රිෂාඩ් සජිත් ගැන ඉන්දීය මහකොමසාරිස්ට කියපු දේ!
වෙල්ගමත් ආපහු කරණමකට ලෑස්ති වෙයි!
බැසිල් රහස් කාමරයක් හදාගනී!
සජිත් පළමුවැනිදා ලොකු පෙරළියකට!
ආණ්ඩුවත් කොන්ෆියුස්
රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ශ්වය ආණ්ඩුව ගෙනයෑම සඳහා ‘අවුල් කිරීමේ න්‍යාය’ හෙවත් ‘කන්ෆියුස් තියරිය’ භාවිත කරන ආකාරය පිළිබඳ අප මීට සති 3කට ඉහතදී ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ විශේෂ අනාවරණයක් කළෙමු. එහිදී අප කියා සිටියේ ජනතා අවධානය වෙනතකට යොමුකිරීම සඳහාත්, සැබෑ ප්‍රශ්න ජනතාවගෙන් වසං කිරීම සඳහාත් ආණ්ඩුව සතිපතා විවිධ මාතෘකා සමාජයට අතහරිමින් සමාජය කන්ෆියුස් කොට තබා ගැනීමට සැලසුම් කොට ඇති බවකි. ඒ සම්බන්ධයෙන් පසුගිය දිනෙක ආණ්ඩුව ඇතුළේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වී තිබූ බවත්, එහිදී මෙම යෝජනාව ඉදිරිපත්ව තිබූ බවත්, එහිදී මාතෘකා රැසක් සාකච්ඡා මේසයට ඉදිරිපත් වූ බවත්, ජනාධිපතිවරයාට තවත් අවුරුදු 2ක් බලයේ සිටීම සඳහා ජනමත විචාරණයක් පැවැත්විය යුතු බවට ඉදිරිපත් වූ මාතෘකාව රටට ප්‍රකාශ කිරීම එජාප මහලේකම් රංගේ බණ්ඩාර විසින් බාරගත් බවත් අපි එහිදී ‘රාජ්‍ය රහස්’ ඔස්සේ විශේෂ වාර්තාවක් ඉදිරිපත් කරමින් රටට අනාවරණය කළෙමු. ඉන් අනතුරුව ඊට විපක්ෂය ඇතුළු සමාජයේ විවිධ පාර්ශ්වයන්ගෙන් එල්ල වූ දැඩි විරෝධය හේතුකොටගෙන එය යටගිය ආකාරයක් දැකගන්නට ලැබිණි.Sri Lanka Latest News
මේ ආකාරයට ආණ්ඩුව විවිධ මාතෘකා කරළියට රැගෙන එමින් රට කන්ෆියුස් කිරීමේ තත්ත්වයක් ඇතිකරලීමට කටයුතු කළේ ඇයි?
ඒ වෙන මොනවත් නිසා නොව, ඉදිරි ජනාධිපතිවරණය පිළිබඳ රටම පිළිගත් ආයතනයක් මගින් සිදුකළ මත විමසුම්වලින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉදිරියෙන් සිටින බවට පැහැදිලිවම අනාවරණ කොට තිබීම නිසාය. රටම පමණක් නොව ජාත්‍යන්තර ප්‍රජාව, තානාපති කාර්යාල, ප්‍රධාන දේශපාලන පක්ෂ ආදී සියල්ලම පවා පසුගිය අවුරුදු 20ක කාලය පුරා මෙම ආයතනය හරහා සමීක්ෂණ සිදු කොට තිබීම නිසා එම ප්‍රතිපල සක්සුදක් සේ නිවැරැදි බව දැන සිටියහ. ජාත්‍යන්තර තලයේ දැවැන්ත ව්‍යාපාරික සමාගම් පවා සිය ව්‍යාපාරික කටයුතු සම්බන්ධයෙන් මත විමසුම් කරගන්නේ මේ මත විමසුම් සිදුකරන ආයතනය හරහාය. ඒ අනුව මෙම ආයතනය මගින් මීට මාස දෙකකට කලින් සිදුකළ පළමු මත විමසුමෙන් පැහැදිලිවම දැනුම් දී තිබුණේ ජනාධිපතිවරණයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා 39%ක් ලබා ඉදිරියෙන් පසුවන බවය. ජනතා විමුක්ති පෙරමුණ 22%ක් ලබා දෙවැනි ස්ථානයේ පසුවන බවත්, පොහොට්ටුව 9%ක ප්‍රතිශතයක් සහිතව තුන්වැනි ස්ථානයේ සිටින බවත්, ජනාධිපතිවරයා හතරවැනි ස්ථානයේ සිටින බවත් එම මතවිමසුමෙන් වාර්තා කොට තිබිණ. ඒ, උතුරු නැගෙනහිර නොමැතිවය. මේ ප්‍රතිඵලය නිකුත් වීමත් සමග ඔත්තු සේවා මගින් තවත් මත විමසුමක් සිදුකොට තිබුණු අතර, ඉන්ද ලබාදී තිබුණේ මේ හා සමානම ප්‍රතිඵලයක් වීම විශේෂ සිදුවීමක් විය. අප මේ තොරතුරු දෙකම ඒ ඒ අවස්ථාවලදී ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ රටට අනාවරණ කිරීමට පියවර ගත්තෙමු.
කව්ද මේ ලෙනව?
එහි අවසන් ප්‍රතිඵලය වූයේ සමාජය අවුල් කිරීම සඳහා ආණ්ඩුව කන්ෆියුස් තියරිය යළිත් වතාවක් කරළියට රැගෙන ඒමය. හිටිහැටියේම ජනාධිපති ධුර කාලය වසර 5ද, 6ද ලෙස අර්ථ නිරූපණයක් ඉල්ලා ඩී.සී. ලෙනව නමැති පුද්ගලයකු කිසිදු නීතිඥයෙක් නොමැතිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට යන්නේ මෙහි ප්‍රතිඵලයක් ලෙසය. පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් ඉදිරියේ මෙම පෙත්සම විභාගයට ගැනුණු අතර, ආරම්භක දිනයේදීම එම පෙත්සම නිෂ්ප්‍රභ කරලීමට අධිකරණය කටයුතු කළේ ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර 5ක් බව යළිත් වතාවක් තහවුරු කරමින්ය. එමෙන්ම ලෙනව නමැත්තාට නඩු ගාස්තු ගෙවන ලෙසටද අධිකරණය නියෝග කළේය. විපක්ෂය මෙම ලෙනව නමැත්තා කරළියට පිවිසි සැණින් ඔහුගේ අලගිය මුලගිය තැන් එළියට දමමින් ඔහු ආණ්ඩුවේ ඉත්තකු බව තහවුරු කරලීමටද ඒ අවස්ථාවේ කටයුතු කොට තිබිණි.
