‘වික්‍රමසිංහ මහත්තයෝ ඔබට තියෙන චෝදනා ඒවාට උත්තර දෙන්න. හැටදහස් ගණනක් මරණ, බටලන්දේ මරණ, ඇඹිලිපිටියේ සූරියකන්දේ දරුවන් වළලපුවා, ගාමිණී අතුකෝරාලගේ මරණය, ගාමිණී දිසානායකගේ මරණය, ලලිත් ඇතුලත්මුදලිගේ මරණය. ඒ චෝදනාවලින් රනිල් වික්‍රමසිංහට නිදහස් වෙන්න බෑ…’
පවිත්‍රා දේවි වන්නිආරච්චි
පවිත්‍රා, ගාමිණී අතුකෝරාල මරණය සැක සහිත බව කියා රනිල්ට චෝදනා එල්ල කරන්නේ නිකම්ම නොවේ. ගාමිණීගේ නැගණිය තලතා අතුකෝරාල මීට වසර 17කට පෙර ගාමිණී අතුකෝරාල මරණය ගැන තමාට සැක සහිත බවත්, ඒ මරණය ගැන හොයන්න ජනාධිපති කොමිසමක් පත්කරන ලෙසත් එවක ජනාධිපති මහින්දගෙන් ඉල්ලා සිටි නිසාය. Sri Lanka Latest News
‘මම ඉල්ලා සිටියාම ගාමිණී අතුකෝරාල මරණය ගැන ජනාධිපති කොමිසමක් දෙනවා කියලා කිව්වා. කරුණාකර කිව්වා වගේ දෙන්න…’
තලතා අතුකෝරාල
2007.11.18
පාර්ලිමේන්තුවේදී
එවිට එවක මහින්දගේ ආණ්ඩුවේ ඇමැති ජගත් පුෂ්පකුමාර කීවේ ගාමිණී මරණයට පත්වූයේ එජාප ආණ්ඩුවක් යටතේ බවත් තලතාගේ ඉල්ලීම කඩිනමින් ජනාධිපති මහින්ද රාජපක්ෂගේ අවධානයට යොමුකරන බවත්ය.
තලතා මේ චෝදනාව කළේ ජොන්ස්ටන්ලා සමග එකතු වෙලා රනිල්ගේ නායකත්වයට එරෙහිව පක්ෂය තුළ කැරැල්ලක් ගහන වෙලාවකය. ගාමිණී අතුකෝරාල මරණයට පත්වූයේ රනිල්ගේ ආණ්ඩුව යටතේය. එය ස්වභාවික මරණයකි. ඒ ගැන අන් කාටත් වඩා හොඳින් දන්නේ තලතාය. දැන දැනම ඒ මරණය ඝාතනයක් ලෙස පෙන්වා මහින්දගෙන් ජනාධිපති කොමිසමක් ඉල්ලන්නේ මහින්ද ලව්වා කොමිසම පිහිටුවා රනිල්ට ගස්සන්නටය.
2001 මහ ඡන්දයෙන් යූ.ඇන්.පී. ආණ්ඩුවක් ගෙන එන්න කොටන් ඇද්දේ එවක පක්ෂයේ උපනායක ගාමිණී අතුකෝරාලය. 2000 මහ මැතිවරණ පරාජයෙන් පසු පක්ෂයේ නියෝජ්‍ය නායක කරු ජයසූරිය සමග එක්ව රනිල්ව නායකත්වයෙන් ඉවත් කරන්න කැරැල්ලක් ගැහුවේ 1999 සහ 2000 මහ මැතිවරණවලින් පරාජය වී යූ.ඇන්.පී.ය හතර ගාතෙන් වැටී සිටින වෙලාවකය.
