ගුරු විදුහල්පති වැටුප් විෂමතා ගැටළුව විසඳීම සඳහා නිර්දේශ ඉදිරිපත් කරනු පිණිස පසුගිය අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී පත්කරන ලද අමාත්‍ය මණ්ඩල අනු කමිටුව කොළඹ දී තෙවන වරටත් රැස්වී ඇත.
මෙම අනුකමිටුව සුපුරුදු පරිදි රැස්වූයේ කමිටු සාමාජික කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ නිල නිවසේ දී ය.
පළමු අනු කමිටු රැස්වීමේදී තීරණය කළ පරිදි ‘ගුරු විදුහල්පති වෘත්තීය සමිති සමග වෙන වෙනම සාකච්ඡා කිරීම’ මේ වන විට ඇරඹී ඇති අතර පසුගියදා 13 වැනිදා ශ්‍රී ලංකා පොදුජන අධ්‍යාපන සේවා සංගමය, අධ්‍යාපන වෘත්තීයවේදීන්ගේ සංගමය, වෘත්තීයවේදී විදුහල්පතිවරුන්ගේ සංගමය යන වෘත්තීය සමිති සමග සාකච්ඡා පැවැත්විණි.
ඊයේ (17) දිනයේදී ලංකා විදුහල්පති සංගමය, සමස්ත ලංකා උපාධිධාරී ගුරු සංගමය, ශ්‍රී ලංකා නිදහස් ගුරු සංගමය යන වෘත්තීය සමිති අමාත්‍ය අනුකමිටුව විසින් වෙන වෙනම සාකච්ඡා සඳහා කැඳවා තිබිණි.
මෙසේ ගුරු විදුහල්පති වෘත්තීය සමිති සමඟ වෙන වෙනම පවත්වනු ලඛන සාකච්ඡාවලට අමතරව මෙතෙක් මෙම ගැටළුව විසඳීම සඳහා ගෙන ඇති පියවරයන් පිළිබඳ තොරතුරු අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ලබාගෙන ඒවා ද අධ්‍යයනය කරමින් රජයටත්, ගුරුවරුන්ට සහ විදුහල්පතිවරුන්ටත් පිළිගත හැකි, සුදුසු විසඳුමක් ලබාදීමට අනු කමිටුව වෙහෙසෙමින් සිටින බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය.