කෙසේ වෙතත් මේ ලෙනව නමැත්තාගේ ආගමනය හිටි හැටියේ සිදුවූවක් නොවේ. ඒ පිළිබඳ තොරතුරු එකින් එක විමසා බලද්දී සහ ඊට පසුබිම් වූ සිදුවීම් එකින් එක විශ්ලේෂණය කරද්දී මෙය මහා සැලසුමක තවත් එක් ප්‍රධාන සිදුවීමක් ලෙස සැක කළ හැකිය. එම මහා සැලසුමේ ආරම්භය වෙන කිසිවක් නොව ‘ආරංචිය සුබයි’ යනුවෙන් රට පුරා ඇලවුණු පෝස්ටරයය. එම පෝස්ටරය ඇලවුණේ විදේශ ණය ප්‍රතිවයුහගත කිරීම සම්බන්ධයෙන් වූ සාකච්ඡා අවසන් අදියරේ පැවැතියදීය. එම පෝස්ටරය ඇලවීමෙන් පසු විදෙස් ණය ප්‍රතිව්‍යුහගත කිරීම අවසන් බවට ජනාධිපතිවරයා ජාතිය අමතා ප්‍රකාශයක් සිදු කිරීමටත්, රට පුරා රතිඤ්ඤා පත්තු කර කිරිබත් කා එය සැමරීමටත්, පසුව හදිසි පාර්ලිමේන්තු රැස්වීමක් කැඳවා දින දෙකක් ඒ පිළිබඳ විවාද කිරීමටත්, එහිදී පැවැත්වෙන ඡන්ද විමසීමේදී සජබය මන්ත්‍රීවරුන් 25කගේ පමණ සහයෝගය ආණ්ඩුවට ලබාගෙන සජබය කුජීත කිරීමටත්, ඒ හරහා රට පුරා ජනාධිපතිවරයාටත්, ආණ්ඩුවටත් ලැබෙන විශාල ජනතා රැල්ල හමුවේ මාතර දැවැන්ත රැස්වීමක් පවත්වා ජනාධිපතිවරයා ඉදිරි ජනාධිපතිවරණයේ ආණ්ඩුවේ අපේක්ෂකයා ලෙස ප්‍රසිද්ධ ප්‍රකාශයක් සිදුකිරීමටත්, පසුව ලෙනව හරහා අධිකරණය හමුවේ පෙත්සමක් ඉදිරිපත් ඉදිරිපත් කොට ජනාධිපතිවරණය තවත් වසරකින් කල්දමා ගැනීමත් මෙම මහා සැලසුම විය හැකි බවට බොහෝ දෙනාට සැක මතුව තිබිණි.
අප මෙම මහා සැලසුමේ තොරතුරු වරින් වර ‘රාජ්‍ය රහස්’ තීරයේ වාර්තා කරමින් ජනාධිපතිවරයා 26 වැනි දින ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට සූදානමින් සිටින බවත්, ඉන් අනතුරුව හදිසි පාර්ලිමේන්තු රැස්වීමක් කැඳවීමට සැලසුම් කරමින් සිටින බවත් ඊට පෙර සතියේම ‘මව්රට’ පුවත්පතේ මුල් පුවත ඔස්සේත්, ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේත් වාර්තා කිරීමට පියවර ගත්තෙමු.
පෝස්ටරේ නැකත අසුබයි
කෙසේ වෙතත් ‘ආරංචිය සුබයි’ යනුවෙන් රට පුරා ඇලවූ පෝස්ටරයේ දේශපාලන නැකත අසුබ වීම නිසාදෝ ආරම්භයේ සිටම මෙම මහා සැලසුම කණපිට පෙරළී ගිය ආකාරයක් දැකගත හැකි විය. ආරංචිය සුබයි යන පෝස්ටරයට විපක්ෂයෙන් දැවැන්ත ප්‍රහාරයක් එල්ල වූ අතර, පොහොට්ටුව ඊට පසුදින ‘ආරංචිය සුබයි – පොහොට්ටුවෙන් අපේක්ෂකයෙක් එනවා’ යනුවෙන් පිළිතුරු පෝස්ටරයක් රට පුරා ඇලවීම නිසා එය පොහොට්ටුවේ වැඩක් ලෙස රටට පෙනෙන්න විය. කෙසේවෙතත් අප කී ලෙසටම ජනාධිපතිවරයා 26 වැනි දින ජාතිය අමතා මෙම පුවත දැනුම්දී රතිඤ්ඤා පත්තර කර කිරිබත් කෑවද විපක්ෂය පෙන්වා දුන්නේ තවමත් විදෙස් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු අවසන් කොට නොමැති බවත්, බැඳුම්කර හිමියන් සමග එකඟතාවක් ඇති කරගැනීමට ආණ්ඩුව අපොහොසත් වී ඇති බවත්, මෙය දේශපාලන ඇස්බැන්දුමක් බවත්ය. එමෙන්ම ආණ්ඩුව ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු අවසන් නොකොට එය දේශපාලන අරමුණක් වෙනුවෙන් භාවිත කරන බවටද විපක්ෂයෙන් දැඩි චෝදනාවක් එල්ල විය.
මීට අමතරව මුලින් මේ ගැන දෙදින විවාදයක් සිදුකර ඡන්ද විමසීමක් පැවැත්වීමට ආණ්ඩුව සැලසුම් කළද ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුම ආණ්ඩුවට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නොහැකි වීම හේතුකොටගෙන අවසානයේදී පැය කිහිපයකට පමණක් පාර්ලිමේන්තුව කැඳවීමට ආණ්ඩුවට සිදුවිය. විවාද හෝ ඡන්ද විමසීම් කිසිවක් නොමැතිව ජනාධිපතිවරයාගේ හා විපක්ෂ නායකවරයාගේ කතාවලට පමණක් එම පාර්ලිමේන්තු පැය කිහිපය සීමා කිරීමටද ආණ්ඩුවට සිදුවිය. එමෙන්ම එදින සජබ මන්ත්‍රීවරුන් 25ක් කෙසේ වෙතත් හතර දෙනකු ආණ්ඩුවට එකතුවීමට සිටින බවට ආණ්ඩුව පැත්තෙන් පුවත් පළකළද කිසිදු සජබ මන්ත්‍රීවරයෙක් එදින ආණ්ඩුවට ගියේද නැත. ඒ අනුව විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම හරහා ආණ්ඩුව විශාල ගැම්මක් රට ඇතුළේ ගැනීමට කළ සැලසුම කෙසේවෙතත් අවසානයේදී විපක්ෂයේ දැනුවත් කිරීම් හමුවේ ආණ්ඩුවට විශාල විරෝධතාවක් රට ඇතුළේ මතුවූ ආකාරයක් දැකගත හැකි විය. නමුත් සැලසුම් කළ පරිදි මාතර රැස්වීම පැවැත්වුවද එහිදී ජනාධිපතිවරයා ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවක් ප්‍රකාශ වූයේද නැත. ඒ වෙනුවට මාතර වේදිකාවේ අලකලංචි රැසක් සිදුව තිබූ අතර, ඉකුත් සතියේ ‘රාජ්‍ය රහස්’ තීරයට ඔස්සේ ඒ සියල්ල වාර්තා කිරීමටද අපි පියවර ගත්තෙමු. අවසන් සැලසුම ලෙස ලෙනව නමැත්තාගේ උසාවි ගමනද ‘චකබ්ලාස්’ වූයේ ශ්‍රේෂ්ඨාධිකරණය එදිනම නඩුව වීසිකොට ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර 5ක් බවට තීන්දු කිරීමත් සමගය. ඒ අනුව ආණ්ඩුවේ මහා සැලසුම එකින් එක කණපිට පෙරළී ගොස් තිබූ ආකාරයක් දැකගත හැකි වූවා පමණක් නොව, අන්තිමේදී ලෙනව නමැත්තා සමග ආණ්ඩුවට හෝ ජනාධිපතිවරයාට කිට්ටු සම්බන්ධයක් නොමැති බවට නිල නිවේදනයක් පවා නිකුත් කිරීමට ජනාධිපති මාධ්‍ය ඒකකයට සිදුවිය.
නීතිපතිත් කොටසක්ද?
