ජාතික ලොතරැයි මණ්ඩලය කුලී ගොඩනැගිලිවල පවත්වාගෙන යෑමට පසුගිය වසර හතේදී පමණක් රුපියල් කෝටි 40කට ආසන්න මුදලක් වැය කර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන් වේ.Sri Lanka Latest News
ජාතික ලොතරැයි මණ්ඩලය සඳහා අලුත් ගොඩනැගිල්ලක් ඉදිකිරිම සහ ඒ වෙනුවෙන් උපදේශාත්මක සේවා ලබා ගැනීමට රුපියල් කෝටි හතරකට වැඩි මුදලක් වැය කිරීමට අනුමැතිය ලබාදී තිබුණද එම ගොඩනැගිල්ල ඉදි කර නොතිබූ බව එහි දැක්වේ.
මේ අතර මණ්ඩලය නීති විරෝධි ගොඩනැගිල්ලක් කුලී පදනම මත ලබාගෙන 2020 මැයි මාසයේ සිට 2022 අප්‍රේල් මාසය දක්වා රුපියල් කෝටි දෙකකට ආසන්න කුලියක් ගෙවා තිබූ බව පවසන ජාතික විගණන කාර්යාලය මෙම ගොඩනැගිල්ල විධිමත් අනුමැතියකින් තොරව සිදුකෙරුණු අනවසර ඉදිකිරීමක් බවද සඳහන් කරයි.
මෙම ගොඩනැගිල්ල සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීමේදී එහි යථා ස්වභාවය පිළිබඳව දැනුවත් කර නොතිබූ බව විගණන වාර්තාවේ දැක්වේ.
මේ අතර මණ්ඩලයේ ව්‍යාපාරික පරිශ්‍රය ඉදිකිරීම වෙනුවෙන් උපදේශාත්මක සේවා ලබාගැනීමට 2016 වර්ෂයේ සිට 2021 වර්ෂය දක්වා රුපියල් දෙකෝටි හැත්තෑ ලක්ෂය පමණ මුදලක් වැය කර ඇතැයි එහි සඳහන් වේ.
මණ්ඩලය අලෙවි ප්‍රවර්ධන සහ ප්‍රචාරක කටයුතු සඳහා මිලදීගෙන තිබූ ලක්ෂ 63 කට වැඩි වටිනා භාණ්ඩ ගබඩාවල නිෂ්ක්‍රීය පැවතුණු බව සඳහන් කරන විගණන කාර්යාලය ලොතරැයි තෑගි ලෙස ලබාදීම සඳහා මිලදීගෙන තිබූ රුපියල් ලක්ෂ 18 කට ආසන්න වටිනා රත්රන් කාසි, මාල ඇතුළු රන් භාණ්ඩ 53 ක් එම කටයුතු සඳහා යොදා නොගෙන සේප්පුවල තැන්පත් කර තිබූ බවද සඳහන් කරයි.
මේ අතර මණ්ඩලය 2016 වර්ෂයේදී මුද්‍රණය කළ ඩොලර් ෆෝචූන් ලොතරැයිපත් තිස්දාහක් අතුරින් ලොතරැයිපත් 569 ක් අස්ථානගත වී තිබූ බවත් එම ලොතරැයිපත් අස්ථානගතවීම සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වා අදාළ පාර්ශ්වයන්ගෙන් අලාභ අය කර ගැනීමට කටයුතු කර නොතිබූ බවත් වාර්තාවේ සඳහන් වේ.
මෙම ලොතරැයිය 2016 වර්ෂයේදී දිනුම් ඇදීමට නියමිතව තිබුණත් පසුගිය වසරේ අප්‍රේල් 30 වැනිදා වනවිටත් සිදුවී නොතිබූ බව විගණන කාර්යාලය පවසයි.
මේ තොරතුරු සඳහන් වන්නේ ජාතික ලොතරැයි මණ්ඩලයේ 2021 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන වාර්තාවේය.