රනිල් පක්ෂයේ වැටීම නොතකා නෝර්වේ සංචාරයක් ගිය වෙලාවක ගාමිණී, කරු, රාජිත එක්වී රනිල්ට එරෙහිව කැරැල්ලක් ගැසූහ. රනිල් බයවී ගාමිණී අතුකෝරාලගේ බලපෑමට චන්ද්‍රිකාගේ ආණ්ඩුව වට්ටවන්න චන්ද්‍රිකාගේ ආණ්ඩුවෙන් ඉවත් වෙන්න සූදානම්ව සිටි එස්.බී., ජී.එල්., මහින්ද විජේසේකර සමග සාකච්ඡා ආරම්භ කළේය. 2001 ආණ්ඩුව වට්ටවන්න රනිල්ව තල්ලු කළේ ගාමිණීය. මේ නිසාම 2001 මහ ඡන්දයේ ගාමිණීගේ කැම්පේන් තීම් එක වූයේ ‘අපේ ඇත් රජු’ය. මේ කාලයේ ගාමිණීගේ නැගණිය තලතා ජාතික දේශපාලනයේවත් ප්‍රාදේශීය දේශපාලනයේවත් සිටියේ නැත. ඇය ගාමිණීගේ ඡන්ද ව්‍යාපාරයේ ගෙන් ගෙට යන වැඩේ කළාය. ගාමිණී අඩුම තරමින් තමන්ගේ කැම්පේන් එකේ එක පෝස්ටරයක්වත් තලතාට පෙන්වා අනුමැතිය ගත්තේ නැත. ඇය කළේ ගාමිණීගේ ආධාරකරුවන්ට තේ අල්ලන වැඩේය. 2001 මහ ඡන්දය ජයග්‍රහණය කිරීමෙන් පසු ගාමිණී බලාපොරොත්තු වූ ඇමැති ධුර ගාමිණීට හිමිවූයේ නැත. රනිල්ට එරෙහිව කැරැලි ගසා ඔහු සමග සිටි මන්ත්‍රීවරුන්ටත් රනිල් කැපුවේය. ගාමිණී ඉන් තැතිගැන්මකට ලක්වී සිටියේය. පසුව ගාමිණී හෘදයාබාධයකින් මරණයට පත්විය. ගාමිණීගේ මරණයෙන් පසු රනිල්ට ඕනෙ වුණේ ගාමිණීගේ පුතා දේශපාලනයට ගෙන එන්නටය. ඒත් තලතා ගාමිණීගෙන් හිස්වූ ආසනය තමාට දෙන ලෙස රනිල්ගෙන් ඉල්ලීමක් කළාය. තලතාගේ බලපෑමට යටවී රනිල් ආසනය දුන්නේය.
තලතා 2004 මහ මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූවාය. ඒත් ඇය රනිල් සමග සුහදව කටයුතු කළ් නැත. 2007දී ඇය එවක එජාප මන්ත්‍රී ජොන්ස්ටන්ලා සමග රනිල්ට එරෙහිව කැරැල්ලක් ගැසුවාය. ජොන්ස්ටන්ලා, එස්.බී.ලා යූ.ඇන්පී.ය දමා ගියේ ඇය ගහපු කැරැල්ල නිසාය. 2010 මහ මැතිවරණ පරාජයෙන් පසු ඇය සජිත්වත්, කරු ජයසූරියවත් ඉස්සර කරගෙන රනිල්ට එරෙහිව යළිත් කැරැල්ලක් ගැසුවාය. ඒ කැරැල්ල අසාර්ථක වීමෙන් පසු ඇය රනිල් සමග ෂේප් වූයේ මංගල හරහාය. මේ නිසා රනිල් 2015 මෛත්‍රී පිහිටුවපු ආණ්ඩුවේ ඇයට ඇමැති ධුරයක් දුන්නේය. ඒ විදේශ රැකියා අමාත්‍යාංශයය. 2016 දෙසැම්බර් 07 මහින්දානන්ද අලුත්ගමගේ, ෂෙහාන් සේමසිංහ, තාරක බාලසූරිය මෛත්‍රී – රනිල් ආණ්ඩුවේ ටොප් ටෙන් හොරු කියා ඇමැතිවරු 10කට එරෙහිව අල්ලස් කොමිසමට ගියහ. ඒ ටොප් ටෙන් අතර නොම්මර එකේ ඇමැතිවරියක් වූයේ තලතාය. පහත දැක්වෙන්නේ තලතාගේ අමාත්‍යාංශයේ දූෂණවලට එරෙහිව මහින්දානන්ද අලුත්ගමගේ, තාරක බාලසූරිය, ෂෙහාන් සේමසිංහ අල්ලස් කොමිසමට ගොස් පවත්වපු මාධ්‍ය සාකච්ඡාවේ කොටසක්ය.