මේ සිදුවීම් සියල්ලට අමතරව මේ වනවිට විපක්ෂයට තවත් යම් සැකයක්ද මතුව තිබේ. ඒ, ජනාධිපතිවරයා විසින් හිටපු නීතිපති සංජය රාජරත්නම් මහතාට තවත් මාස 6ක සේවා දිගුවක් ලබාදීමේ උත්සාහයද මෙම මහා සැලසුමේම කොටසක්ද කියාය. මීට පෙර වසර 49ක ඉතිහාසය තුළ කිසිදු අවස්ථාවක නීතිපතිවරයාගේ ධුර කාලය දීර්ඝ කිරීමට හිටපු කිසිදු ජනාධිපතිවරයෙක් කටයුතු කර තිබුණේ නැත. නමුත් වත්මන් ජනාධිපතිවරයා ඉතිහාසයේ පළමු වතාවට එවැනනක් සිදුකරමින් නීතිපතිවරයාගේ සේවා කාලය තවත් මාස 6ක් දක්වා දිගු කිරීමට කටයුතු කොට එම යෝජනාව ව්‍යවස්ථාදායක සභාවට එවීමට පියවර ගත්තේය. පළමු අවස්ථාවේදීම එය ප්‍රතික්ෂේප කිරීමට ව්‍යවස්ථාදායක සභාව පියවර ගෙන තිබිණි. නමුත් ජනාධිපතිවරයා නැවත වතාවක් එම යෝජනාව ව්‍යවස්ථාදායක සභාවට එවීමට පියවර ගත් අතර, ඒ අවස්ථාවේදීද ව්‍යවස්ථාදායක සභාව එම යෝජනාව ප්‍රතික්ෂේප කරනු ලැබ තිබිණි. ඒ අවස්ථාවේ එය තවත් එක් සිදුවීමක් පමණක් වුවද මේ වනවිට විපක්ෂය සැක කරන්නේ එම සිදුවීමද මෙම මහා සැලසුමේම තවත් ප්‍රධාන කොටසක් විය හැකි යැයි කියාය. එය එසේ නම් එම සැලසුමද අවසන් මොහොතේ කණපිට පෙරළී ගොස් තිබීම විශේෂ සිදුවීමක් විය යුතුය.
වැරැද්දුවේ රංගේද?
කෙසේ වෙතත් තිතට සැලසුම් කර තිබූ මෙම මහා සැලැස්ම මේ ආකාරයට බිඳී යෑම සඳහා කොතැනින් හෝ විශාල වැරැද්දක් සිදුවිය යුතුය. විපක්ෂය සැක කරන්නේ එම මහා සැලසුමේ ලොකුම වැරැද්ද දැන හෝ නොදැන එජාප මහලේකම් රංගේ බණ්ඩාර අතින් සිදුවූවා යැයි කියාය. මන්දයත් මෙම සිදුවීම් පෙළ එකින් එක පෙළගැසෙද්දී කොතැනක හෝ අධිකරණයට යෑමට පෙරාතුව ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර 5ක්ද 6ක්ද යනුවෙන් නිශ්චිත කරගැනීමේ අවශ්‍යතාව කැබිනට් මණ්ඩලයේ යෝජනා සම්මත කොට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සැලසුම් කොට තිබුණා විය යුතුය. නමුත් එය සිදුකිරීමට කලින් මැදවච්චියේ පැවැති එජාප රැස්වීමකදී රංගේගේ කටින් එළියට පැන්නේ අවසන් වරට පැවැති කැබිනට් රැස්වීමේදී මෙම යෝජනාව ජනාධිපතිවරයා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කොට සම්මත කරගෙන ඇති බවත්, ඉදිරි සතියකදී එය පාර්ලිමේන්තුවට යෝජනාවක් ලෙස ගෙනැවිත් සම්මත කරගනු ඇති බවත්ය. නමුත් ඒ වනවිට එවැන්නක් කැබිනට් මණ්ඩල රැස්වීමේදී සිදුව නොතිබූ නිසා කැබිනට් මාධ්‍ය ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මහතාගෙන් මාධ්‍ය ඒ පිළිබඳ විමසීමේදී කෝපයට පත් බන්දුල කියා සිටියේ එවැන්නක් සිදු නොවූ බවත්, එය පිස්සු කතාවක් බවත්ය. නමුත් ඊට පසු දිනකදී රංගේ නැවත මාධ්‍ය හමුවක් කැඳවමින් කියා සිටියේ එය ඉකුත් සඳුදා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කොට නොමැති බවත්, ඊළඟ සතියේ කැබිනට් මණ්ඩලයට ජනාධිපතිවරයා එම යෝජනාව ඉදිරිපත් කරනු ඇති බවත්ය.
ඇත්ත වශයෙන්ම මෙම කොටස නිසැක වශයෙන්ම මහා සැලසුමේ තවත් ප්‍රධාන කොටසක් විය යුතුය. ඒ අනුව රංගේගේ කටින් එම සැලසුම එළියට පැන්නත් දිනය සම්බන්ධයෙන් රංගේට යම් අතපසුවීමක් සිදුව තිබිණි. ඒ රංගේ කැබිනට් අමාත්‍යවරයකු නොවන නිසා කැබිනට් මණ්ඩලයේ සාකච්ඡා වූ කරුණු පිළිබඳ රංගේට අවබෝධයක් නොමැති නිසා විය යුතුය. ඒ අනුව රංගේ සිතන්නට ඇත්තේ සැලසුම් කොට තිබූ පරිදි අදාළ යෝජනාව සඳුදා දින කැබිනට් මණ්ඩල රැස්වීමේ සාකච්ඡා වී සම්මත වන්නට ඇතැයි කියාය. ඒ ගැන කරුණු හරිහැටි වාර්තා නොවීම හේතුවෙන් එය සිදුවන්නට ඇතැයි සිතා රංගේ එය මාධ්‍ය හමුවේ සඳහන් කර සිටින්නට ඇත. නමුත් ආණ්ඩුව පැත්තෙන් එම යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කොට නොතිබුණේ අවම වශයෙන් ලෙනව දැමූ පෙත්සම මාස 6ක් හෝ අධිකරණය හමුවේ විභාගයට ගැනෙනු ඇති බවට ආණ්ඩුවට තිබූ විශ්වාසය නිසා සහ එසේ වනු ඇති බවට ලැබී තිබූ තොරතුරු නිසාය.
විපක්ෂයෙන් බර අවි
ආණ්ඩුවේ මේ සැලසුම ඒ වනවිටද විපක්ෂයේ යම් යම් පාර්ශ්ව අතට ලැබී තිබිණි. එම තොරතුරු මගින් විපක්ෂයට දැනුම්දී තිබුණේ මෙම උසාවි ගමන සැලසුම් කළ මහමොළකරුවන් මාස 6ක් පමණ නඩු විභාගය ඇදෙනු ඇති බවට සිතා සිටින බවත්, ඒ අනුව ජනාධිපතිවරණය පැවැත්වීමට නොහැකිව කල්යනු ඇති බව සිතා සිටින බවත්, එම නිසා මෙම නඩු කටයුත්ත සැහැල්ලුවෙන් නොගන්නා ලෙසත්ය. විපක්ෂයේ තැන් තුන හතරකට ලැබී තිබුණු මෙම විශේෂ තොරතුර හේතුවෙන් කවුරුත් නොහිතන විපක්ෂයේ ප්‍රධාන චරිත කිහිපයක් අතර විශේෂ සංවාදයක් පසුගිය සතියේ මේ සම්බන්ධයෙන් සිදුවිය. ‘රාජ්‍ය රහස්’ තීරය වෙත මෙම සංවාදයේ සියලු තොරතුරු වාර්තා වුවද අප එය මෙවර වාර්තා නොකරන්නේ අදාළ පාර්ශ්වයන්ගෙන් මෙම සිදුවීම වාර්තා නොකරන ලෙසට ඉදිරිපත් වූ විශේෂ ඉල්ලීම නිසාය. ඒ අනුව මෙම සාකච්ඡාවේදී තීන්දු වූයේ අදාළ නඩුවට උපරිම ශක්තිය යොදා එය පරාජයට පත්කිරීම සඳහා කටයුතු කිරීමටය. සජබය ඊට නීති ක්ෂේත්රයේ අතිදක්ෂයකු වූ ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා ප්රමුඛ ඉහළම පෙළේ නීතිවේදීන් කණ්ඩායමක් තෝරාගත්තේ එම තීන්දුවට අනුවය. විපක්ෂයේ අනෙකුත් පාර්ශ්වයන්ද රටේ නමගිය නීතිවේදීන් තම පාර්ශ්වයන් සඳහා තෝරාගත් ආකාරයක් ඒ අනුව දැනගන්නට ලැබිණි. මෙහි අවසන් ප්‍රතිඵලය වූයේ ආණ්ඩුවේ එම සැලසුමද අධිකරණය තුළ පරාජයට පත්කිරීමට විපක්ෂයට හැකියාව ලැබීමය.
