්ටුව අපේක්ෂකත්වය ලබාදෙන බව හෝ ඔවුන්ගේ සහාය ලබාදෙන බව ප්‍රකාශ කොට නැත. පොහොට්ටුව එම තීන්දුව ගැනීමට සූදානමින් සිටින්නේ ලබන සඳුදා පැවැත්වෙන විශේෂ සාකච්ඡාවකදීය. එම සාකච්ඡාවේදී ගනු ලබන තීන්දුව සුබ මොහොතින් අඟහරුවාදා දින ප්‍රකාශ කිරීමටද පොහොට්ටුව මේ වනවිට තීන්දු කොට අවසානය. එහිදී යම් හෙයකින් පොහොට්ටුව අපේක්ෂකයකු පත්කිරීමට තීන්දු කළහොත් අවසන් මොහොතේ හෝ ජනාධිපතිවරයා ජනාධිපති සටනින් ඉවත් වනු ඇති බව බොහෝ දෙනාගේ විශ්වාසයය.
එසේ නම් ජනාධිපතිවරයා පළමුවෙන්ම මැතිවරණ කොමිසම හමුවේ ඇප මුදල් බැඳීමට කටයුතු කළේ ඇයි? ඒ සම්බන්ධයෙන් සොයාබැලීමේදී රාජ්‍ය රහස් තීරයට දැනගන්නට ලැබුණේ ජනාධිපතිවරයා ස්වාධීන අපේක්ෂකයකු ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට සූදානමින් සිටින නිසා ඊට අදාළව ඡන්ද ලකුණ තෝරාගැනීමේ ඇති අවශ්‍යතාව නිසා බවය. මන්ද යත් මෙවර ජනාධිපතිවරණය සඳහා මැතිවරණ කොමිසම මගින් අලුත් ඡන්ද ලකුණු කිහිපයක්ම හඳුන්වා දීමට කටයුතු කොට තිබේ. එම ඡන්ද ලකුණු අතර හදවත හෙවත් හාට් එකද ඇති බවද රාජ්‍ය රහස් තීරයට ආරංචිය. පළමුවෙන්ම ඇප මුදල් තැන්පත් කරන පුද්ගලයන්ට අදාළ ඡන්ද ලකුණුවලින් තමන් කැමැති ලකුණක් මුලින්ම තෝරාගැනීමේ අවස්ථාව හිමිවේ. ඒ අනුව ජනාධිපතිවරයා හදවත හෙවත් හාට් එක සිය ඡන්ද ලකුණ ලෙස තෝරාගැනීමේ අරමුණෙන් මෙසේ මුලින්ම ඇප තැන්පත් කර ඇති බවක් රාජ්‍ය රහස් තීරයට දැනගන්නට ඇත.