‘2015 අගෝස්තු 21 විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපතිතුමා ලිපියක් යවනවා සියලු ඒජන්සිකරුවන්ට සෑම ශ්‍රමිකයෙක්ම ඩොලර් 100ක රක්ෂණයක් දායක වෙන්න කියලා. මේ ඩොලර් 100 ගෙවන්න කියලා යොදාගත්තේ එක රක්ෂණ සමාගමක්. ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් දෙනවා එක් රක්ෂණ සමාගමකට පවරන්න බැහැ කියලා. ඒ තීන්දුවට පයින් ගහලා ඇමැතිවරිය ටෙන්ඩර් පටිපාටියකින් තොරව මේ ගල්ෆ් ඉන්ෂුවරන්ස් කියන සමාගමට ඇමැතිවරිය විසින් මේ රක්ෂණය පවරනවා. මිලියන 1,500ක් පමණ ඇමැතිවරිය මේ දූෂිත ගනුදෙනුවෙන් කොමිස් ලෙස ලබාගෙන තිබෙනවා…’
නිරෝෂන් ප්‍රේමරත්න
2016.12.07
හිරු රූපවාහිනී සේවය
මේ ටොප් ටෙන් චෝදනාවෙන් පසු රනිල් 2018දී ඇයව විදේශ රැකියා අමාත්‍යාංශයෙන් ඉවත් කොට අධිකරණ අමාත්‍යාංශය දෙනු ලැබීය. මෙයින් කෝපයට පත් වන තලතා, මෛත්‍රී සමග එක්වී රනිල්ට එරෙහිව කැරැල්ලක් ගසනු ලැබුවාය. 2019 සජිත් අපේක්ෂකයා වෙන්නේ මේ කැරැල්ලේ ප්‍රතිඵලයක් ලෙසය. 2019 ජනාධිපතිවරණ පරාජයෙන් පසු රනිල් නායකත්වයෙන් ඉවත් වී සජිත්ට පක්ෂ නායකත්වය දිය යුතු යැයි කියා ඇය පක්ෂය තුළ කැරැල්ලක් පටන් ගනී. පක්ෂ නායකත්වයෙන් ඉවත් නොවන බවට රනිල් තද තැනක සිටියදී පක්ෂය හැරදමා ගොස් නව පක්ෂයක් පටන්ගන්න සජිත්ට වැඩියෙන්ම කරදර කරන්නේ ඇයය. එයට හේතුව රනිල් සමග ඇති වෛරයත්, ඇයට මහ ඡන්දයෙන් පාර්ලිමේන්තු යන්න බැරිවෙයි කියන බයත්ය. සමගි ජන බලවේගය බිහිවන්නේ එහි ප්‍රතිඵලයක් ලෙසය. 2020 මහ මැතිවරණයේ රත්නපුර දිස්ත්‍රික්ක ප්‍රතිඵලය පහත දැක්වේ.
- හේෂා විතානගේ 60,428
- වරුණ ලියනගේ 47,494
- තලතා අතුකෝරාල 45,105
මේ ප්‍රතිඵලයෙන් තලතා හොඳටම බය වූවාය. හේතුව ඇය තෙවැනි තැනට පත්වී අලුත් තරුණයන් ඉදිරියට ඒමය. තමාට ඊළඟ ඡන්දයෙන් මන්ත්‍රී විය නොහැකි බව දැන ඇය රනිල් පසුපස යන්න පටන්ගන්නේ රනිල්-සජිත් එකතු විය යුතු යැයි කියා රනිල්ගෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් ගන්නටය. යූ.ඇන්.පී.ය හැරදා ඇවිත් අලුත් පක්ෂයක් හදමු යැයි සජිත්ට වැඩියෙන්ම කරදර කළ ඇය යළිත් රනිල් එක්ක එකතු විය යුතු යැයි කරදර කරද්දී සජිත් ඇයව මායිම් කළේ නැත. ඇය එතැන් සිට සජිත් සමග වෛර බැඳගෙන පක්ෂය රත්නපුර අකර්මණ්‍ය කොට රනිල්ට ප්‍රශංසා කරමින් සජිත්ට පහර ගසමින් යන්න පටන් ගත්තාය.
තලතාගේ මේ හැසිරීමට හේතුව ඇයට එරෙහි ටොප් ටෙන් චෝදනාද දන්නේ නැත. රනිල් සහ සජිත් එකතු කොට සජිත්ව ඉවර කරන ගේම ගැහුවේ රාජපක්ෂ පවුලය. රාජපක්ෂ පවුල ටොප් ටෙන් හොයයි කියා බයේ ඇය රාජපක්ෂ පවුලේ වුවමනාව ඉෂ්ට කරන්න රනිල්ට ළං වුණාද දන්නේ නැත. රනිල් ජනාධිපති වූ විට රනිල් ටොප් ටෙන් හොයයි කියන බයේ ඇය රනිල් ළඟ වැටුණාද දන්නේ නැත.
ඇයට ටොප් 10 දූෂණ චෝදනා එල්ල කළ අලුත්ගමගේ අද රනිල්ගේ අගසව්ය. ඇයට ටොප් ටෙන් දූෂණ චෝදනා එල්ල කළ ෂෙහාන් රනිල්ගේ මුදල් රාජ්‍ය ඇමැතිය. තාරක රනිල්ගේ විදේශ රාජ්‍ය ඇමැතිය. දැන් ඇය ඉන්නේ ඔවුන් සමගය.
ගාමිණී අතුකෝරාල කියන්නේ සුපිරිසුදු චරිතයකි. කවදාවත් දූෂණ චෝදනා නොලද චරිතයකි. තමන්ගේ මුදල් දේශපාලනයට වියදම් කරපු චරිතයකි. ඔහුගේ නම අලෙවි කොට දේශපාලනයට ආ තලතා පෙන්වන ඇගේ වෛරය, ඇත් රජුගේ විලාපයක් සේ රත්නපුරය සිසාර දෝංකාර දෙනවාට සැක නැත.