කෙසේ වෙතත් ආණ්ඩුව බලාපොරොත්තු වූ ආකාරයට මාස 6ක් පමණ කල් ගැනීමට මේ හරහා නොහැකි වීමත් සමග වැරදීමකින් හෝ කල්තියා රංගේගේ කටින් පැන්න සැලසුම ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුවට සිදුවිය. ඒ අනුව පසුගිය සඳුදා ජනාධිපතිවරයා විසින් කැබිනට් මණ්ඩලයට කළ යෝජනාවකින් කියැවුණේ අවුරුදු 5ක් සහ අවුරුදු 6ක් යනුවෙන් ව්‍යවස්ථාවේ තැන් දෙකක පවතින ජනාධිපති ධුර කාලය පිළිබඳ වෙනස අවුරුදු 5ක් කිරීම සඳහා යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවය. විශේෂයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ජනාධිපති ධුර කාලය වසර 5ක් බවට තීන්දු කොට තිබියදීත් ජනාධිපතිවරයා මේ ආකාරයේ යෝජනාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීම දැවැන්ත සටනකින් පරාජයට පත්වී ඉච්ඡාභංගත්වයට පත් සෙනෙවියකු කරකියාගත දෙයක් නොමැතිව සිදුකළ එකක් ලෙස විපක්ෂයේ බොහෝ දෙනාගේ අදහස වී තිබිණි. මීට අමතරව සිකුරාදා දිනයේදී තවත් නීතීඥවරයකු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කරමින් 19 වැනි සංශෝධනය ජනමත විචාරණයකින් සම්මත වී නොමැති නිසා ඊට ජනමත විචාරණයක් පවත්වන ලෙසත්, එසේ කරන තෙක් ජනාධිපතිවරණය පැවැත්වීම වළක්වන ලෙසටත් ඉල්ලමින් පෙත්සමක් ගොනු කිරීමට පියවර ගෙන තිබිණ. බොහෝ දෙනා සැක කරන්නේ මෙයද යටකී මහා සැලැස්මේම එක් කොටසක් විය හැකි යැයි කියාය.
විපක්ෂය එකතු වෙයි
කෙසේ වෙතත් විපක්ෂයද ආණ්ඩුවේ මේ අන්තිම උත්සාහයද නිකම් අතහරින්නට සූදානම් වූයේ නැත. ඒ අනුව මීට පාර්ලිමේන්තුවේ දැක්විය යුතු ප්‍රතිචාරය පිළිබඳ එජාපයේ ප්‍රධාන පක්ෂ අතර විශේෂ සාකච්ඡාවක් සිදුවිය. එහිදී සියලු දෙනාම පෙන්වා දී තිබුණේ විපක්ෂය ඒකාබද්ධව ඊට පාර්ලිමේන්තුවේදී විරෝධය පළකළ යුතු යැයි කියාය. ඒ අනුව තීන්දු වූයේ සජබය සහ මාලිමාව එක්ව ජනාධිපතිවරණය නිසි වෙලාවට පැවැත්විය යුතු බවට වූ යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට සම්මත කරගැනීමටය. මෙම යෝජනාව අනුර විසින් ඉදිරිපත් කිරීමටත්, සජිත් විසින් සම්මත කිරීමටත් සැලසුම් වී තිබිණි.
ඒ අනුව පසුගිය සඳුදා කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති රැස්වීමේදී මේ පිළිබඳ යෝජනාව විපක්ෂයෙන් ඉදිරිපත් කෙරිණි. ඊට ආණ්ඩුව විරුද්ධ නොවූයේ එසේ විරුද්ධ වූවා නම් ජනාධිපතිවරණය පැවැත්වීමට ආණ්ඩුව විරුද්ධ බවට වූ මතයක් රටට යන නිසාය. කෙසේ වෙතත් මෙහිදී යෝජනාව ඉදිරිපත් කිරීමට අනුර එකඟ වුවත් සජිත් එය සම්මත කිරීම සම්බන්ධයෙන් අනුරගේ එකඟතාවක් තිබුණේ නැත. අනුර කියා සිටියේ තමන් සහ සජිත් දැනටමත් විපක්ෂයේ ජනාධිපති අපේක්ෂකයන් ලෙස ප්‍රකාශයට පත්කොට ඇති නිසා දෙදෙනා එක්ව මෙම යෝජනාව ඉදිරිපත් කොට සම්මත කිරීමෙන් දෙදෙනා අතර සබඳතාවක් පවතින බවට රටට පණිවුඩයක් යනු ඇති බවය. එය දෙදෙනාටම අවාසියක් වනු ඇති බව අනුරගේ තර්කය විය. එහිදී යම් විවාදයක් මතුවුවද අවසානයේදී සජිත් කියා සිටියේ තමන්ටද අවශ්‍ය මෙම යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට බැවින් කවුරු එය ඉදිරිපත් කොට ස්ථිර කළද තමන්ට ගැටලුවක් නැතැයි කියාය. ඒ අනුව අවසානයේදී අනුර යෝජනාව ඉදිරිපත් කිරීමටත්, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා එය ස්ථිර කිරීමටත් තීන්දු විය.
මේ ආකාරයට විපක්ෂය ආණ්ඩුවේ කකුලෙන් ඇදිලි හමුවේ ජනාධිපතිවරණය නියමිත දිනට පවත්වා ගැනීම සඳහා සැලසුම් සකස් කරන අතරවාරයේ පසුගිය සතියේ තවත් විශේෂ තීන්දුවක්ද ගෙන තිබිණි. ඒ, ජනාධිපතිවරණය පැවැත්වීම සඳහා මැතිවරණ කොමිසමට අවශ්‍ය ශක්තිය ලබාදීමය. ඒ අනුව ආණ්ඩුවෙන් එන බලපෑම්වලට මුහුණ දීම සඳහා මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ට ශක්තිය දීමට කණ්ඩායම් වශයෙන් මේ සතියේ සිට විපක්ෂයේ මන්ත්‍රීවරුන් මැතිවරණ කොමිසම හමුවට යෑමට තීන්දු වී තිබේ. ඒ අනුව ආණ්ඩුව සතියෙන් සතිය රටට දමන කන්ෆියුස් තියරි මේ වනවිට එකින් එක පුස් වෙඩිලි බවට පත්වෙමින් යන ආකාරයක් දැකගැනීමට පුළුවන.
ඇයි රනිල් මෙහෙම?
කෙසේ වෙතත් ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ජනාධිපති ධුර කාලය වසර 5ක් බවට නැවත වතාවක් තීන්දු කොට තිබියදීත් ජනාධිපතිවරයා මේ ආකාරයට කොලේ ඉරාගෙන, හත්පොළේ ගාගෙන කැබිනට් මණ්ඩලයේ යෝජනා සම්මත කොටගෙන පාර්ලිමේන්තුවට පනත් කෙටුම්පත් රැගෙන එන්නේ ඇයි?
ඒ පසුපසද විශාල කතාවක් තිබේ. ඊට හේතුවී ඇත්තේ වෙන කිසිවක් නොව ජනාධිපතිවරයාට තවමත් නිල වශයෙන් ජනාධිපති අපේක්ෂකත්වය සඳහා පොහොට්ටුවේ අනුමැතිය හිමි නොවීමය. පසුගිය කාලය පුරාම ජනාධිපතිවරයා පොහොට්ටුවේ එම අනුමැතිය ලබාගැනීම සඳහා ගැසූ තුරුම්පුව වූයේ සජබයෙන් මන්ත්‍රීවරු 25ක කණ්ඩායමක් ආණ්ඩුවට එක්වන බවට වූ පුවතය. නමුත් 25ක් තියා සජබ මන්ත්‍රීවරු හතර පස් දෙනකුවත් ආණ්ඩුවට ගැනීමට ජනාධිපතිවරයා අපොහොසත් වූ අතර, යම් හෙයකින් හෝ ආණ්ඩුවට එක්වනු ඇති බව කියවෙන්නේ රාජිත සේනාරත්නත්, සරත් ෆොන්සේකාත් පමණි. නමුත් පොහොට්ටුව ආණ්ඩුවට දැනුම්දී තිබුණේ රාජිත හා ෆොන්සේකා වැනි චරිත ආණ්ඩුවට ගතහොත් එය ආණ්ඩුවේ ප්‍රසාදය ඉහළ නැංවීමට වඩා ජනතාව අතර ආණ්ඩුව තවත් අප්‍රසාදයට පත්වීමට හේතු වනු ඇතැයි කියාය.
කෙසේවෙතත් සජබ මන්ත්‍රීවරු ආණ්ඩුවට එන බවට දිගින් දිගටම ජනාධිපතිවරයාගේ පැත්තෙන් කරන දැනුම්දීම නිසා අවසානයේදී බැසිල් ආණ්ඩුවට දැනුම්දී තිබුණේ එසේ නම් ජුනි 15 වැනි දිනට ප්‍රථම එම සජබ කණ්ඩායම ආණ්ඩුවට එක්කර ගන්නා ලෙසත්, ඉන් අනතුරුව පොහොට්ටුවේ ස්ථාවරය රටට ප්‍රකාශ කරන බවත්ය. නමුත් ජුනි 15 වනවිට එය ඉටුකර ගැනීමට නොහැකි වූ නිසා ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් ඊට තවත් කල් ඉල්ලූ අතර, පසුව පොහොට්ටුව ජූලි 15 දක්වා ආණ්ඩුවට කල් ලබාදීමට කටයුතු කොට තිබිණි. දැන් ඒ දිනයද ඉක්ම යෑමට ඉතිරිව ඇත්තේ තවත් දින තුන හතරක් වුවද තවමත් ආණ්ඩුව පොහොට්ටුවට පොරොන්දු වූ පරිදි සජබ මන්ත්‍රීවරු 25 දෙනා ආණ්ඩුවට එක් කරගැනීමට හැකියාවක් ලැබී නොමැත.
ඒ අනුව මෙම දින ළංවීමත් සමග ජනාධිපතිවරයාගේ පැත්තෙන් පසුගිය සතිය වනවිට තවත් විශේෂ මෙහෙයුමක් දියත් විය. ඒ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවී මෙම කාලය තව ටිකක් දීර්ඝ කරගැනීමට උත්සාහ දැරීමය. නමුත් වෙනදාට දැකගන්නට ලැබෙනවාට වඩා ලොකු වෙනසක් මෙවර රනිල් මහින්ද හමුවෙන් දැකගැනීමට ලැබීම විශේෂ සිදුවීමක් විය.
මහින්දව හමුවෙයි
වෙනදා නම් ජනාධිපතිවරයා මුණගැසීමට අවශ්‍ය වූ විට මහින්ද කළේ ඒ පිළිබඳ දැනුම්දීම ජනාධිපතිවරයාට සිදුකිරීමය. දෙවරක් තුන්වරක් පමණ ඒ පිළිබඳ සිහි කැඳවීමෙන් පසු මහින්දට දින ලබාදීම ජනාධිපතිවරයාගේ සිරිත විය. ඒ අනුව ෂැංග්‍රිලා හෝටලයේ විශේෂ කාමරයකදී හෝ ෂැංග්‍රිලා හෝටලයේ පිහිටි සාගල රත්නායක මහතාගේ නිවෙසේදී හෝ බොහෝ දුරට මෙම හමුවීම් සිදුවිය. ඊට මහින්ද සමග යෝෂිත රාජපක්ෂ හෝ රෝහිත රාජපක්ෂ සහභාගි වී සිටි ආකාරය අවස්ථා කිහිපයකදීම අප ‘රාජ්‍ය රහස්’ තීරය මගින් වාර්තා කිරීමට පියවර ගත්තෙමු.
කෙසේ වෙතත් මේ වනවිට අපට දැනගන්නට ඇති තොරතුරුවලින් කියැවෙන්නේ මෙවර හමුව ජනාධිපතිවරයා විසින් ඉල්ලීමක් කිරීමෙන් අනතුරුව සිදුව ඇතැයි කියාය. එම හමුවේදී තවමත් සජබ මන්ත්‍රීවරුන් 25ක කණ්ඩායම ආණ්ඩුවට එක්කර ගැනීමට නොහැකි වීම නිසා ජූලි 15ට ලබාදී ඇති දිනය තවත් සති දෙකකින් කල් දමාගැනීමට ජනාධිපතිවරයා උත්සාහ කොට ඇති බවක්ද එම ආරංචිවලින් තවදුරටත් දැනගන්නට ඇත. ඒ සඳහා මහින්දගෙන් කොළ එළියක් දැල්වී ඇති බවක්ද දැනගන්නට ඇත.
ඒ අනුව ජනාධිපතිවරයාගේ සැලසුම් වී ඇත්තේ කෙසේ හෝ මහින්ද ලවා පොහොට්ටුවෙන් තවත් කාලයක් ගැනීම බව දැන් පැහැදිලිය. ඊට ජනාධිපතිවරයා උපයෝගී කොටගෙන ඇත්තේ මහින්ද වටා සිටින යෝෂිත රාජපක්ෂ, රෝහිත රාජපක්ෂ වැනි කණ්ඩායමකි. එමෙන්ම කාලයක් පුරා මහින්ද ළඟින්ම සිටින ප්‍රබල ආරක්ෂක නිලධාරියකුද මේ සඳහා ජනාධිපතිවරයා උපයෝගී කරගනිමින් සිටින බව ආරංචය. එසේ විවිධ පාර්ශ්වවලින් මහින්දට බලපෑම් කොට මහින්ද ලවා පොහොට්ටුවට යම් බලපෑමක් කිරීම ජනාධිපතිවරයාගේ සැලසුම වී ඇති බවත් පැවැසේ.
බැසිල්ගේ රහස් කාමරය
කෙසේ වෙතත් මේ අපේක්ෂකත්ව ගැටුම සම්බන්ධයෙන් මේ වනවිට පොහොට්ටුව ගෙන ඇති තීන්දුව කුමක්ද?
අපට ඇති තොරතුරුවලින් නම් කියැවෙන්නේ මෙම අර්බූදය විසඳීම සඳහා පොහොට්ටුව පැත්තෙන් විශේෂ යෝජනාවක් ජනාධිපතිවරයාට ඉදිරිපත් කොට ඇති බවකි. ඒ, ජනාධිපතිවරයාට පොහොට්ටු අපේක්ෂකත්වය ලබාදීමට නම් පොහොට්ටුවේ ජාතික සංවිධායකවරයා වූ නාමල් රාජපක්ෂ හට අගමැති අපේක්ෂකත්වය ලබාදෙන බවට ප්‍රසිද්ධ ප්‍රකාශයක් ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් සිදුකළ යුතුව ඇතැයි කියාය. පොහොට්ටුවෙන් ඉදිරිපත්ව ඇති මෙම නාමයෝජනාවත් සමග රාජපක්ෂවරුන් හලා ගමනක් යෑමට සැලසුම් කර සිටි ජනාධිපතිවරයාගේ පාර්ශ්වය දැඩි කැලඹීමකට පත්ව ඇති බවක් ආරංචිය.
අනෙක් පැත්තෙන් පොහොට්ටුවේ මහමොළකරු ලෙස සැලකෙන බැසිල් කාටත් හොර රහසේ පසුගිය සතිය වනවිට තවත් විශේෂ මෙහෙයුමක් අවසන් කර තිබිණි. ඒ ඉදිරි ජනාධිපතිවරණය සදඟා පක්ෂය සූදානම් කිරීමේ අරමුණෙන් ඉතා රහසිගතව විශේෂ ජනාධිපතිවරණ මෙහෙයුම් කාර්යාලයක් පක්ෂ මූලස්ථානයේ නිර්මාණය කිරීමය. කිසිවකුටත් නොදැනෙන්නට පක්ෂ මූලස්ථානය පිහිටි ගොඩනැගිල්ලේ එක් තට්ටුවක්ම මෙම මෙහෙයුම් කාර්යාලයට වෙන් කළ බැසිල්, ඊට නවීන පන්නයේ පරිගණක, මේස, පුටු ලබාදී මුළු රටේම සිදුවන සංවිධාන කටයුතු ඊට ජාලගත කිරීමට කටයුතු කොට ඇති බවක් ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය. තවමත් පිටස්තර කිසිදු කෙනකුට ඇතුළුවීම තහනම් කොට ඇති පොහොට්ටුවේ මෙම රහසිගත ජනාධිපති මෙහෙයුම් කාර්යාලයට ඇතුළුවීමට පසුගිය සතියේ ‘මව්රට’ ‘රාජ්‍ය රහස්’ තීරයට හැකිවිය. මේ දැක්වෙන්නේ එහිදී අපට දැකගන්නට ලැබුණු විස්මිත කාර්යලයේ අතිවිශේෂ ඡායාරූපයන්ය.
ඊළඟ මෙහෙයුම
ඒ අනුව දැන් බැසිල් ඊළඟට කරන්න සූදානම් වන්නේ කුමක්ද? අපට ඇති තොරතුරුවලින් කියැවෙන්නේ ලබන 15 වැනිදා රනිල්ට ලබාදී ඇති දිනය අවසන් වීමෙන් පසු තවත් දෙසතියක් ලබා දුන්නද සජබයෙන් 25ක කණ්ඩායමක් ගැනීමට රනිල් අපොහොසත් වුවහොත් පොහොට්ටුව දැනටමත් ඊළඟට කරන්නට යන දේ සැලසුම් කර ඇති බවය. ඒ අනුව හදිසි මාධ්‍යම කාරකසභාවක් කැඳවා ජනාධිපතිවරණයට පොහොට්ටුවෙන් ජනාධිපති අපේක්ෂකයකු ඉදිරිපත් කරන බවට වූ යෝජනාවක් සම්මත කරගැනීමටත්, අපේක්ෂයා කවුරුන්ද යන්න තීරණය කිරීම සඳහා මහින්දගේ ප්‍රධානත්වයෙන් යුත් ජ්‍යෙෂ්ඨයන්ගෙන් සැදුම්ලත් කමිටුවක් පත්කිරීමටත් බැසිල් දැනටමත් සැලසුම් කොට අවසානය. ඉන් අනතුරුව ජූලි 25 වැනිදා හෝ 26 වැනිදා පොහොට්ටුවේ මහා සම්මේලනයක් කැඳවීමටද සැලසුම් කොට ඇති බව පැවසේ.
ඊටද බලපා ඇති හේතුවක් තිබේ. මැතිවරණ නීතියට අනුව ලබන 17 වැනිදා ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කිරීමේ බලය මැතිවරණ කොමිසමට හිමිවේ. ඒ අනුව ජනාධිපතිවරණයට නාමයෝජනා කැඳවීමේ දිනය ප්‍රකාශයට පත්කිරීමට නියමිතව ඇත්තේ 27 හෝ 29 වැනි දිනය. ඒ අනුව පොහොට්ටුව සැලසුම් කර ඇත්තේ ඊට පෙරාතුව පක්ෂයේ මහා සමුළුව කැඳවීමටය. කෙසේ වෙතත් එහිදී පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයාගේ නම ප්‍රකාශයට පත්කරනවාද, එසේත් නැත්නම් මධ්‍යම කාරකසභාව මගින් ගනු ලැබූ තීන්දුව සම්මත කරනවාද යන්න මෙතෙක් පැහැදිලි නැත. බොහෝ දෙනාගේ අදහස වී ඇත්තේ බොහෝ දුරට එදින පොහොට්ටුව සිය ජනාධිපති අපේක්ෂකයා කවුරුන්ද යන්න ප්‍රකාශයට පත්කරනු ඇතැයි කියාය.
රෝහිතගේ උත්සවය
පසුගිය සතියේ පොහොට්ටුවේ රෝහිත අබේගුණවර්ධනගේ දේශපාලන දිවියට වසර 27ක් පිරීමේ උත්සවය පැවැතියේ මේ අතරවාරයේය. එදින වජිර විසින් සංවිධාන කර තිබූ ගාල්ල දිස්ත්‍රික් සමුළුවට සහභාගි වීම සඳහා රනිල් ගාල්ලට ගියද රනිල්ගේ ඔළුවේ වැඩකළේ ගාල්ලේ සමුළුවට වඩා එදින පස්වරුවේ පැවැත්වෙන රෝහිතගේ උත්සවයය. ඊට හේතුවූයේ පොහොට්ටුවේ සියලු ප්‍රධානීන් මෙම උත්සවයට සහභාගි වන බවට රනිල්ට කල්තියාම තොරතුරු ලැබී තිබීම නිසාය. ඒ අනුව රනිල් සැලසුම් කළේ මෙම උත්සවයටද සහභාගී වී යම් දේශපාලන ගේමක් ගැසීමටය.
උත්සවයට රනිල් සහභාගි වීමට සැලසුම් කර ඇති බවක් පොහොට්ටුවේ ප්රධානීන්ටද කල්තියා දැනගන්නට ලැබී තිබිණි. ඒ නිසා ඔවුන්ද කළේ රනිල්ට යම් ඉඟියක් ලබාදීම සඳහා රනිල්ට සමාන්තරව ධම්මිකටද ඉදිරි පෙළ ආසනයක් ලබාදීමය. උත්සවයේ කතා පැවැත්වීම බාරදී තිබුණේද මහින්ද, රනිල්, බැසිල් ඇතුළු ජ්‍යෙෂ්ඨයන් කිහිප දෙනකුට පමණි. එහිදී පොහොට්ටුවේ නායකයන් රනිල්ට තවත් ඉඟියක් ලබාදීම සඳහා ධම්මිකටද උත්සවයේ කතාවක් ලබාදී තිබීමද විශේෂ සිදුවීමක් විය.
බැසිල්ගේ කතාව
කෙසේ වෙතත් මෙම උත්සවයේ වැඩි අවධානයක් යොමුවූයේ බැසිල් කළ කතාවටය. මෙහිදී බැසිල් කියා සිටි කතාව වූයේ රනිල්ට අප බය නැති බවත්, ණය නැති බවත්ය. එමෙන්ම මොනවා වුණත් ජනාධිපතිවරයාට පොහොට්ටුව සහාය ලබාදීමට කටයුතු කරන බවද බැසිල් කියා සිටියේය.
බැසිල්ගේ මේ ආණ්ඩුවට සහාය දෙන කතාව කටින් පිටවීමත් සමග ආණ්ඩුවේ ඉහළ තැනකින් ලැබුණු නියෝගයකින් කියැවුණේ බැසිල් කළ එම කතාවට විශාල ප්‍රචාරයක් ලබාදෙන ලෙසටය. ඒ අනුව එදින රාත්‍රී ප්රවෘත්ති විකාශයන්හි ප්‍රධානම පුවත බවට පත්ව තිබුණේ බැසිල් දිගටම ආණ්ඩුවට සහාය දීමට සූදානම් වන බවට කළ එම කතාවටය.
බැසිල් මෙවැනි කතාවක් හදිසියේම සිදුකළේ ඇයි?
ඒ සම්බන්ධයෙන් කළ සොයාබැලීමකදී අප හට දැනගන්නට ලැබුණේ ඒ වනවිට ජනාධිපතිවරයාගේ ධුර කාලය සම්බන්ධයෙන් අර්ථ නිරූපණයක් ඉල්ලා සී.ඩී. ලෙනව නමැත්තා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට ගොස් තිබූ බැවින් ඒ මත පිහිටා බැසිල් මෙම කතාව කළ බවය. මීට ඉහතින් අප සඳහන් කර සිටියේ ආණ්ඩුව මෙම නඩු කටයුත්ත හරහා ජනාධිපතිවරණය පැවැත්වීම මාස 6ක පමණ කාලයක් ඇදගැනීමට බලාපොරොත්තුවෙන් සිටියා යැයි කියාය. අපට ඇති තොරතුරුවලට අනුව කියැවෙන්නේ ඒ ආකාරයට ශ්‍රේෂ්ඨාධිකරණය හරහා ආණ්ඩුවට තවත් මාස 6ක කාලයක් ලබාගැනීමට හැකිවුවහොත් එම කාලය ඇතුළතද ආණ්ඩුවට සහාය දිය යුතු බවට වූ ස්ථාවරයක බැසිල් සිටි බවත්, ඒ අනුව බැසිල් එවැනි කතාවක් රෝහිතගේ රැස්වීමේදී කී බවත්ය. බැසිල්ගේ කටින් පිටවුණු මේ කතාව ජනාධිපතිවරයාට ඉතා වාසිදායක නිසා ඊට ඉහළ ප්‍රචාරයක් ලබාදීමටද පියවර ගෙන තිබිණ.
වෙල්ගම එළියට
මේ අතර කාලයකට පසුව පසුගිය සතියේ තවත් කළුතර චරිතයක් කලඑළි බැස්සේය. ඒ, වෙන කවුරුවත් නොව කලක් අසනීපව සිටි කළුතර කුමාර වෙල්ගමය. වෙල්ගම සජබයෙන් පාර්ලිමේන්තු පැමිණියද පසුව ඉන් ඉවත්ව නව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගොඩනගා ඉන් වෙල්ගම ඉන් අනතුරුව චම්පික සමග තවත් සන්ධානයක් ගොඩනගා ගත්තේය. පසුව වෙල්ගම ඉන්ද ඉවත්ව මේ වනවිට ස්වාධීනව සිටින ආකාරයක් දැකගන්නට පුළුවන.
කෙසේ වෙතත් පසුගිය සති කිහිපය තුළ වෙල්ගම තමන් දේශපාලන තීන්දු තීරණ ගන්නා කණ්ඩායම් සමග සාකච්ඡා වට කිහිපයක් පැවැත්වීමට පියවර ගත්තේය. ඒ, ඉදිරියේදී තමන් ගතයුතු දේශපාලන තීන්දුව පිළිබඳවත්, රටේ දේශපාලන තත්ත්වය පිළිබඳවත් දැනගැනීම සඳහාය. මෙහිදී සාකච්ඡාවේ සිටි අතිබහුතරයකගේ මතය වී ඇත්තේ රනිල්ට කිසිසේත්ම ජනාධිපතිවරණය ජයග්‍රහණය කළ නොහැකි බවත්, ගම්වල රනිල්ට කිසිදු මතයක් නොමැති බවත්ය. එමෙන්ම ගම්වල ඉදිරියෙන්ම සිටින්නේ සජිත් බවද පෙන්වා දී ඇති මෙම පිරිස, මෙවර තීන්දු ගැනීමේදී වරද්දා නොගන්නා ලෙසටද වෙල්ගමට දැනුම්දීමක් කොට ඇත.
වෙල්ගම ඒ අනුව පසුගිය සතියේ පාර්ලිමේන්තු පැමිණියේ මෙම උපදේශයද හිතේ තබාගෙනය. ඒ වනවිට රෝහිතගේ රැස්වීමට රනිල්ද සහභාගි වී සිටි නිසා පාර්ලිමේන්තු කතාවේදී වෙල්ගම රනිල් ඇතුළු පොහොට්ටුවේ ප්‍රධානීන් සියලු දෙනාටම බරපතළ ප්‍රහාරයක් එල්ල කළේය. වෙල්ගම එහිදී කියා සිටියේ හොරකම්වලට සම්බන්ධ කිසිවකුත් පාර්ලිමේන්තුවට වද්දා නොගත යුතු බවත්, රෝහිතගේ රැස්වීමේ ඉදිරි පෙළ සිටි සියලු දෙනාටම විවිධ චෝදනා එල්ල යී ඇති බවත්ය. එමෙන්ම සිය කතාවේදී වෙල්ගම සජිත්ව දියසෙන් කුමාරයා ලෙස හඳුන්වා දීමට කටයුතු කිරීම විශේෂ සිදුවීමක් විය.
ඩලස්ලාත් සජිත්ට
මේ අතර පසුගිය සතියේ සිදුවූ තවත් විශේෂ සිදුවීමක් වූයේ ඩලස්ගේ ප්‍රධානත්වයෙන් පවතින නිදහස ජනතා සභාවේ ඉතිරිව සිටි සියලු මන්ත්‍රීවරුන් සජිත් සමග එකතු වීමට තීරණය කිරීමය. මේ බව මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර සිටියේ වෙන කවුරුවත් නොව මහාචාර්ය චරිත හේරත්ය. චරිත එහිදී කියා සිටියේ ඩලස් ඇතුළු නිදහස ජනතා සභාවේ මන්ත්‍රීවරුන් 13 දෙනාම සජිත්ට සහාය දීමට මේ වනවිට තීන්දු කොට ඇතැයි කියාය. චරිත මෙම ප්‍රකාශය සිදුකරන විටත් මුල් වටයේදී ජී.එල්., ඩිලාන්, වසන්ත යාපා ඇතුළු මන්ත්‍රීවරුන් හය දෙනකු සජිත්ට සහාය පළකරමින් සජබයට එක්වීමට පියවර ගෙන තිබිණි.
එමෙන්ම මේ වනවිට ලබන පළමුවැනිදා තවත් විශේෂ වැඩකටයුත්තක් අවසන් කිරීමට සජිත් මේ වනවට සියලු සැලසුම් සකස් කොට අවසානය. ඒ ජනාධිපතිවරණය ඉලක්ක කර බිහිකරන විපක්ෂයේ පුළුල්ම සන්ධානය බිහි කිරීමය. මේ වනවිට ඊට විපක්ෂයේ දේශපාලන පක්ෂ රැසක්ම අත්සන් තැබීමට එකඟතාව පළකොට ඇති අතර කිසිසේත්ම නොසිතන දැවැන්ත චරිත රැසක්ද ඒ අතර සිටින බව දැනගන්නට ඇත.
සජිත් පෙරට අනුර පස්සට
මීට මාස දෙකකට පමණ ඉහතදී ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ අතිවිශේෂ අනාවරණයක් කරමින් අප කියා සිටියේ ජාත්‍යන්තරයම පිළිගත් මත විමසුම් සිදුකරන ආයතනයක් විසින් ජනාධිපතිවරණය පිළිබඳ මත විමසුමක් සිදුකර ඇති බවත්, එහි ප්‍රතිඵලවලට අනුව උතුරු-නැගෙනහිර ප්‍රදේශ හැරුණු විට අනෙකුත් ප්‍රදේශවලින් 39%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා සජිත් ඉදිරියෙන්ම සිටින බවත්ය. ජවිපෙ 22%ක ප්‍රතිශතයක් ලබා දෙවැනි ස්ථානයේ සිටින බවත්, පොහොට්ටුව 9%ක ප්‍රතිශතයක් ලබා තුන්වැනි ස්ථානයේ සිටින බවත්, එජාපය 7%ක ප්‍රතිශතයක් ලබා සිවුවැනි ස්ථානයේ සිටින බවත් අප එහිදී අනාවරණ කර සිටියෙමු. දශක දෙකක පමණ සිට මෙම ආයතනය මගින් සිදුකරන මත විමසුම් ඉතා නිවැරැදි වීම හේතුකොටගෙන තානාපති කාර්යාල, දේශපාලන පක්ෂ පමණක් නොව, ව්‍යාපාරික සමාගම් පවා මෙම ආයතනය මගින් විවිධ අවස්ථාවලදී මත විමසුම් සිදුකරවාගෙන ඇති බවද අප එහිදී සඳහන් කර සිටියෙමු.
මෙවර අප කියන්නට යන්නේ මෙම ආයතනය මගින් සිදුකොට ඇති අලුත්ම මත විමසුම පිළිබඳවය. ඉකුත් ජුනි මස 04 වැනිදා සිට ජුනි 24 දක්වා වූ කාලයට බලපැවැත්වෙන පරිදි සිදුකොට ඇති මෙම දෙවැනි මත විමසුමේ ප්‍රතිඵල පසුගිය අඟහරුවාදා සවස අදාළ ආයතන වෙත බාරදීමට මෙම ආයතනය කටයුතු කොට තිබිණි. අපට දැනගන්නට ඇති තොරතුරුවලට අනුව මෙවර මත විමසුමෙන්ද සජිත් තවත් පියවර කිහිපයක් ඉදිරියට තබා තිබේ. ඒ අනුව මෙවර සජිත් 39% සිට 42% දක්වා තම ජනප්‍රියත්වය ඉහළ නංවාගෙන තිබේ. නමුත් මෙහිදී දැකගන්ටන ඇති විශේෂම සිදුවීම වී ඇත්තේ 22%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා දෙවැනි තැන සිටි ජවිපෙ විශාල පහත වැටීමක් පෙන්නුම් කරමින් 15% දක්වා පසුබැස තිබීමය. පොහොට්ටුව 11%ක් ලබා තුන්වැනි ස්ථානයේද, ජනාධිපතිවරයා 7% සිට 9% දක්වා 2%ක වර්ධනයක් ලබා සිවුවැනි ස්ථානයේ සිටින බවද එහි සඳහන් කොට ඇති බවක් ආරංචිය. එමෙන්ම 17%ක ප්‍රමාණයක් ඡන්දය ලබාදෙන්නේ කුමන පාර්ශ්වයටද යන්න තීරණය කොට නොමැති බවත්, 5%ක ප්‍රමාණයක් ඡන්දය නොදී සිටීමට තීන්දු කොට ඇති බවත් එම මත විමසුම මගින් අනාවරණ කොට ඇති බවක් දැනගන්නට ඇත.
රිෂාඩ්ගේ ස්ථාවරය
මේ අතර, පසුගිය සතියේ රිෂාඩ් බදියුදීන් මහතා සහ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා අතර විශේෂ හමුවක් සිදුව තිබිණි. මෙම හමුව සිදුකොට තිබුණේ රිෂාඩ් ජනාධිපතිවරයා මන්නාරමට පැමිණි අවස්ථාවේදී ඔහු සමග එකට සිටින ඡායාරූප පළවීමෙන් පසු මාධ්‍ය විසින් රිෂාඩ්ගේ සහාය ජනාධිපතිවරයාට හිමිවනු ඇති බවට වූ පුවත් පළවීමෙන් පසුවය. කෙසේ වෙතත් පසුගිය සතියේදී සජිත් මන්නාරමේ සංචාරය කළ අවස්ථාවේදී රිෂාඩ් සජිත් සමගද එක්ව ඒ ඒ වැඩසටහන්වලට සක්‍රීයව සහභාගි වී සිටි ආකාරය දැකගත හැකි විය.
කෙසේ වෙතත් ඉන්දීය මහකොමසාරිස්වරයා සමග පැවැති හමුවේදී හෙතෙම රිෂාඩ්ගෙන් වත්මන් දේශපාලනය පිළිබඳවත්, ජනාධිපතිවරණයේ ඉදිරියෙන් සිටින අපේක්ෂකයා පිළිබඳවත් විමසා තිබේ. මෙහිදී රිෂාඩ් දැනුම්දී ඇත්තේ සජිත් ජනාධිපතිවරණයේ ඉදිරියෙන් සිටින බවට කිසිදු තර්කයක් නොමැති බවකි. සජිත්ට ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමේ විශාල අවස්ථාවක් පවතින බවද රිෂාඩ් මෙහිදී ඉන්දීය මහකොමසාරිස්වරයාට දැනුම්දී ඇත.
ඉන් අනතුරුව ඉන්දීය මහකොමසාරිස්වරයා රිෂාඩ්ගෙන් විමසා ඇත්තේ ඔබලාගේ සහාය කුමන අපේක්ෂකයාට හිමිවන්නේදැයි කියාය. ඊටද කිසිදු පැකිලීමකින් තොරව පිළිතුරු දී ඇති රිෂාඩ් කියා ඇත්තේ ඊට අදාළ තීන්දුව දැනටමත් පක්ෂය විසින් ගෙන අවසන් බවත්, ජනාධිපතිවරණයේදී සජිත්ට සහාය පළකිරීමට පක්ෂය තීන්දු කොට ඇති බවත්ය. ඊට අදාළ හේතු කාරණා රැසක්ද මෙහිදී රිෂාඩ් විසින් ඉන්දීය මහ කොමසාරිස්වරයා වෙත පෙන්වා ඇති බවද ආරංචිය.
මේ ආකාරයට මීට පෙර සතියකදී රවුෆ් හකීම්ද කැඳවා ඉන්දීය මහකොමසාරිස්වරයා කැඳවා මේ ප්‍රශ්නයම විමසා තිබූ බව ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ අප වාර්තා කර සිටියෙමු. එහිදී හකීම්ද ඉන්දීය මහකොමසාරිස්වරයාට දී තිබුණේ රිෂාඩ් විසින් ලබාදී තිබූ පිළිතුරමය.